1960 ජූලි 21 වැනි දා ඉතිහාසගත වන්නේ ලොව පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභිෂේක වූ නිසාය. ඊට වසර කිහිපයකට පසු බණ්ඩාරනායක අගමැතිනියගේ සිතුවිල්ලක් මත නිර්මාණය වූ ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය කරන ලදී. ඕය කියන සන්ධියේ දේශපාලනයෙන් ඉවත්වී නිදහස් කෙළිලොල් දිවියක් ගත කළ සර් ජෝන් කොතලාවල තම රත්මලාන කඳවල වලව්ව අසල වෛද්‍යවරයකුගේ ගෙදරට ගොඩ වූයේ උදෑසන ව්‍යායාමය පිණිස ඇවිද යන විටය. සර් ජෝන්ට අවශ්‍ය වූයේ ‘මුවාගේ‘ කතාව ලියන දොස්තර මහතා හමුවීමටය.

මෙකී දොස්තරවරයා සර් ජෝන් තම නිවස සොයා පැමිණීම ගැන දැක්වූයේ මෙවන් සටහනකි.

”ඔය කියන කාලේ ඔහුගේ නිවස තිබුණේ කඳවල පාරේ, ගුවන් තොටුපොළ පාරේ. උදේ හැම තිස්සෙම තොප්පියක් දාගෙන හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහත්තයා ඇවිදින්න යනවා මම දැකලා තියෙනවා. දවසක් මගේ ගෙදර ගේට්ටුවට කිසිවකු තට්ටු කරනවා ඇසුණා. බැලින්නම් සර් ජෝන් මහතා තමාගේ බස්තමෙන් ගේට්ටුවට ගහනවා.”‍

”අයිසේ, අර මුවාගේ කතාව ලියන්නේ තමුසෙද? ෂා, මරු හොඳ කතාව, මමත් අහනවා. අයිසේ, ඔය නාට්‍යය යන වෙලාව වෙනස් කරන්න බැරි ද? ඔය නාට්‍යය යන දවසට අපේ කුස්සි අම්මා බත් රොස් කරනවා, නාට්‍ය අහන නිසා”‍ කියලා හිනාවෙලා යන්න ගියා.

තවත් දවසක් සර් ජෝන් මම ගෙදර මිදුලේ ඉන්නවා දැක්කා.

”ඩොක්ටර්, මේ මුවන්පැලැස්ස යන වෙලාවට මගේ වැඩකාරයන්ගෙන් වැඩක් ගන්න බැහැ. ඒ වෙලාවට මේගොල්ලන්ව හොයාගන්නත් බැහැ”‍යි සිනාසෙමින් කිව්වා.

මේ කියන්නට යන දොස්තර මුදලිනායක සෝමරත්න ගැන ඩොක්ටර් කිව්වාට වඩා ප්‍රසිද්ධය. ඔහු ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ‘මුවන්පැලැස්ස‘ රචකයා වශයෙන් දශක හයක් පුරා රේඩියෝ සිලෝන් එකෙන් ආරම්භ කොට - ඒ කියන්නේ වෑල් රේඩියෝ එකෙන් පටන් ගෙන ට්‍රාන්සිස්ටරය, අයි.සී. එක දක්වා තාක්ෂණය පරිවර්තනයට ලක් වූ අවසානයේ යූටියුබ්, ඉන්ටර්නෙට් යුගය දක්වාත් නොනැසී පැවතුණු නාමයකි මුවන්පැලැස්ස.

පසුගිය දශක 6 තුළ ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර මෙතරම් ජනප්‍රසාදයක් දිනාගත් නිර්මාණයක් විසින් සියවසේ බිහිවූවා නම්, ඒ මේ මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍ය බව අප විසින් අවබෝධයෙන් පිළිගත යුතුව ඇත. ඈත වනපෙත්වල හේන් ගොවිතැන් කරන ගැමියන්ගේ සිතුම් පැතුම් හා ග්‍රාමීය ජනප්‍රවාද තේමා කරගෙන ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ හදවත් තුළට මෙතරම් සමීප වූ නිර්මාණයක් බිහිවීම අමරණීය කලා කෘතියකින් සදාතනිකව රසික ජනතාව ලබන අපරිමිත වින්දනයකි. මුවන්පැලැස්ස තුළින් මෙරට ජනතාව එම ආස්වාදය ලැබූහ.

මුවන් පැලැස්ස ගුවන්විදුලි නාට්‍ය නිසා ‘පැලැස්ස’, ‘මුවන් පැලැස්ස’ වෙයි

මුවන්පැලැස්ස තුළින් අපේ ශ්‍රාවක සිත් සතන් තුළ ජනිත කළ ආරච්චිල, වෙඩික්කාරයා, සුදුබණ්ඩා, බිනරමලී, ගුරුහාමි, කිරිඅම්මා, ගබන්ලොක්කා, පිනා, කදිරා ආදී එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ චරිත ගොන්න සදාකාලයෙන් සදාකාලයට අපේ මතකයේ තව තවත් අලු‍ත් වෙමින් පැලපදියම් වෙමින් පවතී. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරි සංකීර්ණයේ අල්ලා ඇති දුර්ලභ පිංතූරයක මෙසේ සඳහන්ව ඇත:

“This portrait is dedicated to Mudiyanse Somaratne in recognition of his contribution to the Sinhala Service of Radio Ceylon.”

මේ පාඨය සඳහන්ව ඇත්තේ මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍ය නිර්මාතෘ මුදලිනායක සෝමරත්නගේ ඡායාරූපය යටිනි.

ඒත් ඒ ඡායාරූපය යටින් ‘දිවංගත‘ යන නාමය පසුගිය සතියේ එක්විය. සියවසක් ජීවත් වන්නට සෝමරත්නට තව මදි වූයේ මාස 58 ක් පමණි.

1931 ජූනි 19 වැනි දින මහනුවරදී උපත ලැබූ මුදලිනායක සෝමරත්න අම්පිටිය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබා ගත්තේය. පසුව කල්කටා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව එම්.බී.බී.එස්. උපාධිය ලබාගත්තේය. වෛද්‍යවරයකු වුවද ඔහුගේ සිත ඇදී ගියේ කලාවටය.

කුඩා කල සිටම ලේඛන කලාවට ප්‍රිය කළ ඔහු දිනමිණ, සිළුමිණ වැනි පුවත්පත්වලට නිතර නිතර කෙටිකතා ලීවේය.

මුදලිනායක සෝමරත්න ලේඛන කලාවට යොමු වන්නේ ‘පටලැවිල්ල‘ කෙටිකතා සංග්‍රහය පළකිරීමෙනි. ඊළඟට තමා ලියූ නාට්‍ය ඇතුළත් කොට ‘ගුවන් විදුලි නාට්‍ය‘ කෘතියක්ද, ශරීර සෞඛ්‍යය ගැන ලියූ ග්‍රන්ථයක්ද ඉන්පසු නිකුත් වූ ‘මඩුකන්දේ නාමලී‘, ‘ගෝමි සහ තිසරි‘, ‘මිහිරි කතාවක්‘, ‘මායාවේ සේයා‘, ‘ජපානයට ගිය හිතුවක්කාරයෝ‘, ‘හිම තලාවේ නැවුම් කුසුමක්‘, ‘අසිරිමත් වූ දෙයකි‘, ‘මුවන්පැලැස්ස‘, ‘මා හා ඈ‘ ඔහු ලියූ නවකතා අතර වෙයි.

1960 දී ජපානයෙන් ලැබුණු මාස හයක නාට්‍ය පාඨමාලාවක් හැදෑරීමට ගියේය. ඔහුගේ එම අත්දැකීම් ඇසුරෙන් ‘ජපානයට ගිය හිතුවක්කාරයෝ‘ නවකතාව ලියැවිණි.

මුවන්පැලැස්ස ආරම්භය ගැන මුදලිනායක සෝමරත්න තම මතකය අවදි කොට ඇත්තේ මෙසේය.

”1962 දී මට එවකට ගුවන් විදුලි අධ්‍යක්ෂ ජනරාල් එස්. බී. සේනානායක ආරාධනා කළා සන්ධ්‍යා සේවය පටන් ගන්නවා, අලු‍ත් තාලයේ නාට්‍යයක් ලියන්න කියලා. හරියට ‘කුරුලු බැද්ද‘ වගේ එකක් එස්. බී. සේනානායක කිව්වා. ඈත ගමකට ගිහිල්ලා එහි චරිත ඇසුරෙන් කතාව ලියන්න කියලා.”‍

මුදලිනායක සෝමරත්නට සේනානායක සහ ඩී. එම්. කොළඹගේ සමඟ අරලියගහ වලව්වට කැඳවූ පිරිස අතර සිටි බණ්ඩාරනායක මැතිනිය තමන් බලාපොරොත්තු වන කතාව විස්තර කළාය.

”මැතිනිය කියපු විදියට මගේ සිතේ ඒ ගම මැවුණා. ඒ වගේ ගම්වලට යන්න රේඩියෝ සිලෝන් එකෙන් සියලු‍ පහසුකම් සලසා දුන්නා.”‍

”මා පාසල් යන කාලයේ මගේ එකම විනෝදාංශය වුණේ මිතුරන් එක්ක කැලෑවල ඇවිදින්න යන එකයි. මීමුරේ, මහියංගණය වගේ හද්දා පිටිසර වන්නියේ ගම්වල ඇවිදින්න යනවා. හේන්වල ගස් උඩ බැඳලා තියෙන අට්ටාලයට වෙලා අපි ගොවීන් එක්ක පැය ගණන් කතා කර ඉන්නවා. ඒ අහිංසක ගැමියන්ගේ ගැමි ජනප්‍රවාද, සිතුම් පැතුම්, අපේක්ෂාවන් පිළිබඳ දැනගැනීමට මට තිබුණේ නොතිත් ආශාවක්. සතුන්ගෙන් හේන් වගාවලට වන හානිය, වන සතුන්ට අටවන උගුල්, වන සතුන්ගේ හැසිරීම් ගැන ඔවුන්ට ඇති පාරම්පරික දැනුම ඒවා ගැන දැන ගැනීමට ඇති ආශාව, කුතුහලය දිනෙන් දින ශීඝ්‍රයෙන් වැඩි වුණා.”‍

මුවන්පැලැස්ස ලියූ මුදලිනායක සෝමරත්න

මහියංගණය, වෙල්ලස්ස ප්‍රදේශවල මුදලිනායක ඇවිද්දේය. හේන් ගොවියන් ඇසුරේ ජීවත් විය. කටවහර, ගැමි වහර, ආචාර සමාචාර විධි, සිරිත් විරිත්, ආහාර පාන ගැන අධ්‍යාපනයක් ලබා ගත්තේ නියම ගැමියකු මෙනි.

මේ ගමනේදී මුදලිනායකගේ මාර්ගෝපදේශකයා වූයේ ‘කීරාල‘ නම් ගැමියෙකි. ඔහු හද්දා පිටිසර ගොවියෙක් විය.

දිනක් ලඳු කැලෑ සහිත මිටියාවතකදී මුව රංචුවක් දක්නට ලැබුණි.

‘ආ.. කීරාල උන්නැහැ, මේ ගමට කියන්නේ මොකක්ද?‘ මුදලිනායක ඇසීය.

”මහත්තයෝ, මේ පැත්තට කියන්නේ ‘පැලැස්ස‘ කියලා.”‍

මුදලිනායක තමා ලියන අලු‍ත් නාට්‍යයට නමක් තැබුවේ ‘මුවන්පැලැස්ස‘ ලෙසය.

දැන් ඉතින් ගුවන් විදුලිය තුළින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලාපොරොත්තු වූ ගැමි නාටකයේ පළමු කතාංගයටම මුදලිනායක සෝමරත්න රචනා කොට තිබුණේ හදිසියෙන් මිලදී ගත් තේ ඇබෑස්සි හල්පතකය. (ඒ කාලේ එක්සයිස් පොත්වලට කිව්වේ ඇබෑසිහල් පොත් කියාය).

කොළඹ පැමිණි පසු මුදලිනායක මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ කොටස් කිහිපයක් ලියාගෙන ගුවන් විදුලියට ගියේය. ඒ පිටපත කියවා සන්ධ්‍යා සේවයේ අධ්‍යක්ෂක ඩී. ඇම්. කොළඹගේ හා සිංහල සේවා අධ්‍යක්ෂ එච්. එම්. ගුණසේකර එයට අනුමැතිය දුන්හ. සුදු ජාතික ඒජන්ත කෙනෙක් ගමකට ගියාම හමුවන ආරච්චි කෙනකුගේ සංවාදයකින් මුවන්පැලැස්ස අරඹන ලදී. සුදු ජාතික ඒජන්ත ලෙස විජේරත්න වරකාගොඩ රඟපෑවේය. කතාව එන්ට එන්ටම ජනප්‍රිය වූ පසු විජේරත්න වරකාගොඩ ආරච්චිලා විය. වික්ටර් මිගෙල් වෙඩික්කාරයා වූ අතර, ගැමුණු විජේසූරිය වෙද මාමාද, ධර්මශ්‍රී මුණසිංහ පිනාද, නෙතලි නානායක්කාර බිනරිද, රත්නාවලී කැකුණවල එතනාහාමිද වූහ.

ජනපති විලියම් මගහැරුණු නාට්‍ය කොටස් ජනපති මැදුරට ගෙන්වා අසයි

මෙහි දැන් විශේෂත්වය නම්, මුවන්පැලැස්ස නාට්‍යය පටන් ගන්නා විට මුවන්පැලැස්ස නමින් ගම්මානයක් නොතිබුණත්, ‘මුවන්පැලැස්ස‘ රේඩියෝ සිලෝන් එකේ ප්‍රචාරය වී ටික කලකින්ම පැලැස්ස ගම්මානය ඉබේම ‘මුවන්පැලැස්ස‘ ගම්මානය බවට පත්වීමය.

මීට වසර කිහිපයකට පෙර මුදලිනායක සෝමරත්නගෙන් මුවන්පැලැස්ස නාටකය ගැන ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.

මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍ය ප්‍රචාරය ආරම්භ කෙරුණේ කුමන වසරක ද?

1963 වසරේදී.

ඒ නාට්‍යයට සහභාගි වූ ශිල්පීන්ගේ නම් සිහිපත් කළොත්?

එදා සිට මෙදා දක්වාම විජේරත්න වරකාගොඩ ඉන්නවා. වික්ටර් මිගෙල්, රත්නාවලී කැකුණවල, නෙතලි නානායක්කාර, වොලී නානායක්කාර, ගැමුණු විජේසූරිය, ධර්මශ්‍රී මුණසිංහ ආදී ශිල්පීන් රැසක් මේ නාට්‍ය රසවත් කරන්න දායක වුණා. වික්ටර් මිගෙල්, ගැමුණු විජේසූරිය, වොලී නානායක්කාර, ධර්මශ්‍රී මුණසිංහ ශිල්පීන් අද අප අතර නැහැ. ඒ අය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා.

මුවන්පැලැස්ස නාට්‍ය මුලින්ම නතර වුණේ කවදා ද?

1971 කරන සමයේදී නතර වුණා. ඊට පසුව කතාව නොයෙකුත් උපර්යාසවලට ලක්වුණා.

මුදලිනායක සෝමරත්නගෙන් මුවන්පැලැස්ස චරිත සොයාගත් අන්දමද එදා සඳහන් කළේ රසවත් අතීතයක් ඉතිහාසයට එක්කරමිනි.

”මේ කැලෑ ගම්මානවල ඉන්නේ බිනරමලී වගේ ලස්සන කෙල්ලෝ. ඉතින් මම බිනරමලී කියන නම ගත්තා. ගම්මානවල ඉන්නවා දඩයක්කාරයෝ, එහෙම නැත්නම් ගුරුකම් වෙදකම් දන්න අය. එතකොට මට හමුවුණා සටකපටකම් පිරුණු ආරච්චිලලා. නොයෙකුත් ඔය චරිත ටිකෙන් තමා මම මේ නාට්‍යය පටන් ගත්තේ. බිනරමලීට තුන් දෙනෙක් ආදරය කරනවා. ඒ ගැටුමත් එක්ක තමා මුවන්පැලැස්ස දිග හැරුණේ.”‍

මුවන්පැලැස්ස ගැන මුදලිනායකගේ මතකය එසේ විය.

මුවන්පැලැස්ස ඇසුරෙන් ඊට පෙර නිමවූ ‘බිනරමලී‘ ට හොඳම චිත්‍රපටය ලෙස සරසවි සම්මානය හිමිවිය. ඒ ගැන මුදලිනායක සෝමරත්න එදා මතකය අවදි කළේ මෙසේය.

”මම චිත්‍රපටයකට ටිකක් දිගට කතාව ලිව්වා. මම තව මගේ යාළුවෝ හතර දෙනෙකුගෙන් දායකත්වය ලබාගෙනයි මේ චිත්‍රපටිය හැදුවේ.”‍

”අපේ සමාගමට සිරිකත චිත්‍රපට කියල නමක් දැම්මා. කැමරාව ඩී. බී. නිහාල්සිංහ, ගීත ගායනා අමරදේවයන්ගෙන්, ගීත රචකයා අජන්තා රණසිංහ, සංගීතය සෝමදාස ඇල්විටිගල. මේ චිත්‍රපටියේ රඟපෑමට එකතු වුණේ ඒ කාලේ හිටිය සිනමා තරු. වෙඩික්කාරයා පියදාස ගුණසේකර, ආරච්චිලා ඩී. ආර්. නානායක්කාර, බිනරමලීගේ තාත්තා ධර්ම ශ්‍රී මුණසිංහ. බිනරමලීට අලු‍ත් නිළියක් ඉල්ලලා පත්තරේ දැන්වීමකුත් දැම්මා. අපේ ගෙදර රත්මලානේ ඇඩ්‍රස් එක දාලා. උදේ 10 වෙනකොට ලස්සන ගැහැනු ළමයි ගේ ඉස්සරහ පිරිලා.”‍

”ස්වර්ණා කහවිට අලු‍ත් කෙනෙක් නිසා රඟපාන්න බැරි වෙනු ඇතැයි මමත් එහෙම සැක කළා. ඒත් ස්වර්ණාගේ රඟපෑම අති දක්ෂ විදිහට කෙරුණා. එහෙම නොවුණානම් කවදාවත් බිනරමලීට සරසවි සම්මාන හම්බවෙන්නේ නෑ.”‍

මුදලිනායක එදා පැවසුවේ ආඩම්බරයෙන්ය.

බිනරමලී යනු මුවන්පැලැස්සම බැවින් මෙහි රූගත කිරීම් කෙරුණේ කුමන පෙදෙසකැයි බොහෝ දෙනකුට ප්‍රශ්නයක් විය.

”කණ්ඩලම වැවේ, යාලේ, වගේම රත්මලානේ මගේ ගෙදර වත්තේ තමා රූගත කිරීම් සිද්ධ වුණේ.”‍

මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍ය ජනප්‍රිය වූ යුගයේ එම වෙලාව මහත් වැදගත් වූයේ ශ්‍රී ලංකා පොලිසියටය.

ඒ කාලේ මුවන්පැලැස්ස ප්‍රචාරය වෙන වෙලාවට මුවන්පැලැස්ස නාටකය අහන්න ගෙවල්වල ශ්‍රාවකයෝ රොද බඳිනවා. ඒ හින්දා ඒ වෙලාව බලාගෙන ගෙවල්වලට පැනලා බඩු අරන් ගිය හොරු ගැන මුවන්පැලැස්ස නාටකය ඉවර වුණු ගමන් පොලිසිවලට පැමිණිලි අඛණ්ඩව එන්න පටන් ගන්නවා. තමන්ගේ ගෙදර අසවල් බඩුව හොරු අරන් ගිහින් කියලා. ඒ හින්දා ඒ කාලේ රේඩියෝ සිලෝන් එකේ මුවන්පැලැස්ස ප්‍රචාරය කළ වැඩසටහන අහන්නට පෙර දොරගුළු දාලා කියලා සැලකිලිමත් වෙන්න කියලා නිවේදනයක් කළා.

ඩොක්ටර් මුදලිනායකගේ මුවන්පැලැස්ස නිසා කඳවල වලව්වේ බත කර ​ෙවන බවට සර් ජෝන්ගෙන් චෝදනාවක්

මේ අතර හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මෙන්ම, හිටපු ජනාධිපතිවරුන් වූ ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස ද මුවන්පැලැස්ස නිතිපතා ඇසූ රසිකයෝ වූහ. ටේප් රෙකෝඩර් නොතිබූ යුගයේ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා තමන්ට මුවන්පැලැස්ස වැඩසටහනක් අතපසු වුවහොත් රේඩියෝ සිලෝන් එකට කතා කොට හඬ පටය ජනාධිපති මැදුරට ගෙනවිත් ශ්‍රවණය කිරීම සිරිතක් කොටගෙන තිබුණි.

වරක් මුදලිනායක සෝමරත්න මෙරට සිටි අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ එස්. එෆ්. ද සිල්වා තමන්ට කිව් කතාවක් ගැන මෙසේ සඳහන් කොට තිබුණි.

”අපේ රටේ හිටි අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එෆ්. ද සිල්වා මහතා ඈත ගමනක් යන අතරේ කෝපි කඩයකට ගොඩ වී කෝපි කෝප්පයක් බොන්න ගියාලු‍. එහි අති විශාල පිරිසක් කෝපි කඬේ අවට රැස්වෙලා.”‍

”සිල්වා මහතා වැඩිහිටියකු ළඟට ගිහිල්ලා ඇහුවලු‍ මොකද ලොකු උන්නැහේ මෙච්චර සෙනඟ කියලා. ‘ඇයි මහත්තයෝ දැන් මුවන්පැලැස්ස රේඩියෝ එකේ යනවනේ, අද කෝපි බීලාත් හමාරයි, ආප්ප කාලත් ඉවරයි. මේ නාට්‍යය ඉවර වෙනකන්...‘ කියලා ආසාවෙන් සවන් දෙන ගුවන් විදුලි නාට්‍යය මුවන්පැලැස්ස කියලා එතුමා මට ප්‍රශංසා කළා.”‍

1931 ජූනි 19 වැනි දින උපන් හෝමියෝපති වෛද්‍යවරයකු වූ මුදලිනායක සෝමරත්නයන් ග්‍රන්ථ රචකයකු, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස නිර්වචනය කළත්, මුදලිනායක සෝමරත්න නාමය මෙරට පොදු ජනතාව තුළ තවත් සියවසකටවත් විරාජමානවනු ඇත්තේ මුවන්පැලැස්ස නිර්මාතෘවරයා ලෙසින් පමණි.

මහින්ද රණවීර