
පසුගිය 13 වැනිදා රාත්‍රියේ කොල්ලුපිටිය ග්ලේන් අබාර් මාවතේ මුහුදු තීරයට ආසන්න පරිසරය තද අඳුරින් බරව පැවතිණි. ඒ අඳුර අතරේ නතර කර තිබූ වෑන් රථයක් ඇතුළත වූයේ දැඩි නොඉවසිලිමත්කමකි. කොළඹ පිහිටි පරිගණක උපාංග අලෙවි ආයතනයක කළමනාකරුවකු ලෙස සේවය කරන චීන ජාතිකයෙක් සිය රියැදුරා ද සමඟ එහි රැඳී සිටියේ අන් කිසිවකට නොව, වෙනත් චීන ජාතිකයෙකු හමුවී ශ්‍රී ලාංකික මුදලින් රුපියල් කෝටි දෙකක් දී ඊට හිලව් ලෙස ඇමරිකානු ඩොලර් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.
මෙම මුදල් හුවමාරුව ගැන සාකච්ඡා වී තිබුණේ ඔවුන් හදාගෙන තිබූ සමූහ සංවාද ගිණුමක (Group Chat ) වන අතර, එකිනෙකා මුහුණට මුහුණ හඳුනන්නේ ද නැත. රුපියල් කෝටි දෙකක මුදල අඩංගු බෑගය සමග චීන ජාතික කළමනාකරු වෑන් රථය තුළ බලා සිටියදී හදිසියේම සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනකු එතැනට කඩා වැදුණි.
“මොකද මේ මහ රෑ කරුවලේ වෑන් එකකුත් නතර කරගෙන කරන්නේ?”
තමන් පොලිස් නිලධාරීන් යැයි හඳුන්වා දෙමින් එක් අයෙක් ඉංග්‍රීසි බසින් ගර්ජනා කළේය. අනිත් තැනැත්තා අත මාංචු කුට්ටමක් ද තිබූ බැවින් චීන ජාතිකයාත් රියැදුරාත් සිතුවේ සැබවින්ම මොවුන් පොලිසියෙන් බවයි. එක් අයකු චීන ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ අවධානය වෙනතකට යොමු කරද්දී, අනෙකා වෑන් රථය තුළ තිබූ රුපියල් කෝටි දෙකේ මුදල් බෑගය ක්ෂණයකින් ඩැහැගෙන අඳුර අතරට අතුරුදන් විය.
තමන් රැවටුණු බව වටහාගත් චීන ජාතිකයා වහාම වෑන් රථයෙන් බැස කොල්ලකරුවන් පසුපස ලුහුබැඳ ගියේය. ඒ අසල සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ද ඔහුට සහායට එක් වූහ.
මේ අතරතුර, ගාලු පාර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇල්ලීමේ මෙහෙයුමක නිරතව සිටි කොල්ලුපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පසිඳු ලක්ෂාන් ප්‍රමුඛ කණ්ඩායම හට මෙම කලබලය නෙත ගැටුණි. පුද්ගලයකු පසුපස චීන ජාතිකයකු ඇතුළු පිරිසක් හඹා එන අයුරු දුටු උප පොලිස් පරීක්ෂකවරයා වහා ක්‍රියාත්මක වී ඒ පිළිබඳ විමසූ විට, චීන ජාතිකයා හඬ අවදි කරමින් කියා සිටියේ තමාගේ කෝටි දෙකේ මුදල් බෑගය මංකොල්ලකා පලායන බවයි.
වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම දැඩි වෙහෙසක් දරා අදාළ සැකකරු සමඟ කොල්ලකන ලද රුපියල් කෝටි දෙකේ මුදල් බෑගය ද අත්අඩංගුවට ගැනීමට සමත් විය.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයට භාරදෙනු ලැබීය. කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගමගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදේෂ් දමයන්ත ප්‍රමුඛ කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කළහ. අත්අඩංගුවට පත් 46 හැවිරිදි සැකකරු පිළියන්දල හෝනත්තර සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචි විදුලි කාර්මිකයෙකි.
”තමුන් මේ සල්ලි කොල්ලකන්න ආවේ තනියම ද? මේකට හවුල් වෙච්ච අනිත් අය කවුද?” පොලිසිය ප්‍රශ්න කළේය.
”සර්, මම තනියමයි මේ වැඬේට බැස්සේ. වෙන කවුරුත් මේකට සම්බන්ධ නැහැ,” දින 7ක රැඳවුම් නියෝග මත සිටි සැකකාර විදුලි කාර්මිකයා තරයේම කියා සිටියේය.
නමුත් ඔහුගේ කතාව පිළිගැනීමට පොලිසිය සූදානම් වූයේ නැත. අධිකරණ නියෝගයක් මත ඔහුගේ ජංගම දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමට පොලිසිය පියවර ගත්තේය. එහිදී හෙළි වූ දුරකථන සබඳතා හමුවේ පොලිසිය හමුවේ තවදුරටත් බොරු කීමට විදුලි කාර්මිකයාට නොහැකි විය.
”සර්, මම ඇත්ත කියන්නම්! මගෙත් එක්ක කොල්ලයට තව එක්කෙනෙක් ආවා. සර්ලා එන්න කලින් එයා පැන්නා. හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුතෙක් තමයි මාව මේ වැඩේට සම්බන්ධ කළේ. තව හතර පස් දෙනෙක්ම මේකට ඉන්නවා,” යැයි ඔහු සියල්ල වමාරන්නට විය.
ඔහු මෙතෙක් කල් උත්සාහ දරා තිබුණේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතුගේ නම ආරක්ෂා කිරීමට බව පැහැදිලි විය.
ලැබුණු තොරතුරු මත වහා ක්‍රියාත්මක වූ පොලිසිය, චීන ජාතිකයා නොමඟ යවා මුහුදු මාවතට ගෙන්වා ගැනීමට අනුබල දුන් අනෙක් චීන ජාතිකයා ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගත්තේය. ඒ අතර 21 හැවිරිදි තරුණයෙකු ද විය. ඔහු දශක කිහිපයකට ඉහතදී මෙරට ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයක්ව සිටි, රාජ්‍ය නායකයන් පවා ඇසුරු කළ අයකුගේ මුනුබුරාය.
මෙම මුළු කොල්ලයේම මහ මොළකරු ලෙස හඳුනා ගැනුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ හිටපු ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය (කුරුණෑගල දිස්ත්‍රික්) ශාන්ත බණ්ඩාරගේ 21 හැවිරිදි පුතු වන කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන අනූජ දිනුජිත් බණ්ඩාරය. අත්අඩංගුවට පත් කෝටිපති මුනුබුරා ද අනූජගේ පාසල් කාලයේ එකම පන්තියේ මිතුරෙකි.
මහ මොළකරු ලෙසට සැකකරන අනූජ බණ්ඩාර, මංකොල්ලය සිදුවන අවස්ථාවේ මීටර් 50ක් පමණ නුදුරින් සිට මෙහෙයුම පාලනය කර තිබිණි. සිද්ධියෙන් පසු ඔහු පොලිසියට වසන් වී සිටි අතර, ඉකුත් 15 වැනිදා පැවැති සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යයට ද රහසේම සහාගි වී තිබිණි.
කෙසේ වෙතත්, පොලිස් මෙහෙයුම් උග්‍ර වෙද්දී පසුගිය 21 වැනිදා රාත්‍රියේ අනූජ බණ්ඩාර සිය නීතිඥවරයා සමඟ කොල්ලූපිටිය පොලිසියට පැමිණ භාර විය. වැඩබලන පොලිස්පති සංජීව ධර්මරත්නගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර කෙරිණි.
අනූජ බණ්ඩාර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, ඔහුගේ නීතිඥයන් කියා සිටියේ තම සේවාදායකයා මෙයට සම්බන්ධ නැති බවයි. නමුත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට පැය 24ක රැඳවුම් නියෝග ලබා දුන්නේය. මීට අමතරව මෙම ඇමැති පුතා ක්‍රිප්ටෝ කරන්සි හරහා සිදු කළ ගනුදෙනු ගැනද පරීක්ෂණ පැවැත්වෙයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ අධීක්ෂණයෙන්, කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා සහ කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd