
නදුනි සහශ්‍රී කුරේ හැඩකාර තරුණියකි.ඇයගේ ලාලිත්‍යයට බොහෝ තරුණයෝ වසඟ වූහ. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය තාවකාලිකව පදිංචිව සිටියේ පානදුර, ගොරකාන ප්‍රදේශයේ කුලී නිවසකය. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් නීතිය හදාරමින් සිට ඇති ඇය අතරමගදී නීති අධ්‍යාපනයට සමුදුන්නාය. ඒ ඇයි කියන්න දන්නේ ඇය පමණි.නීති අධ්‍යාපනයට සමුදුන් ඇය ජීවත්වීම සඳහා මුදල් හරි හම්බ කර ගැනීමට යොදා ඇතැයි කියන්නේ හරි අපූරු උපක්‍රමයකි.
අම්පාර දිස්ත්‍රික් මහා රෝහලේ සේවය කළ භෞත චිකිත්සකවරිය නුවරඑළිය හෝටලයකදී ඝාතනය කළ හොර ඉංජිනේරුවරයා තරුණියන් විවාහ වෙන බවට පොරොන්දු වී ඔවුන් රවටා ලක්ෂ ගණන් මුදල් වංචා කර ජීවිකාව ගෙන ගෙන ගිය අයකු වූවා සේම - නදුනි කර ඇත්තේ තරුණයන් රවටා විවාහ වෙන බවට පොරොන්දු වී ඔවුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් ලබාගෙන මගහැරීමය.
ඇයගේ ඝාතනයෙන් පසු සිදු කරන ලද පරීක්ෂණවලදී පොලිසිය මෙම තොරතුරු හෙළිකර ගෙන ඇත.නදුනි පදිංචිව සිටි නිවසට කුලී ගෙවා ඇත්තේ ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ප්‍රධාන සූපවේදියා වශයෙන් සේවය කරන විසි හතර හැවිරිදි තරුණයකු බවත්, ඔහු ඇයගේ පෙම්වතා බවත් කියති.
මසකට රුපියල් තිස් පන්දහස බැගින් මෙම නිවසට කුලිය ගෙවා ඇත්තේ ඔහු විසිනි.ඇය මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගෙන ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේ සිටය.නදුනි සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් පසුවූ ඔහු ඇයගේ සෑම ඕනෑ එපාකමක්ම සොයා බැලුවේ මුළු හදින්ම ඇයට පෙම් කළ නිසාය.
නදුනි සුනඛයන්ට බොහෝ සේ ඇලුම් කළාය. ඒ නිසාම ඇය ලොකු මුදලක් ගෙවා සුනඛයන් පස් දෙනකුම මිලදීගෙන ඇති දැඩි කළාය.
නදුනි නීතිය හදාරන කාලයේ ගුවන් සමාගමක විධායක ශ්‍රේණියේ තනතුරක් හොබවන තරුණයකු හා පෙමින් වෙළී ඔහු සමග විවාහ ගිවිසගෙන සිටියාය.විවාහ ගිවිස ගැනීම ද මහ ඉහළින් පවත්වා ඇත.
පසු කලක ඔහුගෙන්ද වෙන් වූ ඇය වැඩි කල් යන්නට මත්තෙන් හෝටල් සූපවේදියා සමග ප්‍රේම සම්බන්ධයක පැටළුණාය.නදුනි වෙනුවෙන් ඔහු අත දිගහැර වියදම් කර ඇත්තේ ඇයට තිබූ සෙනෙහස සහ ආලවන්තකම නිසාවෙනි.
වැඩිකල් නොගොස් ඇය සමග අතිනත ගෙන ඔවුනටම වෙන්වූ ලොවක ජීවත්වීමේ සිහිනය ඔහු දකිමින් සිටියේය. දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී ඔහු හෝටලයේ වැඩ කළේ පෙම්වතියගේ ඕනෑ එපාකම් ඉටුකිරීම වෙනුවෙන් ද සෑහෙන මුදලක් අවශ්‍ය නිසාය.
පියකුගේ විරෝධය
නදුනි 22 හැවිරිදි වියේ පසුවන තවත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පටන් ගෙන ඇත්තේ ඒ පෙම්වතාට හොර රහසේය.
ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය.දෙවැනි පෙම්වතාද හෝටලයක සේවය කරන අතර, ඔහුගේ පියා පානදුර ප්‍රදේශයේ තැඹිලි කපා විකුණා ජීවිකාව ගෙන යන අයෙකි. ඔහු සිය පුත්‍රයා ඔහුට වඩා වැඩි වයස් කෙල්ලක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යන බව දැනගත් පසු නදුනි සොයා පැමිණ “පොඩි කොල්ලෝ අල්ලගන්න උඹ මායම්කාරියකැයි” කියා ඇයට බැණ වැදී තිබේ.
“මගේ පුතත් එක්ක තියෙන සම්බන්දෙ අතහැරපං. නැත්නම් මම උඹට කරන දේ දන්නවා” යැයි අවසානයේ ඔහු නදුනිට තර්ජනය ද කර ඇත.
පානදුර උතුර පොලිසියට ගොස් නදුනි මේ තර්ජනය ගැන පැමිණිලි කළාය.පානදුර පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයෙන් මේ පැමිණිල්ල විභාග කර එය සමථ මණ්ඩලයට යොමු කරනු ලැබිණ.
සමථ මණ්ඩලයේදී පැමිණිල්ල විභාගයට ගැනුණු අවස්ථාවේ දෙදෙනාම ගැටුම සමථයකට පත් කර ගෙන ඇත. පියා කිසි දිනක මේ සම්බන්ධයට කැමති නොමැති බව දැනගත් හෝටල් සේවක තරුණයා පැමිණිල්ල සමථයකට පත්කර ගත් දවසේම ඇඳුම් පැලඳුම් බෑගයක දමාගෙන නිවසින් පිටව ගියේ ආයේ කවදාවත් නිවසට එන්නේ නොමැති බව පවසමිනි.
ඇඳුම් පලඳුම් සහිත බෑගයද රැගෙන ඔහු ගියේ නදුනි නවාතැන් ගෙන සිටින නිවස සොයාගෙනය. එතැන් පටන් ඔහු සේවයට ගියේ එම නිවසේ සිටය. ඒ කෙසේ වෙතත් ඇය පෙර කී සූපවේදී තරුණයා සමගද පැවති සබඳතාව දිගටම පවත්වාගෙන ගියාය.
නදුනි සමග දෙවනුව සබඳතාව ඇතිකරගත් තරුණයා ඇය වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කළ අතර, එක් හෝටලයක පමණක් සේවය කර ලැබෙන මුදල් මදි හෙයින් එහි සේවය නිමවීමෙන් පසු වෙනත් හෝටලයක ද සේවයට ගොස් ඇත.
නදුනිගේ කලින් පෙම්වතා වූ සූපවේදී තරුණයා දින කීපයක්ම ඇයට ඇමතුම් ලබාගත්තත් ඊට ප්‍රතිචාර දැක්වූයේ නොමැති නිසා - මේ බව ඇගේ මවටද පවසා ඇය නවාතැන් ගෙන සිටි නිවස සොයා පැමිණ ඇත. නිවස දෙසින් අධික දුගඳක් හැමීම නිසා ඒ ගැන විමසිලිමත්ව තවදුරටත් සොයා බලා මේ බව පොලිසියට දැනුම් දී තිබේ.
පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත සරච්චන්ද්‍ර සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අශෝක නාමල් ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළහ.
නදුනිගේ නරක් වී ගොස් තිබූ සිරුර කාමරයේ බිම දමා තිබූ මෙට්ටයක් මත තිබුණු අතර, ඇය දෙවනුව ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය තරුණයා අතුරුදන්ව සිටියේය. අතුරුදන්ව සිටි එම පෙම්වතාගේ මුදල් පසුම්බිය, ජාතික හැඳුනුම්පත හා ජංගම දුරකථනය ද එම කාමරයේ තිබී පොලිසියට හමුවිය.
ලේ තැවුරුණු තියුණු පිහි දෙකක්ද ඇයගේ සිරුර වැටී තිබූ ස්ථානය අසල තිබී වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගනු ලැබීය. නදුනි සුරතලයට ඇති කළ ඉහළ වටිනාකමක් ඇති සුනඛයන් දෙදෙනකුද සුනඛ පැටව් තිදෙනෙක්ද මියගොස් සිටි ඇය අතහැර ගොස් තිබුණේ නැත.
එම සුනඛයන්ද නිරාහාරව ඇයගේ මළ සිරුර සමග ගත කර ඇත.

මියගියත් නදුනිට ආදරෙයි
තම දියණිය තවත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඇය සමග නිවසේ ගතකරන බව මව දැන සිටියත්, සූපවේදී පෙම්වතා ඒ බැව් දැනගත්තේ ඇයගේ ඝාතනයෙන් පසුවය.
“තවත් කොල්ලෙක් එක්ක නදුනි සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව මම දැනගෙන හිටියේ නැහැ.මටත් කිසිම සැකයක් ඇතිවුණේ නැහැ.මම මෙයාව බඳින්නයි හිටියේ .මගෙන් වරින් වර ලක්ෂ දහයක් විතර පහුගිය කාලයේ ඉල්ලාගෙන තිබුණා. මමත් එයා කියන කියන වෙලාවට කොහොම හරි සල්ලි දුන්නා. නදුනි සතුන්ට හරියට ආදරය කළා. එයා සුරතලයට සුනඛයන් පස් දෙනෙක්ම ඇතිකළා.ඒ සතුන්ට කන්න බොන්න පවා විය පැහැදම් කළේ මමයි.”
“මම නදුනිට හදවතින්ම ආදරය කළා. ඒ නිසා මම එයාට වෛර කරන්නේ නැහැ.නදුනි මතක් වෙන්නත් එක්ක මම එයා ආදරයෙන් ඇති දැඩි කළ සුනඛ සුරතලුන් පස් දෙනා රැකබලා ගන්නවා.”
ඔහු පොලිසියට පවසා සුනඛයන් පස් දෙනාද රැගෙන ගොස් ඇත්තේ “තවමත් මම එයාට ආදරේ” යැයි කියමිනි.
නදුනිගේ ඝාතකයා විසි දෙහැවිරිදි හෝටල් සේවකයා බවට පරීක්ෂණවලින් පෙනී ගිය නිසා ඔහු සොයා මෙහෙයුම් සිදුකරගෙන ගියේ කළුතර දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි වීරසූරියගේ උපදෙස් හා මෙහෙයවීම යටතේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන තරුණයා දුම්රියක ගැටී පාදයකට හානි වී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටින බවට ලද තොරතුරක් අනුව පානදුර උතුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහු සොයා එහි ගියේ පසුගිය නවවැනිදාය.
සැකකරු දුම්රියට පනී
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, පොලිස් ආරක්ෂාව යටතේ තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ. මෙම තරුණයා පසුගිය පස් වැනිදා මොරටුව දුම්රිය ස්ථානයට පැමිණ ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැන ඇති අතර, එහිදී එක් පාදයකට හානි සිදුවීමෙන් අනතුරුව පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට මාරුකර තිබිණ.
පොලිසිය මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ පාදයකට ශල්‍ය කර්මයක්ද සිදුකර තිබූ බව වෛද්‍යවරුන්ගෙන් දැන දැනීමට ලැබී ඇත.පොලිසිය සැකකරුගෙන් කෙටි ප්‍රකාශයක් ලබා ගත්තේ ඔහු පත්ව සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
“හෝටලයේ වැඩ ඉවර වෙලා මම ගෙදර එද්දි හුඟක් රෑ වෙලා. පාරෙ බස් නොතිබුණු නිසා මම වැඩ කරන හෝටලේ ඉඳලා ගෙදරට ආවේ පයින්මයි.හෝටලයේ ඉඳලා ගෙදරට කිලෝමීටර් හතරකට වැඩි දුරක් තියෙනවා. හෝටලයේ වැඩ කරලා මහන්සියටයි,කිලෝමීටර් හතරක් විතර පයින් ආපු ගමන් මහන්සියටයි හොඳටම හෙම්බත් වෙලා හිටියේ.ඇඟපත හෝදාගෙන ගෙදර ඉස්සරහ පුටුවක හාන්සි වෙලා හිටියා.”
“නදුනිට කොච්චර සල්ලි දුන්නත් ඇතිවීමක් නැහැ.මම පුටුවේ හාන්සි වෙලා ඉද්දි නදුනි ඇවිත් සල්ලි ඉල්ලුවා.මං කිව්වා මා ළඟ දැන් සල්ලි නැහැ, තවම පඩි ලැබුණේ නැහැ කියා. ඒ වෙනකොට මම නදුනිට ලක්ෂ අටක් විතර දීලයි තිබුණේ. මම සල්ලි නැහැයි කියපු ගමන් නදුනිට තරහ ගිහින් මට අපහාස කරමින් බනින්න පටන් ගත්තා. මට සල්ලි දුන්නේ නැත්නම් ඒකෙ පළිය ගන්නේ උඹේ නංගිගෙන් මගේ කොල්ලෝ දාලා. සල්ලි දෙන්න බැරි නම් උඹ දැන්ම ගෙදරින් පලයන්.ආයේ මේ පැත්ත පළාතක එන්න එපා කීවා. සුන්දර පෙනුමක් තිබුණට නදුනි හරිම නපුරුයි.”
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර තරුණයා එසේ පවසා ඇතැයි දැනගැනීමට ඇත.
ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙමින් සිටි අතරවාරයේ තරුණයෙක් පානදුර උතුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී දුක් ගැනවිල්ලක් කියා සිටියේය.
“මම මොරටුව ප්‍රදේශයේ රස්සාවක් කරන කාලයේ නදුනිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා.අපි දෙන්නා විවාහ වෙන්නයි සූදානම් වෙලා හිටියේ. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීතිය හදාරන බව ඇය මාත් එක්ක කියා තිබුණා. නීති පීඨයට බඳින්න ඕන කියලා මගෙන් වරින් වර සල්ලි ඉල්ලාගෙන තිබුණා. ඒ වෙනකොට මම ලක්ෂ දහයක් ලබා දී තිබුණා.ඇය මගේ අනාගත බිරිඳවීමට සිටි නිසාත්, නීතිඥවරියක් වීමට ඉගෙන ගන්නා නිසාත්, මම ඇය ඉල්ලන ඉල්ලන වාරයක් පාසා සල්ලි දුන්නා. 2024 වසරේ දී තමයි මම එයාට වරින් වර සල්ලි දුන්නේ. ඊට පස්සේ එයා මාව මගහැර ගියා.මගෙන් ඉල්ලා ගත්ත සල්ලි දුන්නෙත් නැහැ.”
මවටත් වියදම් කරලා
පොලිසිය පවසන ආකාරයට මෙම තරුණියගේ පියා මියගොස් ඇති අතර, මව වැල්ලවත්ත ප්‍රදේශයේ ජීවත්වේ. විවාහ වෙන බවට පොරොන්දු වී තරුණයන් මුළාවේ දමා ලක්ෂ ගණනින් මුදල් කඩා වඩා ගත් බව කියන මෙම තරුණිය එම මුදල්වලින් මවද නඩත්තු කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ ඇයගේ බහට රැවටී ලක්ෂ ගණන් මුදල් ඇයට පිදූ තරුණයෙන් තවත් සිටිව හැකි බැව් පොලිසිය සැක පහළ කරයි. නදුනිගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය නව වැනිදා පානදුර මූලික රෝහලේදී පවත්වනු ලැබුවේ එම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කේ . මුදිත කුඩගම විසිනි.
ගෙල, පපුව, හිස සහ මුහුණු ප්‍රදේශයේ කැපුම් තුවාල ඇති බවත්, පිහි ඇණුම් පහරවල් දහයක් පමණ සිරුරේ ඇති බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙන බව පොලිසිය පවසයි.
කළුතර දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි වීරසූරියගේ පූර්ණ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත පානදුර සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්තිගේ මෙහෙයවීමෙන් පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සරච්චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අශෝක නාමල්, සැරයන් නන්දන(50690), කොස්තාපල්වරුන් වන ලියනගේ(31779), බණ්ඩාර(28765), දිසානායක(97375) සහ විජේසිංහ(101868) යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප පානදුර සමන් කාරියවසම්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd