ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අණපනත් රාශියකින් සමන්විත වේ. නමුත් ශ්‍රමබළකාය නියෝජනය කරන ගෘහසේවකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය ප්‍රතිපාදන නොදක්වයි. 2022 වසරේ සිදුකරන ලද සංගණනය අනුව 66,677 පමණ වූ ගෘහස්ථ සේවකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමබළකාය නියෝජනය කරයි. ජාත්‍යන්තර ගෘහස්ථ සේවක දිනය සෑම වසරකම ජුනි 16 දිනට යෙදී ඇති අතර, ගෘහසේවකයන් සම්බන්ධයෙන් අදාළ නීති තත්ත්වය නීති ප්‍රතිසංස්කරණ සහ අනාගත දිශානතිය සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

ගෘහසේවක යනු 

සරලව ගෘහසේවකයන් ලෙස හඳුන්වන්නේ ගෘහස්ථ සේවා කටයුතුවලට දායකත්වය සපයන සේවකයන් ය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2011 වසරෙහි පනවන ලද  The Decent Work for Domestic Workers සම්මුතියේ පළවන වගන්තිය සඳහන් කරන ආකාරයට සේව්‍ය සේවක සබඳතාවය තුළ ගෘහ ආශ්‍රිත  කටයුතු කරන පුද්ගලයා “ගෘහසේවකයෙක්” ලෙස අර්ථ නිරූපණය කරයි. ඒ අනුව ගෘහපාලක, පිරිසිදු කරන්නන්, අරක්කැමියන්, දරුවන් සහ වැඩිහිටියන් රැක බලා ගන්නා සේවකයන්, මුරකරුවන්, උද්‍යාන කම්කරුවන් සහ නිවාස රියැදුරෝ මෙම ගෘහසේවකයන් යන කණ්ඩායමට අයත් වෙති. එසේම නිවසේ නැවතී සේවය කරන (Live in) සහ නිවසින් පිටත සිට සේවයට පැමිණෙන (Live out) වශයෙන් ගෘහසේවකයන් වර්ගීකරණය කළ හැකිය.

ගෘහසේවකයන්ට අදාළ නීති

ශ්‍රී  ලංකාවේ කම්කරු නීතිය තුළ අණ පනත් රාශියක් පවතින නමුත්, විශේෂයෙන් ගෘහසේවකයන් සම්බන්ධයෙන් පනවන ලද නීති වශයෙන් හඳුනාගත හැක්කේ යටත් විජිත සමයේ පනවන ලද 1871 අංක 28 දරන ගෘහස්ථ සේවකයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත (The Domestic Workers Registration Ordinance) සහ රියැදුරන් සම්බන්ධයෙන් අදාළ වන 1912 අංක 12 දරන ආඥා පනත්  (The Chauffeurs Ordinance) පමණි. මෙම නීතිවල මූලික අරමුණ වූයේ තම නිවාසවල සේවයේ යෙදෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සම්බන්ධ ලේඛන පවත්වා පවත්වාගෙන යාම පමණි. රටේ සෙසු සේවකයන් ආරක්ෂා කිරීම සඳහා පවතින කම්කරු නීති රාමුව තුළ ඇති සාප්පු සහ සහ කාර්යාලීය සේවක පනත, පඩි පාලක සභා ආඥා පනත, මාතෘ ප්‍රතිලාභ ආඥා පනත සහ කර්මාන්ත ශාලා ආඥා පනත ආදී අණපනත්වල ප්‍රකාශිතව සහ ව්‍යංගව ගෘහසේවකයන් බැහැර කර ඇති ආකාරය හඳුනාගත හැකිය. උදාහරණ වශයෙන්  සාප්පු සහ කාර්යාලීය සේවක පනත අදාළ වන්නේ සාප්පු හෝ කාර්යාලයේ සේවයේ නියුක්ත සේවකයන් සම්බන්ධව පමණි.සේවාස්ථානය යන්නට සාප්පු කාර්යාල කර්මාන්තශාලා අයත් වන අතර, පෞද්ගලික නිවාස ඒ මගින් ආවරණය වන්නේ නැත.මේ නිසා ඉතාම සීමිත අවස්ථා කිහිපයක දී හැර පවතින නීති රාමුවෙන් ගෘහසේවකයන් බැහැර වී ඇති බව සඳහන් කළ හැකිය.

ගෘහසේවකයන් කම්කරු නීතියෙන් බැහැරවීම තුළ ඔවුන්ට නීතියෙන් සෙසු සේවකයන්ට හිමිවන නීතිමය රැකවරණය හිමි නොවන බව පෙනේ. විශේෂයෙන් ගෘහසේවකයන්ගේ හුදකලා සේවා පරිසරය තුළ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ ප්‍රවණතාව ඉතාම ඉහළය.

ගෘහසේවකයන් සම්බන්ධව කම්කරු නීතිය බොහෝ සෙයින් නිහඬ තත්ත්වයක් තිබෙන නිසා ඔවුන් සම්බන්ධ ගැටලුවකදී වෙනත් නීතිවල ආරක්ෂාව පිළිබඳ සලකා බැලීමට සිදුවේ. විශේෂයෙන් ඔවුන් ද සෙසු සේවකයන් මෙන් රටේ සාමාන්‍ය පුරවැසියන් නිසා මානව හිමිකම් නීතිය, ගිවිසුම් නීතිය, අපරාධ නීතිය සහ දිලික්ත නීතිය වැනි නීති කෙරෙහි අවධානය යොමු කළ හැකිය. එමෙන්ම ගෘහසේවකයන් සම්බන්ධව ඔවුන්ගේ රැකියා අවසන් කිරීමකදී කම්කරු විනිශ්චය සභා මගින් යුක්ති සහගත සහ සාධාරණ ප්‍රතිකර්ම වශයෙන් හිඟවැටුප් ලබාදුන් අවස්ථා හඳුනාගත හැකිය. එසේම ගෘහ සේවකයන් සම්බන්ධව කායික මානසික, ලිංගික හිංසනයන්ට අදාළව ශ්‍රී  ලංකා පොලිසිය වෙත පැමිණිලි කිරීම හරහා ශ්‍රී  ලංකාවේ අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත. එමෙන්ම වෘත්තීය සමිති ආඥාපනත යටතේ ගෘහසේවකයන්හට වෘත්තීය සමිති පිහිටුවීමටත් වෘත්තීය සමිතිවලට බැඳීමටත් ඉඩ ප්‍රස්තාව හිමි වේ. ගෘහසේවකයන් සංවිධානය වූ වෘත්තීය සමිති පවතින අතර, ඒ ඔස්සේ සේවක අයිතින් දිනාගැනීමට ඉල්ලීම් කළ හැකිය.

ගෘහසේවක අයිතීන් 

ජාත්‍යන්තර කම්කරු නීතිය තුළ ගෘහසේවකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වූ අතර, ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් මෙම ගෘහසේවකයන්ගේ ආරක්ෂාව සහ ඔවුනට ගෞරවනීය සේවා තත්ත්වයක් ලබාදීමේ අරමුණින් The Decent Work for Domestic Workers Convention (C 189) and Recommendations (R 201) පනවා තිබේ. මෙම සම්මුතිය තුළ ගෘහසේවකයෙකු යනු කවුද? ගෘහස්ථ සේවා යනු මොනවා ද? යන කරුණු මෙන්ම කම්කරු නීතිය සහ මානව හිමිකම් නීතිය යන දෙකටම අදාළව සේවක අයිතිවාසිකම් සහ මානව ගරුත්වය සහිතව සේවය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට අදාළ සියලු කාරණා ඉතා දීර්ඝ වශයෙන් අන්තර්ගත කර තිබෙන බව පෙනේ. එසේම මෙම සම්මුතිය තුළ සේවා නියම සහ කොන්දේසි, සේවක රැකවරණය, ජීවත්වීමට අදාළ කොන්දේසි වැටුප් සහ දීමනා සම්බන්ධව, ආරක්ෂිත සහ සෞඛ්‍යය සම්පන්න සේවා පරිසරයකට අදාළ කාරණා අන්තර්ගත වනවා සේම ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. විශේෂයෙන්ම මෙම සම්මුතිය හරහා ගෘහසේවකයන් ගේ රැකවරණය සැලසීමේ දී සංක්‍රමණික  ගෘහසේවකයන් ද ආවරණය කර තිබීම විශේෂයෙන් වැදගත් වේ. නමුත් මෙම සම්මුතියට පාර්ශ්ව බවට පත් වී ඇත්තේ රටවල් හතළිහක්  පමණි.   ශ්‍රී ලංකාව ද එහි පාර්ශ්වකාර රාජ්‍යයක් බවට පත් වී නැත.

ගෘහසේවකයන් සම්බන්ධව ඔවුන්ගේ රැකියා අවසන් කිරීමකදී කම්කරු විනිශ්චය සභා මගින් යුක්ති සහගත සහ සාධාරණ ප්‍රතිකර්ම වශයෙන් හිගවැටුප් ලබාදුන් අවස්ථා හඳුනාගත හැකිය. එසේම ගෘහ සේවකයන් සම්බන්ධව කායික මානසික ලිංගික හිංසනයන්ට අදාළව ශ්‍රී  ලංකා පොලිසිය වෙත පැමිණිලි කිරීම හරහා ශ්‍රී  ලංකාවේ අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත.

ගෘහසේවකයන් ආරක්ෂා කිරීම සම්බන්ධව සාධනීය පියවර ගන්නා ලද රටවල් කෙරෙහිද අවධානය යොමු කිරීමේ දී උරුගුවේ සහ පිලිපීනය සුවිශේෂී වැදගත්කමක් ඇති රටවල් ලෙස හඳුනා හඳුනා ගත හැකිය. උරුගුවේ ලෝකයේ ගෘහසේවකයන්ගේ සම්මුතිය අත්සන් කළ පළමු රට වන අතර, ඔවුන් ගෘහසේවකයන් සම්බන්ධ ඉතාම ප්‍රගතිශීලී  විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත. එහි ගෘහස්ථ සේවකයන් සාමූහික කේවල් කිරීම් හරහා බොහෝ අයිතිවාසිකම් හිමි කරගෙන තිබෙන බව පෙනේ.  එමෙන්ම පිලිපීනය ගෘහසේවකයන් ආරක්ෂා කිරීමට අදාළ සම්මුතිය අත්සන් තබන ලද පළමු ආසියාතික රට බවට හඳුනාගත හැකිය.  පිලිපීනය තම ගෘහ සේවකයන්ගේ රැකවරණය උදෙසා The Republic Act (10.361)- Batas Kasambahy Law පනවා තිබේ. එය ජාත්‍යන්තර ගෘහසේවක සම්මුතිය පාදක කර ගනිමින් ඉතාම සංවිධිත ලෙසත් සම්පූර්ණ ලෙසත් පනවා ඇත. ඒ අනුව ඒ තුළ පිලිපීන සහ පිලිපීන සංක්‍රමණික ගෘහ සේවකයන් ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන අන්තර්ගත කර තිබේ. අවම වැටුප, වැටුප් ගෙවීමේ ක්‍රමය, සේවා නියම කොන්දේසි, ආරක්ෂාව, සෞඛ්‍ය සම්පන්න සේවා වටපිටාවක් ඇතුළු ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණය අන්තර්ගත කර ඇත.

සම්මත රැකියා ගිවිසුම

ශ්‍රී ලංකාවේ මෑතකාලීන නීති තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීමේදී දීර්ඝකාලීනව ගෘහසේවක වෘත්තීය සමිති සහ බලපෑමේ කණ්ඩායම් මගින් කරන ලද ඉල්ලීම් කෙරෙහි ද අවධානය යොමු කරමින් කම්කරු අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය එක්ව ගෘහ සේවකයන් සම්බන්ධයෙන් සම්මත රැකියා ගිවිසුමක්- ආදර්ශ ගිවිසුමක්  (The Model Contract for Employment) සකස් කර ඇත. එය Live in- නිවසේ නැවතී සේවා සපයන සහ Live out- නිවසට පැමිණ සේවා සපයන වශයෙන් ආකාර දෙකකට සකස් කර ඇත. මෙම ආදර්ශ ගිවිසුම සකස් කිරීම ගෘහසේවකයන් ගේ රැකවරණය සම්බන්ධයෙන් ගන්නා ලද ඉතාම සාධනීය පියවරක් වන අතර, ඒ මගින් ගෘහසේවකයන් සම්බන්ධ සේව්‍ය සේවක සබඳතාව විධිමත් කිරීමක් සිදුවේ. සේවා ගිවිසුම සේවය සම්බන්ධව තිබෙන වැදගත්ම ලේඛනය වීම ඊට හේතු වේ. ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ශ්‍රමිකයන් සඳහා වූ සම්මත රැකියා ගිවිසුම තුළ දේශීය නීති සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් විශ්ලේෂණය කරමින් කරුණු අන්තර්ගත කර ඇත. එමෙන්ම ආදර්ශ ගිවිසුම තුළ “ශ්‍රී ලංකාවේ කම්කරු නීතිවල ගෘහ සේවකයන් සඳහා නිශ්චිත විධිවිධාන නොමැති වුවද පවතින නීති ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව සහ සමානාත්මතාවය සහ මානව හිමිකම් මත පදනම් වූ අපරානුමත කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතීන්  ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අර්ථ නිරූපණය කළ හැකිය" වශයෙන් සඳහන් කර ඇත.එමෙන්ම සේවායෝජකයන් අනුගමනය කළ යුතු ප්‍රධාන  පියවර කිහිපයක් එහි සඳහන් කර ඇත. ඒ අනුව සේවකයා සමග ගිවිසුමේ නියමයන් සාකච්ඡා කිරීම, දේශීය නීති රෙගුලාසි සහ සාමූහික ගිවිසුම්වලට අනුකූල වීම සහතික කිරීම, දෙපාර්ශ්වයටම භාෂාව තේරුම් ගත හැකි බව සහතික කරමින් සිංහල හෝ දෙමළ භාෂාව භාවිත කිරීම, රැකියා නියමයන් ගෙනහැර දක්වන පැහැදිලි ලිඛිත ගිවිසුමක් ලබා දීම ආදී කාරණා අන්තර්ගත කර ඇත. එසේම මෙම ආදර්ශ සේවා ගිවිසුම තුළ රැකියා ගිවිසුමේ පාර්ශ්වයන් ලෙස සේවා යෝජක ගේ තොරතුරු සහ සේවකයාගේ තොරතුරු, හදිසි අවස්ථාවක දැනුම්දිය යුතු පුද්ගලයා, සේවා කාලය, රැකියා ස්ථානය, රැකියා වර්ගය සහ රැකියා විස්තරය,වැටුප් සහ ප්‍රතිලාභ, වැඩකරන වේලාවන්, විවේක නිවාඩු සහ අනෙකුත් නිවාඩු, සමාජ ආරක්ෂණය, වෛද්‍ය ප්‍රතිකාර, මාතෘ නිවාඩු, ජීවත්වන වැඩකරන පරිසරය හිතකාමී පරිසරයක් විය යුතු බව සහ ආරවුල් විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් නොහැකි නම් කම්කරු කොමසාරිස් ජනරාල් වෙත පැමිණිලි කළ යුතුය යනාදී කාරණා රාශියක් අන්තර්ගත කර ඇත.

ඒ අනුව එය සාධනීය පියවරක් ලෙස හඳුනාගත හැකි නමුත් එහි යම් නෛතික ගැටලු කිහිපයක් ද හඳුනාගත හැක. 

ගිවිසුමේ ගැටලු 

මෙම ගිවිසුම නෛතිකව බලාත්මක ලේඛනයක් නොවන අතර, එම ආදර්ශ ගිවිසුමේම "එය උපදේශන මෙවලමක් සහ සාකච්ඡාව සඳහා පදනමක් ලෙස සකසා ඇත" වශයෙන් සඳහන් වේ. එම නිසා එය නීතිය යටතේ නෛතික වලංගුභාවය ලබා නොමැති නිසා කම්කරු නීතියක් ලෙස පනතක තිබෙන වලංගුභාවය නොලබන අතර, නීතියක් කඩ කිරීමකදී ලබාගත හැකි සහන එමගින් ලබාගත නොහැක. මෙමආදර්ශ ගිවිසුම තුළ අවම වැටුප් සම්බන්ධව, අර්ථසාධක හිමිකාරිත්වය සම්බන්ධව කරුණු අන්තර්ගත නොවේ. විශේෂයෙන් ආරවුල් නිරවුල් කිරීම සම්බන්ධව ගත්විට සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත් එසේ නොහැකි වුවහොත් කම්කරු කොමසාරිස් ජනරාල් වෙත පැමිණිලි කළ යුතු බවත් සඳහන් වේ. ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයක් පැහැදිලි නොකිරීම තුළ සේවකයා සතු අඩු කේවල් කිරීමේ හැකියාව මත ආරවුල් සහගත තත්ත්වයකදී සේව්‍යයා බලවත්වීම තුළ සේවකයා යම් අසාධාරණයකට ලක් වීමට ඉඩ ඇත.

සේව්‍ය සේවක දෙපාර්ශ්වයටම සාධාරණ වන අන්දමින් මනා සේව්‍ය සේවක සබඳතාවයක් පවත්වාගැනීම සඳහා ගෘහසේවකයින් සම්බන්ධයෙන් අදාළ නීති තත්ත්වය වර්ධනය වියයුතු බව පැහැදිලි වේ. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටක් වශයෙන් ගෘහ සේවකයන් සම්බන්ධ සම්මුතිය අත්සන් කිරීම ඉතාම වැදගත් වේ. එමෙන්ම පිලිපීනය මෙන් ගෘහස්ථ සේවකයන් සම්බන්ධයෙන් වෙනම පනතක් හඳුන්වා දීම හරහා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සේව්‍ය සේවක සබඳතාවය මනාව පවත්වාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර ගත හැකිවේ. එසේම පවතින නීති ගෘහසේවකයන් ආවරණය වන පරිදි සංශෝධනය කිරීම හරහා ගෘහසේවකයින් ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීමට හැක. එමගින් ගෘහසේවකයන් සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතිය මගින් අපේක්ෂා කරන ගෞරවනීය තත්වයක් ශ්‍රී  ලංකාවේ නීතිය තුළ  ගෘහසේවකයන් සම්බන්ධව නිර්මාණය  කිරීමට හැකි වනු ඇත.