පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස පෙනී සිටිමින් භෞත චිකිත්සකවරියක රවටා ඇගේ මුදල් වංචාකර අවසානයේ ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවූ නාරම්මල පදිංචිකරුවකු වන චම්පික ශ්‍රියාන් ජයසුන්දර (අවු.43යි.දිනේෂ් දිසානායක යන ව්‍යාජ නමින් පෙනී සිටියේය.)පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.මේ සිදුවීමෙන් පසුව අනාවරණය වෙමින් පවතින්නේ ඔහු මෙලෙස දිවයින පුරා කාන්තාවන් ඇතුළුව විවිධ පුද්ගලයන් රවටා මුදල් සහ දේපළ වංචා කර ඇති බවය. පොලිස් විමර්ශනද සහාය කරගනිමින් එම සිදුවීම් ඇසුරෙන් සකස් කළ විශේෂාංගයකි මේ. 

“මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන අවුරුද්දක් විතර ආශ්‍රය කළා.පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් කියලා තමයි කිව්වේ. එයා හරිම හැන්ඩ්සම්. එයාට හිත යන්න ඒකත් බලපෑවා. බැඳලා කැනඩා යමු කියලා කිව්වා.මම එයා විශ්වාස කළා.බොහොම වැදගත් පෙනුමක් තිබුණේ. මේ මිනිහා බොරු කොණ්ඩයක් දාගත්ත තට්ටයෙක් කියලා දැනගන්නකොට මම පරක්කු වෙලා .ඒ වෙනකොට මේ හොරාට කෝටියක  මුදල් දීලා ඉවරයි.”

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි හොඳ අධ්‍යාපනයක්ද ලබා  රැකියාවක ද නිරතව සිටින තරුණියක් කීවාය. ඇය මේ දුක් ගැනවිල්ල පවසා ඇත්තේ නුවරඑළියේ උසස් පොලිස් නිලධාරියකුට ජංගම දුරකථනයෙන් අමතා ඇඬු කඳුළින් යුතුවය.

හොර මෘදුකාංග ඉංජිනේරුවරයා සමග විවාහ වී කැනඩා යාමේ සිහිනය සඵල කර ගැනීම සඳහා ඇය මෙම මුදල සොයා ගෙනඇත්තේ ඇයගේ මව්පියන්ට අයත් නිවස සහ රන්භාණ්ඩ උකස් කිරීමෙනි.අහල පහළ අයගෙන් පොලියටද මුදල් ඉල්ලාගෙන වංචනිකයාට ලබා දීමට ඇය පෙලඹුණේ ඔහුගේ බස්වලට රැවටීම නිසාය.

පොලිසියට මේ ගැන පැමිණිලි කරන ලෙස නුවරඑළියේ උසස් පොලිස් නිලධාරියා මේ තරුණියට උපදෙස් ලබා දී ඇත. මේ පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක රැකියාවක නිරතව සිටින තරුණියක්ද විවාහ කරගන්නා බවට පොරොන්දු වී  ඇය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබිණි.

ඔහු ගැන කොතරම් විශ්වාස කළාද යත් ඇය තම පියා විසින් තෑග්ගක් වශයෙන් දුන් කාර් රථයද ඔහුට තෑගි කර ඇත්තේ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග යැයි සිතාය.ඒ කාර් රථයත් රගෙන ඔහු යන්නට ගියේ එතෙක් පවත්වාගෙන ආ ප්‍රේම සම්බන්ධතාවට ද තිතක් තබමිනි.

කාර් රථය ඉල්ලා තරුණිය නිතර ඔහුට කතා ඇතත් ඔහු ඇය මගහැර සිටියේය.

අම්පාර රෝහලේ සේවය කළ භෞත චිකිත්සකවරියක වූ ශාමා දර්ශනී තරුණිය ඝාතනය කර නුවරඑළියේ සිට තෙල්දෙණියට එම සිරුර රැගෙන විත් තිබුණේ අම්පාරේ පෙම්වතිය රවටා ලබාගත් එම කාර් රථ‌‌ෙයනි.මළ සිරුර  සඟවා තිබූ එම කාර් රථයද නඩු භාණ්ඩයක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම හොර ඉංජිනේරුවරයා දර්ශනී ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට පසු වන්නේ රිමාන්ඩ් භාරයේය.

මේ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොර ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාව ද කුණ්ඩසාලේ සභාවේ කුණු ට්‍රැක්ටරය පදවන රියදුරා සහ කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපති තනතුර දැරූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද රිමාන්ඩ් භාරයේ පසුවෙති.

මේ  අනංගයා පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තරුණියක් ද විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 25ක මුදලක් වංචා කර ඇතැයි අනාවරණය වේ.ඒ ගැන ඔහුගේ බහට රැවටුණු තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ 2023 වසරේ නොවැම්බර් මාසයේ දිනකය.

මෙම හොර මෘදුකාංග ඉංජිනේරුවරයා වංචා විමර්ශන කාර්යාංශය මඟින් 2022 වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණියක් විවාහ කර ගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදී ඇය සතු රුපියල් 7,000,000ක කාර් රථයක් වංචනකව ලබාගැනීම සම්බන්ධයෙනි.

ඔහු තරුණියන් රවටා කෝටි ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වූ නඩු ගණනාවක් ද අධිකරණවල විභාග වෙමින් පවතී.

ඔහු තරුණියක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් 1721000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාග වන්නේ අලු‍ත් කඩේ අංක පහ උසාවියේය.එම අධිකරණ අධිකරණයේම තව නඩුවක් විභාග වෙමින් පවතින්නේ විවාහ වන බවට තරුණියකට පොරොන්දු වී ඇය සතු රුපියල් 1376000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙනි.

නුවරඑළිය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසූ ආකාරයට ඔහු වරින් වර දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් සමග විවාහ වෙන බව පවසා ඔවුන් සතු කෝටි ගණනක දේපළ සහ මුදල් වංචා කර ඇත.

 

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේද ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතී.තරුණියක් විවාහ කර ගන්නා බවට පවසා රුපියල් 11873000 මුදලක් වංචා කළේ යැයි කියමින් එම නඩුව ඔහුට එරෙහිව පවරා ඇත. හොරණ කඩුවෙල සහ අලු‍ත්කඩේ යන උසාවිවල මෙවැනිම ආකාරයේ වංචා නඩු ඔහුට එරෙහිව පවරා තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසූ ආකාරයට ඔහු වරින් වර දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් සමග විවාහ වෙන බව පවසා ඔවුන් සතු කෝටි ගණනක දේපළ සහ මුදල් වංචා කර ඇත.

ඔහුට රැවටුණු බොහෝ තරුණියන් ලැජ්ජව නිසා පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන බව පොලිසියට පෙනී ගොස් තිබේ. ඉදිරියේදී මොහුට එරෙහිව වංචාකිරීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පැමිණිලි ඉදිරිපත් කරන ලෙස එම තරුණියන්ගෙන් ඉල්ලීම් කරන බව පොලිසිය පවසයි.

“අනේ සර් වෙන්න ඕන දේවල් සේරම දැන් උනා. අපට සමාජෙටත් මුහුණ දෙන්න බැහැ. මේ පල් හොරා නිසා බොහොම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේවල් අහිමිවෙලා ඉන්නේ.”

යැයි සමහර තරුණියන් පවසා ඇතැයි පොලිසිය  කියයි.

“සර් මෙයා මාව විවාහ කරගෙන කැනඩා එක්කගෙන යනවා කියලා පොරොන්දු වුනා. පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් කියලා තමයි මාත් එක්ක ප්‍රේම සම්බන්ධතාව ගොඩනගා ගත්තේ. ජැන්ඩියට හැඳ පැලඳගෙන තමයි නිතරම ඉන්නේ.බොහොම සාන්ත දාන්ත පෙනුමක් තමයි මෙයාට තිබුණේ.ඒ වගේම වැදගත් පවුලක කෙනෙක් විදිහට හැසිරෙන්නේ.කවදාවත් කිසිම සැකයක් ඇතිවුණේ නැහැ.

ගෙදර ආපුවාම අම්මට තාත්තට පවා දණගහලා වැඳලා යන්නේ. හොඳ බෑනා කෙනෙක් අපිට ලැබෙන්න යන්නේ.මේ ළමයා හරිම ගුණ යහපත් ළමයෙක්.මේ වගේ ළමයි අද කාලේ හොයා ගන්නත් හරිම අමාරුයි. දුවේ උඹේ පෙර පිනකට තමයි මේ වගේ ගුණ යහපත් ළමයෙක් ලැබුණේ යැයි කියා අම්මා කිව්ව වාර අනන්තයි. අප්‍රමාණයි.නමුත් අන්තිමේදී වුණේ අපි කිසි කෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච   දෙයක්” 

ඔහුට රැවටුණු තරුණියක් පොලිසියට පවසා ඇත.

ඇයගේ  සිහින මාලිගාව කඩා වැටුණේ බලාපොරොත්තු නොවූ ආකාරයෙනි.ඇය සතු ලක්ෂ ගණනක මුදල් ඔහුට පරිත්‍යාග කර තිබුණේ අනාගත සැමියා වීමට යන නිසාය.

“එයා නිදාගෙන හිටිය ඇඳේ කොණ්ඩ ගස් වැටී තිබුණා. කොණ්ඩ ගස් දැකලා මම ඇහැව්වා මොකද කොණ්ඩේ යන්නේ කියලා.එතකොට කිව්වා නාන වතුරවල කිවුල් ගතිය නිසයි.මම ඒකට බෙහෙත් ගන්නවා කියලා.මමත් ඉතින් ඒක විශ්වාස කළා. නුවරඑළියේදී ඝාතනය කෙරුණු අක්කාගේ සිද්ධියෙන් පස්සේ තමයි මම දැනගත්තේ බොරු කොණ්ඩයක් පාවිච්චි කර ඇති බව.බොරු කොණ්ඩයක් පාවිච්චි කරනවා කියලා මට කවමදාවත් දැනුණේ නැහැ.”

රැවටීමට ලක්වූ තවත් තරුණියක් පොලිසියට පැවසුවාය.

යාපනයේදී හොර ඉංජිනේරුවරයා පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුගේ ගමන් බෑගය තුළ තිබී ඒ බොරු කොණ්ඩයද සොයා  ගෙන තිබිණ.මේ පුද්ගලයාට රැවටුණු තරුණියන් වැඩි දෙනෙකු පවසා ඇත්තේ කිසිදු සැකයක් ඇති නොවන ආකාරයට ඔහු හැසුරුණු බවය. දර්ශනීගේ ඝාතනයේ සැකකරු ලෙස හසු වී ඔහුගේ පැටිකිරිය හෙළි නොවන්නට තවත් තරුණියන් රැසක් මොහුගේ දැලට පැටලෙනු ඇති බව පොලිසිය පෙන්වා දුන්නේය.

ඔහු ගැන පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ තරුණියන් දැලේ දා ගෙන ඔවුන් සතු දේපළ සහ මුදල් වංචාකිරීමට අමතරව පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීම ද සිදුකරගෙන ගොස් තිබෙන බවය.

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු දෙදාස් 2013 වසරේදී බියර් අලවිසලක් පවත්වා ගෙන යාමට බලපත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් 300,000 මුදලක් වංචා කිරීම සහ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයකුට එම වසරේදීම බියර් අලෙවිසලක් පවත්වාගෙන යාමට බලපත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් 290,000 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වූ නඩු දෙකක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

යුරෝපීය රටක රැකියාවකට යවන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල්4700000 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක්ද අධිකරණයේ පවතී. විදේශයන්හි සිට වාහන ගෙන්වා දෙන බව පවසා රුපියල් 200,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක් ද තිස්සමහාරාම අධිකරණයේ හොර ඉංජිනේරුවරයාට එරෙහිව විභාග වෙමින් පවතින බව පොලිසිය කියයි.

මෙවැනි ආකාරයට විවිධ ආකාරයට මුදල් වංචා කිරීමේ සිද්ධීම් සම්බන්ධයෙන් පෑලියගොඩ ,ජා ඇල යන පොලිස් ස්ථාන මගින් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ද එම හොර ඉංජිනේරුවරයා වරින් වර පොලිස් අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නුවරඑළිය දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාරගේ පූර්ණ අධීක්ෂණය යටතේ නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා සහ නුවර එළිය සහකාර පොලිස් අධිකාරී(1)  චන්දන බස්නායකගේ උපදෙස් සහ මෙහෙයවීම යටතේ නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සංජීව, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් සහ නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය