
ජීවිතයේ සමහර සටන් පන්ති කාමරවල හෝ විභාග ශාලාවලදී නොව, රෝහල් ඇඳක් මත ආරම්භ වෙයි. දරාගත නොහැකි වේදනාවන්, නිමක් නැති ප්‍රතිකාර, අහිමි වූ සිහින සහ හෙට දවස ගැන අවිනිශ්චිත බිය මැදත්, සමහරු ජීවිතය අත් නොහරිති. මේ එවැනි තරුණයකුගේ කතාවකි.
අතේ පොත් වෙනුවට සේලයින් බෝතල් තිබූ දින ගණන වැඩිය. ගුරුවරුන්ගේ හඬ වෙනුවට පණ අදින යන්ත්‍රවල හඬ ඔහුට නිතර ඇසුණි. විභාග අපේක්ෂකයින් විභාගයට සූදානම් වෙද්දී, ඔහු සටන් කළේ ජීවිතය බේරාගැනීමේ සටනකි. එහෙත් සිහිනයක් අත්හැරීමට ඔහු කිසිදා තීරණය කළේ නැත. පිළිකා රෝගය ඔහුගේ ශරීරය පීඩාවට පත් කළද, ඔහුගේ සිහින බිඳදැමීමට එයට නොහැකි විය. වේදනාවට වඩා බලාපොරොත්තුවත්, අසරණකමට වඩා අධිෂ්ඨානයත් විශ්වාස කළ ඔහු, අවසානයේ පිළිකාව පරාජය කරමින් උසස් පෙළ විභාගය ජය ගත්තේ ජීවිතය හමුව නොනැමෙන මිනිස් හිතක අපූරු ශක්තිය ලොවටම කියා දෙමිනි.
සංගීත් නිෂාර මුණසිංහ තම පවුලේ වැඩිමල් දරුවාය. ඔහුට බාල සහෝදරියක් සහ සහෝදරයෙක් සිටිති. යටියන්තොට, මත්තිමුඩු ගම්මානයේ උපත ලැබූ සංගීත්ගේ පියා පෞද්ගලක ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ අතර, රැකියාවක් නොකළ මව සිය දරුවන්ගේ සෑම අවශ්‍යතාවයක්ම ආදරයෙන් හා කැපවීමෙන් ඉටු කළාය. වැඩිමල් පුතු පිළිබඳ නොයක් බලාපොරොත්තු සිතේ තබාගෙන, ඔහුගේ අනාගතය වෙනුවෙන් කැපවී ජීවිතය ගෙවූ දෙමාපියන් දෙදෙනකුගේ ආදරණීය පුතකු වූයේ සංගීත් ය.
ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ වූයේ රත්නාවලී මහා විද්‍යාලයෙනි. ඉන් අනතුරුව රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ සංගීත්, නිහඬ සහ විනීත සිසුවකු ලෙස පාසලේ කාගේත් ආදරය දිනාගත් අතර, පාසලේ රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙසද දක්ෂතා දැක්වීය.
උසස් පෙළ සඳහා ඔහු තෝරාගත්තේ ගණිත අංශයයි. පළමු හා දෙවැනි වාර විභාගවල දී අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබුණ ද, අධෛර්යයට පත් නොවී තවත් වෙහෙස මහන්සි වී තම සිහිනය වෙත පියවර තැබීමට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටියේය. "උත්සාහය අත් නොහරින" තරුණයකු වූ සංගීත්, තම ඉලක්කය කරා ළඟාවීමට හැකි සෑම දෙයක්ම කළේය.
එහෙත්, ජීවිතය ඔහු වෙනුවෙන් ලියා තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. කිසිවකු නොසිතූ මොහතක, කිසිවකු අපේක්ෂා නොකළ අයුරින්, ඔහුගේ මුළු ජීවිතයම එක මොහොතකින් කනපිට පෙරළී ගියේය.
"2022 අවුරුද්දේ අන්තිම කාලෙදි තමයි මුලින්ම මගේ ඔළුව වටේ ගැටිති කිහිපයක් මතු වෙන්න පටන් ගත්තේ. ඒත් එක්කම වසාගැටිතිත් ඉදිමෙන්න ගත්තා. මුලින් ඒවා පොඩි ගෙඩි වගේ තිබුණා. හැබැයි බෙල්ලේ එක ගෙඩියක් ටිකෙන් ටික ලොකු වෙලා, පිටින්ම පේන තරමට වැඩි වුණා. ඊට පස්සේ මාව කරවනැල්ල රෝහලට ඇතුළත් කළා. එතන කරපු පරීක්ෂණවලින් පස්සේ මාව පේරාදෙණිය රෝහලට මාරු කළා. පේරාදෙණිය රෝහලේදී මගේ බෙල්ලේ සැත්කමක් කළා. සැත්කමෙන් අරගත්ත පටක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරීක්ෂා කළාට පස්සේ තමයි වෛද්‍යවරු මට පිළිකා රෝගයක් තියෙනවා කියලා තහවුරු කළේ." සංගීත් තම රෝගී තත්ත්වය හඳුනාගත්ත අන්දම පැවසුවේ එලෙසිනි.
සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව සංගීත්ට වැලඳී තිබුණේ ලියුකේමියා (ලේ පිළිකා) රෝගය බව වෛද්‍යවරු තහවුරු කළහ. එහෙත් එම පුවත ඔහුට සෘජුවම පැවසුවේ නැත. ඒ වෙනුවට, "ගෙදරින් කෙනෙක්ට එන්න කියන්න" යැයි පවසමින් ඔහුගේ පවුලේ සාමාජිකයකු වෛද්‍යවරුන් හමුවට කැඳවීය. එම වචන ඇසුණු මොහොතේම, තම රෝගය සාමාන්‍ය එකක් නොවන බවත්, එහි බරපතළ යමක් සැඟවී ඇති බවත් සංගීත්ගේ සිතට ඉඟියක් දැනෙන්නට පටන් ගත්තේය.
"ඩොක්ටර්ස්ලා අම්මයි තාත්තයි ඇවිත් එයාලව හම්බවෙන්න කියලා කිව්වා. ඒ වෙලාවම මට තේරුණා මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. 'මට ලොකු ලෙඩක් ද?' කියන සැකේ එදා ඉඳන් හිතේ තිබුණා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු විසිතුනයි. පස්සේ මාව පේරාදෙණියෙන් නුවර රෝහලට මාරු කළා. මගේ ලෙඩේ ගැන අම්මවත් තාත්තවත් මට එක වචනයක්වත් කිව්වේ නැහැ. මං ඉස්සරහ එයාල සාමාන්‍ය විදිහට හැසිරන්න උත්සාහ කළා. ඒත් එයාලගේ මුහුණු දිහා බැලුවම එයාලගේ අසරණකම මට හොඳටම පේනවා. මට තේරුණා.එයාල මගෙන් ලොකු දෙයක් හංගනවා කියලා. අම්මාගේ ඇස්වල හැම වෙලේම කඳුළු තිබුණා. තාත්තා ඒ කඳුළු හංගගෙන ඉන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ දෙන්නා මං වෙනුවෙන් ඇතුළතින් කොච්චර දුක් විඳිනවද කියලා මට දැනුණා. හැබැයි ඒ මොකක්ද කියලා මං එයාලගෙන් අහන්න ගියේ නැහැ.”
“නුවර රෝහලට ගෙනිහින් මාව ඇඩ්මිට් කළේ පිළිකා රෝගීන් ඉන්න වාට්ටුවට. ඒ වාට්ටුවට ඇතුළු වුණු මොහොතේම මට හැමදේම තේරුණා. මට පිළිකවක් කියලා මං දැනගත්තේ එදා. ඒ මොහොතේ හිත ගොඩක් කඩා වැටුණා. ඒත් මගේ දුක අම්මටවත් තාත්තටවත් පෙන්නුවේ නැහැ. එයාල මං වෙනුවෙන් එයාලගේ දුක හංගගෙන හිටියා වගේම, මමත් මගේ දුක හිත ඇතුළෙම හංගගෙන හිටියා."
නුවර රෝහලේ සංගීත්ට නේවාසික ප්‍රතිකාර ලැබීමට හැකි වූයේ දින දෙකක පමණ කෙටි කාලයක් පමණි. එම අවස්ථාවේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඇතැම් ඖෂධ නොමති වීම හේතුවෙන්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මහරගම අපේක්ෂා රෝහල වෙත මාරු කෙරිණි. ඒ 2023 පෙබරවාරි 14 වැනිදාය. එතැන් සිට සංගීත්ගේ ජීවිතයේ නව සටන ආරම්භ වූයේ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමිනි.
මරණයත් ජීවිතයත් අතර පැවති දීර්ඝ සටන ජයගෙන අද සංගීත් නැවත නැගිට ඇත. ඔහුට දැන් අලුත් සිහිනයක් ඇත. අනාගතය වෙනස් කරගැනීමේ අධිෂ්ඨානයක් ඇත. ඒ සිහිනය සැබෑ කරගැනීමේ ගමනට තවමත් බාධා නැතුවා නොවේ. අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණකයක් පවා ඔහු සතුව නැත.
මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, කඩිනමින් සිදු කළ වැඩදුර පරීක්ෂණවලට අනුව සංගීත්ගේ ප්‍රතිකාර සැලැස්ම වෛද්‍යවරුන් තීරණය කළහ. ඉන් පසු ආරම්භ වූයේ ඔහුගේ ජීවිතයේ අතිශය දුෂ්කරම සටනයි. මුල් දිනවලදී පමණක් රාත්‍රියට ඔහුට ඖෂධ පෙති 42ක් පමණ එකවර ගැනීමට සිදු වූ අතර, දහවල් කාලයේදී ද තවත් ඖෂධ රැසක් ලබාගැනීමට සිදු විය. එතරම් විශාල ඖෂධ ප්‍රමණයක් දිනපතා ශරීරයට දරාගැනීම කිසිසේත්ම පහසු අත්දැකීමක් නොවීය. ප්‍රතිකාරවල අතුරු ආබාධ හේතුවෙන් ඔහුගේ අත්පාවල දැඩි වේදනාවක් ඇති වූ අතර, ඒවා වේළී ගොස් එදිනෙදා කටයුතු පවා ඉතා අපහසු වූ කාලයක් ඔහුට පසුකරන්නට සිදු විය.
කිමෝ ප්‍රතිකාර ආරම්භ වීමත් සමගම සංගීත්ගේ ජීවිතය තවත් වේදනාකාරී අභිෙයා්ගයකට මුහුණ දුන්නේය. ප්‍රතිකාරවල අතුරු ආබාධ හේතුවෙන් ඔහුගේ දෙපා ක්‍රමයෙන් පණ නැති වී යන බව ඔහුට දැනෙන්නට පටන් ගත්තේය. ඇවිදීම පවා අපහසු වන තත්ත්වයට පත්වූ ඔහු ඒ පිළිබඳ වහාම නිවසට දැනුම් දුන්නේය. ඒ පණිවිඩය ලැබුණු සැණින්, පෞද්ගලික ආයතනයක සේවය කළ ඔහුගේ පියා රැකියාව ඇතුළු සියලු කටයුතු පසෙක තබා, තම පුතා අසලට මහරගම අපේක්ෂා රෝහල වෙත දිව ආවේ ඔහුගේ ශක්තිය සහ රැකවරණය වීමටය.
“කිමෝ ප්‍රතිකාර පටන් අරගෙන සතියක් විතර යද්දි මට හිතාගන්න බැරි තරම් අමාරු වුණා. කන්න බෑ, ටොයිලට් යන්නත් හරිම අමාරුයි. වමනය ගියා. සමහර වෙලාවට ලේත් ගියා. ඇඟට කිසිම පණක් තිබුණේ නැහැ. හැම වෙලේම හිතුණේ ඇඳේම ඉන්න.ඒ දවස්වල ඉස්පිරිතාලෙන් දුන්න කෑම විතරයි කෑවේ. පස්සේ ටික ටික කිසිම කෑමක රසයක් දැනුණේ නැහැ. කෑවත් වමනය ගියා. ඒක හරිම දුකක්. මම විඳපු දුක විතරක් නෙවෙයි, මට රෝහලේදී තවත් මිනිස්සුත් කොච්චර දුක් විඳිනවද කියලා දැක්කා. සමහර දවස්වල මට හිතුණා මම මැරෙයි ද කියලා. ඒ තරම් අමාරු වුණා. ඒත් කොහොම හරි මම හිතුවා, මේකෙන් මම හොඳ වෙනවා කියලා.ඒ අතර තාත්තගේ රස්සාවත් නැති වුණා. ගෙදර ආර්ථික ප්‍රශ්න ගොඩක් ආවා. මල්ලි නංගි ඉස්කෝලේ යනවා. ඒ හැමදේම මට කවුරුත් කෙළින් කිව්වේ නැහැ. ඒත් මට ඒවා තේරුණා. තාත්තා ඉස්සරහා මට අඬන්න බෑ. ඒත් රෑට හැමෝම නින්දට ගියාට පස්සේ, තාත්තටත් හොරෙන් කොට්ටෙ බදගෙන අඬපු දවස් ගොඩක් තිබුණා.”
කිමෝ ප්‍රතිකාර ලබාදීමේ දී සංගීත්ගේ අක්මාවටද යම් බලපෑමක් ඇතිවිය. එම තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරු ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කිරීමට තීරණය කළහ.
කිමෝ ප්‍රතිකාරවලන් ඇති වූ අතුරු ආබාධ තත්ත්වය තවදුරටත් උග්‍ර වීම නිසා, එම ප්‍රතිකාර තාවකාලිකව නවතා දැමීමටද වෛද්‍යවරුන්ට සිදුවිය.
එම කාලය තුළ කළුබෝවිල මහ රෝහලේදී ප්‍රතිකාර ලබාගත් සංගීත් රෝහලට පැමිණියේ රෝද පුටුවක ආධාරයෙනි. ඔහුට ඇවිද ගැනීමටවත් ශක්තයක් නොතිබූ තරම් ඔහුගේ ශරීරය දැඩි ලෙස දුර්වලව තිබුණි.
"මං නිසා තාත්තට රස්සාවත් නැති වුණා. බෙහෙත් සමහරක් පිටින් ගන්නත් සිද්ධ වුණා. ඒවායේ සමහර බෙහෙත් හරිම මිල අධිකයි. මට උදව් කරන්න මගේ නමින් ටිකට් ගහලා විකුණපු අය හිටියා. නෑදෑයෝ, යාළුවෝ පුළුවන් විදිහට උදව් කළා. 'සංගීත්ගේ කාඩ් එකක් දාගන්න' කියලා රුපියල් සීය දෙසීය දීපු යාළුවොත් හීටියා. ඒ කාලෙ නංගි සාමාන්‍ය පෙළ ලියනවා. මගේ ප්‍රතිකාර වියදම් නිසා අපි හිටපු ගේ පවා උගස් තියන්න සිද්ධ වුණා. නංගිට අමතර පන්තිවලට යන්න සල්ලි නැති වෙලා මාස ගණන් පන්ති අතාරින්නත් වුණා. සමහර දවස්වල අම්මට මාව බලන්න මහරගමට එන්නවත් අතේ සල්ලි තිබුණේ නැහැ. ඒ තරම් අමරු කාලයක් ඒක.
කිමෝ ප්‍රතිකාර පටන් අරගෙන මුල් සති තුන ඇතුළත මගේ කොණ්ඩේ හැළෙන්න පටන් ගත්තා. ඇඟේ රෝමත් ටික ටික නැති වුණා. රෑට නිදාගෙන උදේ නැගිටිනකොට කොට්ටේ පුරාම කොණ්ඩෙ පිරිලා තිබුණා. ඉස්පිරිතාලෙට යනකොට මගේ බර කිලෝ අනූවක් විතර තිබුණා. හැබැයි මුල් සති තුන ඇතුළත විතරක් කිලෝ තිහක් විතර බර අඩු වුණා. මාස පහක් හයක් යනකල් මම කණ්ණාඩියකින් මගේ මූණ බැලුවෙම නැහැ. ඊට පස්සේ දවසක මූණ බැලුවම කණ්ණාඩියේ හිටපු කෙනා දැකලා මට මං ගැනම බය හිතුණා. ඒ තරමටම මම කෙට්ටු වෙලා, වෙනස් වෙලා තිබුණා.” සංගීත් ඒ අමිහිරි මතකයන් අවදි කළේ එලෙසිනි.
ජීවිතය පිළිබඳ අවසන් අපේක්ෂාවද සිතේ දරාගෙන දහස් සංඛ්‍යාත රෝගීන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබති. ඒ අතර, මරණයත් ජීවිතයත් අතර පැවති දුෂ්කර සටනකට මුහුණ දුන් සංගීත්ද එක් අයෙකි. නේවාසකව ප්‍රතිකාර ලැබූ එම මාස කිහිපය තුළ ඔහු විඳි කටුක, වේදනාබර මෙන්ම අමතක නොවන අත්දැකීම් සිහිපත් කරමින් සංගීත් ඒ දින ගැන මෙලෙස අදහස් දැක්වීය.
“මං හිටපු වාට්ටුවේ මගේ වයසේ පස්දෙනෙක් හිටියා. පොළොන්නරුවෙන් එක් මල්ලියෙක්, මහියංගණෙන් දෙන්නක්, ඇඹිලිපිටියෙන් එක් මල්ලියෙක්. ඒ හැමෝම මට වඩා බාලයි. අද ඒ පස්දෙනාගෙන් ජීවත් වෙලා ඉන්නේ මං විතරයි. ඒක මතක් වෙන හැම වෙලාවකම හිතට ලොකු දුකක් දැනෙනවා.ක්ලිනික් දවසට අපි ආයෙත් හම්බවෙනවා. 'කොහොමද මල්ලි?' කියලා කතා කරනවා. හැබැයි අන්තිම ක්ලිනික් එකට ගිය දවසේ ඒ අයගෙන් කවුරුත් හිටියේ නැහැ. එක්කෙනා ගානේ අපිව දාලා හැමෝම යන්න ගිහින් තිබුණා.”

සංගීත් දුලංජ සිය ගුරුතුමා සමග
“අපි එකට ගත කරපු කාලේ මතක් වෙනකොට අදටත් හරිම දුකයි. වාට්ටුවේ කැරම් බෝඩ් එකක් තිබුණා. රෑට හැමෝම නිදාගත්තට පස්සේ අපි පස්දෙනා එකතු වෙලා කැරම් ගැහුවා. හිනා වුණා... විහිළු කළා... ඒ වෙලාවට අපිට අපේ ලෙඩ අමතක වෙනවා. ඒත් ඇත්තටම අපි හැමෝම දැනගෙන හිටියා. අපේ ඇඟ ඇතළේ ජීවිතයත් එක්ක සටන් කරන ලොකු ලෙඩක් තියෙනවා කියලා. අපි හිටපු වාට්ටුවේ ඩොක්ටර්ස්ලා, නර්ස්ලා ඇතුළු හැමෝම අපිට හරිම ආදරෙන් සැලකුවා. ඒ නිසාම ඒ තැන අපිට තවත් පවුලක් වගේ දැනුණා. හැබැයි සමහර දවස් හරිම බය හිතෙන දවස්. රෑට අපි එක්ක කතා කර කර හිටපු කෙනා උදේ වෙද්දි නැති වෙලා. එහෙම දේවල් අපි ඇස් දෙකෙන්ම දැක්කා."රෑට නිදාගන්න යන හැම වෙලාවෙම, 'හෙට උදේ මං ඇස් ඇරලා නැගිටියි ද?' කියන ප්‍රශ්නය හිතට ආපු දවස් තිබුණා.”
කාලයත් සමග සංගීත්ගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙන්නට පටන් ගත්තේය. වේදනාවෙන් පිරුණු දිනයන් මැද වුවද, ඔහුගේ සිත තුළ අලුත් බලාපොරොත්තුවක් මල් පිපුණි. නිවසේ ඇඳට වී ප්‍රතිකාර ලබමින් සිටි ඒ දිනවල, ජීවිතයට අලුත් අරමුණක් එක් කරගත් සංගීත්, එම සිහිනය සැබෑ කරගැනීමට නිහඬ අධිෂ්ඨානයකින් පසුවිය.
“ගෙදර ඇඳට වෙලා ඉන්නකොට මං ජීවිතේ ගැන ගොඩක් කල්පනා කළා. එතකොට මට තේරුණා, මං මට කියලා හදාගෙන තිබුණේ කිසිම දෙයක් නැහැ කියලා. මගේ අසනීපය නිසා ගෙදර ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණා. තාත්තගේ රස්සාවත් නැති වුණා. මට හොඳ අධ්‍යාපන සුදුසුකමක් නැති නිසා රස්සාවක් හොයාගන්නවත් බැහැ. එතකොට තමයි මං තීරණය කළේ, කොහොම හරි ආයෙත් උසස් පෙළ කරන්න ඕනේ කියලා. මං තාක්ෂණික අංශයෙන් උසස් පෙළ කරන්න හිතාගත්තා. දුලංජ රුසිරු සර්ගේ Online පන්තියට සම්බන්ධ වුණා. අනිත් විෂය දෙක මම ඉගෙන ගත්තේ අන්තර්ජාලයෙන්.”
“2025 උසස් පෙළ ලියද්දී මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඇත්තම කිව්වොත්, ඒ වෙද්දි මට අකුරු ලියන්නවත් හරියට බැහැ. මං ආයෙත් පොතක් අරගෙන පොඩි ළමයෙක් වගේ අකුරු ලියන්න පටන් ගත්තා. ඇඟිලි ආයෙමත් හුරු කරගත්තා. ඒකත් මට ලොකු සටනක් වුණා.ඒ අතරේ ප්‍රතිකාරත් නතර වුණේ නැහැ. හැම මාසෙම ක්ලිනික් යන්න ඕනේ. කොන්දට විදින බෙහෙත හරිම වේදනාවයි. මාස තුනකට සැරයක් ඒ ඉන්ජෙක්ෂන් එක විදිනවා. ඊට අමතරව හැම මාසෙම අතටත් බෙහෙතක් විදිනවා. ඒවා විදලා දවස් කීපයකින් කොන්දත් එක්ක ඔළුව කැක්කුමක් එනවා. අත්පය රිදෙන්න ගන්නවා. සති දෙකක් විතර ඒ අමාරුවත් එක්ක ඉන්න වෙනවා. ඒ හැමදේම විඳගෙන තමයි මං පාඩම් කළේ. ඒ අවුරුද්දෙම නංගිත් උසස් පෙළ ලිව්වා. එයා ගොඩක් හොඳ ප්‍රතිඵල අරගෙන පාස් වුණා. මට C දෙකකුයි S එකකුයි තිබුණා. අපේ දෙන්නගෙම ප්‍රතිඵල ආවේ එකම දවසේ. එදා අපේ ගෙදර හැමෝටම තිබුණේ කියාගන්න බැරි සතුටක්. මට ඒ ප්‍රතිඵලය ලොකු ජයග්‍රහණයක්. මොකද මං ඒ විභාගය ලිව්වේ මරණයත් එක්ක සටන් කරලා නැගිටපු කෙනෙක් විදිහට.”
“අද මං එක දෙයක් හොඳටම විශ්වාස කරනවා... ජීවිතේ කොච්චර අමාරු වුණත්, බලාපොරොත්තුව අතාරින්නේ නැත්නම් ආයෙමත් නැගිටින්න පුළුවන්."
“දැන් මං විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියකට යන්න Online Foundation වැඩසටහන කරනවා. පහුගිය දවසකත් කරපු පරීක්ෂණවල "ප්‍රතිඵල හොඳයි" කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. දැන් බෙහෙත් නවත්තන්න පුළුවන් කියලත් කිව්වා. ඒ නිසා බෙහෙත් නතර කළා. හැබැයි තාමත් මාසෙකට සැරයක් ක්ලිනික් යනවා.”
“අද මං එක දෙයක් හොඳටම විශ්වාස කරනවා... ජීවිතේ කොච්චර අමාරු වුණත්, බලාපොරොත්තුව අතාරින්නේ නැත්නම් ආයෙමත් නැගිටින්න පුළුවන්."
මරණයත් ජීවිතයත් අතර පැවති දීර්ඝ සටන ජයගෙන අද සංගීත් නැවත නැගිට ඇත. ඔහුට දැන් අලුත් සිහිනයක් ඇත. අනාගතය වෙනස් කරගැනීමේ අධිෂ්ඨානයක් ඇත. ඒ සිහිනය සැබෑ කරගැනීමේ ගමනට තවමත් බාධා නැතුවා නොවේ. අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණකයක් පවා ඔහු සතුව නැත. එහෙත්, අතේ පහසුකම් නොතිබුණද, හදවතේ බලාපොරොත්තුවත් අධිෂ්ඨානයත් තවමත් නොනිවී දැල්වෙයි.
වරක් පිළිකාවට එරෙහිව ජීවිතය වෙනුවෙන් සටන් කළ මේ තරුණයා, අද සටන් කරන්නේ තම අනාගතය වෙනුවෙනි. ඔහුට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව, නැවත ඉදිරියට යා හැකි කුඩා අතදීමක් පමණි. ඒ අතදීම ඔහුගේ සිහිනයට පියාපත් දෙන්නට, හෙට දවසේ තවත් ජීවිත ගණනාවකට බලාපොරොත්තුවක් වෙන්නට ඉඩ තිබේ. සමහර විට... අද අපෙන් දිගුවන එක අතක්, හෙට දිනයේ තවත් ජීවිතයක් නැඟිටුවන හේතුවක් විය හැකිය.
දිශානි ජයමාලි කරුණාරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd