ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස නිල වශයෙන් නැවත වර්ගීකරණය කර ඇත. වියට්නාමය, මයිකොනේසියා, ජෝර්දානය, සහ පිලිපීනය ද මෙම කාණ්ඩයට අලුතින් ඇතුළත් කර තිබේ. වසර හතරකට පෙර ණය ගෙවීම කළ නොහැකි රටක් ලෙස මහත් අභියෝගයක පසු වූ  ශ්‍රී ලංකාව අද වනවිට ලබාගෙන ඇති ශ්‍රේණිගත කිරීම විශේෂ අවධානයට පත් විය යුතුය. ලෝක බැංකුව කරන මෙම ශ්‍රේණිගත කිරීම සැලකිය යුතු වැදගත්කමක් ඇත. මෙරට පුරවැසියකුගේ වාර්ෂික සාමාන්‍ය ආදායම අන්තර් ජාතික වශයෙන් සලකා බලන සීමාවක් ඉක්මවා ගොස් ඇති බව ප්‍රකාශයට පත්වීම අවධානයට ගත යුතුය. මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ලෝක බැංකුව ඔවුන්ගේම දත්ත වෙනුවට මෙරට නිල ප්‍රකාශනවල සඳහන් කරන ඉලක්කම් උපයෝගී කරගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබේ.

2019 ජූලි මාසයේදී රට ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් ලෙස ශ්‍රේණිගත කරන ලද නමුත් පසුව නැවතත් පහතට වැටිණ. රට ගමන් කරමින් තිබුණ දිසාව එහිලා බරපතළ සාධකයක් විය. ශ්‍රේණිගත කිරීම ඉතා ඉහළ නමුත් මෙරට ජන කොටස් අතර එදිනෙදා ජීවත්වීමේ අපහසුව සම්බන්ධයෙන් තියුණු තත්ත්වයක් පවතින බව බැහැර කළ නොහැක. ජනගහනයෙන් හතරෙන් එකක් ආණ්ඩුවේ සහනාධාර ලබමින් ජීවත් වෙති. 

රජයේ සේවකයන්ට ද වැටුප් තල ගැන ප්‍රශ්න තිබේ. පසුගිය දා පුවත් පත් සාකච්ඡාවක් පවත්වන ලද රජයේ නිලධාරීන් අවම වැටුප පවුලේ අවශ්‍යතා සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව අවධාරණය කරන ලද බව මතක් කළ යුතුය. ​ෙපෟද්ගලික අංශයේ විධායක නිලධාරීන් ගේ වැටුප ඉහළ බදු අය කිරීමකට යටත්ය. සෙසු ජන කොටස් පවා අනිවාර්ය බදු ලිපිගොනු ආදී වශයෙන් වූ නියෝග අනුව සංකීර්ණ පැවැත්මකට තල්ලු කර ඇත. ඉහළ මධ්‍යම ආදායම් ලැයිස්තුවට ඇතුළත්වීම ගැන මෙරට ජීවත්වන ජනතාව සෑහීමකට පත්වෙන්නේ ද යන්න ගැටලුවකි.

ඉහළ මැදි ආදායම් මට්ටම උගුලකි

ලෝක බැංකුවේ අලුත්ම වාර්තා අනුව රටවල් 87 ක් ඉහළ ආදායම් ගණයට අයත්ය. ශ්‍රී ලංකාව ද ඇතුළත් රටවල් 60 ක් ඉහළ මැදි ආදායම් මට්ටමේ පසුවෙති. තවත් රටවල් 54 ක් පහළ මැදි ආදායම් වන අතර රටවල් 25 ක් දුප්පත් සේ ගැනේ. රටවල් වශයෙන් 218 ක් හා අධික ජනගහනයක් සහිත නගර ද එයට එකතු වන පරිදි මෙම ලේඛනය සකස් කර ඇති  බව දැක්වේ. මෑත කාලයේ පහළ සිට ඉහළ තලයකට වර්ගීකරණය කරන අතර මෙරට පුරවැසියන්ගේ කාර්යභාරය පසෙකට කළ නොහැක. ලෝක බැංකුව නොදන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යක්ෂක මණ්ඩල මට්ටමින් අනුමත කරන ලද මාස හතළිස් අටක සැලැස්මකට යටත්ය. එහි කොන්දේසි පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු අනුකූලතාව තවදුරටත් දැඩි කරමින් සිටින අතර, රට තුළ පවතින උත්පාදනයේ ගැටලු හේතු කොටගෙන විනිමය අනුපාතිකය, පොලී අනුපාතිකය හා උද්ධමනය සැලකිය යුතු පීඩනයක් ඇති කර තිබේ.

ජනතාව උපයන ආදායමෙන් සැලකිය යුතු කොටසක් බදු වශයෙන් ආපසු අත්පත් කරගන්නා ආණ්ඩුව එහි ප්‍රවණතා මැද ආර්ථිකය ස්ථාවර බව ප්‍රකාශ කරමින් සිටී. රජයට අයත් ව්‍යවසායවල අධික අලාභ පමණක් නොව රජය මෙහෙයවන අකාර්යක්ෂම ව්‍යවසාය සඳහා ද සම්පූර්ණ පිරිවැය උහුලන්නට ජනතාවට සිදු වී තිබේ. ඛනිජ තෙල්, විදුලිය, ජලය හා ප්‍රවාහනය වැනි අංශ එහි ලා දැක්විය හැකිය. එවැනි වාතාවරණයක් මැද මෙම ශ්‍රේණිගත කිරීමෙන් ඔවුන්ට ලැබෙන වාසිය කුමක් ද යන්න බරපතළ ලෙස ප්‍රශ්න කරන බව නොරහසකි.

වාසිය කෙසේ වෙතත් මෙතෙක් කාලයක් රටට ලැබුණ ඇතැම් සහනාධාර හා වෙෙළඳාමේ දී තිබුණ බදු පහසුව ඉවත් වන අවදානමක් තිබේ. ජාත්‍යන්තරව සලකා බලන පසු හොඳ ආර්ථික මට්ටමක සිටින රටකට ධනවත් රටවල් ආධාර කරන්නේ නැත. වෙෙළඳාම, ආයෝජනය, තරඟකාරීව කරන්නට සිදුවන අතර විදේශීය ණයවල දී පවා වෙළෙඳපොළ පොලිය අය කෙරේ. මෙවැනි තත්ත්වයක් තුළ නුදුරු කාලයේ දී මෙරට ආර්ථිකය තවත් වටයකින් අභියෝග ගණනාවකට මුහුණ දෙනු ඇත.

ඉහළ මැදි ආදායම් තැනකට ශ්‍රී ලංකාවේ ගමන 

2027 මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක සීමාව එක් පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර් 4,636 සිට 14,375 දක්වා වේ. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම කලින් මූල්‍ය වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් 3,860 සිට 4,670 දක්වා ඉහළ ගොස් ඇත. එය අවම සීමාවට වඩා ඩොලර් 34කින් රු. 16,34,500 පමණ ඉහළ අගයකි. මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වූයේ ආර්ථික ප්‍රකෘතිමත් වීම බව දැක්වේ. 2025 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 5කින් වර්ධනය විය. කර්මාන්ත අංශයේ ප්‍රකෘතිමත් වීම සහ සංචාරක හා මූල්‍ය ඇතුළත් සේවා අංශයේ සියයට 54.6ක වර්ධනය ප්‍රධාන සාධක විය. ඒක පුද්ගල ආදායම සලකා බැලීමේ දී ගණන් ගැනෙන එනම් ජනගහනය සියයට 0.7කින් අඩුවීම සහ එම වසරේ දී විනිමය අනුපාතිකය සියයට 0.4කින් පිරිහීම වැනි සාධක ද තදින් බලපා තිබේ.

සංවර්ධිත සීමාවට ආසන්නව සිටින විට ජනගහනය, ආර්ථික වර්ධනය හෝ විනිමය අනුපාතිකයේ සුළු වෙනස්කම් පවා රටේ සැබෑ තත්ත්වය වෙනස් නොවී තිබියදී අන්තර් ජාතික වර්ගීකරණය වෙනස් කළ හැකි බව පිළිගත යුතුය. 

ආර්ථික ස්ථාවරත්වය අරමුණු කරගෙන බදු ප්‍රතිසංස්කරණ, සහනාධාර කපාහැරීම සහ බලශක්ති මිල ගණන් වැඩි කිරීම වැනි මූල්‍ය පියවර අනුගමනය කළ අතර එසේ තිබිය දී පවා ආර්ථික වර්ධනයකට හේතු වන තීරණාත්මක ප්‍රතිසංස්කරණ පසෙක තබා තිබේ. එය බරපතළ වරදකි. නොබෝදා මෙරට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවා මෙතැනින් ඔබ්බට ගමන් කිරීම සඳහා තීරණාත්මක ව්‍යුහාත්මක වෙනස්කම් යෝජනා කර තිබිණ. ​ෙපෟද්ගලීකරණය, මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සමග ඇතිකළ යුතු තරගකාරිත්වය, ආයෝජන කැඳවීම සඳහා අවස්ථා, රජයේ මිල දී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීම සහ සහනාධාර කපාහැරීම ඇතුළු අංශ එහි තිබේ. තරමක් අමිහිරි එම ක්‍රියාපටිපාටිය තවත් කල් දමන ආණ්ඩුව තිබෙන ආර්ථිකයෙන් වැඩිම කොටස සඳහා තවත් වටයකින් බදු ආදායම ඉලක්ක කරන බව පෙනේ. මාධ්‍ය හා වෘත්තීය සමිති අංශවල වත්කම් ප්‍රකාශ කිරීම, වැට් බද්ද සම්බන්ධ සංශෝධන හා තවත් පැති ගණනාවකි. මහජන විරෝධය මැද වැට් බද්ද මත කරන ලද යෝජනා තාවකාලිකව ආපසු හරවා ගෙන තිබේ. එහෙත් ඉදිරියේ දී දේපළ මත තවත් අලුත් බද්දක් අය කරන්නට ඉඩ තිබේ. 

වියට්නාමය හා පිලිපීනය සමග තුලනයක්

වියට්නාමය සහ පිලිපීනය යන රටවල් වඩාත් ශක්තිමත් ආර්ථිකයක්, අඩු රාජ්‍ය ණය බරක් සහ වේගයෙන් වර්ධනය වෙමින් මධ්‍යම පන්තියක් හිමි රටවල්ය. මෙම රටවල අලුතින් ජනනය වන රැකියා අවස්ථා වඩා පුළුල් තැනක තිබේ.  මෙම රටවල් සමග ශ්‍රී ලංකාවේ වැසියන්ගේ ජීවන තත්ත්වය සෘජුව සංසන්දනය කළ විට, මෙරට ජනතාවට විශේෂ අවාසි සහ අභියෝග පවතින බව ඉතාමත් පැහැදිලිය. 

වියට්නාමය අපනයන කේන්ද්‍ර කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති වේගයෙන් වර්ධනය වන රටකි. 2025 වසරේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 405 ක් වන අතර කලින් වසරට වඩා සියයට 17 ක වර්ධනයකි.  එහි විරැකියා අනුපාතය සියයට 3.4ක් පමණ වන අතර, පාරිභෝගික භාණ්ඩ හා සේවා සාපේක්ෂව අඩු මිලකට ලබාගත හැකිය. පිලිපීනයේ අපනයන ආදායම 2025 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 84.4 කි. කලින් වසරට වඩා සියයට 15.3 වර්ධනයකි. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ක් වශයෙන් 2025 වසරේ සටහන් වේ. එය සියය  5.6 ක වර්ධනයක් බව දැක්වේ. වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ආණ්ඩුව සැලසුම් කර ඇත. තවත් වසර හතරක් ඇතුළත ඩොලර් ආදායම දෙගුණ කරගැනීම සඳහා විකුණන්නේ මොනවා ද යන්න ප්‍රශ්න කිරීම ද මෙම අවස්ථාවේ දී වැදගත්ය. 

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ක් වශයෙන් 2025 වසරේ සටහන් වේ. එය සියය  5.6 ක වර්ධනයක් බව දැක්වේ. වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායමක් ආණ්ඩුව සැලසුම් කර ඇත. 
 

තවත් හතරක් ඇතුළත ඩොලර් ආදායම දෙගුණ කරගැනීම සඳහා විකුණන්නේ මොනවාද යන්න ප්‍රශ්න කිරීම ද මෙම අවස්ථාවේ දී වැදගත්ය.

 

ශ්‍රී ලංකාව විදේශීය ණය ගෙවීම නතර කර තිබේ. 2028 වසරේ සිට එය යළි ඇරඹෙනු ඇත. විදේශීය ණය නොගෙවන තාක් කල් විදේශ වත්කම් ඉතා හොඳින් පාලනය කළ හැකිය. දැනට රටට ඇති ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 91.6 කි. වියට්නාමයේ එම අනුපාතය සියයට 31.3ක් පමණ වන බැවින් එය පාලනය කළ හැකි මට්ටමක පවතී. පිලිපීනයේ ද දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ රාජ්‍ය ණය අනුපාතය 62.2 ක් බව දැක්වේ. ජාත්‍යන්තර ආර්ථිකයේ ඉහළ ඉනිමඟක සිටින  නමුත් ශ්‍රී ලංකාව පහළට වැටෙන පසු මහ පොළොවටම පතිත වනු ඇති බව මෙයින් කියැවේ. ණය ගෙවන්නට හා රටට අවශ්‍ය ආනයන වෙනුවෙන් විදේශ විනිමය උපයා ගැනීම කළ නොහැකි වුවහොත් ඉහළ මැදි ආදායම් උද්දාමයවහාම සුනු විසුනු වී යා හැකිය.

වියට්නාමය තුළ සිදුවූ වේගවත් නාගරීකරණය හේතුවෙන් හෝ චි මිං නගරය සහ හැනෝයි වැනි ප්‍රධාන නගරවල නවීන යටිතල පහසුකම් විශාල ලෙස සංවර්ධනය වී ඇත. පොදු ප්‍රවාහන සේවා, නිවාස පහසුකම් සහ මූලික උපයෝගිතා සේවා ඉහළ මට්ටමක පවතී.

ජනතාව විඳින අස්වැසිල්ලක තරම

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ හැසිරීම මෑතක දී හඳුන්වා දුන් ආණ්ඩුව මහත් සේ වර්ණනාකරන පතුල පහත එනම් ආබාධිතයන්ට ගමන් කළ හැකි බස් රථ දහයකින් පමණක් ජනතාව සතුටු කළ හැකි ද? අන්තර් ජාතිකව ඉහළ තැනකට ශ්‍රී ලංකාව ඔසවා තබන ලෝක බැංකුව මෙම අභ්‍යන්තරය සලකා බලන්නේ නැත. එදිනෙදා ගමනට ගතකරන කාලය, අකාර්යක්ෂමතාව, අධික වියදම සලකා බලන පසු පොදු ප්‍රවාහනය සතුටුදායක තැනක නැත.

මෙරට දැවැන්ත සුඛෝපභෝගී මහල් නිවාස තැනෙන නමුත් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල පර්චස් හයට කැඩෙන කුඩා ඉඩම්වල ණය ගෙන අඩක් වැඩ අවසන් කළ නිවාසවල ජීවත්වන ජනයා ගේ පැවැත්ම වියට්නාමයේ ස්වභාවය සමග සැසඳිය හැකි ද? මෙරට සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වන පරිදි සාමාන්‍ය ජනතාවට නිවසක් මිල දී ගැනීමට කිසිම හැකියාවක්  නැති ප්‍රදේශයක් සේ කොළඹ නගරය නම් කොට තිබේ. පිලිපීනයේ නිවාස හිඟය. නමුත් නගරවල පවා නිවාස කුලිය උහුලාගත හැකිය. 

පිලිපීනය මිලියන 118කට අධික ජනගහනයක් සහිත විශාල රටක් වන අතර එහි මධ්‍යස්ථ වයස අවුරුදු 26.8කි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22.2ක් පමණ වන අතර මධ්‍යස්ථ වයස අවුරුදු 34.1කි. මෙම වෙනස ශ්‍රම බළකාය, ආර්ථික වර්ධනය සහ වයස්ගත ජනගහනය සඳහා අවශ්‍ය සත්කාර සේවා වැනි ක්ෂේත්‍රවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. වියට්නාමය පවා ශ්‍රී ලංකාවට වඩා තරුණ ජනගහනයක් සතු රටකි. ඉදිරි දශකයට පසු මෙරට යැපෙන ප්‍රමාණය ආර්ථිකයට තදබල ප්‍රශ්න ඇති කරනු ඇත.

රටට පහළින් සිටි කලාපයේ තත්ත්වය

නිදහස ලබන කාල වකවානුවේ ශ්‍රී ලංකාව හොඳ ආර්ථික ස්ථාවරත්වයක පසුවිය. සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, ඉන්දියාව හා මාලදිවයින ඇතුළු රටවල ඒක පුද්ගල ආදායම ශ්‍රී ලංකාව පසු වූ ඇමරිකානු ඩොලර් 160 ක ට පහළින් තිබිණ. අද වනවිට මාල දිවයිනේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 19,000කට ආසන්නය. සිංගප්පුරුව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හත් දහස පසු කර තිබේ. තායිවානයේ මෙම අගය ඇමරිකානු ඩොලර් 42,000 ක් සහ මැලේසියාවේ ඇමරිකානු ඩොලර් 15,000 ක් වේ. ඉහළ මැදි ආදායම් රටක් වශයෙන් ශ්‍රී ලංකාවට තිබෙන ස්ථානය ඉතාම පැහැදිලිය.

බලයේ සිටි ආණ්ඩු පමණක් නොව විපක්ෂ දේශපාලන කණ්ඩායම්, වෘත්තීය සමිති හා පටු අදහස්වලින් යුතු ජන කොටස් මෙම තත්ත්වයට වගකිව යුතුය. ඔවුහු විදුලිය බලාගාරයක්, වරායක්, මහා මාර්ගයක්, වාරි යෝජනා ක්‍රමයක් අරඹන අතරවාරයේ ඒවා මහා දූෂණ, නාස්ති හා ණයගැනීම් වශයෙන් හුවා දැක්වූවෝය. අනෙක් රටවල දියුණු දුම්රිය මාර්ග තැනෙන අතර දිට්වා සුළි කුණාටුවට අතරමං වී තිබුණ දුම්රිය මහා මාර්ගයේ ප්‍රවාහනය කරන අයුරු විස්මයක් සේ දක්වති. සැහැල්ලු දුම්රිය ප්‍රතික්ෂේප කළ, වරාය සංවර්ධනය නතර කළ, විදුලි බලාගාර එපා කියන ලද පමණක් නොව අධිවේගී මාර්ග පවා මහත් විනාශයක් සේ සලකන ලද කාලයක් පසුකර තිබෙන බව පමණක් මතක් කළ යුතුය.

දේශපාලන හා සමාජ විරෝධතා හේතු කොටගෙන කල්ගත වූ කොළඹ වරාය නගරය, පරිසර හිතකාමී විදුලිය උත්පාදන ව්‍යාපෘති, හම්බන්තොට හා ත්‍රිකුණාමලය බලශක්ති ව්‍යාපෘති සලකන විට නාස්ති කරන ලද තරම අතිවිශාල බව ඉතා පැහැදිලිය. මෙම අතපසුවීම් රහිත අඛණ්ඩ පැවැත්මක තිබුණි නම් ශ්‍රී ලංකාව ඉතා දිදුලන තැනකය.

දූෂණ වංචා නතර කිරීමෙන් පමණක් අනාගතය

දූෂණ හා වංචා නතරකරන හා පැරණි සිද්ධිවලට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වත්මන් ආණ්ඩුව මහත් ඕනෑකමකින් අතට ගෙන තිබේ. දූෂණය නතර කිරීමෙන් පමණක් දියුණු වූ රටවල් නැත. අක්‍රමිකතා නතර කරන අතර වඩාත් පාරදෘශ්‍ය පිළිවෙළකට සංවර්ධනය වේගවත් කළ යුතු වේ. රටට එන්නට සූදානම්වන ආයෝජකයන් දැනට පසුවන දෙගිඩියාව ඉතා හොඳ තත්ත්වයක් නොවේ. පැරණි සිද්ධිවලට කරන නෛතික ක්‍රියා නිලධාරීන්ගේ තීරණ ගැනීමේ ධෛර්යය අඩපණ කර ඇත. සාමාන්‍ය තීරණයකට පවා කැබිනට් අනුමැතිය අවශ්‍ය වී තිබේ. දශක ගණනකට කලින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, හිල්ටන් හෝටල සමූහය, නිවාස සංකීර්ණ යනාදිය සඳහා නිලධාරීන් අනුමැතිය දී තිබේ. ඉඩම් පවරා ඇත. බදු නිදහස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් කළ හැකිය. 

දැන් තත්ත්වය වෙනස්ය. ආයෝජන මණ්ඩලය රටට අවශ්‍ය ආයෝජන වර්ග දහ අටක්  ප්‍රකාශයට පත් කර ඇති අතර කැමැති නම් එන්නැයි සඳහන් කරයි. ධනය ඇති අංශ උත්සාහ කරන්නේ මෙරටට අවශ්‍ය ආයෝජන කරන්නට නොවේ. අනෙක් අතට බදු බර දැවැන්තය. කොළඹ වරාය නගරයට ලබා දී තිබුණ බදු සහන අවලංගු කර ඇත. අවුරුද්දකට එහි ආයෝජනය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15 ක විදේශීය සහභාගීත්වය ඉලක්ක කර තිබිණ. දැන් එහි ආයෝජනය කරන පිරිස අතර දේශීය බැංකු හා මහල් නිවාස ගොඩනගන්නෝ වෙති. මෙරට අවන්හල් ද ඇත. මුහුද ගොඩකර මෙරට ව්‍යාපාරවලට ඉඩක් සැපයීම තුළින් විනිමය ලබාගැනීමට හැකියාවක් කිසි සේත් නැත.

වැරදිවලට ඉඩ දිය යුතු නැත. දූෂණ හා අක්‍රමිකතා නතර කළ යුතුවේ. එහෙත් සංවර්ධන තීන්දු නොපැකිළව ගත යුතුය. ඊළඟ ආණ්ඩුවෙන් නඩු පැවැරීමක් ගැන ළතැවෙන නිලධාරීන් තමන්ගේ අත්සන් තබන්නේ නැති පසුබිමක් තුළ දැනට අත්පත් කරගෙන ඇති ගෝලීය දර්ශකයේ ඉහළ මැදි ආදායම් මටට්ම ඉතාම ඉක්මනින් දුබලවිය හැකි අංකයක් පමණක් බව සඳහන් කිරීම අවශ්‍යය.

සාරා කන්දෙගොඩ