ලෝක  දේශපාලන කරළියේ සිදුවන වේගවත් වෙනස්වීම් සහ නවීන තාක්ෂණික දියුණුව හමුවේ, උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිලිටරි තර්ජනවලට සාර්ථකව මුහුණ දීම සඳහා දකුණු කොරියාව සුවිශේෂී මෙන්ම අති දැවැන්ත නව ආරක්ෂක උපායමාර්ගයක් දියත් කර තිබේ. මෙම නව මිලිටරි ප්‍රතිසංස්කරණයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ‘ඩ්‍රෝන් තාක්ෂණයයි’. 

ඒ අනුව, මින්පසු ඩ්‍රෝන් යානා යනු හමුදාවේ විශේෂිත ඒකකයකට පමණක් සීමා වූ මෙවලමක් නොවන අතර, සාමාන්‍ය සෙබළෙකු භාවිත කරන තුවක්කුවක් මෙන් සෑම හමුදා සාමාජිකයකුටම අත්‍යවශ්‍ය වන මූලික මෙවලමක් බවට පත් කිරීමට දකුණු කොරියානු ජාතික ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

‘ඩ්‍රෝන් රණශූර’ ව්‍යාපෘතිය සහ දැවැන්ත පුහුණුව

මෙම නව වැඩපිළිවෙළ යටතේ දකුණු කොරියාව තම යුධ, නාවික, ගුවන් සහ මැරීන් යන සියලු‍ම බළඇණි නියෝජනය කරන සෙබළුන් ඇතුළුව 500,000ක (ලක්ෂ පහක) හමුදා පිරිසක් ‘ඩ්‍රෝන් රණශූරයන්’ (Drone Warriors) ලෙස පුහුණු කිරීමට අපේක්ෂා කරයි. මේ යටතේ දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට බැඳෙන තරුණයන්ට තම සේවා කාලය තුළදීම නිල ඩ්‍රෝන් නියමු බලපත්‍ර ලබා ගැනීමටද අවස්ථාව හිමිවේ.

මෙම පුහුණු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඩ්‍රෝන් යානා විශාල වශයෙන් මිලදී ගැනීමට සහ නිෂ්පාදනය කිරීමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව 2026 වසර අවසන් වන විට පුහුණු කටයුතු සඳහා පමණක් වාණිජ මට්ටමේ ඩ්‍රෝන් යානා 11,000ක් මිලදී ගැනීමට නියමිතය. 2030 වසර වන විට පුහුණු ඩ්‍රෝන් යානා සංඛ්‍යාව 60,000ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

එසේම ඉතා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කෙරෙන යුධමය ප්‍රහාරක ඩ්‍රෝන් යානා 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීයව නිපදවීමටද පියවර ගැනේ.

හදිසියේම ඩ්‍රෝන් වෙත හැරුණේ ඇයි?

දකුණු කොරියාව මෙලෙස හදිසියේම ඩ්‍රෝන් තාක්ෂණය දෙසට තම පූර්ණ අවධානය යොමු කිරීමට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇත. පළමුවැන්න නම්, මෑතකදී උතුරු කොරියානු කුඩා ඩ්‍රෝන් යානා පහක් දකුණු කොරියානු දේශසීමා උල්ලංඝනය කරමින්, සෝල් අගනුවර පිහිටි ජනාධිපති කාර්යාලයේ ආරක්ෂිත ගුවන් කලාපයට පවා ඇතුළු වීමයි. ඊට එරෙහිව සාම්ප්‍රදායික ගුවන් ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම දකුණු කොරියාවට ලැබුණු විශාල අනතුරු ඇඟවීමක් විය.

දෙවැනි හේතුව නම්, උතුරු කොරියාව සහ රුසියාව අතර පවතින සමීප මිලිටරි සබඳතා හේතුවෙන්, යුක්‍රේන යුද්ධයේදී භාවිත වන නවීන ඩ්‍රෝන් සටන් උපක්‍රම පිළිබඳව උතුරු කොරියානු හමුදාවන්ට සෘජු ප්‍රායෝගික අත්දැකීම් ලැබෙමින් පැවතීමයි.

කෙසේ වුවද දකුණු කොරියාව දැනට ක්‍රියාත්මක කරන මෙම ‘ඩ්‍රෝන් රණශූර’ ව්‍යාපෘතිය හදිසි යුද බියක් නිසා නොව, දිගුකාලීන ආරක්ෂක සැලසුමක කොටසක් ලෙස හඳුන්වා දී තිබේ. ඒ සඳහා ප්‍රධාන හේතු සාධක 3ක් බලපා ඇත.

නිරන්තර සූදානම: උතුරු කොරියාව මෑතකදී නවීන මිසයිල සහ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරමින් ආක්‍රමණශීලී ප්‍රකාශ නිකුත් කර තිබේ. දකුණු කොරියාවේ අරමුණ යුද්ධයකට පැටලීම නොව, තමන් සතු උපරිම ඩ්‍රෝන් ශක්තිය පෙන්වා උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ප්‍රහාර කලින්ම වැළැක්වීමයි.

යුක්‍රේන යුද්ධයෙන් උගත් පාඩම්: වර්තමාන ලෝකයේ යුධ ක්‍රමවේදයන් වෙනස් වී ඇති ආකාරය යුක්‍රේන-රුසියානු ගැටුමෙන් මැනවින් පැහැදිලි වන අතර, එහිදී ඩ්‍රෝන් යානා ඉටුකරන ප්‍රධාන භූමිකාව සැලකිල්ලට ගනිමින් දකුණු කොරියාවද තමන්ගේ සාම්ප්‍රදායික ආරක්ෂක ක්‍රමවේද වහාම නවීකරණය කිරීමට පියවර ගෙන තිබේ.

ජනගහන අර්බුදය: දකුණු කොරියාව මුහුණ දෙන විශාලතම අභ්‍යන්තර ගැටලු‍වක් වන්නේ උපත් අනුපාතිකය වේගයෙන් පහත වැටීමයි. මේ හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළ හමුදාවට බඳවා ගැනීමට සිටින තරුණ සෙබළුන් ප්‍රමාණය විශාල ලෙස අඩු වන බැවින්, එම මානව සම්පත් හිඟය පියවා ගැනීමට ඔවුන් කෘත්‍රිම බුද්ධිය සහ ස්වයංක්‍රීය ඩ්‍රෝන් තාක්ෂණය දෙසට වේගයෙන් යොමු වේ.

ආරක්ෂක පද්ධති සහ පවතින අභියෝග

ප්‍රහාරක ඩ්‍රෝන් බළකායක් නිර්මාණය කරන අතරම, සතුරාගෙන් එල්ල වන ඩ්‍රෝන් ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ලේසර් ආරක්ෂක පද්ධති (Laser-based Defense Systems) සහ අධි-බලැති මයික්‍රෝවේව් ආයුධ (High-Power Microwave Weapons) වැනි නවීන තාක්ෂණයන් දකුණු කොරියාව දේශසීමා පුරා ස්ථාපිත කරමින් සිටී.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියේදී අභියෝග කිහිපයකටද මුහුණ දීමට සිදුව ඇත.

එහි විශේෂත්වයක් වන්නේ වත්මන් ඩ්‍රෝන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපාංග බහුතරයක් චීනයෙන් ආනයනය කෙරෙන බැවින්, ජාතික ආරක්ෂාව උදෙසා 100%ක් දේශීයව උපාංග නිෂ්පාදනය කිරීමට ඔවුන්ට සිදු වේ.

එසේම ඩ්‍රෝන් යානා “පහසුවෙන් විනාශ කළ හැකි”‍ මෙවලම් ලෙස සලකනු වෙනුවට “මිල අධික හමුදා දේපළ”‍ ලෙස සලකා කටයුතු කිරීම නිසා පවතින නීතිමය රතු පටි ලිහිල් කිරීමට සිදුවේ.

එසේම හදිසි අවස්ථාවකදී මධ්‍යම අණදෙන නිලධාරී මණ්ඩලයෙන් නියෝග ලැබෙන තෙක් ප්‍රමාද නොවී, දේශසීමාවේ සිටින පෙරමුණේ බළඇණිවලටම ස්වාධීනව සහ ක්ෂණිකව ඩ්‍රෝන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි හමුදා ව්‍යුහය වෙනස් කරමින් පවතී.

කලාපීය නොසන්සුන්තාව තීව්‍ර කළ චීන - රුසියානු ඒකාබද්ධ ගුවන් සංචාරය

දකුණු කොරියාව සහ ජපානය අවට කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරමින්, රුසියාව සහ චීනය එක්ව සංවිධානය කළ 11 වැනි ඒකාබද්ධ උපායමාර්ගික ගුවන් සංචාරය (Joint Strategic Patrol) 2026 ජූනි 27 වැනිදා ජපාන මුහුද සහ නැගෙනහිර චීන මුහුද කලාපය කේන්ද්‍ර කර ගනිමින් පවත්වා තිබේ.

අවම වශයෙන් ගුවන් යානා 15කින් සමන්විත වූ මෙම දැවැන්ත ගුවන් බලඇණිය, පැය හයක කාලයක් පුරා එම කලාපයේ පියාසර කර ඇත. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ දර්ශනවලට අනුව, මෙම ඒකාබද්ධ පියාසර කිරීම් අතරතුර ඇමරිකානු ගුවන් හමුදාවට අයත් F-35A Lightning II ප්‍රහාරක යානා සහ ජපාන ස්වයං - ආරක්ෂක ගුවන් හමුදාවට අයත් F-15J Eagles ප්‍රහාරක යානා පැමිණ ඔවුන්ව නිරීක්ෂණය කරමින් (Intercept and Escort) ගමන් කර තිබේ.

මෙහෙයුමට එක්වූ ප්‍රධාන ගුවන් යානා තාක්ෂණය: චීන මිලිටරි මාධ්‍ය නිකුත් කළ නිල වීඩියෝ දර්ශනවල YY-20A/YU-20A  ඉන්ධන පිරවුම් යානා, KJ-500  පූර්ව අනතුරු ඇඟවීමේ සහ පාලන (AEW&C) යානයක්, Y-9Z  සහ Y-9G  සංඥා බුද්ධි තොරතුරු (SIGINT) යානා මෙන්ම J-11  සහ J-10C  ප්‍රහාරක යානාද සම්බන්ධ වී සිටින අයුරු දැක්වුණි. මෙහිදී චීන Y-20A  යානයක් මගින් J-16  ප්‍රහාරක යානා දෙකකට එකවර අහසේදීම ඉන්ධන පුරවන ආකාරය (aerial refueling ) පැහැදිලිව සටහන්ව තිබුණි. මීට අමතරව,  H-6K  සහ  Tu-95MS  උපායමාර්ගික බෝම්බ හෙලන යානා, Il-78M  ඉන්ධන ටැංකි යානයක්, Tu-142  මුහුදු සීමා නිරීක්ෂණ යානා සහSu-30SM, Su-35  ප්‍රහාරක යානාද මෙම මෙහෙයුමට එක්ව සිටි බව තහවුරු වී ඇත.

ජපානය සහ දකුණු කොරියාව දැක්වූ ප්‍රතිචාර

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තමන් චීන H-6  බෝම්බ හෙළන යානා 4ක්, J-16 යානා 6ක්, රුසියානු Tu-95  යානා 2ක්, Tu-142 යානා 2ක් සහ Su-30 යානයක් ඇතුළු සමස්ත ගුවන් යානා 15ක් හඳුනාගත් බවයි. ජපානය සහ දකුණු කොරියාව අතර මුහුදු සීමාවේදී මෙම යානා එකිනෙකා හා සම්බන්ධ වී, දකුණු දෙසින් පිහිටි ඔකිනාවා ප්‍රාන්තය වෙත ගමන් කර, පසුව පැසිෆික් සාගරය දෙසට හැරී ඇත. මෙම අනපේක්ෂිත ගුවන් ගමන් හමුවේ, ආරක්ෂාව සඳහා වහාම ක්‍රියාත්මක වූ ජපාන ගුවන් හමුදාව තම ප්‍රහාරක යානා අහසට මුදාහැරීමට පියවර ගෙන තිබේ.

මේ අතර, දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කාර්යාලය  ප්‍රකාශ කළේ, මෙම රුසියානු-චීන ගුවන් බළඇණිය සෝල් අගනුවරට අයත් ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට (ADIZ) කෙටි වේලාවකට ඇතුළු වූ බවයි. එහිදී ඔවුන් යානා 10ක් පමණ නිරීක්ෂණය කර ඇති අතර, ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා දකුණු කොරියානු ප්‍රහාරක යානාද සීරුවෙන් තබා ඇත.

ව්‍යායාමයේ පසුබිම සහ දේශපාලන බලපෑම

මෙම 11 වැනි ඒකාබද්ධ ගුවන් සංචාරය සිදුවන්නේ ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය එක්ව බටහිර පැසිෆික් කලාපයේ පවත්වන ඪ්කස්බඑ ීයසැකා’ දැවැන්ත යුධ අභ්‍යාසය අතරතුරදී වීම කැපී පෙනේ. චීන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, තම ඒකාබද්ධ ගුවන් සංචාරය මගින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට දෙරට සතු කැපවීම සහ හැකියාව ප්‍රදර්ශනය කළ බවයි.

කෙසේ වෙතත්, රුසියාව සහ චීනය ස්වාධීනව මෙන්ම මෙලෙස ඒකාබද්ධව දකුණු කොරියාව සහ ජපානය වටා සිදුකරන ගුවන් මෙහෙයුම් සහ උතුරු කොරියාවේ ඩ්‍රෝන් තර්ජන හමුවේ, දකුණු කොරියාව ක්‍රියාත්මක කරන ‘ඩ්‍රෝන් රණශූර’ ව්‍යාපෘතිය අනාගත ආසියානු - පැසිෆික් කලාපයේ මිලිටරි සමතුලිතතාව තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු නොඅනුමානය.

කේ. ආර්. විතානගේ