ඇමෙරිකා එක්සත් ජනපදය තම ආරම්භයේ 250 වැනි සංවත්සරය සමරන මෙම මාසයේදී, Financial Times  පුවත්පත විසින් වරක් “මඩ ගෙයක සිට ධවල මන්දිරය දක්වා” ගමන් කළ නායකයකු ලෙස විස්තර කරන ලද මෙම අද්විතීය ශ්‍රී ලාංකිකයාගේ කතාව නැවත සිහිපත් කිරීමට වටී. එය අධ්‍යාපනයේ, අධිෂ්ඨානයේ සහ මහජන සේවයේ නොනැසී පවතින බලය ගැන පමණක් නොව, ශ්‍රී ලංකාව සහ එහි ජනතාව එක්සත් ජනපදයටත් පුළුල් ලෝකයටත් ලබා දී ඇති දායකත්වයන් පිළිබඳවද කතා කරන කතාවකි.

මහාචාර්ය පැට්‍රික් මෙන්ඩිස් තරම් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය යන රටවල් දෙක සමගම ගැඹුරින් සම්බන්ධ වූ ජීවිතයක් ගොඩනගා ගත් ශ්‍රී ලාංකිකයන් ඉතා ස්වල්පය. විද්වතකු, රාජ්‍යතාන්ත්‍රිකයකු, යුද හමුදා මහාචාර්යවරයකු, අධ්‍යාපනඥයෙකු, පරිත්‍යාගශීලියකු සහ ගෝලීය ප්‍රතිපත්ති විශේෂඥයකු වන මෙන්ඩිස්, මහජන සේවය, අධ්‍යාපනය, ශාස්ත්‍රීය කටයුතු සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් හරහා තම උපන් රට සහ තමන්ගේ දෙවැනි මව්බිම අතර අවබෝධය වර්ධනය කිරීම සඳහා දශක ගණනාවක් කැප කර ඇත.

මගේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මහාචාර්ය මෙන්ඩිස් හට කොළඹ පිහිටි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, දේශීයව සහ විදේශීයව සේවය කරන රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා දේශන මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලදී. ඔහුගේ ආදි ශිෂ්‍යත්වය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, අධ්‍යාපනය සහ මහජන සේවය සඳහා ඔහු කළ දිගුකාලීන දායකත්වය ඇගයීමක් වශයෙන්, 2024 වසරේ ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් ත්‍යාගයේ 30 වැනි සංවත්සර සැමරුමේදී ඔහු “විශිෂ්ට ආරාධිත මහාචාර්ය” සහ “ගෞරව සම්මානිත සාමාජික” ලෙස පත් කරනු ලැබීය.

පොත්, ශාස්ත්‍රීය ලිපි සහ පුවත්පත් තීරු ලිපි ඇතුළුව ශාස්ත්‍රීය කෘති 250කට අධික සංඛ්‍යාවක කතුවරයා වන මෙන්ඩිස්, ශ්‍රී ලංකාව සහ එහි ගෝලීය ප්‍රවාසික ප්‍රජාව පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඔහු The Encyclopedia of the Sri Lankan Diaspora  කෘතිය බිහිකළ ව්‍යාපෘතිය සඳහා උපදේශකයකු ලෙස සේවය කළ අතර, එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකික ප්‍රවාසික ප්‍රජාව පිළිබඳ පරිච්ඡේදයද රචනා කළේය. වසර පහක මෙම ව්‍යාපෘතිය සඳහා, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ සහ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතිව, මෙන්ඩිස් සිංගප්පූරුව සහ වොෂින්ටන් අතර ගමන් කළේය.

එක්සත් ජනපදය තම ආරම්භයේ 250 වැනි සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී, පැට්‍රික් මෙන්ඩිස්ගේ ජීවිත කතාව ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව දිගු කලක් තිස්සේ සම්බන්ධ කර ඇති වටිනාකම් පිළිබිඹු කරයි: අධ්‍යාපනික අවස්ථා, ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසිභාවය, සිවිල් වගකීම සහ ජාත්‍යන්තර සහයෝගිතාවයි. රාජ්‍යතාන්ත්‍රික සේවය, ශාස්ත්‍රීය ක්ෂේත්‍රය, උපායමාර්ගික අධ්‍යාපනය සහ පරිත්‍යාගශීලී කටයුතු ආවරණය කරන ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ, ඔහු රටවල් 150කට අධික සංඛ්‍යාවක සේවය කර හෝ සංචාරය කර ඇති අතර, ඔහුගේ අද්විතීය ශ්‍රී ලාංකික මුල්බැසීම සහ අව්‍යාජ ඇමරිකානු අත්දැකීම් මත පදනම් වූ සුවිශේෂී ගෝලීය දැක්මක් වර්ධනය කරගෙන ඇත.

පොළොන්නරුවෙන් ඇරඹුණු ඇමෙරිකානු ඔඩිසිය

ඔහුගේ ඇමෙරිකානු ගමන පෞද්ගලික මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් එකකි. මේ දක්වා, මෙන්ඩිස් යනු ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශ්වික පාලන සමයන් යටතේ ඇමෙරිකානු ජනාධිපතිවරුන් හය දෙනකුගේ එනම් රොනල්ඩ් රේගන්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බරක් ඔබාමා, ජෝ බයිඩන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයන්හි එක්සත් ජනපද රජයේ සේවය කළ එකම ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඇමෙරිකානුවා වෙයි.

ශ්‍රී ලාංකිකයකු ලෙස ස්වභාවිකකරණය වූ ඇමෙරිකානු පුරවැසියකු වීමට පෙර, ශ්‍රී ලංකා රජය විසින් ඔහු නිව්‌යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාවේ ප්‍රථම යෞවන තානාපතිවරයා ලෙස පත් කරන ලදී. එහිදී ඔහු ප්‍රකට ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල සමග සේවය කළේය. ධනපාල තානාපතිවරයා ඔහුගේ උපදේශකයකු සහ සමීප මිතුරකු බවට පත්වූ අතර, මහජන සේවය සහ ලෝකයේ ශ්‍රී ලංකාවේ ස්ථානය පිළිබඳ මෙන්ඩිස්ගේ අවබෝධය ගොඩනැගීමට මහත් බලපෑමක් කළේය. ඔහුගේ සේවය ඇගයීමක් ලෙස, නායකත්වය සහ සේවය සඳහා මෙන්ඩිස් එක්සත් ජාතීන්ගේ පදක්කමෙන් පිදුම් ලැබීය. මහාද්වීප සහ ආයතන පුරා විහිදුණු වෘත්තීය ජීවිතයක මුල් සංඥාවක් ලෙස එය සැලකිය හැකිය.

මධ්‍යකාලීන අගනුවර වූ පොළොන්නරුවේ උපත ලැබූ පැට්‍රික් මෙන්ඩිස්, මීහරකුන් සහ අක්කර තුනක කුඹුරක් අතර හැදී වැඩුණු අතර, ඇමෙරිකානු ෆීල්ඩ් සර්විස් (AFS)  හුවමාරු වැඩසටහන හරහා ඔහුගේ ජීවිතය වෙනස් කළ අවස්ථාවක් උදා විය. 1970 දශකයේ අග භාගයේදී, යොවුන් වියේ සිටි ඔහු මිනෙසෝටා ප්‍රාන්තයට උසස් පාසල් හුවමාරු ශිෂ්‍යයකු ලෙස ගොස් ඇමෙරිකානු පවුලක් සමග ජීවත් වූ අතර, ඇමෙරිකානු සමාජය හැඩගස්වන සිවිල් සංස්කෘතිය, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ස්වේච්ඡා සේවා ආත්මය සියැසින් අත්වින්දේය. ශිෂ්‍ය හුවමාරුවක් ලෙස ආරම්භ වූ මෙම ගමන, අවසානයේ රටවල් දෙකක් සම්බන්ධ කරන ජීවිත කාලීන පාලමක් බවට පත් විය.

ශ්‍රී ලංකාවට ආපසු පැමිණි පසු, මෙන්ඩිස් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්ති ගෞරව උපාධියක් ලබා ගත්තේය. එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුද සහ සිවිල් ගැටුම් උග්‍රවීමට පටන්ගත් විට, ඔහුගේ AFS  සත්කාරක පවුල සහ මිනෙසෝටාවේ ප්‍රජා නායකයෝ ඔහුට නැවත එක්සත් ජනපදයට ගොස් උපාධි අධ්‍යයන කටයුතු කිරීමට සහාය ලබා දුන්හ. ඔවුන්ගේ උදාරත්වය ඔහුගේ සිතෙහි නොමැකෙන සලකුණක් තැබූ අතර, අධ්‍යාපනයේ, මහජන සේවයේ සහ ජාත්‍යන්තර මිත්‍රත්වයේ පරිවර්තනීය බලය පිළිබඳ ඔහුගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කළේය.

විද්වතා සහ රාජ්‍යතාන්ත්‍රිකයා

පැට්‍රික් මෙන්ඩිස් පසුව මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන කටයුතු සිදු කළ අතර, හම්ෆ්‍රි මහජන කටයුතු පාසලේ සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ කෙනඩි රජයේ පාසලේ ශිෂ්‍යත්ව සහ ආධාර යටතේ විධායක නායකත්ව අධ්‍යාපනයද ලබා ගත්තේය. මෙම අත්දැකීම් මගින් ආර්ථික විද්‍යාව, රාජ්‍යතාන්ත්‍රික කටයුතු, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නායකත්වය සම්බන්ධ ඔහුගේ දැනුම තවදුරටත් ගැඹුරු විය.

මෙම හැඩගැසීමේ කාලසීමාව තුළ ඔහුගේ ජීවිතයට තවත් බලගතු උපදේශකයෙක් ඇතුළු විය. එනම් නේටෝ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිවරයකු, හිටපු රාජ්‍ය උප ලේකම්වරයකු සහ මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ හම්ෆ්‍රි මහජන කටයුතු පාසලේ ආරම්භක පීඨාධිපතිවරයකු වූ හාර්ලන් ක්ලීව්ලන්ඩ් ය. අධ්‍යාපනික උපදේශනයක් ලෙස ආරම්භ වූ මෙම සම්බන්ධතාවය, ශතවර්ෂයක හතරෙන් එකකට අධික කාලයක් පැවති මිත්‍රත්වයක් බවට පත්විය. ක්ලීව්ලන්ඩ් තානාපතිවරයා මෙන්ඩිස්ගේ ජීවිතයේ වැදගත්ම බුද්ධිමය බලපෑම් අතරින් එක් අයකු වූ අතර, රාජ්‍යතාන්ත්‍රිකත්වය, පාලනය සහ ගෝලීය පුරවැසිභාවය පිළිබඳ ඔහුගේ අවබෝධය හැඩගස්වා දුන්නේය.

විශ්වවිද්‍යාලයේ සිටි කාලය තුළ, මෙන්ඩිස් විසින් මිනෙසෝටාවේදී අර්නස්ට් කොරයා තානාපතිවරයා, ජයන්ත ධනපාල තානාපතිවරයා, ආනන්ද ගුරුගේ තානාපතිවරයා සහ ක්ලීව්ලන්ඩ් අතර හමුවීම් සංවිධානය කරන ලදී. ක්ලීව්ලන්ඩ්ගේ මගපෙන්වීම යටතේ, බහුපාර්ශ්වික ආයතන සහ සහයෝගිතාව පිළිබඳ ඔහුගේ අවබෝධය තවදුරටත් ගැඹුරු විය. මෙම අත්දැකීම පසුව ඔහුට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්මානලාභී රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙසත්, නේටෝ සහ ඉන්දු - පැසිෆික් හමුදා විධානවල හමුදා සාමාජිකයන්ට ඉගැන්වූ සාර්ථක යුද හමුදා මහාචාර්යවරයකු ලෙසත් සේවය කිරීමට මඟ පෙන්වීය. එහිදී ඔහුට ස්ටැන්ලි ජේ. ඩ්‍රැසෙක් ඉගැන්වීමේ විශිෂ්ටතා සම්මානය හිමි විය.

මෙන්ඩිස්, ක්ලීව්ලන්ඩ්ගේ ලෝක කලා හා විද්‍යා ඇකඩමියේ (World Academy of Art and Science)  සභාපති ධුර කාලය තුළ ඔහුගේ විශේෂ සහකාර සහ උපදේශකවරයා ලෙසද සේවය කළේය. එම ඇකඩමියේ කටයුතු අතරතුර, ක්ලීව්ලන්ඩ්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධීකරණය කළ මෙන්ඩිස්, එහිදී අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක හමුවී තමSri Lanka in Pictures  කෘතියේ පිටපතක් ඇයට පිරිනැමීය. එම සංචාරයේදී, ක්ලීව්ලන්ඩ් ලෝක කලා හා විද්‍යා ඇකඩමියේ සාමාජිකයන් වූ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් සහ ආචාර්ය භික්ෂු බෝධි හිමියන් ද හමුවිය. මෙන්ඩිස් පසුව තම Trade for Peace  කෘතිය ක්ලීව්ලන්ඩ්ට කැප කළ අතර, USAID  පරිපාලක බ්‍රයන් ඇට්වුඩ් තානාපතිවරයා එහි පෙරවදන ලියා ඇත. අද වන විට මෙන්ඩිස් ද ලෝක කලා හා විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙක් ලෙස සේවය කරයි.

අසමසම රාජ්‍ය සේවය

පැට්‍රික් මෙන්ඩිස් විද්වත්භාවය සහ මහජන සේවය එකට ගොඩනැගූ අසාමාන්‍ය වෘත්තීය ජීවිතයක් නිර්මාණය කළේය. ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පාලන සමයේදී ඔහු එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ කාර්ය මණ්ඩලයේ සේවය කළ අතර, පසුව මිනෙසෝටා, කොලොම්බියා සහ යේල් විශ්වවිද්‍යාලවල පර්යේෂණ හා ඉගැන්වීම්වල නිරත විය. පැරණි සෝවියට් සංගමයේ ලෙනින්ග්‍රාඩ් සහ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලවල දේශන පැවැත්වූ ඇමරිකානු ශාස්ත්‍රීය දූත පිරිසකට නායකත්වය දුන්නේද ඔහුය.

AAAS රාජ්‍යතාන්ත්‍රික සාමාජිකයකු ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුවට එක්වූ ඔහු, එවකට රාජ්‍ය ලේකම් මැඩලින් ඕල්බ්‍රයිට් විසින් විද්‍යා හා තාක්ෂණය පිළිබඳ අන්තර් ආයතනික ප්‍රතිපත්ති ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී. එම භූමිකාව තුළ ඔහු ධවල මන්දිරයේ OSTP  කාර්යාලය සමග සම්බන්ධීකරණය කළේය.

රාජ්‍ය ලේකම් ජෙනරාල් කොලින් පවල් විසින් ඔහුව අධ්‍යාපනික හා සංස්කෘතික කටයුතු කාර්යාංශයේ ලේකම් කාර්යාල අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ අතර, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පාලන සමයේ ෆුල්බ්‍රයිට්, හම්ෆ්‍රි ඇතුළු ජාත්‍යන්තර අධ්‍යාපන හුවමාරු වැඩසටහන් අධීක්ෂණයට ඔහු දායක විය. ඔබාමා සහ ට්‍රම්ප් පාලන සමයන්හිදී එක්සත් ජනපද යුනෙස්කෝ ජාතික කොමිසමේ සාමාජිකයකු ලෙසද, බයිඩන් පාලන සමයේදී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ (NSEB)  ජනාධිපති උපදේශකයෙක් ලෙසද ඔහු පත් කරනු ලැබීය.

ක්ලින්ටන්, බුෂ්, ඔබාමා, ට්‍රම්ප් සහ බයිඩන් යන ජනාධිපතිවරුන්ගේ පාලන සමයන් පුරාම මෙන්ඩිස් රාජ්‍යතාන්ත්‍රික කටයුතු, විදේශ ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂක අධ්‍යාපනය සඳහා දායක විය. දෙපාර්ශ්වීය පාලන යටතේ ඔහු කළ සේවය මහජන සේවය සඳහා වූ ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබිඹු කළේය.

නේටෝ සංවිධානයේ සම්මානලාභී යුද හමුදා මහාචාර්යවරයකු ලෙස සේවය කළ පළමු ශ්‍රී ලංකාවේ උපත ලැබූ විද්වතා වූ ඔහු, එක්සත් ජනපද විදේශ සේවා ආයතනයේ (FSI)  ද දේශන පැවැත්වීය. ඔහුගේ දායකත්වය උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නායකත්ව සම්මානය, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශිෂ්ට සේවා සම්මානය සහ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සම්මානය හිමි වූ අතර, නාසා (NASA)  අභ්‍යවකාශ හා රොකට් මධ්‍යස්ථානයේ විශේෂිත ආතති කළමනාකරණ සහ නායකත්ව පුහුණුව ලබා ගැනීමට ද අවස්ථාව ලැබිණි. වර්තමානයේ මෙන්ඩිස් පෝලන්තයේ වෝර්සෝ විශ්වවිද්‍යාලයේ අත්ලාන්තික් සබඳතා පිළිබඳ විශිෂ්ට ආරාධිත මහාචාර්යවරයා ලෙස සේවය කරයි.

හදවතින්ම පරිත්‍යාගශීලියෙක්

තම වෘත්තීය ජීවිතය පුරාම මහාචාර්ය මෙන්ඩිස් පරිත්‍යාගශීලී කටයුතු හරහා ශ්‍රී ලංකාව සමග ගැඹුරු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. 2004 සුනාමියෙන් පසු, Glocalization: The Human Side of Globalization  කෘතිය අලෙවි කිරීම මගින් මානුෂීය සහ අධ්‍යාපනික සහාය රැස්කිරීමට ඔහු මුලපිරීය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැති එම කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මෙන්ඩිස්ගේ හිටපු සගයන් වූ කර්නල් ලැරී විල්කර්සන් සහ හිටපු තානාපති ෂෝන් ඩොනලි ඇතුළු පිරිසක් සහභාගී වූහ. ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ඊට ලිඛිත පණිවුඩයක් යොමු කළ අතර, ආචාර්ය ඒ. ටී. ආරියරත්න එහි අවසන් වදන ලිවීය. එම ආදායම පාසල් ශිෂ්‍යත්ව, ගාල්ල රෝහලට ආධාර සහ සර්වෝදය සාම සම්මානය පිහිටුවීමට යොදා ගන්නා ලදී. මෑතකදී ඩිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ පොළොන්නරුව සහ අනුරාධපුර ගම්මාන දෙකකටද ඔහු මූල්‍ය ආධාර ලබා දුන්නේය.

ඔහු Educate Lanka Foundation (ELF)  හි උපදේශක මණ්ඩලයේ ආරම්භක සභාපති ලෙසත්, St. Paul Foundation  හි ආසියානු-පැසිෆික් අරමුදලේ සභාපති ලෙසත් සේවය කරමින් සංක්‍රමණික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. ඒ වෙනුවෙන් මිනෙසෝටා ආණ්ඩුකාරවරයාගේ ආසියානු-පැසිෆික් නායකත්ව සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීය.

කෘතවේදීත්වයේ ක්‍රියා සහ උරුමය

1994දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ “ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් ත්‍යාගය” පිහිටුවූ ඔහු, තමන්ගේ ඇමෙරිකානු උපදේශක එඩ්වඩ් බර්ඩික් වෙනුවෙන් මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ සම්මානයක් ද, AFS  සත්කාරක දෙමාපියන් වෙනුවෙන් M State  හි ජොන්සන්-මෙන්ඩිස් ශිෂ්‍යත්වය ද, හාවඩ් විශ්වවිද්‍යාලයේ Millennials Award  සම්මානය ද ස්ථාපිත කළේය. ඔහුගේ මෙහෙවර උදෙසා ලොස් ඇන්ජලීස්හි ශ්‍රී ලංකා පදනම (Sri Lanka Foundation)  වෙතින් ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානය ඇතුළු ගෞරව රැසක් හිමි වී ඇත.

ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ඔහුට හිමි වූ තනතුරු අභිබවා පැට්‍රික් මෙන්ඩිස්ගේ විශාලතම දායකත්වය වන්නේ ජාතික සීමාවන් ඉක්මවා මිනිසුන් සහ අදහස් සම්බන්ධ කිරීමට ඔහු සතු වූ හැකියාවයි. පොළොන්නරුවේ ළමා වියේ සිට වොෂින්ටනයේ රාජ්‍යතාන්ත්‍රික සේවය දක්වාත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට නේටෝ සහ ඉන්දු-පැසිෆික් විධානයන්හි ඉගැන්වීම දක්වාත්, ඔහුගේ ජීවිත ගමන අධ්‍යාපනය සහ සේවය භූගෝලීය සීමා ඉක්මවා යා හැකි බව පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ 250 වැනි සංවත්සරයේදී, මෙම ජීවිත කතාව අපට මතක් කර දෙන්නේ රටවල් අතර සබඳතා හැඩගස්වන්නේ නිල රාජ්‍යතාන්ත්‍රික කටයුතු පමණක් නොව, තම ජීවිත තුළින් රටවල් සම්බන්ධ කරන පුද්ගලයන් ද ඇසුරින් බවයි. ඇමරිකානු රජයේ සේවය සහ ශාස්ත්‍රීය සම්බන්ධතාව එක්වූ ඔහුගේ සුවිශේෂී අත්දැකීම්, ගෝලීය දකුණ නියෝජනය කරන ප්‍රබල හඬක් ලෙස මෙන්ඩිස් ස්ථාපිත කර ඇත. ඉන්දියානු සාගරයේ උපායමාර්ගිකව පිහිටි ශ්‍රී ලංකාව සඳහා, ඔහුගේ අත්දැකීම් ගෝලීය දැනුම සහ රාජ්‍යතාන්ත්‍රික අවබෝධය තුළින් රටේ ජාත්‍යන්තර ස්ථානය ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳ අසමසම ආදර්ශයක් සපයයි.

මහින්ද සමරසිංහ
ඇමෙරිකා එක්සත් ජනපදය සහ 
මෙක්සිකෝව සඳහා ශ්‍රී ලංකා තානාපති