උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ඉතා සක්‍රීයව සිදුවෙමින් පවතී. අස්වැන්න වෙළෙඳපොළට පැමිණීමත් සමඟ ගොවියාට සාධාරණ සහතික මිලක් තහවුරු කිරීම සහ සහල් පාරිභෝගිකයා සූරාකෑමෙන් වළක්වා ගැනීමේ අරමුණින් ජූලි 13 වැනිදා සිට වී මිලදී ගැනීමේ ජාතික වැඩපිළිවෙළ රජය මගින් නිල වශයෙන් ආරම්භ කරන ලදී. කෙසේ වෙතත්, සෑම කන්නයකම මෙන්ම මෙවරද රජය ප්‍රකාශ කරන මිලදී ගැනීමේ ප්‍රගතිය, නියමිත සහතික මිල සහ ප්‍රායෝගිකව ගොවි ජනතාව මුහුණ දෙන දැවෙන අභියෝග අතර විශාල පරතරයක් නිර්මාණය වී තිබේ. මාධ්‍යයේ මෙන්ම සමස්ත ජනතාවගේද අවධානයට ලක්ව ඇති මෙම ගැටලු‍ව, කන්නයෙන් කන්නයට පුනරාවර්තනය වන චක්‍රීය අර්බුදයක් බවට පත්ව ඇත්තේ ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නොගැලපීම් හේතුවෙනි.

වී මිලදී ගැනීමේ ප්‍රගතිය 

රජයේ නිල ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ජූලි 13 වැනිදා ආරම්භ වූ වැඩපිළිවෙළ යටතේ ගෙවුණු පළමු දින 8 ඇතුළත වී මෙට්‍රික් ටොන් 1,910 ක් මිලදී ගෙන ඇති බවයි. වී මිලදී ගැනීම ආරම්භ කිරීමෙන් දින 10 ක් ගත වූ තැන එනම් ජූලි 23 වැනිදා වන විට වී මෙට්‍රික් ටොන් 5,390.165ක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය අප කළ විමසුමකදී තහවුරු කළේය. මේ සඳහා රුපියල් 647,491,800.00 ක් වැය වී තිබුණි. වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන තිබූ අතර එය කිලෝ 3,148,738 කි. වව්නියාව දිස්ත්‍රික්කයෙන් කිලෝ 620,900ක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කිලෝ 567,477ක්ද වී අලෙවි මණ්ඩලය පළමු දින 10 අවසානයේ දී මිලදී ගෙන තිබුණි. වී අලෙවි මණ්ඩලයේ අදහසට අනුව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවෙමින් පවතී. 

මෙවර යල කන්නයේදී සමස්තයක් ලෙස වී මෙට්‍රික් ටොන් 39,500 ක් මිලදී ගැනීම රජයේ ඉලක්කය වන අතර, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000 ක ප්‍රතිපාදන වෙන් කර ඇත. එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ වෙළෙන්දන් දිරිගැන්වීම වෙනුවෙන් ‘ඔඩපන‘ ණය ක්‍රමවේදය යටතේ තවත් රුපියල් මිලියන 10,000 ක් වෙන් කර තිබේ. සැලසුම් කර ඇති සමස්ත ගබඩා 143 අතුරින් අස්වනු නෙළන කලාප ඉලක්ක කරගනිමින් ගබඩා 71 ක් මේ වන විටත් විවෘත කර ඇති අතර, නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120.00 කටද, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130.00 කටද, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140.00 කටද වශයෙන් සහතික මිල ගණන් නියම කර ඇත.

ආණ්ඩුවෙන් ප්‍රකාශ, ගොවියාගේ ප්‍රශ්න 

රජයේ නිල සංඛ්‍යාලේඛන එසේ වුවද, ක්ෂේත්‍ර යථාර්ථය තුළ ගොවියා මුහුණ දෙන්නේ  බරපතළ අභියෝගයකටය. පොහොර, කෘමිනාශක, ඉන්ධන, යන්ත්‍රසූත්‍ර ගාස්තු සහ කම්කරු වේතන අධික ලෙස ඉහළ යාම නිසා වී වගාවේ නිෂ්පාදන පිරිවැය ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂිකාර්මික පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ  දත්ත උපුටා දක්වමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ වර්තමානයේ වී කිලෝග්‍රෑමයක නිෂ්පාදන පිරිවැය රුපියල් 137 ක් පමණ වන බවයි. එසේ තිබියදී, නාඩු වී කිලෝවක් සඳහා ලබාදෙන රුපියල් 120 ක සහතික මිල මගින් නිෂ්පාදන පිරිවැයවත් ආවරණය නොවන බව ගොවි සංවිධාන පෙන්වා දෙයි. අවම වශයෙන් රුපියල් 130 ත් 140 ත් අතර සහතික මිලක් ඉල්ලා සිටියද, සහතික මිල වැඩි කළහොත් මහා පරිමාණ මෝල් හිමියන් සහල් මිල අධික ලෙස ඉහළ දමන බැවින් ගොවියාට වඩා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතාව වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම ගොවි ජනතාවගේ දැඩි කලකිරීමට හේතු විය.

අනෙක් පසින්, විෂයභාර නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රකාශයන් තුළද පරස්පරතා මතුවිය. වී වල තෙතමනය 14% ට වඩා වැඩි වුවද වෙනම මිල ගැලපීමේ ක්‍රමවේදයක් යටතේ මිලදී ගන්නා බවට ආරම්භයේදී පැවසුවද, පසුව ප්‍රකාශ කෙරුණේ 14% ට වැඩි වී කිසිසේත්ම මිලදී නොගන්නා බවයි. පෞද්ගලික වෙළෙන්දන්ට සහතික මිලට වඩා අඩුවෙන් වී මිලදී ගැනීමට ඉඩ නොතබන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුව ප්‍රකාශ කළේ 

වෙෙළඳ පොළ තරඟකාරිත්වය මත පෞද්ගලික අංශයට විවිධ මිල ගණන් පවත්වාගෙන යාමට ඉඩකඩ ලැබෙන බවයි. එමෙන්ම රජයේ මිලදී ගැනීමේ ඉලක්කය මෙට්‍රික් ටොන් 50,000 සිට 39,500 දක්වා වෙනස් වීමද සිදුවිය.

අහිතකර කාලගුණය සහ වියළීමේ පහසුකම් නොමැතිකම නිසා 14% ප්‍රමිතිය සපුරාලීමට නොහැකි වන ගොවීහු ක්ෂණික ණය පියවා ගැනීමට සිදුවීම නිසා පෞද්ගලික වෙළෙන්දන් වෙත යොමු වෙති. රජයේ මිලදී ගැනීමේ මන්දගාමී බව හමුවේ පෞද්ගලික අංශය රුපියල් 95-110 වැනි ඉතා අඩු මිල ගණන්වලට වී මිලදී ගනිමින් ගොවියා සූරාකෑමේ නිරත වෙයි. ඉදිරියේදී පොළොන්නරුව, කුරුණෑගල, හම්බන්තොට වැනි ප්‍රධාන කලාපවලින් එකවර අස්වැන්න පැමිණීමේදී පවතින ගබඩා ධාරිතාව ප්‍රමාණවත් වේද යන්න පිළිබඳවද බරපතළ සැකයක් පවතී.

ඉක්මන් විසදුම් 

මෙම අර්බුදයෙන් පැහැදිලි වන්නේ වී මිලදී ගැනීමේ ප්‍රශ්නය යනු රජයට, ගොවියාට හෝ වෙළෙන්දාට තනි තනිව විසඳිය හැකි සරල මාතෘකාවක් නොවන බවත්, මෙය සමස්ත ක්ෂේත්‍රයේම කොටස්කරුවන්ගේ සාමූහික මැදිහත්වීමෙන් විසඳාගත යුතු ජාතික අවශ්‍යතාවක් බවත්ය. සහතික මිල ප්‍රකාශ කිරීමට පමණක් සීමා නොවී අස්වනු නෙළන සෑම ප්‍රදේශයකම ගබඩා විවෘත කිරීම, ගොවියාට ක්ෂණිකව මුදල් ලැබෙන පරිදි ගෙවීම් යන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ පෞද්ගලික අංශයේ සූරාකෑම් පාලනයට නියාමන අධිකාරී සක්‍රීය කිරීම රජයේ මූලික වගකීම වේ.

එමෙන්ම තෙතමනය පිළිබඳ පවතින ගැටලු‍වට තිරසාර විසඳුමක් ලෙස ප්‍රාදේශීය මට්ටමින් වී වියළීමේ පහසුකම් ස්ථාපිත කිරීම හෝ වෙනම මිල සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි කෘෂිකාර්මික බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

තවත් පසෙකින් ගොවි සංවිධානද හුදෙක් සහතික මිල ඉහළ දැමීමේ ඉල්ලීම්වලට පමණක් සීමා නොවී අස්වැන්නේ ප්‍රමිතිය සුරැකෙන තාක්ෂණික ක්‍රමවේද වෙත යොමුවිය යුතු අතර, මෝල් හිමියන් ඇතුළු පෞද්ගලික අංශයද අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් මිදී දේශීය ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සාධාරණ වෙ​ෙළඳ    ප්‍රතිපත්තියකට අනුගත විය යුතුය.

ගොවියා නිෂ්පාදන පිරිවැය හමුවේ අසරණ නොවී රැකගැනීමත්, පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට සහල් ලබාදීමත් අතර පවතින මෙම සුක්ෂම සමබරතාව රැකගත හැක්කේ සියලු‍ පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් ගොඩනැගෙන ස්ථාවර හා සාමූහික ජාතික ප්‍රතිපත්තියකින් පමණි.

නිරෝෂන් ප්‍රේමරත්න