ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කරන අතර වාරයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධියද හදාරන විසිපස් හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ සැමියා වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ මාදම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

නීති අධ්‍යාපනය ලබන පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඒ සඳහා ගෙවිය යුතු මුදල් සොයාගැනීමට සැමියා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව සැකකාර කාන්තාව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ඇත. 

අප ජීවත් වන්නේ කෙතරම් අසූචි අපුල සහ ආත්මීය වශයෙන් මියගිය සමාජයකද යන්න තේරුම්ගැනීමට තවත් සාක්ෂි අවශ්‍ය නැත. රටේ උත්තරීතර නීතිය හදාරන, හෙට දවසේ යුක්තියේ පාලකයන් විය යුතු තාරුණ්‍යය, තමන්ගේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගාස්තු ගෙවා ගැනීම වෙනුවෙන් මුළු මහත් ජාතියක්ම විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වීම හුදෙක් තවත් එක් අපරාධ පුවතක් පමණක් නොවේ. එය මේ සමාජ ක්‍රමය මූල පද්ධතියෙන්ම කුණු වී, නරක් වී ඇති බවට දෙන බිහිසුණුම අනතුරු ඇඟවීමකි.

මෙම තරුණිය තම අධ්‍යාපනය වෙනුවෙන් සැමියා සමඟ එක්ව මත් කුඩු ජාවාරමේ නිරත වීමේ පුවත පසක් කර දෙන්නේ  තවත් සාමාන්‍ය අපරාධයක තොරතුරු නොව, අප ජීවත් වන සමාජ ක්‍රමය කොතරම් බිඳ වැටී ඇත්දැයි පෙන්වන කැඩපතක් ලෙසය. 

මෙතැන් සිට දිගහැරෙන්නේ නීති අධ්‍යාපනය සඳහා මුදල් සොයාගැනීමට බව කියමින් ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු සමග සම්බන්ධතා  ගොඩනගා ගෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ජාත්‍යන්තර පාසලේ ගුරුවරිය සහ ඇයගේ සැමියා පොලිස්දැල ට කොටුවූ කතාවයි.

කොළඹ උතුරු බුද්ධිකොට්ඨාසයට ලැබුණු තොරතුරකින් කියවුණේ තරුණ අඹුසැමි යුවලක් මහා පරිමාණයෙන් කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බවකි. පාතාල කෙරුමන් සහ ඔවුන්ගේ ගෝල බාලයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා කොළඹ උතුරු කොට්ඨාශය තුළ විධිමත් සහ විශේෂ වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාවට නංවා ඇත.

පාතාලයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු සොයා බැලීම සඳහා තෝරාගත් දක්ෂ නිලධාරීන් කණ්ඩායමක්  ඔහු යටතේ පවතින කොළඹ උතුරු බුද්ධි කොට්ඨාසයේ රාජකාරියේ නිරතව සිටිති.

මේ කියන තරුණ අඹුසැමි යුවල හොඳින් හැඳපැලඳගෙන වෑන් රථයකින් බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ඒවා ජාවාරම් කරන අය අතට පත්කරන බව ලැබී තිබූ එම තොරතුරෙන් තවදුරටත් කියැවිණි.

බුද්ධි අංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් කරුණු කාරණා සොයා බලා ඒ බව තහවුරු කර ගැනීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා දැනුවත් කර ඇත.

තරුණ අඹුසැමි යුවල මත්ද්‍රව්‍යද සමග කොටුකර ගැනීමේ වැටලීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් භාරදෙනු ලැබුවේ මාදම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත වෙත ය. ඒ අනුව මාදම්පිටිය පල්ලිය අසල රැකසිටි පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත ප්‍රධාන පොලිස් කණ්ඩායම බුද්ධි නිලධාරීන් ලබාදුන් තොරතුරු අනුව කියැවුණු  වෑන්රථය නවතා එහි සිටි තරුණ අඹුසැමි යුවල පරීක්ෂා කළහ.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් තිබී සොයා ගැනීමට හැකිවිණි.

අත්අඩංගුවට ගත් සැකකාර සැමියා ළඟ තිබූ පාර්සලයේ අයිස් කිලෝ 01යි ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 350ක්ද, සැකකාර බිරිඳ ළඟ ග්‍රෑම්149යි මිලිග්‍රෑම් 150 ක් ද අඩංගුව තිබිණි යැයි පොලිසිය කියයි. මොවුන් දෙදෙනා පැමිණි වෑන් රථයද පොලිස් භාරයට ගනු ලැබීය.

අත්අඩංගුවට ගැනුණු 25 හැවිරිදි කාන්තාව මාතර දිසාවේ දෙණියාය ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ අතර, 25 හැවිරිදි සැමියා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කාන්තාව පාසල් සිසුවියක සිටිය දී දෙණියාය ප්‍රදේශයේ සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට අවුත් එම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටිමින් පාසල් ගියේ කැලණිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලකටය.

පාසල් යන කාලයේ පටන් ඇය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියාය. උසස්පෙළ ද උසස් ලෙස සමත් වුවත්, ලකුණු කිහිපයක් මදි වීම නිසා ඇයට සරසවි වරම් ලැබී නොමැත.

පාසල් සිසුවියක සිටියදී ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන සිටි තරුණයා සමග මීට වසර  තුනකට පමණ ඉහතදී විවාහ දිවියට පිවිසි ඇය - පසුව සැමියා ද සමග පදිංචිව සිටියේ වැලිසර ප්‍රදේශයේ කුලී නිවසකය. ඇය කොළඹ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටියාය. සරසවි වරම් නොලැබුණේ යැයි කියා අධෛර්යමත් නොවුණු ඇය - පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළුවී නීති උපාධිය හැදෑරීමට තීරණය කළාය.

ගුරුවරියක ලෙස කටයුතු කරමින් නීති සිසුවියකද ලෙස ඉගෙන ගන්නා අතර වාරයේ ඇය නීතිඥවරයකු ළඟද සේවය කළාය. ඇයගේ විවාහක සැමියාට ද හරි හමන් රැකියාවක් නොතිබූ නිසා සහ ජාත්‍යන්තර පාසලේ  උගන්වා ලැබෙන ආදායම නීතිය හැදෑරීමට ප්‍රමාණවත් නොවූ නිසා මුදල් සොයා ගැනීමට මගක් දෙදෙනාම කල්පනා කරමින් සිටි අතරවාරයේ ඩුබායි රටට පලාගොස් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින බව කියන අමල් හෙවත් සුදු මල්ලි නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා සමග සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇත

“මගේ මහත්තයාටත් හරිහමන් රස්සාවක් තිබුණේ නැහැ.මගේ නීති අධ්‍යාපන කටයුතු කරගෙන යෑමටත් ප්‍රමාණවත් මුදල් තිබුණේ නැති නිසා උපාධිය සම්පූර්ණ කරගන්න බැරිවෙයි කියන බයක් තිබුණා. ඒ නිසා මුදල්  හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි දෙන්නා කල්පනා කරමින් ඉන්නකොට මුහුණු පොතෙන් (ෆේස්බුක්) ඩුබායි ඉන්න අයිය කෙනෙක් හඳුනාගන්න ලැබුණා. මහත්තයා තමයි මුලින්ම එයාව හඳුනාගත්තේ. එයාගේ නම අමිල කියලා තමයි කිව්වේ. නමුත් හුඟ දෙනෙක් හඳුන්වන්නේ සුදු මල්ලී කියන නමින් බවත් ඔහු පැවසුවා.අපි දෙන්නට මෙයා ගොඩක් සමීප වුණාට පස්සේ අපේ ආර්ථික ප්‍රශ්න ගැනත් එයා එක්ක කිව්වා.”

“එයා කිව්වා මම ඩුබායි ඉඳලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කෙනෙක්. ඔය දෙන්නා කැමතිනම් විතරක් ඒ වැඩවලට හවුල් වෙන්න කියලා. මම හොඳට ගෙවන්නම් කියලත් ඔහු කිව්වා. මුලින්ම අපි දෙන්නා මේ වැඩේට කැමති වුණේ නැහැ නමුත් ඉගෙන ගන්න මුදල් අපහසුතා එනකොට පස්සේ කැමති වුණා. අපි දෙන්නට පැවරී තිබුණේ එයාගේ මෙහේ ඉන්න ගෝලයෝ ගෙනවිත් දෙන අයිස් මත්ද්‍රව්‍ය තොග එයාලා කියන තැන්වලට ප්‍රවාහනය කරන්නයි. මේ සඳහා ඩුබායි ඉන්න සුදු මල්ලි සල්ලි වියදම් කරලා අපිට වෑන් එකකුත් අරගෙන දුන්නා.”

පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරිය පොලිස් ප්‍රශ්න කිරීම් වලදී එසේ කියා ඇතැයි දැන ගැනීමට ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය තවදුරටත් මෙසේද හෙළිකර ඇතැයි  කියති.

“අපි දෙන්නා අවුරුදු එකහමාරක විතර කාලයක් ඉඳලා මේ වැඩේ කරගෙන ආවා. අපි මාසයකට ලක්ෂ දෙකක් විතර හම්බ කරගන්නවා. අපි කළේ මත්ද්‍රව්‍ය තොග වරින්වර ඔවුන් කියන ප්‍රදේශවලට ගෙන ගිහින් දෙන එකයි. මත්ද්‍රව්‍ය අපිට ගෙනත් දෙන අය ගැනයි අපි ගිහිල්ලා බාර දෙන අය ගැනයි කියන්න අපි කිසි දෙයක් දන්නේ නැහැ. ඒ ගැන විස්තර දන්නේ ඩුබායි ඉන්නවා සුදු මල්ලි කියන කෙනා විතරයි. මාවයි මහත්තයාවයි පොලිසියට කොටු වුණේත් අයිස් මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් අරගෙන  ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කෙනෙකුට දෙන්න යනකොටයි.”

“නීති උපාධිය හදාරන්න සල්ලි හොයා ගන්නයි, අපිටම කියලා ඉඩමක් අරගෙන හොඳ ගෙයක් හදාගන්නයි තමයි අපි මේ වැඩේ කරගෙන ගියේ. බැඳලා අවුරුදු තුනක් වුණත් දරුවෙක්වත් හැදුවේ නැත්තේ හොඳට සල්ලි හොයා ගන්න ඕන නිසයි. ගෙයක් දොරක් හදාගෙන යහමින් සල්ලි හම්බ කරගෙන දරුවෙක් දෙන්නෙක් හදාගන්න තමයි අපි බලාපොරොත්තුවෙන් හිටියේ” යැයි   ඇය හැඬූ කඳුළින් යුතුව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පැවසුවාය.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් ඇය මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කෙරිණි. ඇයගේ සැමියා දින හතක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත  ගේ සහ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ උතුරු කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා ගේ උපදෙස් මත කොළඹ උතුර සහකාර පොලිස් අධිකාරි කුමාර කුලරත්න ගේ මෙහෙයවීම යටතේ මාදම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත ගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක අසංක කුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන රශ්මික(102859), මදුශංඛ(103903), කමලදාස්(102675) යන නිලධාරීන් සහ කාන්තා පොලිස් කොස්තාපල් පූර්නිමා(13112) නිලධාරිනිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි  . 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය.