වසර 2026 න් මාස හයකට වැඩි කාලයක් මේ වෙද්දි ගෙවී ගොස් අවසන් ය. 2022 උග්‍ර ආර්ථික අර්බුදයෙන් පසු ආරම්භ කළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හේතුවෙන් ආර්ථිකය යම් ප්‍රමාණයකට ස්ථාවර වී ඇති බව ආර්ථික විද්‍යාඥයෝ කියති. ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 සීමාව පසුකිරීම සහ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක තත්ත්වය ලැබීම ආදී ධනාත්මක වර්ධන එම ස්ථාවරභාවයේ සංකේත බව ද ඔවුහු පවසති. ඊට සාපේක්ෂව දුප්පතුන් ප්‍රමාණය ඉහළ යෑම, ජනතාවගේ ආදායම් වැඩි නොවීම ආදී ප්‍රශ්නගත කාරණා ද පෙරට පැමිණ තිබේ. මේ සියලු කාරණා පසුබිම් කරගෙන මෙම වසරේ ගතවූ මාස හයේ ආර්ථික කාර්යසාධනය ගැන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ සමග කළ සාකච්ඡාවකින් සකස් කළ ලිපියක් මෙසේ ය. 

සාර්ව ආර්ථික කෝණයෙන් සලකා බැලීමේ දී මෙරට ආර්ථිකය පසුගිය කාලයේ දී ධනාත්මක දිශාවකට ගමන් කරමින් තිබෙන බව කිව හැකි ය. 2019 සිට 2023 දක්වා සෘණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අතර, එම කාලයේ දී ඉහළම අවවර්ධනය සටහන් වූයේ 2022 දී ය. එම වසරේ දී ආර්ථිකය සියයට 7.3 ක් තරම් ඉහළ අගයකින් කඩාවැටිණි. එහෙත් එතැන් සිට ආර්ථිකය ධන වර්ධනයන් වාර්තා කළ අතර ඒ අනුව, 2024 සහ 2025 යන වසර දෙකේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරන ලදී. 2026 වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය සියයට 5.1 කින් වර්ධනය වී තිබේ. මේ සංඛ්‍යා දත්තවලින් පැහැදිලි වන්නේ 2024 සිට ආර්ථිකය ධන දිශාවකට ගමන් ගනිමින් තිබෙන බව ය.

මේ ධනාත්මක වර්ධනයන් හේතුවෙන් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළු කිරීමට ඉකුත්දා පියවර ගනු ලැබී ය. එය අප ලද ජයග්‍රහණයක් බව මගේ අදහස යි. 1996 දක්වා පහළ ආදායම් ලබන රටක් වශයෙන් ශ්‍රී ලංකාව පැවතිණි. ඉන්පසු 1997-2017 දක්වා කාලයේ දී පහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළු වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. 2018 දී ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත්වීමට අප රටට හැකි විය. එහෙත් 2019 දී නැවතත් පහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩය දක්වා පසුබැස්මක් සිදුවිණි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දැන් යළිත් වරක් 2019 තිබූ තත්ත්වයට එනම්, ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව සිටියි.

සියයට 30 න් රාජ්‍ය ආදායම් හා ලැබීම් ඉහළ යෑම

ආර්ථික වර්ධනය, ඒක පුද්ගල ආදායම් වර්ධනය, දළ ජාතික ආදායම් වර්ධනය මේ ආදී සංරචක අතින් ගත්විට ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ වර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් බවට පත්ව ඇත. 2026 වසරේ මුල් මාස හයක කාලයේ ආර්ථික කාර්යසාධනයට අදාළ දත්ත පිරික්සීමේදී පැහැදිලි වන්නේ ආර්ථිකය හොඳින් කළමනාකරණය කරමින් තිබෙන බව ය. එහෙත් අඩුපාඩු ද නැතුවා නොවේ. රජයේ ආදායම් හා ලැබීම් සලකා බැලීමේ දී 2025 ජනවාරි-මැයි අතර කාලයේ දී රුපියල් බිලියන1,942 ක් වාර්තා වූ අතර, 2026 වසරේ සමාන්තර කාලයේ දී එම අගය සටහන් වන්නේ රුපියල් බිලියන 2,537ක් වශයෙනි. එහි රුපියල් බිලියන 594 ක වැඩිවීමක් දැකිය හැකි ය. ප්‍රතිශතාත්මක වැඩිවීම සියයට 30 කි. මෙපරිදි රාජ්‍ය ආදායම් හා ලැබීම් ඉහළ යෑමට බදු ආදායම් වැඩිවීම ප්‍රධාන වශයෙන් ඉවහල් වී තිබේ. ඒ අනුව, බදු ආදායම් ගත් විට 2025 ජනවාරි-මැයි අතර කාලයේ දී එය රුපියල් බිලියන 1,802 ක් වූ අතර 2026 වසරේ ජනවාරි-මැයි අතර කාලයේ දී එය රුපියල් බිලියන 2,323 දක්වා වර්ධනය වී තිබේ.

සියයට 7 කින් රාජ්‍ය වියදම් ඉහළ යෑම

රජයේ ආදායම් වැඩි වෙද්දී වියදම් යම් ප්‍රමාණයකින් පාලනය කරගැනීමට හැකිවීම ද කැපීපෙනෙන ලක්ෂණයකි. 2025 ජනවාරි-මැයි අතර කාලයේ දී රුපියල් බිලියන 2,178 ක් වූ රාජ්‍ය වියදම මෙම වසරේ සමාන්තර කාලයේ දී රුපියල් බිලියන 2,339 ක් ලෙස වාර්තා වේ. ඒ අනුව, 2025 වර්ෂයේ මුල් මාස පහට සාපේක්ෂව 2026 අවුරුද්දේ මුල් මාස පහේ රාජ්‍ය වියදම වැඩි වී තිබෙන්නේ රුපියල් බිලියන 158 කිනි. ඒ අනුව, රාජ්‍ය වියදම්වල ඉහළ යෑම සියයට 7 කි. මේ සන්දර්භයේ අයවැයේ අතිරික්තයක් ද නිර්මාණය වී තිබේ. එහි වටිනාකම රුපියල් බිලියන 197 කි. එය 2025 දී වාර්තා කළ සෘණ අතිරික්තය අබිබවා ධන අතිරික්තයක් වාර්තා කිරීමකි. මෙහි ගැටලුවක් තිබේ. එනම්, සමස්ත අයවැය ධන අතිරික්තයක් තබාගැනීම අවශ්‍ය නොවීම ය. ඕනෑම රටක් ආර්ථිකයක් මෙහෙයවන්නේ අයවැය හිඟයක් මගින් වන අතර එලෙස හිඟයක් පැවතීමෙන් අයවැයෙන් වෙන් කළ මුදල්වලට අමතරව තවත් මුදල් වියදම් කිරීමේ හැකියාව රජයකට ඇත. 

රාජ්‍ය ආදායම වියදමට වඩා ඉහළ මට්ටමක පවත්වා ගෙන යෑම සංවර්ධනයට බාධාවක්

ශ්‍රී ලංකාව අයවැය අතිරික්තයක් පවත්වා ගෙන යා යුතු නැත. බංකොළොත් රාජ්‍යයක් බවට පත්වීම සහ ඉහළ ණය බරක් පැවතීම යන කාරණා ගත් විට තුලිත අයවැයක් පවත්වා ගෙන යෑම අවශ්‍ය වේ. ඒ වසරක් දෙකක් වැනි කෙටි කාලයක් වෙනුවෙනි. රාජ්‍ය ආදායම වියදමට වඩා ඉහළ මට්ටමක පවත්වා ගෙන යෑම සංවර්ධනයට බාධාවකි. ආර්ථිකය ඇතුළත වියදම් කළ හැකි මුදල් වැය නොවීමක් එයින් සිදු වේ. එවැනි තත්ත්වයක් ආර්ථිකයක දිගුකාලීන වර්ධනයට සුදුසු නැත. අයවැය අතිරික්තයක් ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ මේ වසරේ මුල් මාස පහක කාලයේ දී ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 226 ක් තරම් පහළ අගයක් ගැනීම ය. අයවැයේ නිර්මාණය වූ අතිරික්තය රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා යෙදවිය හැකි ය. අධ්‍යාපන සෞඛ්‍ය සේවා සහ භෞතික යටිතල පහසුකම් දියුණු කිරීමට ඒ මුදල් යෙදවීමට පිළිවන. 2026 වසරේ මේ දක්වා වූ කාලයේ දී විශාල මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැය කිරීමට සිදු විය. එම පසුබිමේ ඉතිරි කරගත් මුදල් සූර්යබල විදුලි උත්පාදනය වෙනුවෙන් යෙදවීමට ද හැකියාව තිබිණි. මේ සියල්ලෙන් යළිත් පැහැදිලි වන්නේ අයවැය අතිරික්තයක් පවත්වා ගෙන යෑම නුසුදුසු බව ය.

ගත වූ මුල් මාස පහක කාලයේ දී රජයේ ණය සැලකිය යුතු ප්‍රමාණයකට කළමනාකරණය කරගැනීමට හැකි වී ඇති බව ද පෙනේ. 2025 අවසන් වෙද්දි පැවති සමස්ත දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,675 ක් විය. මේ අගය 2026 මාර්තු වන විට 18,762 කි. ඒ අනුව, මාස තුනකදී රාජ්‍ය ණය වැඩි වී තිබෙන්නේ රුපියල් බිලියන 87 කිනි. එය හොඳ තත්ත්වයකි. 2025 අවසන් වන විට පැවති විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.6 ක් වූ අතර 2026 මාර්තු වෙද්දි එම අගය ඩොලර් බිලියන 37.46 දක්වා අඩු වී තිබේ. එය ආන්තික අඩුවීමක් වුවත් විදේශ ණය වැඩි නොවී අඩුවීම යහපත් ලක්ෂණයකි.

බලශක්ති ආනයන වියදම වැඩිවීමෙන් උද්ධමනය ඉහළට

පසගිය වසරේ ඇතැම් මාසවල අවධමනාත්මක තත්ත්වයක් පැවතියත් 2026 අවුරුද්දේ මේ වෙනවිට උද්ධමනය සියයට 6 ත් 7 ත් අතර මට්ටමකට පැමිණ තිබේ. මේ අගය සියයට 8-9 දක්වා ඉහළ යෑමේ අවදානමක් තිබේ. ඉන්ධන ඇතුළු බලශක්ති ද්‍රව්‍ය ආනයනය සඳහා මුල් මාස පහක කාලයේ දී සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවීම ඊට බලපාන ප්‍රධාන හේතුවයි. මෙම වසරේ ජනවාරි මාසයේ දී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 253 ක් වැය කරන ලද අතර අප්‍රේල් මාසයේ දී පමණක් ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 886 ක් වැය කරනු ලැබ තිබේ. 2026 වසරේ මුල් මාස පහක කාලයේ දී ඉන්ධන ආනයනයට පමණක් ඩොලර් බිලියන 2.7 ක් වැය කිරීමට සිදුව තිබේ. එම කාලයේ දී මුළු ආනයන වියදම ඩොලර් බිලියන 10.4 ක් වූ අතර ඉන් සියයට 26 ක් වැය කිරීමට සිදු වූයේ ඉන්ධන සඳහා ය. යුදමය තත්ත්වය පහව ගිය හොත් උද්ධමනය යළි පහළ යනු ඇත.

පසගිය වසරේ ඇතැම් මාසවල අවධමනාත්මක තත්ත්වයක් පැවතියත් 2026 අවුරුද්දේ මේ වෙනවිට උද්ධමනය සියයට 6 ත් 7 ත් අතර මට්ටමකට පැමිණ තිබේ. මේ අගය සියයට 8-9 දක්වා ඉහළ යෑමේ අවදානමක් තිබේ. ඉන්ධන ඇතුළු බලශක්ති ද්‍රව්‍ය ආනයනය සඳහා මුල් මාස පහක කාලයේ දී සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවීම ඊට බලපාන ප්‍රධාන හේතුවයි.

පහළ ගිය පොලී අනුපාත හා ඉහළ ගිය පෞද්ගලික ණය

පසුගිය කාලයේ දී පොලී අනුපාත සැලකිය යුතු අඩු අගයක පැවතිණි. එය පැවතිය යුතු අගයටත් වඩා අඩු අගයක් බව මගේ විශ්වාසයයි. පොලී අනුපාත අඩු අගයක පැවති හෙයින් මිනිස්සු වැඩි වශයෙන් පෞද්ගලික ණය ගැනීමට පෙලඹුණහ. තමන් සතු රත්රන් භාණ්ඩ උගස් කරමින් ණය ගැනීමට ද ඇතැම්හු කටයුතු කළහ. ඒ හේතුවෙන් පෞද්ගලික ණය ගැනීම්වල සැලකිය යුතු වර්ධනයක් දැකගත හැකි විය. එලෙස ගන්නා ණය ආනයන භාණ්ඩ සඳහා වියදම් කරන්නේ නම් එයින් රටේ විනිමය අනුපාතයට අහිතකර බලපෑම් එල්ල වේ. එමෙන් ම රටින් පිටට ගලා යන ඩොලර් ප්‍රමාණය ඉහළ යෑමක් ද එයින් සිදු වේ. මේ තත්ත්වය 2025 දී හා මෙම වසරේ ආරම්භයේ දි රටේ සිදු වූ බව පැහැදිලි ය. ආනයන බිල විශාල අගයකින් වැඩිවීමෙන් එහි බලපෑම විද්‍යමාන වේ. මේ තත්ත්වය පාලනය කිරීමට මහ බැංකුව දැඩි අධීක්ෂණයකින් යුතුව කටයුතු කරනු දැකිය හැකි ය. ඒ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ආන්තික වශයෙන් වැඩිකිරීමට මහ බැංකුව කටයුතු කළේ ය.

දරිද්‍රතාවෙන් පෙළෙන්නන් කොපමණ සිටින්නේ ද යන්න සම්බන්ධව විධිමත් සමීක්ෂණවලින් හෙළි වූ දත්ත නොමැත. ශ්‍රී ලාංකිකයන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මානසික දරිද්‍රතාව යි. බොහෝ අය සෑම දෙයක්ම රජයෙන් බලාපොරොත්තු වෙති. ලෝක බැංකුව පවසන ප්‍රමාණයට වඩා අඩු දරිද්‍රතා අනුපාතයක් මෙරට පවතින බව මගේ විශ්වාසය යි. අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ ලක්ෂ 17 ක පිරිසක් ප්‍රතිලාභ ලබන අතර එම පිරිස අඩු කිරීමේ වැඩසටහනක් ද මේ වෙනවිට ක්‍රියාත්මක වේ. සැබෑ ලෙසම සිදු විය යුත්තේ ඉලක්කගතව සහන ලැබිය යුත්තන් නිවැරදිව හඳුනාගෙන ඒ අයට ප්‍රතිලාභ ලබා දීමත් සෙසු අය ආර්ථිකයට සක්‍රීය ලෙස දායක කරගැනීමත් ය.

2027 අයවැයෙන් ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැදගත්කම

ඒ අරබයා ග්‍රාමීය ආර්ථිකයෙහි දැවැන්ත පෙරළියක් කළ යුතුය. ග්‍රාමීය ජනයාට රැකියා ලැබෙන්නේත් ඔවුන් ක්‍රමයෙන් ව්‍යවසායකයන් බවට පත්වන්නේත් එවැනි ප්‍රවේශයකිනි. ඒ පැති කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත්තේ අඩුවෙනි. ග්‍රාමීය මට්ටමේ සේවා සපයන පළාත් පාලන ආයතනවලින් අපේක්ෂිත අරමුණු ඉටු වන බවක් ද පෙනෙන්නට නැත. ඒවා සක්‍රීය කිරීමත් ඒවායෙහි ආර්ථික කාර්යභාරය තවදුරටත් පුළුල් කිරීමත් වැදගත් වේ. 2027 අයවැයෙන් ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම සඳහා අවධානය යොමු කිරීම වැදගත් ය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම ද අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකා ආර්ථිකයට පදනමක් තිබුණේ නැත. මගේ අදහස අනුව, රජය කරමින් සිටින්නේ එම පදනම නිර්මාණය කිරීම ය. එහිදී ආණ්ඩුව දැක්මක් ඇතුව කටයුතු කරන පැති මෙන් ම දැක්මකින් තොරව කටයුතු කරන පැති ද පෙනෙන්නට තිබේ. එබැවින් මේ සියලු දේවල් ගැන හොඳන් සාකච්ඡා කර ඉදිරි අයවැය මගින් රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කළ හැකි නම් එය ඉතාමත් වැදගත් ය.

ලෝක බැංකුවේ ගණනය කිරීම් අනුව, ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,670 කි. ලංකාව ඇතුළත කරන ලද ගණනය කිරීම් අනුව, ඒක පුද්ගල ආදායම ඩොලර් 5,003 කි. ඒක පුද්ගල ආදායම් වැඩි වී තිබුණ ද රටේ පුද්ගලයන්ගේ ආදායම් ඉහළ ගොස් නැතැයි කෙනකුට තර්ක කළ හැකි ය. එය ආදායම් ව්‍යාප්තියේ විෂමතාව පිළිබඳ ප්‍රශ්නයකි. එම විෂමතාව ඇතුළත සීමිත පිරිසක් මත ආර්ථිකයේ සමස්ත ආදායම සංකේන්ද්‍රණය වී තිබෙන්නට ද පිළිවන. එය නිවැරදි කිරීම වෙනුවෙන් ආදායම් ව්‍යාප්ති විෂමතා වැඩසටහන් රජය ක්‍රියාත්මක කළ යුතු ය. 

උපුල් වික්‍රමසිංහ