ශ්‍රී ලංකාවේ නුවරඑළිය හැඳින්වෙන්නේ පුංචි එංගලන්තය නමිනි. තමිල්නාඩුවේ ඌටි ප්‍රදේශයද පුංචි එංගලන්තය ලෙස හැඳින්වෙයි.

සිංගප්පූරුවේ පුංචි ඉන්දියාවක් ඇත. එංගලන්තයේදී සවුත් හෝල් හා වෙම්බ්ලි පුංචි ඉන්දියාව ලෙස ඇතැමුන් හඳුන්වන්නේ එහි ඉන්දියානුවන් බහුල ලෙස පදිංචි නිසාය. 

ලන්ඩනයේ වෙනම චීන නගරයක්ද ඇත. ඉන්දියානුවන් හා චීන ජාතිකයන් හැරුණු විට රුමේනියානුවන් බහුල වශයෙන් ජීවත්වෙන පුංචි රුමේනියාවක්ද ලන්ඩනයේ ඇත. එය “බර්න්ට් ඕක්” ප්‍රදේශයයි. 

මෙය උතුරු බටහිර ලන්ඩලයේ එජ්වෙයාර් හැරෝ හා කොලින්ඩේල් නගර අතර පිහිටියකි. 

“බර්න්ට් ඕක්” යනු ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකි. බොහෝ දෙනා එය රුමේනියානුවන් නිසා පුංචි රුමේනියාව හෙවත් රුමේනියාවේ අගනුවරවන බුකාරෂ්ට් ලෙස හැඳින්වුවද ශ්‍රී ලාංකිකයන් පවසන්නේ “බර්න්ට් ඕක්” හි සෑම ජනවර්ගයක්ම දැක ගත හැකි බවය. 

“ඔය පැත්තෙ නැති ජාතියක් නෑ. ශ්‍රී ලංකා, ඉන්දියන්, චීන, පකිස්තාන්, බංගලාදේශ්, නේපාල්, කළු ජාතිකයන් හැම කෙනෙක්ම දකින්න පුළුවන්” ලන්ඩලයේ අපගේ මිතුරකු පවසන්නේ එසේය. 

“බර්න්ට් ඕක්” හි බොහෝ කඩ වීදි සිහිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ කොළඹය. පදික වේදිකාව දෙපස එළවළු, පලතුරු, විසිතුරු භාණ්ඩ, ආහාර වර්ග ආදිය සෑම දෙයක්ම විකුණන වෙළෙඳසල් ඇත. ඇතැම් කඩ සිම් කාඩ්, දුරකථනවලට මුදල් දැමීම මෙන්ම බස් රථ හා දුම්රියේ යෑම සඳහා ඇති කාඩ්පත්වලට මුදල් දැමීම (ටොප් අප් කිරීම) ආදිය සඳහා යොදා ගන්නකි. ඒවා ලංකාවේ කොමියුනිකේෂන් නමින් හැඳින්වෙන ෆෝන් කඩ සිහිපත් කරන්නකි. 

ඒ හැරුණු විට අවන්හල්වල දකින්නට ඇත්තේ කෝපි, රසකැවිලි, කෙටි කෑම මෙන්ම පීසා චීන ආහාර ආදිය පමණක් නොව ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ කෑම වර්ග විකුණන අවන්හල්ද දකින්නට ඇත. ඇතැම් අවන්හල්වල ඇති කුඩා ඉඩ ප්‍රමාණයේ අසුනක් දෙකක් පනවා ඇත. ඇතැම් ඒවායේ ආහාර ගැනීමට පහසුකම් නැති තරම් ඒ අවන්හල් පටුය. 

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කෑම විකුණන වඩා එක්ස්ප්‍රස් පිහිටා ඇත්තේ බර්ත් ඕක් කිට්ටුවය. වඩා එක්ස්ප්‍රස් බොහෝ ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රසිද්ධය. ඒ එහි ඉඳිආප්ප, රොටි වර්ග, තෝසේ, වඩේ, ආදී වර්ග ඇති නිසාය. යාපනයේ පිරිස් සේවය කරන “වඩා එක්ස්ප්‍රස්”හි පිරිසට සිංහල කතා කිරීමට හැකිය. 

බර්න්ට් ඕක් යන නාමය ලැබුණු කතාවද අපූරුය. එම ප්‍රදේශයේ තිබූ ඕක් ගසක් අකුණක් වැදීම නිසා

මැරී ගියේලු. අකුණෙන් පිලිස්සුණු ඕක් ගස යන අර්ථයෙන් එය බර්න්ට් (පිලිස්සුණු) ඕක් (ඕක්) වී ඇත. 

ඕක් ගස් ප්‍රංශය, ජර්මනිය මහා බ්‍රිතාන්‍යය, චීනය, ඇමෙරිකාව ආදී රටවල්වල බෙහෙවින් දැකිය හැකිය. 

ඕක් ගසේ ගෙඩි සකස් කර ආහාරයට ගත හැකි බවද කියැවේ. එය අමුවෙන් ආහාරයට ගත නොහැකිය. ඒ එහි ඇති අධික තිත්ත බව නිසාය. ඉන් උදරයේ අධික වේදනාවක් ඇතිවිය හැකි බැවිනි. 

රුමේනියන් ජාතිකයන් බහුල වශයෙන් එංගලන්තයට පැමිණ පදිංචි වූයේ යහපත් අනාගතයක් වෙනුවෙනි. එමෙන්ම එංගලන්තයටද ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය විය. රුමේනියාව 2007 දී යුරෝපා සංගමයට නිල වශයෙන් බැඳුණි. මෙහිදී එක්සත් රාජධානියේ අධ්‍යාපනය, ජීවත්වීමේ පහසුකම් මෙන්ම ඉහළ ආදායම් ලබාගැනීමට හැකිවීමද සංක්‍රමණයට හේතු විය. 

එමෙන්ම ඕක් ගස රාජකීයත්වයේ විමුක්තියේ ශක්තියේ හා ගෞරවයේ සංකේතයක් ලෙසද හැඳින්වෙයි. 

1754 දී පමණ බර්න්ට් ඕක් නාමය මේ ප්‍රදේශයට ලැබී තිබේ. නැගෙනහිර එජ්වෙයාර් අවට තිබූ ප්‍රදේශය එකල හැඳින්වී ඇත්තේ “බර්න්ට් ඕක්” ෆීල්ඩ් යනුවෙනි. අකුණු වැදී ගිනිගෙන ඇත්තේ එහි තිබූ ගසක් බව පැවසෙයි. 

රුමේනියා ජාතිකයන් මහා බ්‍රිතාන්‍යයට බහුල වශයෙන් සංක්‍රමණය වන්නට පටන් ගත්තේ එංගලන්තයේ සේවය කිරීමේ නීති රීති 2014දී ලිහිල් කළ පසුවය. 

1973 දී යුරෝපීය සංගමයට බැඳුණු එංගලන්තය රුමේනියා ජාතිකයන්ට පමණක් නොව වෙනත් යුරෝපීය සංගමයේ රටවල්වලටද සේවය සඳහා ඉඩ හැරීමට සිදුවිය. ඒ යුරෝපීය සංගමය ගත් තීරණයක් නිසාය. 

මේ නිසා රුමේනියන් ජාතිකයන් බහුල වශයෙන් එංගලන්තයට පැමිණ පදිංචි වූහ. ඒ යහපත් අනාගතයක් වෙනුවෙනි. එමෙන්ම එංගලන්තයටද ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය විය. රුමේනියාව 2007 දී යුරෝපා සංගමයට නිල වශයෙන් බැඳුණි. මෙහිදී එක්සත් රාජධානියේ අධ්‍යාපනය, ජීවත්වීමේ පහසුකම් මෙන්ම ඉහළ ආදායම් ලබාගැනීමට හැකිවීමද ඊට හේතු විය. විශේෂයෙන්ම සෞඛ්‍ය, කෘෂිකාර්මික මෙන්ම ඉදිකිරීම්, හෝටල්, අවන්හල් ආදී සත්කාරක ක්ෂේත්‍රයටත් වෙනත් විවිධ කටයුතු සඳහාත් රුමේනියා ශ්‍රමිකයන්ට විශාල ඉල්ලුමක් තිබිණ. 

රුමේනියානුවන්ගේ භාෂාවේ ස්වරූපය අනුව ඉංග්‍රීසි භාෂාවට අනුගතවීම ද පහසු විය. 

මේ අයුරින් නීති රීති ලිහිල් කිරීම නිසා පැමිණි රුමේනියානුවන් බහුල වශයෙන් පදිංචි වූයේ බර්න්ට් ඕක් ප්‍රදේශයේය. ඒ නිසා ඒ ප්‍රදේශය ඔවුන්ගේ සංස්කෘතියට අනුව විවිධ වෙළෙඳසල්ද ඉදිවන්නට විය. 

එහෙත් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් 2020 දෙසැම්බර් 31 වැනිදා නිල වශයෙන් ඉවත් විය.

ඉන්පසුව රුමේනියානුවන්ට එක්සත් රාජධානියට ඇතුළු විය හැක්කේ වීසා නීති රීති අනුවය. 

ලන්ඩන් පුංචි රුමේනියාවේ විශේෂයෙන්ම දැකගත හැක්කේ රුමේනියන් ආහාර පාන මෙන්ම ඒවා සපයන අවන්හල් හා බේකරිය.

සුප් වර්ග, ග්‍රිල් කරන ලද මීට් රෝල්ස් මෙන්ම පැණි රසැති පාන් රුමේනියන් පේස්ට්‍රීස් මේ ආහාර පාන අතර විශේෂිතය. එමෙන්ම ස්ට්‍රීට් ෆුඩ් හෙවත් වීදි ආහාර අතර සැකසූ මස් ආහාර, අමු ගෝවා මෙන්ම සුදු ලූනු ක්‍රීම්වලින් තැනූ විවිධ ආහාර ඉතා ජනප්‍රියය. රුමේනියන් ජාතිකයෝ ආගන්තුක සත්කාරයට ළැදිය. 

එමෙන්ම රුමේනියානුවන්ගේ සුපිරි වෙළඳසල් මෙන්ම පදික වේදිකාවල පිහිටි සාප්පුද දැකගත හැකිය. 

එක්සත් රාජධානිය වුවද බර්න්ට්-ඕක් හි දෙවැනි භාෂාව වී ඇත්තේ රුමේනියන් බසයි. එමෙන්ම ඔවුන්ගේ සංස්කෘතික උත්සව, පා ගමන්, රුමේනියන් ජාතික දින සැමරුම් ආදියද නිතර දැක ගත හැකිය. 

නැගෙනහිර යුරෝපයේ රුමේනියවේ අග නගරයට රුමේනියන් භාෂාවෙන් බුකුරෑෂ්ට්ය. එය ඉංග්‍රීසියෙන් බුකාරෑෂ්ට් යනුවෙන් හැඳින්වෙයි. 

රුමේනියන්වරුන් නැගෙනහිර යුරෝපයට අයත්වන අතර ඉතාලි හා ප්‍රංශ සම්භවයට ඓතිහාසික වශයෙන් ළංවන්නකි. රුමේනියානු රොමැන්ස් භාෂාවද ලතින් ඌරුවක් ඇත්තේය. එයට ඉතාලි හා ප්‍රංශ බසට කිට්ටුය. 

 

රුමේනියානුවන්ට ඇත්තේ පැහැපත් තලඑළලු සමකි. ඇස්වල දුඹුරු, නිල්, හා කළු පැහැය මුසුවී ඇත. ඔවුන්ගේ කොණ්ඩය දුඹුරුය. බොහෝ විට දැකගත හැක්කේ කළු පැහැ කොණ්ඩයකි. 

බ්‍රිතාන්‍යයන්ට අයත් එංගලන්තයේ බර්න්ට් ඕක් පුංචි රුමේනියාව නොහොත් බුකුරෑෂ්ට් බවට පත්වූ කතාව එසේය. 

එහෙත් වැඩි කොටසක් රුමේනියානුවන් වුවද අපගේ මිතුරා කී පරිදි බර්න්ට්-ඕක් ගිය විට ලෝකයේ සිටින කළු - සුදු මෙන්ම ආසියානු පිරිස්ද දැක ගත හැකිය. 

රොඩ්නි විදානපතිරණ