කොළඹ නගරයේ  පිහිටා තිබෙන බේරේ වැව මේ දිනවල නැවතත් කතාබහට ලක්ව තිබේ. වසර ගණනාවක් අපවිත්‍රතාවයෙන් හා නොසැලකිල්ලෙන් වැසී ගිය මේ වැව යළි ජීවය ලබන බවට සමාජ මාධ්‍යයේ පැතිර යන ඡායාරූප සහ වීඩියෝ බොහෝ දෙනකුගේ අවධානය දිනාගෙන ඇත.ඒ සමඟම නැවත නැවතත් කියැවෙන නමක් තිබේ. ඒ නහිල් විජේසූරියය.

ඔහු මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස හැඳින්වෙයි. තවත් පිරිසක් ඔහු ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට, මාධ්‍ය ක්ෂේත්‍රයට සහ ව්‍යාපාර ලෝකයට නව මංපෙත් විවර කළ දූරදර්ශී ව්‍යවසායකයකු ලෙස හඳුන්වති. එහෙත් බේරේ වැව යළි සෞන්දර්යත් කිරීමට ඔහුගේ දායකත්වය පිළිබඳ කතාබහත් සමඟ, ව්‍යාපාරික සාර්ථකත්වයෙන් ඔබ්බට සමාජයට යමක් ආපසු ලබාදීමට උත්සාහ කරන මිනිසකු පිළිබඳ කුතුහලයද බොහෝ දෙනකු තුළ ඇතිවී තිබේ. බේරේ වැව ගැන මෙතරම් උනන්දුවක් දක්වන මේ ව්‍යවසායකයාගේ ජීවිත ගමන කෙසේ ඇරඹුණේද? නාවික ඉංජිනේරුවකුගේ සිට ශ්‍රී ලංකාවේ දැවැන්ත ව්‍යාපාර සමූහයක් ගොඩනැගූ ඔහුගේ සාර්ථකත්වයේ පිටුපස සැඟවුණු කතාව කුමක්ද?

"මීට අවුරුදු විසි එකකට විතර කලින් නවම් මාවතේ පළමු ගොඩනැගිල්ල හැදුවේ අපි. ඒ වෙනකොට නවම් මාවතේ වෙන ගොඩනැගිලි තිබුණෙත් නැහැ. පසුව Building Owners' Association එකේ සභාපති විදිහටත් මා වැඩ කළා. ඒ කලේ අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණේ බේරේ වැවෙන් එන දුර්ගන්ධයයි . ඒ නිසා ඒක නැති කරන්න වැඩපිළිවෙළක් හදලා 2001දී රජයත් එක්ක සාකච්ඡා කළා. රජයෙන් කිව්වේ, "ඔය ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් යන බදු සහන ගැනත් සලකා බලන්නම්" කියලායි.මම නාවික ඉංජිනේරුවෙක්. ලංකා නැව් සංස්ථාවේ සෑම නැව්වලම ගමන් කරලා අත්දැකීම් ලබාගෙන තිබුණා. ඒ අත්දැකීම් එක්ක තමයි බේරේ වැවේ දුර්ගන්ධය නැති කරන්න පුළුවන් ක්‍රමවේදයක් මගේ අදහසකට අනුව සැලසුම් කළේ. ඒ සැලසුම හැදුවේ 2001 අවුරුද්දේයි" යැයි නහිල් විජේසූරිය ඉරිදා ලංකාදීපයට පෑවසීය.

බේරේ වැවෙන් හමා එන දුර්ගන්ධය පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වූ පළමු තාක්ෂණික වැඩපිළිවෙළේ සැලසුම්කරු වූයේ නාවික ඉංජිනේරු නහිල් විජේසූරියය. ඔහුගේ අදහසට අනුව බේරේ වැවේ අපවිත්‍රතාවට ප්‍රධාන හේතුව වී තිබුණේ කොළඹ නගරයේ කානු පද්ධතිය ඔසසේ වැවට ගලා එන අපජලයයි. එම තත්ත්වය හේතුවෙන් බේරේ වැව ඇතැමුන්ගේ කතාබහට ලක්ව තිබුණේ "කොළඹ නගරයේ වැසිකිළිය" යන අවාසනාවන්ත නාමයෙන් පවාය.

මෙම ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා තම නාවික ඉංජිනේරු දැනුම සහ වසර ගණනාවක වෘත්තීය අත්දැකීම් යොදා ගනිමින් වැවේ ජලය අඛණ්ඩව සංසරණය වන පරිදි නව තාක්ෂණික ක්‍රමවේදයක් නහිල් විජේසූරිය සැලසුම් කළේය. ඒ අනුව වැවේ විශේෂ පොම්ප පද්ධතියක් ස්ථාපිත කර, ජලය විශාල ප්‍රමාණයෙන් පොම්ප කර පයිප්ප මාර්ගයක් ඔස්සේ දුම්රිය මාර්ගයට යටින් මුහුද වෙත මුදාහැරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. මෙම ක්‍රමවේදය හේතුවෙන් වැවේ ජලය නිරන්තරයෙන් සංසරණය වීමට අවස්ථාව සැලසුණු අතර, දුර්ගන්ධය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට ද හැකි විය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 80ක පමණ මුදලක් වැය වූ අතර, එම මුදල සම්පූර්ණයෙන්ම තම පෞද්ගලික ධනයෙන් දරාගත් බව නහිල් විජේසූරිය සඳහන් කළේය. ඔහුගේ මූලික අරමුණ වූයේ බේරේ වැව පිරිසුදු කිරීම පමණක් නොව, කොළඹ නගරයේ සෞන්දර්යයට සහ පරිසරයට යළිත් ජීවයක් ලබාදීමයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී වැවෙන් පොම්ප කරන ජලය මුහුදට මුදාහැරීම හේතුවෙන් මුහුදු පරිසරයට හෝ මත්ස්‍ය සම්පතට යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි බවට ඇතැම්හු සැක පළ කළහ. එහෙත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව එවැනි අහිතකර තත්ත්වයක් වාර්තා නොවූ බව නහිල් විජේසූරිය පෙන්වා දෙයි.

ඊට ප්‍රතිවිරුද්ධව, පොම්ප පද්ධතිය හරහා මුහුදේ සිට කුඩා මත්ස්‍යයන්  බේරේ වැවට ඇතුළු වූ අතර, පසුව එම මත්ස්‍යයන් වැව තුළ බෝවුණි. ඒ අනුව මෙම ක්‍රමවේදය පරිසරයට අහිතකර වූයේ නෑත . 

ව්‍යාපෘතියේ මුල් කාලයේදී එහි කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා සති දෙකකට වරක් පැය එකත් දෙකත් අතර කාලයක් බේරේ වැවේ ජලය නැවත පොම්ප කිරීමේ කටයුතු නහිල් විජේසූරියගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. පසුව එම නඩත්තු කටයුතු සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම පහත් බිම් සංවර්ධන අධිකාරිය වෙත භාර දෙනු ලැබීය.

මෙම ක්‍රමවේදය යම් කාලයක් සාර්ථකව ක්‍රියාත්මක වුවද, අවශ්‍ය ආරකෂාව සහ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් ව්‍යාපෘතියට බාධා එල්ල විය. ව්‍යාපෘතිය සඳහා සවිකර තිබූ පොම්ප සහ අනෙකුත් උපකරණ කිහිපයක් ඇතැමුන් විසින් ගලවාගෙන යෑමේ සිදුවීම් ද වාර්තා වූ බව නහිල් විජේසූරිය සඳහන් කළේය. ඒ සමඟම වගකිවයුතු ආයතනවලින් ප්‍රමාණවත් අවධානයක් සහ අධීක්ෂණයක් නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි ගණනක පිරිවැයක් දරා ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය අවසානයේ අතරමග නතර කිරීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස බේරේ වැවෙන් හමා එන දුර්ගන්ධය යළිත් කොළඹ නගරවාසීන්ට දැනෙන්නට පටන් ගත්තේය.

බේරේ වැවෙන් හමා එන දුර්ගන්ධය පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වූ පළමු තාක්ෂණික වැඩපිළිවෙළේ සැලසුම්කරු වූයේ නාවික ඉංජිනේරු නහිල් විජේසූරියය. ඔහුගේ අදහසට අනුව බේරේ වැවේ අපවිත්‍රතාවට ප්‍රධාන හේතුව වී තිබුණේ කොළඹ නගරයේ කානු පද්ධතිය ඔසසේ වැවට ගලා එන අපජලයයි. එම තත්ත්වය හේතුවෙන් බේරේ වැව ඇතැමුන්ගේ කතාබහට ලක්ව තිබුණේ "කොළඹ නගරයේ වැසිකිළිය" යන අවාසනාවන්ත නාමයෙන් පවාය.

ඉන් අනතුරුව වසර ගණනාවක් පුරා බේරේ වැවේ දුර්ගන්ධය පිටුදැකීම සඳහා විවිධ රජයන් සහ රාජ්‍ය ආයතන විසින් නොයෙකුත් ව්‍යාපෘති යෝජනා කළ අතර ඇතැම් ව්‍යාපෘති ආරම්භ කිරීමට ද පියවර ගන්නා ලදී. එහෙත් ඒවායින් බොහොමයක් සාර්ථක ප්‍රතිඵල අත්කර නොදුන් අතර, ඇතැම් යෝජනා සාකච්ඡා මට්ටමෙන් ඔබ්බට නොගිය බව ද පෙනී යයි.

මෙවැනි පසුබිමක නහිල් විජේසූරිය යෝජනා කරන්නේ, 2001 වසරේ තම නාවික ඉංජිනේරු දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක කළ ජල සංසරණ ක්‍රමවේදය යළිත් බේරේ වැව සඳහා භාවිතයට ගැනීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන ද ඔහු විසින්ම ලබාදෙන බවට ප්‍රචාරයක් පැතිර ගියද, ඒ පිළිබඳ අදහස් දක්වන නහිල් විජේසූරිය සඳහන් කරන්නේ මෙවර ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදීමට තමන් සූදානම් නොමැති බවයි. කෙසේ වෙතත්, ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික දැනුම සහ අත්දැකීම් ලබාදීමට තමන් සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.

"මට ඒ තාක්ෂණික දැනුම ආයෙත් මේ ව්‍යාපෘතියට ලබා දෙන්න පුළුවන්. ඒ ගැන සාකච්ඡා කිහිපයකුත් අපි පැවැත්වූවා. ගිය පාර මේ ව්‍යාපෘතිය සාර්ථක වුණාට පස්සේ ඒ ප්‍රතිඵල දැකලා හැමෝම සතුටු වුණා. ගොඩක් අය ඒක අගය කළා. හැබැයි ඒක දිගටම ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න අදාළ නිලධාරීන් උනන්දුවෙන් කටයුතු කළේ නැහැ. මේ පාර සාකච්ඡාවලදී සමහර නිලධාරීන් මගෙන් ඇහුවා, “ඔබතුමා මේ ව්‍යාපෘතියට ආයෙත් මුදලින් දායක වෙනවාද?” කියලා. මම කිව්වේ, ගිය පාර වගේ සම්පූර්ණ වියදම මම දරන්නේ නැහැ. හැබැයි මේ ව්‍යාපෘතිය ආයෙත් කරනවා නම් අවශ්‍ය වෙන පයිප්ප ටික මට ලබා දෙන්න පුළුවන් කියලායි . ඒ සඳහා රුපියල් කෝටියක් විතර වැය වෙයි." නහිල් විජේසූරිය වැඩිදුරටත් එසේ පැවසීය.

නහිල් විජේසූරියගේ  ළමා කාලය ගෙවී ගියේ  මහනුවර නගරයේය. ඔහුගේ මව ගුරුවරියකි. පියා සිවිල් ඉංජිනේරුවකි. සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ බාලාංශ අංශයෙනි. මාස හයක පමණ කාලයක් එහි අධ්‍යාපනය ලැබූ ඔහු පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට (Trinity College) ඇතුළත් විය.

ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලය ඔහුගේ ජීවිතයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්විය. අධ්‍යාපන කටයුතු සඳහා කැපවීමෙන් කටයුතු කළ ඔහු, ක්‍රීඩා ක්ෂේත්‍රයේද දක්ෂතා පෙන්වමින් පාසල් ජීවිතය සාර්ථකව ගත කළේය. පාසල් අවධියේදීම විනය, නායකත්වය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ඔහු සතුවිය.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වූ නහිල් විජේසූරිය  ඉංජිනේරු විද්‍යාව හැදෑරූ අතර, නාවික ඉංජිනේරුවරයෙක් ලෙස වෘත්තීය සුදුසුකම් ලබා ගත්තේය. විදේශීය අධ්‍යාපනයෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ වෘත්තීය ජීවිතයේ පළමු පියවර සනිටුහන් වූයේ ලංකා නැව් සංස්ථාව  සමඟය. එහි ප්‍රධාන ඉංජිනේරුවරයකු ලෙස කටයුතු කළ ඔහු, එකල සේවයේ යෙදී තිබූ නැව් රැසක ඉංජිනේරු වගකීම් භාරව කටයුතු කරමින් නාවික ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් සමුදායක් ලබා ගත්තේය.

ඉන් අනතුරුව කොළඹ නැව් තටාංගනයේ (Colombo Dockyard) ප්‍රධාන ඉංජිනේරු තනතුරට පත්වූ ඔහු, තාක්ෂණික දැනුම, කළමනාකරණ හැකියාව සහ දුරදක්නා දැක්ම මත සිය වෘත්තීය ජීවිතය තවදුරටත් වර්ධනය කර ගත්තේය. එහෙත් ඔහුගේ සිහිනය ඉංජිනේරුවරයකු ලෙස පමණක් සීමා වූයේ නැත. නව අදහස් නිර්මාණය කිරීමේ කැමැත්ත, අවදානම් භාර ගැනීමේ නිර්භීතභාවය සහ දේශීය ව්‍යාපාර ලෝකයට අලුත් මාවත් විවර කිරීමේ අධිෂ්ඨානය ඔහු පසුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු හා දැවැන්ත ව්‍යාපාරිකයකු බවට පත් කළේය.

නාවික ඉංජිනේරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ නහිල් විජේසූරිය,  ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සුවිශේෂී නාමයක් බවට පත්විය. දශක කිහිපයක් පුරා විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ආයතන රුසක් ආරම්භ කරමින් රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම රැකියා උත්පාදනයට ද සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට ඔහු සමත් විය.ඔහුගේ නායකත්වයෙන් ආරම්භ වී සාර්ථකත්වයට පත් වූ ව්‍යාපාර අතර East West Properties PLC, Wijesuriya Holdings (Pvt) Ltd, East West Enterprises (Pvt) Ltd, ETV 1 සහ ETV 2 යන රූපවාහිනී නාලිකා ප්‍රමුඛ ස්ථානයක් ගනී. එමෙන්ම හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය තුළ Ceylon Intercontinental Hotel සහ Marriott Weligama Bay Resort & Spa සමඟ ද ඔහුගේ ව්‍යාපාරික සබඳතා විහිදී යයි. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ People's Media Network (Pvt) Ltd ආයතනය ද ඔහුගේ ව්‍යාපාරික දැක්මේ තවත් සාර්ථක ප්‍රතිඵලයකි.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට පමණක් සීමා නොවී සමාජ සුබසාධනය කෙරෙහි ද අවධානය යොමු කළ නහිල් විජේසූරිය මහතා Agnes Wijesuriya Charity Fund ආරම්භ කරමින් සමාජ සත්කාරක කටයුතු රැසකට දායක වී ඇත. එමෙන්ම Agnes Wijesuriya Children's and Elders Homes හරහා අසරණ දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් දීර්ඝකාලීන සමාජ සේවාවක් ඉටු කරමින්, ව්‍යාපාරික සාර්ථකත්වය සමඟ මානුෂීය වටිනාකම් ද සමාජයට දායාද කළ ව්‍යවසායකයකු ලෙස ඔහුගේ නාමය සටහන් වී තිබේ.

ව්‍යාපාර ලෝකයේ දැවැන්තයකු ලෙස නාමය රැන්දුවද, නහිල් විජේසූරියගේ ජීවිතය ලාභ ඉපැයීමට පමණක් සීමා වූවක් නොවේ. තම ව්‍යාපාරික සාර්ථකත්වයෙන් උපයාගත් ධනයෙන් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් යළිත් සමාජයටම පරිත්‍යාග කිරීමට ඔහු කටයුතු කර තිබේ. ඔහුගේ විශ්වාසය වූයේ, ධනයේ සැබෑ වටිනාකම එය තත් ජීවිතවලට ආලෝකයක් ලබා දෙන විට පමණක් සම්පූර්ණ වන බවයි.

සිය ජීවිතයට අත්තිවාරම දැමූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට කෘතවේදීත්වය පළ කිරීමටද ඔහු අමතක කළේ නැත. එම විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 3ක (කෝටි 300ක) මුදලක් පරිත්‍යාග කළ ඔහු, ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා තවත් රුපියල් මිලියන 100ක් ද පරිත්‍යාග කර ඇත.

ළමා සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ අරමුණින්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව හෘද සැත්කම් ඒකකය ඉදිකිරීම සඳහා රුපියල් බිලියනයක (කෝටි 100ක) මුදලක් පරිත්‍යාග කළ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේද පාසල් රැසකට අතිවිශාල මූල්‍යමය දායකත්වයක් ලබාදී ඇත. ඒ අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට රුපියල් මිලියන 600ක්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක Sunera Foundation වෙත රුපියල් මිලියන 400ක්, බිෂොප් විද්‍යාලයට රුපියල් මිලියන 270ක්, කොළඹ ආනන්ද විද්‍යාලයට රුපියල් මිලියන 250ක්, මහනුවර උසස් බාලිකා විද්‍යාලයට රුපියල් මිලියන 100ක් සහ කොළඹ නාලන්දා විද්‍යාලයට රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කිරීම ද විශේෂ වේ.

එපමණක් නොව, ශ්‍රී ලංකා පිළිකා සංගමයට රුපියල් මිලියන 50ක් ද, යාපනයේ පූනරින් ප්‍රදේශයේ දුෂ්කර පාසල් කිහිපයක් සහ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා 'අපේ ලංකා' පදනම හරහා රුපියල් මිලියන 27ක් ද, ගාමිණී මාතා වැඩිහිටි නිවාසය සඳහා රුපියල් මිලියන 25ක් ද පරිත්‍යාග කරමින් සමාජ සුබසාධනය වෙනුවෙන් අඛණ්ඩව සිය දායකත්වය ලබාදී තිබේ.

සිය මව සිහිපත් කරමින් ස්ථාපිත කළ Agnes Wijesuriya Charity පදනම හරහා ද ඔහු සමාජ සත්කාරයේ තවත් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ඒ යටතේ අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණ නාවික ඉංජිනේරු විද්‍යාව හදාරන විශ්වවිද්‍යාල සිසුන් 54 දෙනකු සඳහා 2017 වසරේ සිට අඛණ්ඩව ශිෂ්‍යත්ව ලබාදෙයි. එක් සිසුවකුට මසකට රුපියල් 20,000 බැගින් පිරිනමන මෙම වැඩසටහන සඳහා මාසිකව රුපියල් මිලියන 1.1කට අධික මුදලක් ද, වාර්ෂිකව රුපියල් මිලියන 13කට ආසන්න මුදලක් ද වැය කරනු ලබයි.

මෙවැනි පරිත්‍යාග සහ සමාජ සත්කාරක කටයුතු දෙස බැලීමේදී පැහැදිලි වන්නේ නහිල් විජේසූරිය වනාහී ව්‍යාපාරික සාර්ථකත්වය පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස නොව, සමාජයට යළිත් ආපසු ලබාදිය යුතු වගකීමක් ලෙස සැලකූ ව්‍යවසායකයකු බවයි.

පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ ආදරණීය පියකු වන නහිල් විජේසූරිය, ව්‍යාපාරික සාර්ථකත්වය පමණක් නොව සමාජයට ඉටු කළ යුතු යුතුකම් ද නොපිරිහෙළා ඉටු කළ ශ්‍රී ලාංකකයකු ලෙස අද බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී සිටී. උපයාගත් ධනයේ වටිනාකම සමාජයට ආපසු ලබාදීමෙන් මනින ඔහුගේ ජීවිත ගමන, ඉදිරි පරපුරේ ව්‍යවසායකයන්ට ද ආදර්ශයක් සපයන කතාවකි.

දිශානි ජයමාලි කරුණාරත්න