මෙරට විශාලතම වෛද්‍ය පීඨය යැයි සුපතළ සබරගමු විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ රත්නපුරයේ නව ගොඩනැගිලි සංකීර්ණය පසුගියදා සිසු අයිතියට පත්කරනු ලැබීය. රජයේ ප්‍රතිපාදන සහ සෞදි රජයේ ණය ආධාර යටතේ රත්නපුර නවනගරයේ ගල්කඩුවවත්ත නමින් හැඳින්වෙන අක්කර 20ක භූමි භාගයක ඉදිකෙරුණු මෙම වෛද්‍ය පීඨය සොබා සෞන්දර්යෙන් අනූන ප්‍රදේශයක ඉදිකර ඇතිවා සේම ඊටම අනන්‍ය වූ විශාල රක්ෂිත භූමිභාගයකින් ද සමන්විතව ඇත. නවනගරයේ උස් භූමියක ඉදි කෙරී ඇති හෙයින් රත්නපුර නගරය ඇතුළු හාත්පස අංශක 360ක කෝණයකින් දර්ශනය වීම ද සුවිශේෂී වනු ඇත.

මෙතරම් සුන්දරව දර්ශනය වන රත්නපුර වෛද්‍ය පීඨයේ ආරම්භය නම් එතරම් සුන්දර නොවූවකි. උපකුලපති ප්‍රමුඛ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ අප්‍රතිහත ධෛර්යය මත ඇරඹි රත්නපුර වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණය පිළිබඳව සේම මෙතෙක් ආ ගමන්මග පිළිබඳව විමසීමට අපි රත්නපුර වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි මහාචාර්ය එම්. නිර්මලී වික්‍රමරත්න සම්බන්ධ කරගතිමු.

“සබරගමු විශ්වවිද්‍යාලය ආරම්භ කළේ 1991දී යි. 2005 වසරේ අයතනික සැලැස්මේ සිටම අපට වෛද්‍ය පීඨයක් අවශ්‍ය බව අවධාරණය කෙරුණ අතර එම උත්සාහය ඵලදරුවෙ 2018 වසරෙදීයි. එවක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වුනේ මහාචාර්ය සුනිල් ශාන්ත මහතායි. එතෙක් සිටි උපකුලපතිවරු උත්සාහ කළ, සිහින දුටු වෛද්‍ය පීඨයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ගැසට් නිවේදනයක් මගින් තහවුරු කරන්න 2018 අගෝස්තු මසදී එතුමාට හැකියාව ලැබුණා.

ඒ එක්කම 2018 විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතට සබරගමු විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයත් ඇතුළත් කරනු ලැබුවා.ඒ අනුව සබරගමු විශ්වවිද්‍යාලයේ රත්නපුර වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායම ලෙස 2017 - 2018 උසස් පෙළ හැදෑරු සිසුන් 70ක් ඇතුළත් කරගනු ලැබුවා.

විගණන කාර්යාල භූමියේ ඇරඹි වෛද්‍ය පීඨය 

කෙසේ නමුත් ඒ වනවිට අපට වෛද්‍ය පීඨයකට අවශ්‍යය පීඨ සංකීර්ණයක් තිබුණේ නැහැ. එවක ප්‍රාදේශීය මහා රෝහලක් ලෙස පැවති රත්නපුර මහ රෝහල සායනික පුහුණුව සඳහා යොදාගැනීමේ තීරණය මත මෙය සබරගමු විශ්වවිද්‍යාලයේ රත්නපුර වෛද්‍ය පීඨය ලෙස නම් කළා. හැබැයි එලෙස කරන්නත් අපට ගොඩනැගිලි තිබුණේ නැහැ. එවන් පසුබිමක තමයි රත්නපුර බටුහේන ප්‍රදේශයේ විගණන දෙපාර්තමේන්තුවට අයත් ඒ වනවිට භාවිතයෙන් ඉවත දමා තිබුණු පුහුණු මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි සංකීර්ණයක් ඇති බවට තොරතුරු ලැබුණෙ. ඒ අනුව එවක සිටි විගණකාධිපතිතුමන් වූ ගාමිණී විජේසිංහ මහතාට වෛද්‍ය පීඨයට මෙම ගොඩනැගිලි සංකීර්ණය ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමෙන් පසුව එතුමන් මෙහි ඇති ජාතික වැදගත්කම හඳුනාගෙන ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන ලදුව අගෝස්තු මාසයේදීම එම ගොඩනැගිලි සංකීර්ණය රත්නපුර වෛද්‍ය පීඨය සඳහා ලබාදුන්නා. ඒ අනුව අපි එම ගොඩනැගිලි සංකීර්ණය වෛද්‍ය පීඨයකට ගැළපෙන ලෙස ප්‍රතිසංස්කරණය කළා. විශේෂයෙන් වෛද්‍ය පීඨ සිසුන්ට පළමු වසර 1/2 තුළ ලබාදිය යුතු පූර්ව සායනික පුහුණුව සඳහා විද්‍යාගාර හදාගත්තා. මුල්කාලයේ අපට ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා කථිකාචාර්යවරු හිටියෙ හය දෙනයි.

ඒ එකකම අපට කාමර 20ක හොස්ටල් එකක් තිබුණා. ඒ අනුව එක කාමරයකට දෙදෙනා බැගින් ශිෂ්‍යාවන් 40කට නේවාසික පහසුකම් එම පරිශ්‍රයේම ලබාදුන්නා. සෙසු සිසුන් සඳහා අසල නිවාස කුලී පදනම මත ලබාගෙන සිසු නේවාසිකාගාර බවට පත් කළා.

රුපියල් මිලියන 1096ක ප්‍රදානයක් 

මෙලෙස ඇරඹි රත්නපුර වෛද්‍ය පීඨය නිල වශයෙන් විවෘත කිරීම 2019 ජනවාරි 17 වැනිදා එවක අග්‍රාමත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බටුහේන පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඉන් අනතුරුව රජයේ අරමුදල්වලින් රත්නපුර නවනගරයේ පිහිටි ගල්කඩුවවත්ත හි අපේ පැරා සායනික ගොඩනැගිල්ල සහ පරිපාලන ඒකකය ඉදිකිරීම සඳහා  රුපියල් මිලියන 1096ක මුදලක් ලබාදුන්නා.
නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ අක්කර 20කින් සමන්විත ගල්කඩුවවත්ත 2005 වසරේදී තමයි අපට පවරා දෙනු ලැබුවෙ. ඒ අනුව රජයේ අරමුදල් යොදා ගෙන පැරා සායනික සහ පරිපාලන ඒකකය ගොඩනැගීම 2020 වසරේදී ආරම්භ කරනු ලැබුවා. මෙලෙස එහි ඉදිකිරීම් සිදුකරමින් යනවිට කොවිඩ් වසංගතය නිසා ඉදිකිරීම අතරමග නවැතුණා. එවිට අපි සැලසුම් කළ විදිහට පැරා සායනික පුහුණුව ලබාදෙන්න ඉඩකඩ නොමැති ගැටලුවක් පැන නැගුණා. මොකද අපි 2019දී දෙවැනි කණ්ඩායම ලෙස සිසුන් 45ක් බඳවා ගෙන තිබුණා. මේ නිසා අපිට රත්නපුර නවනගරයේ පිහිටි විදේශීය රැකියා කාර්යාංශයේ ට්‍රේනින් සෙන්ටර් එකේ එක තට්ටුවක් කුලී පදනම මත ලබාගත්තා. එතන අපි පැරා සායනික දේශන පවත්වන්න යොදා ගත්තා. ප්‍රායෝගික පරීක්ෂණ කොටස බටුහේන පරිශ්‍රයේම සිදු කළා. විදේශීය රැකියා කාර්යාංශයේ ශ්‍රවණාගාරයත් ඔවුන් අපිට අපේ අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා ලබාදුන්නා. ඒක අපේ පරිගණක ඒකකය සඳහා යොදා ගත්තා.

නව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පත් කළ අවස්ථාව

ඒ වනවිට අපට ලෝක බැංකුවෙන් මිලියන 194ක ප්‍රතිපාදනයක් ලැබුණා. එම මුදලින් පැරා සායනික සහ පූර්ව සායනික කටයුතුවලට අත්‍යවශ්‍ය කාර්යාලීය උපකරණ සියල්ල  මිලදී ගනු ලැබුවා.

නවනගරයේ ඉදිවුණ නව ගොඩනැගිලි සංකීර්ණය 

2022 ඔක්තෝබර් මාසය වන විට ගල්කඩුවවත්ත පරිශ්‍රයේ ඉදිකරමින් තිබූ පරිපාලන ඒකකය සාදා නිමකර භාරදුන්නා. පැරා සායනික ගොඩනැගිල්ල 2023 අගෝස්තු වනවිට සාදා නිමකර අපට භාරදෙනු ලැබුවා. මෙම සියලු ඉදිකිරීම් රජයේ අරමුදල් යොදා ගෙනයි සිදු කළේ.

සෞදියෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ප්‍රතිපාදන 

සිසුන් සායනික පුහුණුව සඳහා යොමුකරන අතරේම සායනික අධ්‍යයන කටයුතු සඳහා යොමු කරවීම සිදුකළ යුතු වුණා. බටුහේන පරිශ්‍රයට අලුතින් සිසුන් බඳවාගෙන තිබුණු නිසා එහි ඉඩකඩ මදි නිසා අපිට පරීක්ෂණ සංකීර්ණයක අවශ්‍යතාව මතුවුණා. ඒ සඳහා සෞදි අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ප්‍රතිපාදන ලැබුණා. ඒ අරමුදල යටතේ ඒ වනවිට අඩු පහසුකම් යටතේ පැවති බටුහේන පූර්ව සායනික පුහුණු ඒකකය, පුස්තකාලය සිසුන් 500ක් සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක්, කාර්යමණ්ඩලයේ 25ක් සඳහා නේවාසිකාගාරයක් හා ශ්‍රවණාගාරයක් ගල්කඩුවවත්ත පරිශ්‍රයේ ඉදිකිරීම් ඇරඹුවා. අද වනවිට සෞදි අරමුදල යටතේ ඉදිකරමින් තිබූ පූර්ව සායනික ඒකකය, පුස්තකාලය, නේවාසිකාගාර, ශ්‍රවණාගාරය යන සියල්ල ඉදිකර අවසාන වූයෙන් ගොඩනැගිලි සංකීර්ණය ජුලි 04 වැනිදා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කළා.

රත්නපුර වෛද්‍ය පීඨය එක ආරම්භ වීමත් සමග එතෙක් ප්‍රාදේශීය මහ රෝහලක් ලෙස පැවති රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කෙරුණා. මීට සමගාමීව එහි මහාචාර්ය ඒකකයක් ගොඩනගන්න ඔවුනුත් ලොකු උත්සාහයක නිරතව සිටියා. එවන් පසුබිමක තමයි අපිට සෞදි අරමුදල ලැබුණෙ. ඒ නිසාම සිසුන්ට ඉතා වැදගත් මහාචාර්ය ඒකකය ගොඩනැගීමත් අපි සෞදි අරමුදල යටතේ සිදුකිරීම සඳහා යොමුකරනු ලැබුවා.

රත්නපුර ශික්ෂණ රෝහලේ ඉදිකෙරෙන මහාචාර්ය ඒකකය 

රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකරන මහාචාර්ය ඒකකය මහල් 9කින්, ශල්‍යාගාර 8කින්, ඇඳන් 07කින් යුත් අයි.සී.යූ. ඒකකයක්, නොමේරු ළදරු අයි.සී.යූ. ඒකකයක් සහ මෙඩිකල් - මාතෘ - ළමා - මානසික සහ ශල්‍ය වාට්ටු සංකීර්ණයක්, සායන සංකීර්ණයක් සහිතව ඉදිකෙරෙන්නක්. එහි ඉදිකිරීම් එළඹෙන අගෝස්තුවේ අවසන් කිරීමට නියමිතයි. නමුත් එහි උපකරණවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීම් ආදිය සිදුකළ යුතු නිසා සම්පූර්ණ කටයුතු නිමාකර අපට බාරදීමට නියමිතව තිබෙන්නේ එළඹෙන ඔක්තෝබර මාසයේ දීයි. මෙම මහාචාර්ය ඒකකය සියලු අංශවලින් සපිරි තවත් රෝහලක් වැනි ගොඩනැගිල්ලක්. එය ඇදන් 460කින් සමන්විත වනවා. එමගින් රත්නපුර ශික්ෂණ රෝහලට එන රෝගීන්ට සුවිශේෂී සේවාවක් සැපයෙනවා. මෙය රත්නපුර වෛද්‍ය විද්‍යාලයෙන් රත්නපුර ජනතාවට ලබාදුන් සුවිශේෂී දායාදයක් කියා හැඳින්වුවොත් නිවැරදියි. මහාචාර්ය ඒකකයට ස්ථාපිත කෙරෙන අධ්‍යයන අංශ වාට්ටු 5 සඳහා විශේෂඥ වෛද්‍යවරුන් අපේ පීඨය මගින් තමයි යොමු කරන්නෙ. එවිට රෝහලේ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව තවත් විශේෂඥ වෛද්‍යවරු රැසකගේ සේවය රත්නපුර සහ ඒ අවට පළාත්වල ජනතාවට ලබාගැනීමට අවස්ථාව උදාවනවා. 

එසේම මෙම මහාචාර්ය ඒකක නූතන තාක්ෂණික මෙවලම්වලින් බලගැන්වෙන්නක්. සෞදි අරමුදලෙන් ලබාදෙන එම උපකරණවල නඩත්තු කටයුතු ඉන් පසුව සෞඛ්‍ය අමාත්‍යශයට පැවරෙනවා. 

ඊට අමතරව විවිධ රෝග සඳහා පවත්වන සායනත් මහාචාර්ය ඒකකය තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ප්‍රජා සෞඛ්‍ය සහ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ, පවුල් සෞඛ්‍ය යන අධ්‍යයන අංශ දෙක යටතේ රත්නපුර වෛද්‍ය පීඨයේ පැරා සායනික ඒකකය තුළ සායන පැවැත්වීමටත් නියමිතයි. 

නවීන තාක්ෂණයෙන් යුත් ශ්‍රවණාගාරය 

ශ්‍රවණාගාරයේ ප්‍රේක්ෂකයන් 1060කට අසුන ගත හැකියි. එය නූතන තාක්ෂණයෙන් සන්නද්ධ ඉතා අලංකාර ශ්‍රවණාගාරයක් ලෙස හැඳින්විය යුතුමයි. එහි සංගීත ප්‍රසංග පැවැත්වීමටත්, වේදිකා නාට්‍ය රඟදැක්වීමට මෙන්ම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා ඩිජිටල් තිර පහසුකමත් පවතිනවා. එය භාහිර පාර්ශවවලටත් භාවිත කළ හැකියි.

අක්කර 20ක භූමිය 

ගල්කඩුවවත්ත අක්කර 20කින් සමන්විත භූමි ප්‍රදේශයක්. නමුත් අපට මෙහි ඉදිකිරීම් සිදුකළ හැක්කේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක පමණයි. ඉතිරිය රක්ෂිතයක් ලෙස පවත්වාගෙන යන ලෙස ගොඩනැගිලි පර්‌යේෂණ ආයතනය අපට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ වනවිට රත්නපුර වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් 680ක් සිටිනවා. ඒ වගේම මේ වනවිට වෛද්‍ය සිසුන් බැච් දෙකක් පිටව තිබෙනවා. 9 වැනි බැච් එක ලෙස සිසුන් 160ක් එළඹෙන ඔක්තෝබරයේ දී බඳවාගැනීමට සූදානම්. මේ වනවිට පූර්ණ කාලීන අධ්‍යයන කාර්ය මණ්ඩලය ලෙස 42ක් සිටිනවා. ඊට අමරතව විශේෂඥ වෛද්‍යවරු හයදෙනකු පමණ ඉදිරියේදී අප සමග එක්වීමට නියමිතව තිබෙනවා.

අවුරුදු 5ක් පුරා දිවෙන මෙම වෛද්‍ය උපාධි පාඨමාලාවේ සිසුන්ට තෙවැනි වසරේදී හැර සෙසු වසර 4 තුළම නේවාසික පහසුකම් ලබාදීමටත් කටයුතු කරනවා.

සීරෝ කළ නවකවදය 

අප නවකවදය ශූන්‍ය කළ වෛද්‍ය පීඨයක්. මම සහ අපේ කාර්යමණ්ඩලය වෛද්‍ය පීඨය ඇරඹූ පළමු දිනයේ සිට දැඩි කැපවීමකින් කළ කාර්යක ප්‍රතිඵලයක් තමයි ඒක. මුළු විශ්වවිද්‍යාල පද්ධතියේම වෛද්‍ය පීඨ හා වෙනත් පීඨ ගත්තම නවකවදය නැති එකම පීඨය රත්නපුර වෛද්‍ය පීඨයයි. අපේ කාර්ය මණ්ඩලයේ එකමුතුබව නිසයි මෙවන් ප්‍රතිඵලයක් අපේ පීඨයට අත්කරදීමට හැකිවුණේ.

අපි සිසු සිසුවියන් සමග ඉතා හොඳ වෘත්තීයමය ගුරු සිසු සබඳතාවක් පවත්වාගෙන යනවා. සිසුන් යම් පීඩනයක් තිබෙනවා නම් ඊට ඇහුම්කන් දෙන්න අපි කටයුතු කළා. ඒ වගේම උපදේශනයෙන් ඔබ්බට ගිය සිසුන්ට මගපෙන්වන වැඩසටහනක් අප සතුව තිබෙනවා. සිසුවෙක් වෛද්‍ය පීඨයට ඇතුළත් වූ දිනයේම ඔහුට සහාය වීම සඳහා කථිකාචාර්යවරයෙක් නම් කරනවා. ඒ අනුව එක කථිකාචාර්යවරයෙකුට හැම කණ්ඩායමේම සිසුන් 10ක් පමණ සිටිනවා. ඒ කථිකාචාර්යවරයා විසින් තමන්ට ආදාළ සිසු සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු මානසික තත්ත්වය හා වෙනත් ගැටලුකාරී තත්ත්ව තිබේ නම් ඒවා අධීක්ෂණය කරන්න ඕනි. මේ තුළ අදාළ සිසුවා හෝ සිසුවිය සමීපව නිරීක්ෂණය වෙනවා.   

කෘතවේදිත්වය 

මෙහිදී සිහිපත් කළ යුතුම පිරිසක් සිටිනවා. සබරගමු විශ්විවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාගැනීම සඳහා මුල සිටම වෙහෙසුණු හිටපු උපකුලපතිවරුන්ට සහ අවසානයේ යථාර්ථයක් බවට පත්කළ මහාචාර්ය සුනිල් ශාන්තට අපි අපේ කෘතවේදිත්වය මේ මොහොතේ පිරිනැමිය යුතුයි.

එසේම 2018 වසරේ සිටම අපේ වෛද්‍ය පීඨයට උපදේශකත්වය ලබාදෙන්න ප්‍රකට ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එස්. පී. ළමාබදුසූරිය අප සමග සම්බන්ධ වුණා. එතුමන් කළින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තමයි සේවය කළේ. වෛද්‍ය පීඨය ඇරඹීම සඳහා බටුහේන පරිශ්‍රය සකස් කිරීම, සිසුන් බඳවා ගැනීම, අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම ආදි සියලු කාර්යන්ට එතුමා නායකත්වය දුන්නා. විශේෂයෙන් පළමු කණ්ඩායමේ සිසුන් අපේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා දා සිට ඔවුන් පිටව යන තෙක්ම එතුමන්ගේ සේවය ලබා දුන්නා. එතුමන් අපට ලබාදුන් ඒ සේවාව බොහොම කෘතවේදිව මේ මොහෙතේ සිහිපත් කරනවා.

ඒ වගේම අපිට වෛද්‍ය පීඨය අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට මහාචාර්ය මහලියනආරච්චි, මහාචාර්ය උදය රත්නායක යන මහත්වරුන් දක්වපු දායකත්වය කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

වෛද්‍ය පීඨය ආරම්භ කරනවිට අපිට ප්‍රමාණවත් අධ්‍යයන කාර්ය මණ්ඩලයක් හිටියේ නැහැ. මේ නිසා වෙනත් විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨවලින් විශ්‍රාමගත් මහාචාර්යවරුන්ව එසයිමන්ට් පදනමින් බඳවා ගත්තා. එවැනි මහාචාර්යවරු 9 දෙනෙක් පමණ අපට හිටියා. පසුව ක්‍රමානුකූලව ස්ටාෆ් බඳවාගැනීමත් සමග ඔවුන්ගේ සේවය අවසන් කළා. අද අපි ඉන්න තැනට එන්න ඔවුන්ගෙන් ලැබුණු සේවයත් බෙහෙවින් අගය කළ යුතුයි.”

මහාචාර්ය එම්. නිර්මලී වික්‍රමරත්න සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිනිය ලෙස වෛද්‍ය පීඨය ඉහළට ඔසවා තැබීමට අද දක්වාම සිය දායකත්වය උපරිමය ලබා දී තිබේ. අවම පහසුකම් යටතේ වෛද්‍ය පීඨය අරඹා අද වනවිට මෙරට විශාලතම වෛද්‍ය පීඨය බවට පත්කරන්නට එතුමියට හැකිව තිබේ. මෙවන් මොහොතක මහාචාර්ය එම්. නිර්මලී වික්‍රමරත්න මහත්මියට දැනෙන හැඟීම කෙබඳු ද යන්නත් විමසීමක් කළෙමු.

“මම කැලණිය විශ්වවිද්‍යාල ජෛව රසායන විද්‍යා මහාචාර්යවරියක ලෙස කටයුතු කරමින් සිටියදී 2018 දී සබරගමු විශ්වවිද්‍යාලයේ එවක උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත ආරධනාවක් කළා සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අරඹා පවත්වාගෙන යන්න දායක වෙන්න පුළුවන්ද කියලා. ඒ ආරධනය පිළිගෙන මම සබරගමුව විශ්වවිද්‍යාලය සමග එක්වුණා. අනතුරුව උපකුලපතිතුමන් විසින් මහාචාර්ය මහලියනාරච්චි, මහාචාර්ය එස්. පී. ළමාබදුසූරිය සහ මා ඇතුළු කණ්ඩායමක් සකස් කළා වෛද්‍යපීඨය එක ඇරඹීමේ කටයුතු සඳහා. මුලින් එහි කටයුතු භාරව සිටියේ මහාචාර්ය මහලියනආරච්චි යි. නමුත් පසුව එතුමන් ඒ වගකීම මට පැවරුවා. අනතුරුව මම රත්නපුර වෛද්‍ය පීඨයේ පළමුවන පීඨාධිපතිනිය ලෙස පත්ව අද වනතුරු සේවය කරනවා.

මමත් එළඹෙන ජුලි 31දා විශ්‍රාම ගන්නවා. කෙසේ නමුත් අවම පහසුකම් යටතේ ආරම්භ කළ රත්නපුර වෛද්‍ය පීඨය සියලු පහසුකම් සහිත ගොඩනැගිලි සංකීර්ණයක් වෙත ගෙනයාමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මහාචාර්ය ඒකකය සිසු අයිතියට පත්කෙරෙන තෙක් මට විද්‍යාපීඨයේ රැඳීමට නොහැකි වුණත් එහි අවසන් අදියර දක්වාම රැගෙන යන්න හැකිවීම ගැනත් මම බෙහෙවින් සතුටු වෙනවා”.

නිරෝෂාන් ප්‍රේමරත්න

ඡායාරූප: සබරගමු පළාත් සභා මාධ්‍ය අංශය