
සුනාමි ව්‍යසනයෙන් අප ඉගෙනගත් පාඩම් බොහෝය. ජීවිතය අනිත්‍ය බව ඒ ඉගෙන ගත් පාඩම්වලින් එකකි. අප ජීවිත කාලයටම හරිහම්බ කරපු සියලුම දෑ නැති වන්නට යන්නේ එක විනාඩි කීපයක් බවද මේ අතරය. පණට පණසේ එකට කාබී සිටි අය වෙන්වන්නට යන්නේද විනාඩි කීපයක් බව එයින් පසක් විය.
2004 දෙසැම්බර් මස 26 වැනිදා පෙරවරුවේ ගොඩබිමට ගලා ආ චණ්ඩ රළ කළා වූ ව්‍යසනය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එයින් අහිමිවූයේ ජීවිත දස දහස් ගණනකි. ඒ අතුරින් දකුණු පළාතටවූ හානිය විශාලය. විශේෂයෙන්ම දකුණේ ගාලු දිසාවට සුනාමියෙන් වූ බලපෑම සමස්තයක් ලෙස වැඩිය. ගාලු දිසාවේ ද හික්කඩුව පැරෑලිය ඒ අතරින් විශේෂය.ඒ නිසාම සුනාමිය කිවූ සැණින් පැරෑලියත් පැරෑලිය කිවූ සැණින් සුනාමියත් ඕනෑම අයෙකුගේ චිත්ත සන්තානයට එන්නේ ඒ නිසාය.
මේ රටේ සුනාමි ව්‍යසනයෙන් වැඩිම ජීවිත සංඛ්‍යාවක් මුහුදු රකුසා බිලිගත්තේ පැරෑලියේ බව නොදන්නා කෙනෙකු නැති තරම්ය. එදින නත්තල් දිනට පසුදිනවීමත් නත්තලත් සමග ඊට පසුදින නිවාඩු දිනයක් වීමත් නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශවල අය කොළඹින් දකුණුලකට ඒමට දුම්රියට නැගුණේ ලද කෙටි නිවාඩුවෙන් විනෝදයක් ලබා ගැනීමටය.නෑගම්වල යන අයද මේ දුම්රියේ නොහිටියාම නොවේ. එදා කොළඹින් පිටත්වූ මේ දුම්රියට සුනාමි මාරයා පැරෑලිය පසුකර යාමට ඉඩ නොදුන්නේය. ඒ විතරක්ම නොව එහි සිටි දහස් ගණනකගේ ජීවිත බිලි ගත්තේය. විදේශිකයන්ද මේ අතරය. සිරුරු කෑලි කැඩී හඳුනාගන්න බැරි තරමටම සුනාමිය එදා ජීවිත බිලි ගත්තේය. එක්දහස් දෙසීය හැත්තෑවක පමණ මළසිරුරු කන්දක් ගොඩ ගැසිණ.
ප්‍රශ්නය වූයේ මළසිරුරු කන්ද වල දැමීමට ස්ථානයකි. එවකට සිටි රජයේ අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ඔවුන්ගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මේ මළසිරුරු භූමිදානය සඳහා තෝරා ගනු ලැබූවේ තෙල්වත්ත පැරෑලියේ මහ මුහුද ආසන්නයේ ඇති හිස් බිමකි. ඒ අනුව බැකෝ රථ ගෙන්වා මේ ස්ථානයේ ඉතා විශාලට කපන ලද වළක මේ මළසිරුරු සියල්ලම මිහිදන් කෙරිණ. ඒ මීට විසිදෙවසරකට පමණ උඩදීය. මේ සුනාමි සමූහ මිනීවළ නිසාම මේ ආසන්නයේම ජාතික සුනාමි අනුස්මරණ කුළුන ද ඉදිවූවේය. මේ සුනාමි අනුස්මරණ ස්මාරකය ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ඉතා ප්‍රසිද්ධියට පත්විය. ඒ විතරක්ම නොව රජය මගින් සිදුකෙරෙන ජාතික සුනාමි අනුස්මරණයේ දී පැරෑලියේ සුනාමි අනුස්මරණ ස්මාරකයම තෝරා ගන්නේ පැරෑලියේ දී සුනාමියෙන් වැඩිම ජීවිත සංඛ්‍යාවක් බිලිගත් නිසාවෙනි. මේ සැමරුමට මේ රටේ නන්දෙසින් ජනතාව පැමිණෙති. විදෙස් රටවල අය පවා මෙහි එති.

ඩෝසර් කර ඇති අයුරු.
මෙසේ මෙහි පැමිණෙන සිය දහස් ගණන් ජනතාව සුනාමි අනුස්මරණ ස්මාරකයට පුෂ්පෝපාහර දක්වා ඊළඟට පුෂ්පෝපාහර දැක්වීමට යනුයේ ඒ ආසන්නයේම ඇති එක්දහස් දෙසීය හැතෑවකගේ පමණ ජීවිත එකට වැළලුනු සමූහ මිනිවළටය. එය ඒ වනවිට වැලිකඳු කොතක් ලෙස සෑදීමට ප්‍රදේශවාසීන් සහ අදාළ බලධාරීහු පියවර ගනිති. ප්‍රශ්නය නම් එය නොවේ.මේ සමූහ මිනීවළ එසේත් නොමැතිනම් සුනාමියෙන් මියගිය එක්දහස්දෙසිය හැත්තෑවක් මිහිදන් කෙරුණු මේ ඓතිහාසික ස්ථානය වසර විසිදෙකකට පසු පුද්ගලයකු ඩෝසර් කිරීමය. දැන් එම ස්ථානයේ එවැනි ස්ථානයක් තිබූ තැනක්වත් සොයා ගැනීමට නොහැකි වන අයුරින් එය ඩෝසර් කර තිබේ. අපට ඇති ප්‍රශ්නය නම් රජයේ අනුදැනුම ඇතිව ජාතික ව්‍යසනයකදී වළ දැමුණු සමූහ මිනීවළක් එක පැයකින් දෙකකින් පුද්ගලයකුගේ හිතුමතයට ඩෝසර් කළ හැකිද යන්නය. මේ රටේ නීතියට අනුව එවැන්නක් කළ හැකිද යන්නය.මේ ඒ වෙනුවෙන් කෙරෙන විවරණයකි.
සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමිවූ එක්දහස් දෙසීය හැත්තෑවකගේ පමණ සිරුරු මිහිදන් කෙරුණු පැරෑලිය සුනාමි අනුස්මරණ කුලුණට යාබදව පිහිටි සමූහ මිනිවළ වැලිකොත ජූලි 15 වැනිදා පුද්ගලයකු ඩෝසර් කර ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මීටියාගොඩ පොලීසිය ද කීවේය.
පැරෑලිය සුනාමි අනුස්මරණ කමිටුවේ සභාපති සහ රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර මේ සම්බන්ධයෙන් පැමිණිළි කළ බවත්, ඒ අනුව මේ සමූහ මිනීවලේ වැලිකොත ඩෝසර් කළ පුද්ගලයා හඳුනාගෙන ඔහු පිළිබඳව විධිමත් පරීක්ෂණ ආරම්භ කළ බවද මීටියාගොඩ පොලීසිය කියයි.

සභාපති දුලාජ් තරංග
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැරෑලිය සුනාමි අනුස්මරණ කමිටුවේ සභාපති රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර :-
“සුනාමි අනුස්මරණය වෙලේ මේ ස්ථානය සමූහ මිනිවළක් කරන ලෙස නියෝගය ලැබුණේ එවකට සිටි රජයේ බලධාරීන්ගෙන්. ඒ අනුව මේ ස්ථානය සුනාමි ඛේදවාචකය වෙලා අවුරුදු විසිදෙකක්ම යහතින් තිබුණා. අදටත් ගාලු පාරේ යන අය පැරෑලිය සුනාමි අනුස්මරණ ස්මාරකයට වගේම මේ සමූහ මිනීවළ උඩ ඉදිවූ වැලිකොත ළඟටත් ඇවිල්ලා ගරු බුහුමන් දක්වනවා. මේ ඩෝසර් කරලා තියෙන්නේ එවන් ඓතිහාසික ස්ථානයක්.මේ ස්ථානය ඩෝසර් කරන්න ඇත්තේ කාට හෝ විකිණීමට වෙන්නත් පුලුවන්. ඒ වගේම මේ සමූහ මිනිවළ උඩ යම් ගොඩනැගිල්ලක් ඉදිකරන්නටත් පුලුවන්. මේ ස්ථානය ඩෝසර් කළ 15 දා මට ඒක දැන ගන්න ලැබුණා. ඒ අනුව පැරෑලිය සුනාමි අනුස්මරණ කමිටුවේ සභාපතිවරයා මෙන්ම රත්ගම ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස මන්ත්‍රීවරයා විදිහට මම මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසියේ පැමිණිල්ලක් දැම්මා.”
“මෙය ඩෝසර් කළ කෙනා ඉන්නේ කොහේද කියලා දන්නේ නැහැ. නමුත් ජනතාව කියූ විදිහට ඒ කාලයේ මෙහේ පදිංචි වෙලා දැන් දුර බැහැර පදිංචි අයෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.”
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති දුලාජ් තරංගගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ කීවේය.
“ඇත්තටම මේ පිළිබඳව පැරෑලියේ සුනාමි අනුස්මරණ කමිටුවේ සභාපති අප ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර මාව දැනුම්වත් කළා. ඒ සම්බන්ධයෙන් මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ ස්ථානයට ගිහිල්ලා එය සියසින්ම නිරීක්ෂණය කරලා තීරණය කරනවා කරන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ මීටියාගොඩ පොලිසියත් මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ කරයි. පළමුව මේ වැඩේ කළ තැනැත්තා හඳුනාගත යුතුයි. ඔහු පදිංචිව සිටින තැන වැදගත්. ඔහුට මේ ස්ථානය ඩෝසර් කරන්න තියෙන අයිතිය ඒ සඳහා ලැබුණු අවසරය ගැන සොයා බැලිය යුතුම වෙනවා.අපි අපේ මට්ටමෙන් මේ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් කරනවා.”

රුවන් පීති කුමාර
අප මේ ස්ථානය ඩෝසර් කලේ යයි කියන තැනැත්තා හඳුනාගෙන ඔහුගෙන් මේ පිළිබඳව විමසීමක් කිරීමට උත්සාහ ගත්තද මේ වනතෙක් ඔහු සිටිනා ස්ථානය සොයා ගැනීමට නොහැකිවිය.
මීටියාගොඩ පොලීසියද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එම පොලිසියේ ප්‍රකාශකයකු කීවේ මේ ස්ථානය ඩෝසර් කළ පුද්ගලයා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීම හෝ විශේෂ පරීක්ෂණයක් සඳහා පළමුවෙන්ම ඔහු සිටින ස්ථානය සොයා ගැනිම බවය. ඒ අනුව ඉදිරි විමර්ශන කරන බවය.
මේ වනවිට මේ සමූහ මිනීවළ ඩෝසර් කිරීම සම්බන්ධයෙන් විවිධ අය විවිධ කතා කියති. ඒ කතාවල සත්‍ය අසත්‍යතාව අපි නොදනිමු. අප මේ වනවිට දන්නේ එම සමූහ මිනීවළ ඩෝසර් කර ඇති අයුරු පමණි. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වකරුවන් ගන්නා තීන්දු තීරණ ගැන සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමිව මේ ස්ථානයේ සිරුරු මිහිදන් කෙරුණු අයගේ පවුල් වල අය බොහෝම සීරුමාරැවට බලා සිටිති.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd