
මෙරටට විදේශ විනිමය ඉපැයීම් ලැබෙන මූලාශ්‍ර කිහිපයක් තිබේ. ඒවායෙන් පළමු වැන්න, රෙදි පිළි හා ඇඟලුම් අපනයනයෙන් ලැබෙන ආදායම් ය. වෙනත් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් එවන මුදල් තවත් ප්‍රබල මූලාශ්‍රයකි. ආර්ථික විද්‍යාවේ දී එම මුදල් හඳුන්වනු ලබන්නේ විදේශ ප්‍රේෂණ මුදල් හෝ සංක්‍රාම වශයෙනි. 1970 දසකයේ අගභාගයේදී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු රැකියා සොයා විදේශගතවීම ක්‍රමයෙන් ඉහළ ගිය අතර මුදල් යහමින් තිබෙන මැදපෙරදිග කලාපයේ රටවල විවෘත වූ ගෘහ සේවක රැකියා සොයා කාන්තාවෝ විශාල වශයෙන් විදෙස් ගත වූහ. විදේශ ප්‍රේෂණ මුදල් අතර එසේ මැදපෙරදිග කලාපයේ රටවල ගෘහසේවක රැකියාවල නියුතුව සිටින්නන් රටට එවන මුදල් ප්‍රමාණය ද සැලකිය යුතු පංගුවක් නියෝජනය කරයි. ඊට අමතරව දකුණු කොරියාව ජපානය වැනි රටවල පුහුණු ශ්‍රම රැකියාවල නියුක්ත වන්නෝ ද රටට මුදල් එවති.
කාර්තුවක් කාර්තුවක් ගානේ අවුරුද්දක් අවුරුද්දක් ගානේ මෙපමණ අගයකින් විදේශ සංක්‍රාම මුදල් ඉහළ ගිය බවට වන සංඛ්‍යා දත්ත ගැන පාරම්බානවා හැරෙන්නට එම රටවල දුක් විඳිමින් මුදල් හම්බ කරන අපේ කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල උදවියගේ ප්‍රශ්න ගැන එම ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පිහිටුවා ඇති ආයතන සහ බලධාරීන් කටයුතු කරන්නේ ද යන්න ප්‍රශ්න සහගත ය. වෙනකක් තබා සේවයේ යෙදී සිටියදී අබිරහස් ලෙස මියයන ගෘහසේවිකාවන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීම පවා අතිදුෂ්කර වූ සිද්ධි ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. සේවා ස්ථානයේ දී තමන් මුහුණ දෙන අකටයුතුකම්, ලිංගික අඩන්තේට්ටම්, වැටුප් නොගෙවීම් ආදී ප්‍රශ්න ගැන දැනුම් දීමට අදාළ රටවල තානාපති කාර්යාල නිලධාරීන් සම්බන්ධ කරගත් අවස්ථාවල ඇතැම් නිලධාරීන්ගේ ලිංගික අල්ලස් ඉල්ලීම් ද ගැන පසුගිය කාලයේ දී නිතර අසන්නට ලැබිණි. තවත් සමහර නිලධාරීන් ඔවුන්ගේ ප්‍රශ්න ගැන වගේ වගේ නැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද නිතර අසන්නට ලැබේ. එමෙන් ම රට යවන විට දාහක් පොරොන්දු දෙන ඒජන්සිකරුවන් ඒ මිනිසුන් වැඩ කරන ගෙදරදී කරදරේ වැටුණු විට පැත්ත පළාතක බලන්නේ නැත. ඒ මිනිසුන් දෙකේ කොළයට දමා සලකන ප්‍රතිපත්තියක් පැවතිය ද ඒ අය රටට එවන ඩොලර් කොළ නිසා රටේ ආර්ථිකය දුවන බව මේ සම්පූර්ණ ලිපිය කියවීමේ දී අවබෝධ වනු ඇත.
අප මේ කතා කරන මොහොත වන විටත් රටේ තිබෙන්නේ ඩොලර් බිලියන 7ට අඩු සොච්චම් විදේශ සංචිත ප්‍රමාණයකි. ඒ මුදල් වැයකර ආනයන කළ හොත් ආර්ථිකය ඇදගෙන යෑම දුෂ්කර වනු ඇත. ඒ හේතුවෙන් රටට අවශ්‍ය ඉන්ධන බෙහෙත් මේ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වියදම් කරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයන් අමාරුවෙන් උපයන විදේශ විනිමය යි. ඒ අතර මැදපෙරදිග රටවල අතිශය අමානුෂික සැලකීම් මධ්‍යයේ කිසිදු පිළිගැනීමකින් තොරව ජීවත්වන අපේ කාන්තාවන් විශේෂ වේ. (ඇතැම් රටවල සේවා ස්ථානවල ඔවුන්ට නිසි සැලකීම් හා වැටුප් ලැබෙන බව ද කිව යුතු ය) රටවිරුවෝ ආදී නොයෙක් ප්‍රණාම නාමවලින් විදේශ ශ්‍රමිකයන් හඳුන්වනු ලැබුව ද ක්‍රියාවෙන් ඒ ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කර ඇත්තේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු වැඩ කොටසකියි කිවහොත් එය වැරදි නොවනු ඇත. සෑමවිටම ආර්ථිකයේ පංගුව ගැන පමණක් සාවධාන වීම අසාධාරණ ය. සමාජ සාධක ගැන ද කතා කළ යුතු ය.
බොහෝ විට විදේශ ගත වන්නෝ දරුවන් සිටින අම්මාවරු ය. නැතිනම් අවිවාහක තරුණියෝ ය. පවුලේ පිරිමියා රැකියාවක් නොකර ගෙදර සිට බිරිඳ පිටරට සිට එවන මුදලින් දරුවන් බලාගෙන සිටීම කාන්තාවන් ගෘහ සේවය සඳහා විදේශගත වී ඇති බොහෝ ගම්බද පවුල්වල ප්‍රකට සංස්කෘතිය බවට පත්ව තිබේ. බිරිඳ එවන මුදල් නිස්කාරණේ නාස්ති කර දමන පිරිමි ද සිටිති. සමහර පවුල්වල කාන්තාව විදේශගත වන අවස්ථාවේ පැවති දුප්පත්කම අවුරුදු තුනක් හෝ කිහිපයක් ගෙදරක කුස්සියේ කඹුරා ලංකාවට පැමිණි පසු එලෙසම හෝ ඊටත් වැඩියෙන් පවතින්නේ ද ඒ පිරිමි සංස්කෘතිය නිසා ය. මේ ජනතාව සම්බන්ධ කාරණයේ දී ආර්ථික සාධකය ගැන පමණක් බැලීම සාධාරණ නොවන බව ඉහත ලීවේ මේ නිසා ය. අපි ඔවුන්ගේ පවුල්වල හා සමාජ සුභසාධනය පිළිබඳව ද සිතියයුතු වෙමු. අනෙක් අතට විදේශ රටවල ගෘහ සේවයේ යෙදීම වැනි රස්සා හැම කාලයක දීම වයසක දීම කළ නොහැකි ය. පෞද්ගලික අංශයේ විධිමත් අංශයේ රැකියා කරන්නන්ට ලැබෙන ආකාරයේ ඊ.පී.එෆ්. වැනි දායකත්ව අරමුදල් ඔවුන්ට ලැබෙන්නේ ද නැත.
මා ඉහත ලීවේ පූර්විකාවක් පමණි. අපේ ප්‍රස්තූතය එනම්, විදේශ සංක්‍රාමවලින් වැඩි පංගුවක් නියෝජනය කරන ගෘහසේවක රැකියාවල නියුතු අයගේ ප්‍රශ්න හා ඔවුන්ගේ සුභසාධනය ගැන පාලකයන් සහ බලධාරීන් දක්වන ඇල්මැරුණු ස්වභාවයේ සැලකිල්ල හේතුවෙන් උද්ගත වී ඇති ආර්ථික හා සමාජ දේශපාලන සංකූලතා ගැන දෙදෙනකු දක්වන අදහස් පහත පරිදි ය.
උපුල් වික්‍රමසිංහ
මැදපෙරදිග රටවල සේවය කරන කාන්තාවන් ලංකාවට ආවට පස්සෙ ඔවුන්ගේ ජීවිතවල ඉතිරි කාලය සුරක්ෂිත කරන්නෙ කොහොම ද කියන එක බැලිය යුතුයි.
විදේශ ප්‍රේෂණ කියන්නෙ ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන උපායමාර්ග තුනෙන් එකක්. පසුගිය වසරවලදි විදේශ ප්‍රේෂණ ඉපැයීම් වැඩිවීම සඳහා විදේශ රැකියා ප්‍රමාණය ඉහළ යෑම සහ විදේශ රැකියා සඳහා රටින් පිටවූ පිරිස වැඩිවීම හේතු වුණා. පසුගිය අවුරුදුවල විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනය සලකා බැලුවොත් 2022 දි ඩොලර් බිලියන 3.8 ක් ද 2023 දි ඩොලර් බිලියන 5.97 ක් ද ලැබිලා තියෙනවා. 2024 දි බිලියන 6.6 කුත් 2025 දි බිලියන 8.08 කුත් ලැබිලා තියෙනවා. 2025 දි තමයි වැඩිම ගාණ ලැබිලා තියෙන්නෙ. 2026 මේ දක්වා ඩොලර් බිලියන 3.9 ක් විතර ඇවිල්ලා තියෙනවා. විදේශ ප්‍රේෂණ ඉපැයීම් පිළිබඳ දත්ත නිකුත් කළත් එක් එක් රටවලින් ලැබෙන මුදල් වෙන වෙනම ප්‍රසිද්ධ කරන්නෙ නෑ. ඒත් විදේශ ගතවෙලා ඉන්න ලංකාවේ ශ්‍රමිකයන්ගෙන් සියයට 65 ත් 70 ත් අතර පිරිසක් ඉන්නෙ මැදපෙරදිග කලාපයේ රටවල. මේ කලාපයේ රටවල් සඳහා වැඩිවශයෙන් යන්නෙ ගෘහ සේවය, රියැදුරු, ඉදිකිරීම් වැනි අංශවල රැකියාවලට. මේ අනුව අපට හිතන්න පුළුවන් විදේශ ප්‍රේෂණ ආදායම්වලින් වැඩි කොටසක් එන්නෙ මැදපෙරදිග කලාපයේ රටවලින් කියලා.
ඊට අමතරව දකුණු කොරියාවේ පනස් දහසකට වැඩි ලාංකිකයන් පිරිසක් ඉන්නවා. ජපානය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉන්න අයත් ලංකාවට මුදල් එවනවා. නමුත් සාපේක්ෂව ඒ රටවල ඉන්න ප්‍රමාණය අඩුයි. විදේශ ප්‍රේෂණ මගින් ලබාගන්නා ඩොලර් වියදම් කරන්නෙ මොනවාට ද කියන එක ගැන රටේ සංවාදයක් තියෙනවා. ඒ ගැන විශාලම සංවාදය 2022 දි ඇති වුණා. අද ආණ්ඩුවේ ඉන්න සමහරු එදා විපක්ෂයේ ඉද්දි කිව්වනෙ රටට ඩොලර් එවන්න එපා ඒවා හොරකම් කරනවා කියලා. එතැනදිත් සාකච්ඡා වුණේ විදෙස්ගත ලාංකිකයන් රටට එවන මුදල් අපි ඵලදායීව වියදම් කරනවාද කියන එක. ලැබෙන ඩොලර්වලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නෙ ඉන්ධන, ඖෂධ, ආහාර ද්‍රව්‍ය වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට. එහෙම බැලුවහම ඒ මිනිස්සු ඒ රටවලදි දහඩිය මහන්සියෙන් හම්බ කරන මුදල්වලින් තමයි අපි කාලා ඇඳලා ඉන්නෙ. ඒත් ඒ මුදල් අන්තර් භාණ්ඩ නැතිනම් ප්‍රාග්ධන භාණ්ඩවලට ආයෝජනය කරනවා නම් මීට වඩා සංවර්ධනයක් මේ රටේ සිද්ධ වෙනවා.
රුපියල්වලට වඩා අපිට තීරණාත්මක වෙන්නෙ ඩොලර්. රටට ඩොලර් උපයන අය වෙනුවෙන් අපි මොනව ද කරන්නෙ කියන එක ගැනත් මෙතැනදි බැලිය යුතුයි. ඩොලර් ගේන ව්‍යාපාරිකයන්ට බදු සහන හෝ වෙනත් සහන දිය හැකියි. ඒත් වෙන රටවල රැකියා කරමින් රටට ඩොලර් උපයන ජනතාවට සහන නොලැබෙන තරම්. මැදපෙරදිග රටක ගෘහ සේවයේ රැකියාවේ නිරත අපේ කාන්තාවකට ගෘහස්ථ හිංසනයකට මූහුණ දීමට සිදුවුවහොත් ඒ කෙනා ලංකාවට ගෙන්වා ගන්නවත්, නැතිනම් මිය ගිය කාන්තාවකගේ දේහය රටට ගෙන්වා ගන්නවත් රජයේ ප්‍රධාන මැදිහත්වීමක් නෑ. අදාළ කාන්තාව විදේශගත කළ රැකියා ඒජන්සිය ලියාපදිංචි නැති බව කියමින් හෝ රක්ෂණාවරණය ලබා ගෙන නැති බව කියමින් බෝලය පාස් කිරීමක් පමණක් සිදුකරනවා. නමුත් ඒ මිනිස්සු මුදල් රටට එවන කොට ඒ ප්‍රශ්න කිසිවක් ගැන කතා කරන්නෙ නෑ. ඒ නිසා ඒ අයගෙ සුභසාධනය ගැන මීට වඩා ගැඹුරින් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් ම ඒ අය නැවත ලංකාවට ආවට පස්සෙ ජීවත් වෙන්නෙ කොහොම ද කියන එක ගැනත් සිතිය යුතුයි. මැදපෙරදිග රටවල සේවය කරන කාන්තාවන් ලංකාවට ආවට පස්සෙ ඔවුන්ගේ ජීවිතවල ඉතිරි කාලය සුරක්ෂිත කරන්නෙ කොහොම ද කියන එක බැලිය යුතුයි. ඒ අය පිටරට ඉද්දි ලංකාවේ ඉන්න ඔවුන්ගෙ දරුවන්ට ලබා දෙන ආරක්ෂාව ගැනත් බැලිය යුතුයි. ඒ වගේම තමයි මැදපෙරදිග සේවය කරලා නැවත රටට එන කාන්තාවන්ට ඊ.පී.එෆ්. හෝ විශ්‍රාම වැටුප් හෝ මේ මොකුත් ලැබෙන්නෙ නෑ. අඩුම තරමින් නිවසක් හදා ගන්න අවශ්‍ය සහන ණයක්වත් බැංකුවකින් ඒ අයට ලබා දෙන්නෙ නෑනෙ.
ඉන්දුනීසියාව, පිලිපීනය වගේ රටවල් ඒ රටවලින් විදේශවලට රැකියා සඳහා යන අය වෙනුවෙන් නිවාස ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. මොකද කාන්තාවෝ රට යන්නෙ ගෙයක් හදාගැනීමේ අරමුණින්. ඉන්දියාව විදේශ රටවල සේවය කරන ඉන්දීය ජාතිකයන් වෙනුවෙන් බදු සහන ලබා දෙනවා. ඒ යටතේ ඔවුන් ඉන්දියාවට එවන භාණ්ඩ සඳහා අය කරනු ලබන බදු මුදල් ඉවත් කිරීම ගැන බලනවා. බංග්ලාදේශයේ Premium Serving Accounts ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි රටට මුදල් එවන අයට වැඩි පොලී අනුපාතයක් දෙනවා. ඒ වගේම විදේශ රටවල සේවය කරන අයට රජයේ බැඳුම්කරවල විශේෂ ආයෝජනයක් කරන්න අවස්ථාව දෙනවා. රජය මගින් නොමිලයේ ලබා දෙන ජීවිත හා අනතුරු රක්ෂණාවරණයකුත් විදේශගත ශ්‍රමිකයන් සඳහා බංග්ලාදේශයේ ක්‍රියාත්මක වෙනවා. පිලිපීනයේ Rewards Point Program එකකුත් ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි වෙන්නෙ විදේශ රටවල සේවය කරන පිලිපීන ජාතිකයන් තමන්ගෙ රටට එවන මුදල්වලට points එකතු කරන එක. Points වැඩි වෙන අයට අධ්‍යාපන සෞඛ්‍ය රක්ෂාවරණ ප්‍රතිලාභ දෙනවා. මේ නිසා ලංකාවත් විදේශවල සේවය කරන ලාංකිකයන් සඳහා සුදුසු ප්‍රතිලාභ ක්‍රමයක් ආරම්භ කළ යුතුයි. අවම තරමින් දායකත්ව විශ්‍රාම වැටුපක්වත් ඒ අය වෙනුවෙන් පටන් ගන්න ඕනැ.
කෙටිකාලීන සංක්‍රමණික ශ්‍රමික පිරිස් මැදපෙරදිග, දකුණු කොරියාව වැනි රටවල රැකියාවලට යන්නේ ගමේ තම ජීවිත එකලස් කර ගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය ස්ථාවර ආදායමක් ගමෙන් උපයාගැනීමට නොහැකි නිසයි. පසුගිය අවුරුදු කිහිපයෙහි එසේ පිටත්ව ගිය තරුණියන් සංඛ්‍යාව පමණක් 80,000 ත් 90,000 ත් විතර වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි ලියාපදිංචි වී යෑමට ඔවුන් සපුරා ගත යුතු කොන්දේසි තියෙනවා. මේ සමාජයට වඩාත් සංවේදී කොන්දේසියක් වන්නේ වයස අවුරුදු 05 ට අඩු දරුවන් ඇත්නම් ඔවුන් රැක බලා ගන්නා ආකාරය සම්බන්ධ “පවුල් පසුබිම් වාර්තාවක්” ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී මගින් ලබාගත යුතු වීමයි. අපේ රටේ එවැනි සහතික සතු නිරවද්‍යතා පිළිබඳව අපි කවුරුත් දන්නවා. ඔවුන්ගේ පවුල් අවුල් ගැන කතා කළ පමණට දරුවන්ට විසඳුම් ලැබෙන්නේ නෑ.
ඒ කතා පැත්තකින් තබා, අප ඇසිය යුත්තේ අපට විදේශ විනිමය උපයාගැනීමට ග්‍රාමීය තරුණ තරුණියන් පිටරට පැටවීම හැර වෙනත් වැදගත් ආදායම් මාර්ග නොමැති ද කියායි. අවුරුදු 40 ට වැඩි කාලයක් අපි සමාජීය එකඟතාවක් ඇතිව ග්‍රාමීය තරුණ තරුණියන් පිටරට රැකියා සඳහා යවනවා. ඒ වෙනුවෙන් 1985 අංක 21 දරන විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සම්මත කර, ලියාපදිංචි වී කොන්ත්‍රාත් අත්සන් කර විදේශගත වන්නටත් ගමේ නතර කර යන දරු පවුල් රැක බලා ගැනීමට වැඩසටහන් හැදීමටත් විදේශ සේවා නියුක්ති කාර්යංශය නමින් රාජ්‍ය ආයතනයක්ද ස්ථාපිත කරලා තියෙනවා. එතැන් සිට අවුරුදු 40 පුරා හැම අවුරුද්දකම ආණ්ඩු පාලකයන් කතා කරන්නේ ඉකුත් වසරට වඩා මේ වසරේ සංක්‍රමණිකයින් ලවා උපයා ගත් විදේශ ආදායම ගැන. විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුව 2024 දී මේ සංක්‍රමණික ශ්‍රමිකයන් ඩො. මිලියන 6,575.4 ක් උපයා තියෙනවා. පසුගිය 2025 වසරේදී ඒ ආදායම ඩො.මිලියන 8,076.2 ක්.
හැම අවුරුද්දකම ග්‍රාමීය ශ්‍රමය මෙලෙස මැදපෙරදිග පැටවීමට හැක්කේ කෙසේ ද? ඒ විදියට විදේශ රැකියා සඳහා ගිය ශ්‍රමිකයන් උපයා එවූ ඩොලර්වලින් ගමට ලැබුණු වාසිය කුමක්ද? සැබෑ කතාව නම්, ගමේ හම්බකර ගෙන වැදගත් ලෙස ජීවත් වන්නට හැකි ග්‍රාමීය සංවර්ධනයක් පසුගිය අවුරුදු 40 ක කාලයේ සිදුවූයේ නම්, මීට අවුරුදු 10 ට 15 ට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා දමන්නට ඉඩ තිබුණා. විදේශ රැකියා සඳහා යාමට ග්‍රාමීය සමාජයේ කිසිවකු සොයා ගත නොහැකි වන්නටත් ඉඩ තිබුණා. හැමදාම හැම කාරණාවක් සම්බන්ධයෙන්ම මා කියන හැටියට විවෘත වෙළෙඳපොළ ආර්ථිකය යනු ගම අතහැර දැමූ ජාවාරම්කාරයන්ගේ නාගරික වෙළෙඳපොළක්. විදේශ රැකියා සඳහා තරුණ ශ්‍රමය මැදපෙරදිග, දකුණු කොරියාව වැනි රටවලට යැවීමද විවෘත වෙළෙඳපොළ ආර්ථිකයට නියමාකාරයෙන්ම ගැළපෙන කොමිස් මත කෙරෙන ජාවාරමක්. විවෘත වෙළෙඳපොළ ආර්ථිකය අවුරුදු 40 ට වැඩි කලක් පවත්වා ගෙන පැමිණියත් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමක් සිදු වුණේ නෑ. රට ගොසින් පැමිණයත් ඔවුන්ට නැවත යන්නට සිදුවන්නේ ඒ නිසයි. එසේ නම් ඔවුන්ගේ ප්‍රේෂණවලට සිදුවන්නේ කුමක්ද? ඒවා නගරයේ සුවපහසුව සඳහා වැය කෙරෙනවා. වඩාත් කර්කශ ලෙස කියනවා නම්, කොළඹ ඩොලර් ලෙස වැය කෙරෙන්නේ ගමේ රියාල්. තව අවුරුදු 40 ක් මෙහෙම ගියහොත් මේ ඛේදවාචකය විශාල වෙනවා මිස විසඳෙන්නේ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd