“වාසනාට හොඳට තේරෙනවා. එයා එක්ක අපි කතා කරන්නේ අලි භාෂාවෙන් විතරක් නෙමෙයි. අපි සාමාන්‍ය විදිහට කතා කළත් එයාට ඒවා හොඳට තේරෙනවා. උදාහරණයක් විදිහට පෙරහරකට වාසනාව ගෙනියන්න තියෙනවා නම්, අපි එයාට ඇහෙන්න හෙට අපිට පෙරහරකට යන්න තියෙනවා’ කියලා කියනවා. එයා ඒක අහගෙන ඉඳලා තේරුම් ගන්නවා. පහුවදා අපි ලෑස්ති වෙලා ඇවිදගෙන යන්න පටන් ගත්තත්, එයාට ඒක තේරිලා ඉවරයි.

රුහුණු පුරවරයේ කතරගම පුදබිම ඇසළ පෙරහර සමයේ පියමනින මේ සද්දන්තයා දෙස බලා සිටින දහස් ගණනක සිත් තුළ ඇත්තේ භක්තියත්, ආදරයත්, ගෞරවයත් එකට මුසු වූ හැඟීමකි. සිරස මත කදිරදෙව් අබරණ දරා, ගාම්භීර පියවරින් පෙරහර මැදින් වඩිනා ඒ සද්දන්තයා නිකම්ම නිකම් ඇත් රජෙකු නොවේ. කතරගම දෙවියන්ගේ දේවාභරණ මෙන්ම ශ්‍රී දළදා මාළිගාවේ දළදා කරඬුව ද, බෙල්ලන්විල රජමහා විහාරයේ කරඬුව ද ගෞරවයෙන් වැඩමවීමේ භාග්‍යය ලද ඇත් රාජයෙකි.

පෙරහරේ බෙරහඬ මැද ගාම්භීරව ඉදිරියට ඇදෙන ඔහුගේ සෑම පියවරක්ම අපේ පැරණි සංස්කෘතියේත්, භක්තියේත්, සම්ප්‍රදායේත් කතාවක් කියන්නාක් මෙනි. ඒ නිසාම වාසනා යනු හුදෙක් පෙරහරක් අලංකාර කරන සද්දන්තයෙකු නොව, දේව ආභරණත් දළදා කරඬුවත් සිරසින් දරාගෙන පූජනීය වගකීමක් ඉටු කළ ඇත් රාජයෙකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අතරමංව සිටි ඒ පුංචි ඇත් පැටවා වනජීවී නිලධාරීන්ගේ නෙත ගැටුණේ දෛවය විසින් ලියූ අපූරු ගමනක ආරම්භයක් ලෙසය. ඔහු පින්නවල අලි අනාථාගාරයට භාර දෙන විට, ඉදිරියේදී මේ පුංචි සද්දන්තයා මුළු මහත් බෞද්ධ ජනතාවගේම වාසනාව තම සිරස මත දරාගෙන යන ඇත් රජෙකු වනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත. කාලයත් සමඟ පින්නවලින් දෙහිවල සත්වෝද්‍යානයට පැමිණි මේ පුංචි ඇත් පැටවාගේ ජීවිතයට තවත් අරුත්බර පරිච්ඡේදයක් එක් විය. හිටපු ඇමතිනියක වන විමලා කන්නන්ගර මහත්මිය විසින් ඔහු කතරගම මහා දේවාලයට පූජා කළේ, නොදැනුවත්වම සද්දන්තයෙකුගේ සිරස මත පූජනීය වගකීමක් තැබූ පුණ්‍ය කටයුත්තක් ලෙසය.

එදා ඔහුගේ නම “රාජා” විය. පුංචි රාජා ලෙස කතරගම පුදබිමට පැමිණි ඒ ඇත් පැටවා, කාලයත් සමඟ ගාම්භීර සද්දන්තයෙකු බවට පත්ව, අද “වාසනා” නමින් බැතිමතුන්ගේ හදවත් තුළ අමරණීය වූ ඇත් රජෙකු බවට පත්ව සිටී.

එදා අතරමංව සිටි පුංචි ඇත් පැටවාගේ හිස මත දෛවය තැබූ ගමන, අද වන විට දළදා කරඬුවත් කදිරදෙව් අබරණත් ගෞරවයෙන් වැඩමවන පූජනීය ගමනක් බවට පත්ව තිබේ. එය ඇතැම්විට අහඹුවක් නොව, වාසනාට ලියැවී තිබූ පිනැති ගමනක් වන්නට ඇත.

“වාසනා” යන නම මේ සද්දන්තයාට හිමිවීමත් දෛවයේ අපූරු ලියැවිල්ලක් බඳුය. කතරගම මහ දේවාලයට නිතර පැමිණෙන විමලා කන්නන්ගර මහත්මිය, පුංචි රාජා දෙස බලා වරෙක ආදරයෙන් පවසා තිබුණේ,

“අනේ... මේ ලොකු වාසනාවක්. රාජාව හොඳින් බලාගන්න...”

යනුවෙනි. ඒ වචනවලින් ඇත් පැටවාගේ අනාගතය ගැන ඇය නොදැනුවත්වම කළ අනාවැකියක් තිබුණා සේය.

එහෙත් රාජාගේ ජීවිතය වාසනාවත් අවාසනාවත් අතරින් ගලා ගිය ගමනක් විය. වරක් සිදුවූ බෝම්බ පිපිරීමකින් ඔහුගේ සිරුරේ තැනින් තැන තුවාල ඇති වුවද, දෛවයට අනුව ඔහුගේ ජීවිතයට කිසිදු අනතුරක් සිදු නොවීය. තවත් අවස්ථාවක දඩයම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ද මේ සද්දන්තයා මුහුණ දුන්නේය. එවරද ජීවිතය බේරාගෙන නැවත නැඟී සිටින්නට ඔහුට හැකි විය.
ඒ සෑම අවස්ථාවක්ම පසුකර ඔහු අදත් නිරුපද්‍රිතව සිටින්නේ කුමන බලයකින්දැයි සිතෙන තරමට ඔහුගේ ජීවිතය ආශ්චර්යයන්ගෙන් පිරී තිබේ. බැතිමතුන් විශ්වාස කරන ඒ බලය පෙර පින විය හැකිය. වාසනාව විය හැකිය. එසේ නම්, පුංචි රාජාගේ ජීවිතයට, ඔහු අත්විඳි ඒ සියලු‍ සිදුවීම්වලට, ඔහු අද දරන පූජනීය වගකීමට ගැළපෙන වෙනත් නමක් තිබිය හැකි ද?

වාසනාගේ ජීවිතය රැකබලා ගනිමින්, ඔහුගේ සෙවණැල්ලක් මෙන් අද ළඟින් සිටින්නා අජිත් ලියනගේ ය. කතරගම පුදබිමට ආදරයෙන් බැඳුණු කවුරුත් ඔහුව හඳුනන්නේ “අජිත් මාමා” යන ආදරණීය නාමයෙනි.

අජිත් මාමාට වාසනා යනු හුදෙක් ඇත් රාජයෙකු නොවේ. වසර ගණනාවක් පුරා එකිනෙකාගේ හුස්ම හඳුනාගත් තරමට සමීප වූ වාසනා, ඇතැම් විට ඔහුට ආදරණීය පුතෙකි. තවත් විටෙක දුක සැප බෙදාගන්නා හොඳම යහළුවෙකි. වචනවලින් නොකීවත්, බැල්මකින්, ස්පර්ශයකින්, හඬකින් එකිනෙකා හඳුනාගන්නා මේ දෙදෙනා අතර ඇත්තේ මිනිසෙකු හා සද්දන්තයෙකු අතර ඇති සාමාන්‍ය බැඳීමකට වඩා බොහෝ ගැඹුරු වූ සෙනෙහසකි.

“වාසනාට හොඳට තේරෙනවා. එයා එක්ක අපි කතා කරන්නේ අලි භාෂාවෙන් විතරක් නෙමෙයි. අපි සාමාන්‍ය විදිහට කතා කළත් එයාට ඒවා හොඳට තේරෙනවා. උදාහරණයක් විදිහට පෙරහරකට වාසනාව ගෙනියන්න තියෙනවා නම්, අපි එයාට ඇහෙන්න හෙට අපිට පෙරහරකට යන්න තියෙනවා’ කියලා කියනවා. එයා ඒක අහගෙන ඉඳලා තේරුම් ගන්නවා. පහුවදා අපි ලෑස්ති වෙලා ඇවිදගෙන යන්න පටන් ගත්තත්, එයාට ඒක තේරිලා ඉවරයි. ලොරිය ළඟට ආවට පස්සේ වාසනා කිසිම කරදරයක් නැතුව, හරිම සන්සුන්ව ලොරියට නගිනවා. එයාගේ රාජකාරිය මොකක්ද කියලා වාසනා හොඳට දන්නවා. ඒ නිසා තමයි එයාට කියන දේවල් මෙච්චර හොඳට තේරෙන්නේ.”

ඒ අජිත් මාමා වාසනා ගැන කියන කතාවයි.

“1995 වසරේ ඉඳන් මම වාසනාගේ රාජකාරිය කරන්නේ. ඊට කලින් සිරි අයියා කියලා කෙනෙක් තමයි වාසනාව බලාගත්තේ. සිරි අයියාගෙන් පස්සේ ඒ රාජකාරිය අපේ තාත්තා වන මැන්ඩිස් ලියනගේට භාර වුණා. තාත්තා එක්ක ඉන්න ගමන් මමත් ටිකෙන් ටික ඒ රාජකාරියට හුරු වුණා.
මුලින්ම මම වැඩ කළේ දෙහිවල සත්වෝද්‍යානයේ අලි අංශයේ. වාසනාට කලින් තාත්තාත් ඇතුන් දෙන්නෙක් විතර අවුරුදු කිහිපයක් බලාගෙන තිබුණා. ඒ කාලේ කතරගම ඇතා හරිම සැරයි. කාටවත් වාසනාව ලිහන්නවත් බැරිවයි හිටියේ. පල්ලේබැද්ද හාමු මහත්තයා එතකොට කතරගම බස්නායක නිලමේ. එතුමා තාත්තාට ඇරයුම් කළාම ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා ඊට පහුවදාම තාත්තා කතරගම ගිහින් වාසනාව බලලා තිබුණා. මුලින්ම ටිකක් ළඟට ගිහින් කන්න බොන්න දීලා, ටික වෙලාවක් එයා එක්ක ඉඳලා තමයි වාසනාව ලිහලා තිබුණේ. ඒ කාලේ වාසනා හරිම සැරයි. හැබැයි තාත්තා එයා එක්ක හොඳට ගනුදෙනු කරලා ඒ විශ්වාසය ගොඩනඟා ගත්තා.”

“ඔය අතරේ මම දෙහිවල සත්වෝද්‍යානයේ රස්සාව කරගෙන ඉන්නකොට, ප්‍රශ්නයක් නිසා කලකිරිලා දවස් කිහිපයක් නිවාඩු දාලා ගෙදර හිටියා. ඒ වෙලාවේ තාත්තා ගෙදර ඇවිත් මොකෝ මේ රස්සාව කරන්න බැරිද?’ කියලා මගෙන් ඇහුවා. මම විස්තරේ කිව්වම තාත්තා කිව්වා, එහෙනම් යමු. ගිහින් මාත් එක්ක වාසනා බලමු’ කියලා. එදා තාත්තා එක්ක ගිය ඒ ගමන තමයි මගේ ජීවිතේ වෙනස් කළේ. එදා ඉඳන් වාසනාව බලාගන්න රාජකාරිය මට පැවරුණා. 1995 ඉඳන් අද වෙනකම් මම ඒ රාජකාරිය කරන්නේ. මගේම දරුවෙක් වගේ වාසනාව ආදරයෙන් බලාගන්නේ. තාත්තා මුලින්ම මාව වාසනාව නාවන්න ගඟට එක්කගෙන ගියා. හැබැයි මට වාසනා හුරුවෙනකම් දවස් කිහිපයක් යනකම් එයා එක්ක කතා කරන්නවත් තාත්තා මට ඉඩ දුන්නේ නැහැ. දවස් කිහිපයකට පස්සේ දවසක මමයි, තාත්තායි, තවත් ගෝලයෙකුයි වාසනාව අරන් නාවන්න ගඟට බැස්සා. මම වාසනාගේ පිටිපස්සෙන් ගිහින් තාත්තගෙන් ඇහුවා, තාත්තේ, මම වාසනාගේ බඩ යටින් බැහැලා නාවන්නද?’ කියලා. තාත්තාත් කැමති වෙලා මගේ ළඟින්ම හිටියා. ආ... දිගට හොඳට හෝදන්න’ කියලා කිව්වා.

මාත් එදා වාසනා එක්ක හොඳට කතා කර කර එයාව නාවන්න පටන් ගත්තා. අත්, කකුල් එහෙම හොඳට හේදුවා. මට හිතෙන්නේ එදා වාසනාට මේ මනුස්සයා මට හොඳයි’ කියලා හිතෙන්න ඇති. මොකද එයා කිසිම වෙලාවක මට අකමැත්තක් පෙන්නුවේ නැහැ. කිසිම ඉරියව්වකින්වත් මට කරදරයක් කළේ නැහැ. එදා මට පුදුම සතුටක් දැනුණා. පහුවදාත් අපි ඒ විදිහටම වාසනාව ගඟට එක්කගෙන ගිහින් නාවලා ඉවරවුණා. ඊට පස්සේ තාත්තා මට කිව්වා, දැන් වාසනාව එක්කගෙන එන්න’ කියලා. එදා මම වාසනාගේ අත ළඟින්ම එයාව එක්කගෙන ආවා. හැබැයි හිත ඇතුළේ පොඩි බයක් තිබුණා. වාසනාව ගෙනත් ගහේ බැන්දට පස්සේ තාත්තා කිව්වා,ිහෙට ඉඳන් තනියම හෙණ්ඩුවත් අරගෙන වාසනාව එක්ක යන්න’ කියලා.”

“පහුවදා මම හෙණ්ඩුවත් අරගෙන වාසනා ළඟට ගිහින් වාසනා, අද අපි දෙන්නා තනියම යමු’ කියලා කිව්වා. වාසනාගේ ඉරියව් බලද්දී මට තේරුණා එයාට මාව හොඳට හුරුවෙලා කියලා. ඊට පස්සේ මම වාසනාගේ දම්වැල් ගලවලා එයාව තනියම එක්කගෙන එන්න පටන් ගත්තා. එදා තමයි මට තේරුණේ වාසනා මාව කොච්චර විශ්වාස කරන්න පටන් අරගෙන ද කියලා. ඒ දවසේ ඉඳන් අපි දෙන්නා අතර තිබුණේ රාජකාරියකට එහා ගිය ළෙන්ගතුකමක්. අද වෙනකම් ඒ බැඳීම දවසින් දවස වැඩි වුණා.”

අද අජිත් මාමා සහ වාසනා අතර තියෙන ඒ අපූරු සෙනෙහසට මුල්ම පියවර වැටුණේ එදා ගඟේ වතුර අතරින්. මේ අජිත් මාමාගේත් වාසනාගේත් ලෙන්ගතුකමේ ආරම්භයයි.

එදා ඔහුගේ නම “රාජා” විය. පුංචි රාජා ලෙස කතරගම පුදබිමට පැමිණි ඒ ඇත් පැටවා, කාලයත් සමඟ ගාම්භීර සද්දන්තයෙකු බවට පත්ව, අද “වාසනා” නමින් බැතිමතුන්ගේ හදවත් තුළ අමරණීය වූ ඇත් රජෙකු බවට පත්ව සිටී.

අජිත් මාමාගේ සෙනෙහසට වාසනා කෙතරම් හුරු වී සිටියේ ද යන්න කියාපාන අපූරු සිදුවීම් ද බොහෝය. වරක් මාස තුනක පමණ කාලයක් කිසිදු ගෝලයකු නොමැතිව වාසනාව තනිවම රැකබලා ගැනීමට අජිත් මාමාට සිදුවිය. එතරම්ම ලෙන්ගතු, ගුණයහපත් සද්දන්තයෙකු වූ වාසනා, තමන්ට ආදරයෙන් සලකන මිනිසුන් සමඟ ඉතා සමීප බැඳීමක් ගොඩනඟා ගන්නා බව අජිත් මාමාගේ අත්දැකීම්වලින් පැහැදිලි වේ. එම සෙනෙහස අද අජිත් මාමාගේ පුත් බේබී හෙවත් රුක්මන් ලියනගේ වෙත ද ගලා ගොස් තිබේ. රුක්මන් වාසනා සමඟ කතා කරන්නේ අලි භාෂාවකින් පමණක් නොව, සාමාන්‍ය මිනිස් භාෂාවෙනි. එහෙත් වාසනාට ඒ භාෂාවේ කිසිදු ගැටලු‍වක් නැත. කියන දේ හොඳින් තේරුම් ගන්නා ඔහු ඇතැම් විට තමන්ගේම ආකාරයෙන් ප්‍රතිචාර දක්වයි. මේ වන විට අජිත් මාමාගේ පුත් රුක්මන් ද වාසනාට බෙහෙවින් ළෙන්ගතුව ඔහුගේ රැකවරණයට එක්ව සිටී. ඉඳහිට අලි භාෂාවෙන් වචන කිහිපයක් හුවමාරු කළද, වාසනාට මිනිස් භාෂාව ද හොඳින් හුරුය. ඇතැම් විට ඔහුට කේන්ති යන අවස්ථා ද තිබේ. එහෙත් ඒ කේන්තියට වඩා බොහෝ විට පෙනෙන්නේ කුඩා දරුවෙකුගේ සෙල්ලක්කාරකමය.

වැඩිහිටි ඇත් රාජයෙකු වුවද, වාසනාගේ ඇතැම් හැසිරීම්වල ඇත්තේ පුංචි දරුවෙකුගේ මෙන් ලෙන්ගතු, සෙල්ලක්කාර හා දඟකාර ස්වභාවයකි. ඒ නිසාම ඔහු අජිත් මාමාගේ පවුලට හුදෙක් රැකබලා ගන්නා සද්දන්තයෙකු නොව, පරම්පරාවෙන් පරම්පරාවට සෙනෙහස බෙදාගන්නා පවුලේම සාමාජිකයෙකු බවට පත්ව සිටී.

“වාසනා අපේ ගෙදර යන්න හරිම ආසයි. නංගල්ල පෙරහර ඉවර වුණාම අපි වාසනාව අපේ ගෙදර එක්කගෙන යනවා. එහෙම එක්කගෙන ගියේ නැත්නම් එදා දවසෙම එයා කරන්නේ අපිට නොකියන වැඩ. අපි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. එයාට ඕනේ එයා දන්න කියන මිනිස්සු ටික බලන්න යන්න. වාසනාට ගමේ එයාගේම යාළු කඩ තියෙනවා. ඒ එක එක කඩ ළඟට ගියාම එයාට බිස්කට් එකක් හරි මොනවා හරි කන්න දෙනවා. එයාත් හරි ආසාවෙන් ඒවා කනවා. අතරමඟ තියෙන කොස් ගහක් එහෙම දැක්කොත්, ඒකෙන් අත්තක් උදුරගෙන කන වෙලාවලු‍ත් තියෙනවා. හැබැයි ඉතින් ඒ මිනිස්සු කවුරුත් වාසනාට මුකුත් කියන්නේ නැහැ. ඒ තරමටම එයාට ගමේ හැමෝම ආදරෙයි.”

“අපේ ගමේ බේකරියක් තියෙනවා. ඒක තියෙන්නේ පොඩි කන්දක් උඩ. අපි ගමේ ඇවිදගෙන ගිහින් මහන්සි වෙලා කන්ද පාමුල ටිකක් නවතිනවා. එතකොට අම්මෝ... ගල් බනිස්වල සුවඳ එනවා නේද’ කියලා කිව්ව ගමන් වාසනාටත් ඒක තේරෙනවා. අපිටත් කලින් එයා කන්ද නැගලා බේකරිය ළඟට යනවා. ඒ බේකරියේ මල්ලිත් වාසනාට හරිම ආදරෙයි. වාසනා එනවා කියලා දැනගෙන එයා වෙනුවෙන්ම ලොකු ගල් බනිස් වඩියක් හදලා තියෙනවා. ඒ තරමටම ඒ මිනිස්සු වාසනාට ආදරෙයි. ගමේ හැමෝම වාසනාව සලකන්නේ ගමේම කෙනෙක් වගේ.”

“වාසනා හැක්ස් ටොෆි කන්නත් හරිම ආසයි. අපි හුරතලයට හැක්ස් ටොෆියක් දුන්නම, එයා ඒක කටේ දාගෙන ඒ සීතලට පොඩි සද්දයක් දානවා. ඒකත් හරිම හුරතල්. හැබැයි දැන් නම් අපි එයාට ටොෆි වැඩිය දෙන්නේ නැහැ. ඒ වගේ පොඩි පොඩි දේවල්වලින් තමයි වාසනා ගමේ මිනිස්සු එක්කත්, අපිත් එක්කත් මෙච්චර ළෙන්ගතු වෙලා ඉන්නේ.”

ඒ අජිත් මාමාගේ හඬයි.

වාසනාගේ ජීවිතයට බැඳී ඇති මිනිස් සෙනෙහස අතර තවත් අපූරු මතකයක් ඇත. වසරකට එක් වරක් ඔහුට නෙක්ටෝ, පෝටෙලෝ සහ ක්‍රීම් සෝඩා යන පැණිබීම වර්ග තුන රස විඳීමට අවස්ථාව ලැබෙන්නේ ද එවැනි සොඳුරු මතකයක් නිසාය. එහෙත් ඒ පැණිබීමවලට වාසනා දක්වන කැමැත්ත පිටුපස ඇත්තේ කාටත් නොදන්නා සංවේදී කතාවකි.

අතීතයේදී කුඩා දරුවෙකු විසින් වාසනාට මේ පැණිබීම වර්ග තුන පානය කිරීමට ලබා දී තිබිණි. එදා සිටම ඒ දරුවා ජීවත්ව සිටි තාක් කල් වාසනාට එම නිවසට යාමට තිබුණේ පුදුමාකාර කැමැත්තකි. දරුවා ද වාසනාට බෙහෙවින් ආදරය කළේය. කාලය ගෙවී ගියේය. අද ඒ දරුවා ජීවතුන් අතර නැත. එහෙත් ඒ පුංචි දරුවාගේ සෙනෙහස වාසනාගේ මතකයෙන් මැකී ගොස් නැත. දරුවාගේ පියා විසින් ඒ අතීත කතාව අජිත් මාමාට පැවසීමෙන් පසුව, එම දරුවා වෙනුවෙන් වාසනාට වසරකට එක් වරක් හෝ ඒ පැණිබීම තුන රසවිඳීමට අවස්ථාව ලබා දීමට හෙතෙම කටයුතු කළේය.

විශේෂයෙන්ම වාසනාගේ බැමිලිහීමේ චාරිත්‍රය සිදුකරන දිනයේදී මේ සොඳුරු මතකය යළිත් ජීවමාන වෙයි. නෙක්ටෝ, පෝටෙලෝ සහ ක්‍රීම් සෝඩා වීදුරු තුන වාසනා වෙනුවෙන් පිළිගැන්වෙන්නේ, ජීවිතයෙන් සමුගත් පුංචි හිතක සෙනෙහස තවමත් ඒ සද්දන්තයාගේ මතකයේ ජීවත් වන බව සිහිපත් කරමිනි.

මිනිසෙකුටත් සද්දන්තයෙකුටත් අතර ඇති බැඳීම කෙතරම් ගැඹුරුදැයි කියාදෙන, කාලයත් මරණයත් පරදවා ජීවත්වන ඒ සෙනෙහස ද වාසනාගේ කතාවේ තවත් එක් සංවේදී පරිච්ඡේදයකි.

“පෙරහර කාලෙදී වාසනාට නින්ද ලැබෙන්නේ හරිම අඩුවෙන්. දවස පුරාම වගේ රාජකාරි තියෙනවා. හැබැයි දිනපතාම අපි වාසනාව නාවනවා. ගඟට හරි ජලටැංකියකට හරි ගිහින් වතුරේ පෙරළිලා පැය දෙක තුනක් විතර හොඳට ඉන්නවා. ඒක තමයි එයාගේ ලොකුම සුවය. වතුරේ නාලා, මහන්සිය නිවාගෙන හොඳට නිදාගත්ත වෙලාවක නම් වාසනා හොඳටම ගොරවනවා. එයා නිදාගන්නවා කියලා දැනගන්න ඒ ගොරවන සද්දෙම ඇති. හැබැයි පෙරහර සමයේදී ඒ වගේ සුවපහසු නින්දක් එයාට ලැබෙන්නේ හරිම අඩුවෙන්.”

“පෙරහර සමය ඉවර වෙලා වාසනා ගෙදර එක්කගෙන එනකොට නම් එයාගේ ගමේ යාළුවෝ බලන්න තියෙනවා. වාසනා දන්න කියන කඩ නම් එමටයි. එයාට ඒ කඩයක් පෙනුණොත් වාහනේ නතර කරන්නම ඕනේ. සමහර වෙලාවට අපිට ඈතින් කඩයක් පෙනෙන්නේවත් නැහැ. හැබැයි වාසනාට පේනවා. එයා එක පාරක් හඬක් දාලා අපිට සංඥාවක් දෙනවා. ඒ කියන්නේ කඩේ ළඟ නවත්වන්න’ කියන එක. අපි ඒක තේරුම් අරගෙන නවත්වනවා.”

“යම් හෙයකින් අපි නතර නොකර ඉස්සරහට ගියොත් තමයි වැඬේ. වාසනාට කේන්ති ගිහින් ලොරිය දෙපැත්තට පද්දන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා, හරි... අද වාසනාගේ යාළුවෙක් බලන්න යන්න බැරි වුණා’ කියලා. එයාට තමන්ගේ යාළුවෝ බලන එකත් පෙරහරේ රාජකාරිය වගේම වැදගත්.”

අජිත් මාමා මෙන්ම බේබි හෙවත් රුක්මන් ද වාසනාට බෙහෙවින් ලෙන්ගතුය. කරුණාවෙන් හා ආදරයෙන් ඔහු රැකබලා ගන්නා මේ දෙදෙනාටම වාසනා ද එකසේ ආදරය කරයි. ඒ නිසාම වාසනා ඔවුන් දෙදෙනාගෙන් වෙන්ව සිටීමට එතරම් කැමැත්තක් නොදක්වයි. කොතරම් ගෝලයන් පිරිසක් වාසනා වටා සිටියද, ඔහුගේ ළඟින්ම සිටින්නේ අජිත් මාමාත් බේබිත් ය. යම් හෙයකින් දෙදෙනාටම එකවර වාසනාගෙන් බැහැරව යාමට සිදුවුවහොත්, ඔවුන් වාසනාගේ රැකවරණය ගෝලයෙකුට භාර දෙන්නේද උපදෙස් රැසක් ලබා දෙමිනි. “අපි නැති වෙලාවේ වාසනා ළඟට ගිහින් බලෙන් කිසි දෙයක් කරන්න එපා. එයාට අවශ්‍ය කෑම ටික දීලා, අවශ්‍ය දේවල් විතරක් කරලා ඉන්න” යනුවෙන් ඔවුහු උපදෙස් දෙති. වාසනාගේ ගෝලයන් සමඟ ඇති සබඳතාව ද තරමක් අපූරුය. ඇතැම් කාලවලදී ඔහු ඔවුන්ට එතරම් ලෙන්ගතු නොවුණද, මද කිපෙන කාලයේදී තත්ත්වය තවත් වෙනස් වේ. එවැනි අවස්ථාවලදී වාසනා අජිත් මාමා සහ බේබි සමඟ ද තරමක් අමනාපයෙන් සිටියි. ඒ කාලයට වාසනා ළඟට යාමට හැකි ගෝලයින්ට පමණි.

එදා අනුරාධපුරයේ අතරමංව සිටි පුංචි රාජා අද දහස් ගණනක බැතිමතුන්ගේ දෑස් පහන් කරමින් කදිරදෙව් අබරණත්, දළදා කරඬුවත් ගෞරවයෙන් සිරස මත දරාගෙන යන වාසනා ඇත් රජුය. කාලය ඔහුගේ නම වෙනස් කළා පමණක් නොව, පුංචි ඇත් පැටවෙකුගේ ජීවිතය පූජනීය වගකීමක් දරන සද්දන්තයෙකුගේ ජීවිතයක් බවට පත් කළේය.

ඒ ගමනේ සෙවණැල්ලක් සේ අදත් ඔහු ළඟින් සිටින්නේ අජිත් මාමාය. වසර ගණනාවක් පුරා වාසනාගේ සතුටත්, කේන්තියත්, දඟකාරකමත්, නිහඬ බවත් හඳුනාගත් අජිත් මාමාට ඔහු ඇත් රාජයෙකුට වඩා ආදරණීය පුතෙකි. ඔහුගේ පුත් බේබීට ද ඒ සෙනෙහසමයි උරුම වී තිබේ.

සද්දන්ත කුලයේ ඉපදී, රජරටින් රුහුණට පැමිණි වාසනා අද කතරගම පුදබිමේ වාසනාව සිරසින් දරාගෙන යන ඇත් රජුය. එහෙත් ඔහුගේ සැබෑ වාසනාව ඇත්තේ සිරස මත වැඩමවන කරඬුවේ පමණක් නොවේ. ඔහුට ආදරය කරන මිනිසුන්ගේ හදවත් තුළ තවමත් ජීවමානව ඇති ඒ සෙනෙහසම වාසනාගේ ලොකුම වාසනාවය.

දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප - ගයාන් අමරසේකර