ඩයලොග්, සිය ප්‍රධාන අනුග්‍රාහකත්වය තවත් වසර තුනකට දිර්ඝ කරයි

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා (වමේ සිට තෙවැන්නා) විසින්, ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා (වමේ සිට සිව්වැන්නා) වෙත ප්‍රදානය කළ අවස්ථාව.

වමේ සිට: ඩයලොග් ආසිආටා පීඑල්සි හි උප සභාපති - සමූහ අලෙවි, හර්ෂ සමරනායක මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවිකරණ ප්‍රධානී, උපුල් නවරත්න බණ්ඩාර මහතාද එම අවස්ථාවට සහභාගි වූහ.


ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ක්‍රීඩාවේ ප්‍රබලම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල අගෝස්තු 6 වනදා Cinnamon Life හිදී පැවැත්වෙන අතර, ඒ සමගින්ම ඉදිරි වසර තුනක කාලය සඳහාද මෙම වාර්ෂික සම්මාන උළෙල සඳහා ඩයලොග් විසින් පිරිනැමෙන ප්‍රධාන අනුග්‍රාහකත්වය දීර්ඝ වීම සනිටුහන් වනු ඇත. මෙම ගිවිසුමත් සමගින්, ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර වසර 13 ක් ඉක්මවන සබඳතාව තවදුරටත් ඉදිරියට යන අතර, අදාළ කාලය තුළ කනිෂ්ඨ මට්ටමේ සංවර්ධන කටයුතුවල සිට ජාතික කණ්ඩායම් දක්වා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ස්ථරයක්ම නැංවීමට ඩයලොග් සමාගම සිය අතහිත පිරිනමා තිබේ.

මෙම වාර්ෂික සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියේ දක්වන ලද දක්ෂතා ඇසුරින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කෙරේ. ක්‍රීකට් පිරියේ නම රැන්දූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සම්මානයට පාත්‍රවන මෙම උළෙල, මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ වැඩිම අවධානයට ලක්වන සම්මාන රාත්‍රිය බවට පත්වේ.

‘වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා’ සහ ‘වසරේ  ක්‍රිකට් ක්‍රීඩිකාව’ යන සම්මාන එම රාත්‍රියේ ඉහළම ගෞරවය පිරිනැමෙන සම්මාන බවට පත්වද්දී, වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන මගින් මෙරට නැගී එන තරුණ ක්‍රිකට් හැකියාව ඇගයීමට ලක් කෙරේ. පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් වන කාණ්ඩ කිහිපයක් යටතේ සම්මාන පිරිනැමෙනු ඇත. දේශීය තරගවලදී දක්ෂතා දැක්වූවන් ද මෙහිදී ඇගයීමට ලක්වන අතර, අවුරුදු 23 න් පහළ සහ කාන්තා තරගාවලි මෙන්ම ප්‍රිමියර් ලීග් තරගාවලිය, ප්‍රිමියර් ලීග් සීමිත පන්දුවාර තරගාවලිය මෙන්ම ක්‍රීඩා සමාජ පන්දුවාර 20 තරගාවලියේ හොඳම ක්‍රීඩකයන් සඳහා ද සම්මාන පිරිනැමේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල වෙනුවෙන් ඩයලොග් සමාගම දක්වන නොපසුබට සහයෝගය තුළින්, නැගී එන දක්ෂතා පෝෂණය කිරීමේ සිට ඉහළම මට්ටමේ විශිෂ්ටත්වය ඇගයීම දක්වා වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එම සමාගමෙහි වන දිගුකාලීන කැපවීම පිළිබිඹු වේ. 

‘හෙට දිනයේ ශූරයන් බලගැන්වීම’ උදෙසා වන සිය දැක්මට අනුකූලව, වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මාන පිරිනැමීමට ලැබීම සම්බන්ධයෙන් ඩයලොග් සමාගම සාඩම්බරයට පත්වේ. 'Dialog Big Match Season' වැනි වැඩසටහන් හරහා ඩයලොග් සමාගම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් නිරන්තරයෙන් ආයෝජනය කරනු අතර, යොවුන් දක්ෂතාවලට සිය හැකියාවන් වර්ධනය කර ගැනීමටත්, ඒවා ප්‍රදර්ශනය කිරීමටත් එමගින් අවස්ථාව සලසා දී ඇත. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා/ක්‍රීඩිකාව සම්මානය මගින් එම ගමනේ ඊළඟ පියවර සලකුණු කෙරෙන අතර,  ජාතික කණ්ඩායමේ දොරටුව අභියස සිටින ක්‍රීඩකයන්ගේ විශිෂ්ට දක්ෂතා  සම්මානයට ලක්කිරීම මෙමගින් සිදුවේ. හෙට දින දිළෙන තරු අද දින ඇගයීමට ලක් කිරීම තුළින්, ඩයලොග් සමාගම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ තිරසාර වර්ධනය වෙනුවෙන් වන "අනාගතය යා කරමින්, වර්තමානය බලගැන්වීමේ" කැපවීම තහවුරු කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා  "ක්‍රිකට් පිළිබඳ සමස්ත සමාජයේ ඇති ජනප්‍රියත්වය හරහා පරම්පරා සියල්ලම මෙන්ම සියලු ප්‍රජාවන්ගේද සීමා මායිම් අතික්‍රමණය කරමින් ශ්‍රී ලාංකිකයන් එක්සත් කිරීමේ අසාමාන්‍ය හැකියාවක් ක්‍රිකට් ක්‍රීඩාව සතුව තිබෙනවා. ඒ උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදෙන අඛණ්ඩ සහයෝගයට අප අපගේ ස්තූතිය පුදකරන අතර, අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කිරීමට ලැබීම පිළිබඳව අප ආඩම්බර වෙනවා." යි පවසා සිටියි.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ.  පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරිනැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩය‌ලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.