සාමාකාමීව පැවති ඉන්දියාව මෑතකදී උඩු යටිකුරු කිරීමට සමත් වූයේ විභාග අක්‍රමිකතාවන්ට එරෙහිව එරට සිසුන් ආරම්භ කළ කැරපොතු විරෝධතාවයි. එරට අධ්‍යාපන ක්ෂේත්‍රය ගිනියම් කළ එම විරෝධතාව හමුවේ අවසානයේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයාට සිය අමාත්‍ය ධුරයෙන් පවා ඉල්ලා අස්වීමට සිදු විය. ඉන්දියානු අධ්‍යාපන හා විභාග ක්‍රමයට බොහෝ සෙයින් සමානකම් දක්වන ශ්‍රී ලංකාවේ ද උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුපිළිපන්නභාවය සහ විශ්වසනීයත්වය බරපතළ ලෙස ප්‍රශ්න කෙරෙන පුවතක් මේ වන විට නුගේගොඩ දිසා අධිකරණයෙන් වාර්තා වේ.

විභාග අක්‍රමිකතා හේතුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය මෙන්ම මුදල් ද නිරපරාදේ නාස්ති වූ බවට චෝදනා කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට එරෙහිව රුපියල් ලක්ෂ 50 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේම සිසුවෙකු විසින් නුගේගොඩ දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරා ඇත. නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මාර්ගයෙන් මෙලෙස අධිකරණය හමුවට පැමිණ ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මඟින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ (2022/2023) බාහිර සිසුවකු වූ සනත් කුමාර අතුකෝරළය.

මෙම පැමිණිල්ලට අදාළව කොළඹ විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයා, හිටපු උපකුලපතිවරයා, කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපතිවරයා, අංශ ප්‍රධානියා, අදාළ විෂයන් භාර කථිකාචාර්යවරිය සහ කථිකාචාර්යවරයා, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරීවරිය යන නිලධාරීන් ඇතුළු පිරිසක් සහ රජය වෙනුවෙන් නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

අදාළ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා තමන්ව කොළඹ විශ්වවිද්‍යාලයට බඳවාගැනීමෙන් අනතුරුව, එහි පළමු කාර්තුවේදී කිසිදු ගැටලු‍වක් උද්ගත නොවූ බව පෙත්සම්කාර සිසුවා අධිකරණය හමුවේ දක්වා ඇත. එහෙත් දෙවැනි කාර්තුවේදී කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ (508) සහිව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය’ (510) යන විෂයන්හිදී ඒවා ඉගැන්වූ කථිකාචාර්යවරුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් අර්බුද රැසක් නිර්මාණය වූ බවත්, එමඟින් තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

පෙත්සම්කාර සිසුවා දක්වන පරිදි, කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ (508) විෂය ඉගැන්වූ කථිකාචාර්යවරිය එක් අවස්ථාවකදී වෙනත් සිසුවකු මාර්ගයෙන් තමන් අමතා, ඇයට හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති බව පවසමින් ඇගේ බැංකු ගිණුමට රුපියල් 80,000 ක මුදලක් බැර කරන ලෙස ඉල්ලා සිට ඇත. එහෙත් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් ඔහු එම ඉල්ලීමට එකඟ වී නොමැත.

එම සිද්ධියෙන් අනතුරුව 2024 මැයි 18 සහ 19 යන දිනවල කිරිඇල්ලි විජය රිසෝට්’ ආයතනයේදී අදාළ පාඨමාලාවට අයත් දෙදින වැඩමුළුවක් සංවිධානය කර තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි අධ්‍යයන වැඩමුළු සඳහා පිටස්තර පුද්ගලයන් සහභාගී නොවීම සම්ප්‍රදාය වුවද, විශ්වවිද්‍යාලයට කිසිදු සම්බන්ධයක් නැති අදාළ කථිකාචාර්යවරියගේ සැමියා ද එම ස්ථානයට පැමිණ සිට ඇත. එහිදී එක් සිසුවකු පැමිණ කථිකාචාර්යවරියගේ සැමියාට තමන් නවාතැන් ගෙන සිටි කාමරයේ නවාතැන් ගැනීමට ඉඩදෙන ලෙස ඉල්ලා සිටියද, පෙත්සම්කාර සිසුවා ඊට ද සිය නොකැමැත්ත පළ කර තිබේ.

තමන් මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම සහ කථිකාචාර්යවරියගේ සැමියාට කාමරයේ නවාතැන් දීමට විරුද්ධ වීම යන සිදුවීම් මුල් කරගනිමින් අදාළ කථිකාචාර්යවරිය තමා කෙරෙහි පෞද්ගලික වෛරයක් ඇති කරගත් බව අතුකෝරළ පවසයි. ඉන්පසුව පැවැත්වූ අවසන් විභාගයේදීිකුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ විෂය වෙනුවෙන් නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කරමින්, පළිගැනීමේ සහ අත්තනෝමතික අන්දමින් තමන්ව විභාගයෙන් අසමත් කිරීමට ඇය කටයුතු කර ඇති බවට චෝදනා නැඟේ. තවද, විභාගය පැවැත්වීමට පෙරම එහි ප්‍රශ්න මොනවාදැයි වෙනත් සිසු කණ්ඩායමකට ඇය විසින් හෙළිදරව් කර තිබූ බව ද පෙත්සමේ සඳහන් වේ.

මේ ආකාරයෙන් තමන්ව අසමත් කර 2025 ජනවාරි මාසයේදී ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු, පෙත්සම්කාර සිසුවා ඒ පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කර ඇත. ඉන් මාස තුනකට පමණ පසු, එනම් 2025 අප්‍රේල් මාසයේදී නව ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කරමින් තමන් ඇතුළු සිසුන් කිහිපදෙනකු විභාගය සමත් වී ඇති බව විශ්වවිද්‍යාලය මඟින් දැනුම් දී තිබේ. එහෙත් ජනවාරි සහ අප්‍රේල් මාස අතර කාලය තුළ අදාළ විෂය සම්බන්ධයෙන් කිසිදු නැවත විභාගයක් නොපවත්වා, මුලින් අසමත් කළ සිසුන් එකවරම සමත් කළේ කෙසේද යන්න පිළිබඳව පාලනාධිකාරිය මෙතෙක් කිසිදු සාධාරණ පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බව සිසුවා පෙන්වා දෙයි.

අනෙක් අතට, ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය’ (510) විෂය ඉගැන්වූ කථිකාචාර්යවරයාගේ මඟපෙන්වීම යටතේ බාහිර ක්‍රියාකාරකමක් ලෙස කණ්ඩායම් ව්‍යාපෘතියක් පවත්වා ඇත. ඒ සඳහා එක් සිසුවකුගෙන් රුපියල් 3,500 බැගින් මුදල් එකතු කර ඇති අතර, සිසුන් පිරිසක් මුදල් ලබාදී ව්‍යාපෘතියට සක්‍රීයව දායක වී තිබේ. එහෙත් මුදල් පමණක් ලබාදී ව්‍යාපෘතියට සක්‍රීයව සහභාගී නොවූ ඇතැම් සිසුන්ට ද, සක්‍රීයව කැපවූ සිසුන්ට මෙන්ම සම්පූර්ණ ලකුණු ලබා දීමට අදාළ කථිකාචාර්යවරයා කටයුතු කර ඇති බවට චෝදනා කෙරේ.

කථිකාචාර්යවරුන්ගේ මෙකී අත්තනෝමතික හා අනීතික ක්‍රියාකලාපය නිසා නියමිත ලකුණු දීමේ පටිපාටිය යටතේ තමන්ට හිමිවීමට තිබූ ඉහළ සාමාර්ථය අහිමි වූ බව පවසන පෙත්සම්කාර අතුකෝරළ මේ පිළිබඳව විශ්වවිද්‍යාලයේ ඉහළ පාලනාධිකාරියට මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත. එම පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොතිබියදී සහ තමන්ගේ දැඩි විරෝධය නොතකා, විභාගය අසමත් වූ බව කියූ සිසුන්ට පවා උපාධි ප්‍රදානය කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කර ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වගඋත්තරකාර බලධාරීන්ගේ මෙකී නීතිවිරෝධී හා වංචනික ක්‍රියාකලාපය හේතුවෙන් තමන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී මිතුරන් හමුවේ සමච්චලයට ලක්වූ බවත්, තමන්ගේ කාලය, ශ්‍රමය සහ මුදල් නිස්කාරණයේ නාස්ති වූ බවත් පවසන පෙත්සම්කාර සිසුවා, තමන්ට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක වන්දියක් අය කර දෙන ලෙස නුගේගොඩ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටී.

සටහන - මනෝප්‍රිය ගුණසේකර