කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ බලපරාක්‍රමය අවසන් කරමින් බමුණු කුලයේ බිඳවැටීම හරහා අපට සමාජ ප්‍රගමනය පිළිබඳව ඉගැන්වූ මාටින් වික්‍රමසිංහයන් යළි ඒ සමාජ ප්‍රගමනය තුළ වන අඩු ලු‍හුඬුකම් ද කුඩුකේඩුකම් ද සමාජ ප්‍රශ්න ද කලියුගය සහ යුගාන්තය හරහා ඉදිරිපත් කළ බව අපි දනිමු. සිළිඳුගේ නඩුව හරහා අප පෙළූ සමාජ පීඩනයත් නීතිය හරහා එම පීඩනය දුගී දුප්පත් පහළ ස්තරය වෙත කළ බලපෑමත් ලෙනාඩ් වුල්ෆ්ගේ අකුරින් අපි කියවා ඇත්තෙමු.

බලය තනි අතට ගෙන හිතුමතයේ මිනී මරමින් ද, ඒ මරන මිනිසුන්ගේ ලේ දකිමින් ද, විලාපයන් අසමින් ද තම පරපීඩා කාමුකත්වය සන්තර්පණය කරගත් බමුණු කුලයේ සුදු ඇඳුම්ධාරී නායකයන් තවමත් ඒ මිනීමැරුම්වලට එරෙහිව කිසිදු අධිකරණ ක්‍රියාවලියකට ලක් නොවී වැල් පාලමේ ගීතය ගයමින් සමාජයක් රවටන්නේ නීතිය ඒ බමුණු කුලයේ මෙවලමක් වූ නිසා නොවේ ද? මිනීමැරුමකට වරදකරු වූ බමුණු කුලයේ පුත්‍රරත්නයක් ජනාධිපති සමාව ලබා රටිනුත් පැනයන්නේ බමුණු කුලයේ මෙවලමක් ලෙස නීති පද්ධතිය හසුරුවන ලද නිසා නොවේ ද? රටේ මූලිකම නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා ඊට අදාළ ප්‍රතිපාදන සලසා තිබුණේ නීතිය කෙටුම්පත් කළ සහ සම්මත කළ බමුණු කුලයේ සාමාජිකයන් දැනුවත්ව නොවේ ද? බමුණු කුලයේ සෘජු සාමාජිකයකුට හෝ ඒ බමුණු කුලයේ බැලමෙහෙවර කරන්නකුට හැර පහළ හෝ මධ්‍යම පන්තියේ තබා නීතිගරුක ඉහළ පාන්තිකයකුට හෝ මෙසේ අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි භාවිත කරමින් ව්‍යතිරේකී සහන ලබාගැනීමට අවස්ථාව හිමිවූ බවට කිසිදු සාක්ෂියක් නොමැති වීමෙන්ම මේ බමුණු කුලයේ ආධිපත්‍යය කෙතෙක් නම් නීති පද්ධතිය කෙරෙහි පතුරුවා ඇත් ද යන්න තහවුරු වේ.

දෙකට බෙදා සහයෝගයෙන් අනුභව කළ දේශපාලන බල හුවමාරුව නමැති රස බොජුන ඉතිහාසයේ පළමු වතාවට රටේ පොදු මහජනතාව අතර සමව බෙදී ගොස් ඇත්තේ මෙතෙක් සහයෝගයෙන් භුක්ති විඳිමින් සිටි ඒ රස බොජුනේ කරපිංචා නැට්ටක් හෝ බමුණු කුලයට ඉතිරි නොකරමිනි. මෙය කිසිසේත් බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. සූදානම්ව සිටි තත්ත්වයක් නොවේ. මෙය බමුණු කුලයේම අත්තනෝමතිකත්වයත්, ජාගරකමත්, ඉසිලිය නොහැකි පීඩාකාරීබවත් නිසා සමපාත වූ මනෝමූල හා විෂයමූල සන්දර්භයන්ගේ ඒකාබද්ධ ජයග්‍රහණයකි. සෑම මැතිවරණයකටම පසු රතු පැහැයෙන් එක් ප්‍රදේශයකුත් නිල් පැහැයෙන් තවත් ප්‍රදේශයකුත් වෙන්කර දක්වන ශ්‍රී ලංකා සිතියම වෙනුවට මෙවර ඉතිහාසයේ පළමු වතාවට එකම පැහැයකින් යුත් ශ්‍රී ලංකා සිතියමක් ප්‍රදර්ශනය කරන්නට මාධ්‍යයට හැකිවූයේ පොදු ජනයාගේ ඒ අවබෝධය සාමකාමී කැරැල්ලක් ලෙස සටන් කළ බැවිනි. කවර බලවේගයකට හෝ වැළැක්විය නොහැකි තරමට පොදු ජනයා ඒ සටනට එක්ව සිටි බැවිනි. දහසකුත් එකක් අවලාද අපවාද සහ අසත්‍යය වැපුරුවද ඒ කිසිවක් විශ්වාස නොකළ පොදු ජනයා නොසැලී තම සටන ජයග්‍රහණය දක්වාම කරගෙන ගිය බැවිනි.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ එක් පැහැයෙන් යුත් සිතියමක් පමණක් නොවේ. උතුර සහ නැගෙනහිර ප්‍රමුඛ රට පුරා වසර දහස් ගණනක් තිස්සේ පැවති කුල පීඩනයට එරෙහි ජයග්‍රහණයක් ලෙසද ඒ ජයග්‍රහණය පිළිගත යුතුය. කුලය මූලික කරගත් තෝරාගැනීම් වෙනුවට ජන බලවේගය මූලික කරගත් තෝරාගැනීම් ජයග්‍රහණය කරවන්නට ජනතාව කටයුතු කළහ. හුදු ඉලක්කම් සහ මිනිස් කුට්ටි වශයෙන් මෙතෙක් හඳුනාගත් වතුකරයේ ජනයාද තමන්ව පාගා පොඩිකරන සපත්තුවටම යළි මල් පුදා වන්දනාමාන කිරීමේ සාම්ප්‍රදායික අවනඩුව අතහැර තමාගේම වූ නායකයන් පත්කරගන්නට පියවර ගත්තේ ඒ ඒ ප්‍රාදේශීය බමුණු කුලයන්ද අන්දමන්ද කරවමිනි.

මේ අන් කිසිවක් නොව මෙරට පළමුවරට සුපුෂ්පිත වූ ජනවරමේ කතාන්දරයයි. මේ ජනවරම සුදු කරපටි තක්කඩියන්ට කිසිසේත් සුවපහසු එකක් නොවේ. ජනවරම නිසාවෙන් ලැබෙන පොදු ප්‍රතිලාභ භුක්ති විඳිමින් වුවද ජනවරමට එරෙහිව කළ හැකි සියල්ල කරන්නට ඔවුහු ඇප වෙති. කැප වෙති. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයකි. තම වංචා දූෂණ සහ ඝාතන හෙළිදරව් වීම නිසා විඳින්නට සිදුවන නෛතික දඬුවම් පිළිබඳ බිය ඉන් ප්‍රධානය. තම තමන්ගේ නීතිවිරෝධී ව්‍යාපාරයන් සහ ගනුදෙනු තවදුරටත් නිදහසේ කරගෙන යාමට නොලැබීම තවත් හේතුවකි. මෙතෙක් තමන් විඳි සුවපහසු සුඛෝපභෝගී ජීවිතය අහිමි වේය යන බිය තවත් හේතුවකි. මෙතෙක් තමන් නිර්ලජ්ජිතව අවභාවිත කළ දේශපාලන සහ සමාජයීය බලය තවදුරටත් තමන් සතු නොවීම නිසා හටගත් මානසික ආතතිය තවත් ප්‍රබල හේතුවකි. එනම් තමන් මෙතෙක් නඩත්තු කළ බමුණු කුලයේ බිඳවැටීමයි.

නීතිය අතට ගනිමින්ද නීතිය කඩමින් සහ නවමින්ද එකී බමුණු කුලය පවත්වාගෙන යාමට කටයුතු කළ මේ තක්කඩීන් නීතිය භාවිත කළේම තම පැවැත්ම පහසු කරගන්නා මෙවලමක් වශයෙනි. වරෙක තමන්ට එරෙහිව යන කවරකු හෝ මර්දනය කරන්නට නීතිය මෙවලමක් ලෙස භාවිත කෙරුණු අතර තමන් විසින්ම නීතිය අතට ගත් අවස්ථාවන්හිදී කරන ලද දූෂණ වංචා සහ ඝාතන යට ගැසීමටද නීතිය මෙවලමක් ලෙස භාවිත කෙරිණි. ඒ තරමටම තමන්ගේ මෙවලමක් ලෙස භාවිත කළ නිසාම නීතිය යනු තමන් අත පමණක් තිබිය යුතු මෙවලමක්ය උපකරණයක්ය යන සිතුවිල්ලද බමුණු කුලයේ සිත්වල නිධානගත වී ඇති බව අපට හඳුනාගත හැකිය.

එසේ තමන්ගේ මෙවලමක් ලෙස පැවති, තවදුරටත් තමන්ගේ මෙවලමක් ලෙස පවත්වාගෙන යාමට කැසකවන සහ බලාපොරොත්තුවෙන් සිටින නීතිය නම් වූ මෙවලම සම්බන්ධයෙන් බමුණු කුලයේ ඇසට කටු අනින ක්‍රියාමාර්ගයකට ජනවරමේ නියෝජිතයන් එළඹ තිබීම තරුණ හෝ මහලු කිසිදු බමුණකු කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ. තමාගේ මෙවලමක් වෙනස් කිරීම හෝ අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම හුදෙක් තමන්ගේ බමුණු කුලයට මිස අවශේෂ ජනවරමකට කළ හැකි වේ යැයි සිතන්නට පවා මේ බමුණු කුලය අකමැතිය. ස්වභාවයෙන්ම බමුණු කුලය සතු උද්දච්චකම, මාන්නය, උඩඟු‍කම සහ අත්තුක්කංසන පරවම්භන ස්වභාවය කෙසේ නම් එවැනි ලැජ්ජාවක් දරාගන්න ද? කෙසේ නම් එවැනි අපහාසයක් විඳගන්න ද? නීග්‍රෝධ සාමණේරයන් විසින් බිම්බිසාර රජුට පැවසූ පරිදි රජකුමරාත්, ගින්නත්, පැවිද්දාත්, සර්පයාත් ලාබාලයයි සිතා අගෞරව නොකළ යුතුය යන්න බමුණු කුලයක් කෙසේ නම් පිළිගන්න ද?

ජනවරමක් විසින් නීතිය වෙනස් කරනුයේ හෝ අහෝසි කරනුයේ හෝ සංශෝධනය කරනුයේ ජනවරමේ අභිලාෂයන් වෙනුවෙනි. අද පවතින ජනවරමේ අභිලාෂයන් නිරතුරුවම පවතිනුයේ මෙහි සඳහන් බමුණු කුලයේ අභිලාෂයන්ට එකහෙළා එරෙහිවය. ජනවරම විසින් නීතිය මගින් දූෂිතයන්ට එරෙහිව කටයුතු කළ යුතු බවට තීරණය කරන විට බමුණු කුලයේ සිටින දූෂිතයෝ අවි අමෝරාගනිති. ජනවරම විසින් නීතිය මගින් වංචනිකයන්ට එරෙහිව කටයුතු කළ යුතු බවට තීරණය කරන විට බමුණු කුලයේ සිටින වංචනිකයෝ අවි මුවහත් කරති. ජනවරම විසින් නීතිය මගින් ඝාතකයන්ට එරෙහිව කටයුතු කළ යුතු බවට තීරණය කරන විට බමුණු කුලයේ සිටින ඝාතකයෝ බංකර් තනන්නට පටන් ගනිති. ජනවරම විසින් නීතිය මගින් ජනවරමේ අභිලාෂයන්ට අනුව කටයුතු කළ යුතු බවට පොදුවේ තීරණය කරන විට බමුණු කුලයේ සිටින සියලු‍ ආකාරයේ ඇම්බැට්ටයෝ, තක්කඩියෝ සහ අපරාධකරුවෝ ඊට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සඳහා වහ වහා එක අම්බලමකට එක්වෙති.

ඉන් පසු ඒ ඒකාබද්ධ අම්බලම අතිශය ඝෝෂාකාරී වටාපිටාවක් බවට පරිවර්තනය වේ. විවිධ කාර්යයන් පැවරුණු විවිධ පුද්ගලයෝ ඒ ඒ කාර්යයන්ට සුදුසු ඇඳුමින් සැරසෙති. සමහරු තම ඇඳුමට ගැළපෙන කාර්යයන්ම භාරගනිති. හොරුන් කළු කබා ඇඳ නීතියේ නියෝජිතයන්ගේ භූමිකාවට පණ පොවන අතරම බමුණු කුලයේ සාමාජිකයන් වන නීති නියෝජිතයෝ තම කබායෙන් සොරුන් ආවරණය කරන්නට යුහුසුළුව කටයුතු කරති. ඒ සඳහා සටන් පාඨ සකසති. නීතිය හිතුමනාපේ අර්ථකථනය කරති. බමුණු කුලය බිඳවැටීමේ අනතුර හැර අනෙක් සියලු‍ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි පිළිබඳව දහසක් දේශන පවත්වති. ජනවරමේ යම් සද්භාවී පිරිස් පවා නම්මාගන්නට අසම්බන්ධ බොරු කියමින් කටයුතු කරති. සද්භාවී මිනිසුන්ගේ සද්භාවයට ආමන්ත්‍රණය කරමින් අදෘශ්‍යමාන යක්ෂයන් පිළිබඳ බිය පැළ කරති.

මේ සියල්ල බමුණු කුලයේ පැවැත්ම වෙනුවෙනි. වංචාවේ, දූෂණයේ සහ ඝාතනයේ රහස් රැකගැනීම වෙනුවෙනි. නැවත වටයකින් වංචාව, දූෂණය සහ ඝාතනය සමාජගත කිරීමට පහසුකම් සපයාගැනීම වෙනුවෙනි. වංචාව, දූෂණය සහ ඝාතනය වෙනුවෙන් ලැබීමට නියමිත දඬුවම්වලින් ගැලවීම වෙනුවෙනි. එසේම, බමුණු කුලයේ මාන්නය, උද්දච්චකම සහ මහන්තත්වය රැකගැනීම වෙනුවෙනි.

දැන් සමාජයේ සංවාදයට ලක්ව ඇති නීතිය පිළිබඳව වන සංශෝධනයන් අරබයාද තත්ත්වය එසේමය. මුලින් ඊට එරෙහි වූවන් එරෙහි වූයේ සංශෝධනයේ ඇත්තේ මොනවාද යන්නවත් නොදැනමය. අනෙක් අතට ඔවුන්ගේ විරෝධයේ යම් නිශ්චිත කාරණයක් හෝ තර්කයක් දක්නට නොලැබුණු අතර හුදෙක් සංකල්පීය කරුණු පිළිබඳව වන භීතිකාවක් නිර්මාණය කරන්නට උත්සාහ කරන බවක් දක්නට ලැබිණි. අද වන විට යෝජිත සංශෝධනයේ අරමුණු සහ කරුණු නිශ්චිතව සඳහන් කර තිබියදී සහ විශේෂයෙන් ඉහත කී විරෝධතාකරුවන්ගේ විරෝධතාවල තිබූ සමහර ඉල්ලීම්ද ඒ සංශෝධනවල ඇතුළත්ව තිබියදී තවදුරටත් නීතිඥ ප්‍රජාව සමාජය හමුවේ අපහසුතාවට පත්කරමින් පදනමක් නොමැති විරෝධයක් දිගටම පවත්වාගෙන යාමට තැත්කරනුයේද බමුණු කුලයේ මාන්නය, උද්දච්චකම සහ මහන්තත්වය රැකගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන ව්‍යාපෘතියක අවශ්‍යතාවකට අනුව මිස අන් යමකට නොවේ.

අප රටේ නීතිය පිළිබඳ සංකේත කුලුන වන්නේ අලු‍ත්කඩේ අධිකරණයයි. බමුණු කුලය විසින් බිහිකර තිබූ කාටල ගණනාවක් අලු‍ත්කඩේ අධිකරණ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අදටත් ව්‍යාප්තව පවතී. එම කාටල පවත්වාගෙන යාම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ කාර්යයක් ලෙස හඳුනාගත් ඒවායේ උරුමක්කරුවෝ දැන් සිදුව ඇති දේශපාලන බලය හුවමාරු වීමෙන් පසුව කලබලයට පත්ව ඇති බව දැකිය හැකිය. මුලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයාගේ ධුර කාලයට සීමා කර තිබූ ඔවුනගේ විරෝධය පසුව සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණය අරභයාද පසුව අභියාචනාධිකරණය දක්වාද වශයෙන් ඔවුනට ආරංචි ලැබෙන ලැබෙන ආකාරයට එහා මෙහා කරන්නට ඔවුනට සිදුවිය. දැන් සමස්ත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ආවරණය කරමින් යෝජනාව පැමිණ ඇති විට ඔවුන්ගේ සටන්පාඨ ඔවුනටම එරෙහි වී තිබේ. දැන් මේ බමුණු කුලයේ තර්කය වී ඇත්තේ හැකිනම් දෙසැම්බරයට පසුව, හැකිනම් ජනවාරියට පසුව සංශෝධන ගෙන එන ලෙසයි. එම ඉල්ලීම තාර්කිකව පැහැදිලි කරන්නේ කෙසේදැයි කිසිවෙක් නොකියති. එසේ නැත්නම් අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කර මේ සංශෝධන ගෙන එන ලෙසයි. එනම් අවසානයේ වරද ඇත්තේ සංශෝධනවල නොවන බව ඔවුන් පිළිගෙන තිබේ. එසේ නම් වරද ඇත්තේ කොතැනක ද? වරද ඇත්තේ බමුණු කුලයේ ආචීර්ණකල්පිත චින්තනයේ මිස අන් තැනක නොවේ.

බමුණු කුලය වටහා ගත යුතු අවසාන සත්‍යය නම්, බමුණු කුලය බිඳවැටීම ආරම්භ වී ඇති බවය. බමුණු කුලයේ බල පරාක්‍රමයන් යළි කිසිදින මේ පොළොවේ පැළ කළ නොහැකි බවය. පොදු මහජනතාව විසින් මේ ජනවරම ඔසවා තබා ඇත්තේ අහම්බෙන් නොවන බවය. අවලාද සහ අසත්‍යය භාවිතා කරමින් සමාජ මාධ්‍ය අතර මහා බලවේගයක් සේ කෘතිමව දක්වන ජනවරමට එරෙහි මතය සැබෑ ලෝකයේ නොපවතින බවය. දශක ගණනාවක වෙහෙසින් හා මහන්සියෙන්ද ලෙයින් සහ යකඩින්ද ඉතා අසීරුවෙන් පැළ කරගත් ජයග්‍රහණය පෙති දෙපෙති දරමින් සෙමින් නමුත් ශක්තිමත්ව සහ ස්ථාවරව වැඩෙන බවය. එළුවාගේ යමක් වැටෙන තුරු පසුපස වැටුණු නරියාට කිසිදින කිසිවක් නොලැබුණු බව යළි සිහිපත් කරගත යුතු බවය.

මේ ජනවරම සතු ප්‍රධාන ශක්ති ප්‍රභව කිහිපයක් වේ. සද්භාවය, අවංකභාවය, කැපවීම සහ වෙහෙස නොදැනීම ඉන් කිහිපයකි. මහජන විශ්වාසය, මහජන සහය සහ මහජන ආශීර්වාදයද ඒ අතර වේ. අඳුරම පතුරමින් අඳුරේම හිඳිමින් අඳුරම විශ්වාස කරන බමුණු කුලයට එරෙහිව ඉහත කී ශක්ති ප්‍රභවයන් තම තමන්ට හැකි පමණින් එළිය ලබාදෙනු ඇත. ඒ බමුණු කුලයේ මෙවලමක් ලෙස තවදුරටත් නීතිය නමැති පූජාසනය අවභාවිත කිරීමට අවකාශ නොලැබෙනු ඇත. සෙමින් නමුත් ස්ථාවරව ආලෝකය උදාවනු ඇත. තුවාලයක් සුව වන්නට පෙර ඉදිමෙන්නේය යන්න කලබල විය යුතු කාරණයක් නොවේ. තුවාලය සුව කිරීමේ වෙදකම ඒ ඉදිමුම හේතුවෙන් නොනවත්වන බව පමණක් සහතිකය.