ඕනෑම ශිෂ්ටසම්පන්න සමාජයක නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය රඳා පවතින්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය මෙන්ම විනිසුරුවරුන් සතු අසීමිත තර්කන ඥානය සහ අපක්ෂපාතී තීරණ ගැනීමේ හැකියාව මතය. මෙලෙස සමාජයක ඉහළම බුද්ධිමය සහ සදාචාරාත්මක කාර්යභාරයක් ඉටු කරන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාව සමාජය තුළත්, නීති ක්ෂේත්‍රය තුළත් මේ දිනවල දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.
 
අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීම පද්ධතියට වාසියක් සේ පෙනුණද, මෙම තීරණය දෙස වෛද්‍ය විද්‍යාත්මක කෝණයෙන් බැලීමේදී ඊට වෙනස් තර්ක ඉදිරිපත් වෙයි. විනිසුරුවරුන්ගේ පරිණතභාවය, ස්නායු-විද්‍යාත්මක යථාර්ථය, වෛද්‍ය විද්‍යාත්මක පදනම, ශ්‍රේ ෂ්ඨාධිකරණ තීන්දුවල ඇති අවසානාත්මක ස්වභාවය සහ අනෙකුත් ප්‍රධාන වෘත්තීන් (වෛද්‍ය වෘත්තිය හා නීතිඥ වෘත්තිය) සමඟ ඇති වෙනස්කම් පිළිබඳව මෙම ලිපිය සැකසෙන්නේ නීතිඥ, වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.
 
”‍විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිටුපස විද්‍යාත්මක සහ ස්නායු-වෛද්‍යමය ගැටලු‍ ගණනාවක් තියෙනවා. අධිකරණය කියන්නේ සමාජයක සාධාරණත්වය, යුක්තිය සහ මිනිස් ජීවිතවල පැවැත්ම තීරණය වන ශුද්ධ වූ ස්ථානයක්. එම අසුන හොබවන විනිසුරුවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ අතිශය අපක්ෂපාතී, තියුණු සහ ක්ෂණික බුද්ධියෙන් යුත් තීන්දු තීරණයි.
 
එතකොට ජීව විද්‍යාත්මකව වයස අවුරුදු 60 ඉක්මවන විට මිනිස් මොළයේ යම් යම් ක්ෂයවීම් සහ සෛල පිරිහීම් සිදුවීම ස්වාභාවිකවම සිදුවන දෙයක්. විශේෂයෙන්ම තර්කණය, සූක්ෂ්ම තීරණ ගැනීම, සංකීර්ණ ගැටලු‍ විසඳීම සහ මතකය පාලනය කරන මොළයේ ‘පූර්ව බාහිකය‘ වයස්ගත වීමත් සමඟ අනෙකුත් කොටස්වලට වඩා වේගයෙන් ක්ෂය වීමට පටන් ගන්නවා.
 
මෙම තත්ත්වය සාමාන්‍ය ව්‍යවහාරයේදී MCI (Mild Cognitive Impairment)  ලෙස හඳුන්වන අතර, මතුපිටින් ක්ෂණිකව ඩිමෙන්ෂියාව ලෙස හඳුනාගත නොහැකි වුවද, සංකීර්ණ මානසික කාර්යයන් කිරීමේ හැකියාව සහ තොරතුරු පිරිසැකසුම් කිරීමේ වේගය මෙ මඟින් අඩපණ වනවා.
 
විද්‍යාත්මක දත්ත පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60ට අඩු ජනගහනය අතර ඩිමෙන්ෂියා තත්ත්වය ඉතා දුර්ලභ (0.1%ට වඩා අඩු) මට්ටමක පැවතුණද, වයස අවුරුදු 60න් පසු සහ විශේෂයෙන්ම අවුරුදු 60ත් 67ත් අතර වන විට රෝගී වීමේ අවදානම 20 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි. එම නිසා මෙම වයස් කාණ්ඩයේදී වියුක්ත චින්තනය, තර්කානුකූලව කරුණු ගළපා ගැනීම සහ නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව බිඳවැටීමට ලක්වෙන්න පුළුවන්.”‍
 
මොළයේ ‘තරල බුද්ධිය‘ සහ ‘ස්ඵටිකීභූත බුද්ධිය‘ යන සංකල්ප විනිසුරු රාජකාරියට බලපාන්නේ කෙසේ ද?
 
”‍මෙය ඉතා වැදගත් විද්‍යාත්මක වෙනසක්. වයස්ගත වීමත් සමඟ අපගේ මොළයේ බුද්ධිමය මානයන් දෙකක් ක්‍රියාත්මක වනවා.
 
ස්ඵටිකීභූත බුද්ධිය කියන්නේ වසර ගණනාවක අධ්‍යාපනය, වෘත්තීය පළපුරුද්ද, සංකල්පීය දැනුම සහ පරිණතභාවයටයි. වයසත් සමඟ මෙය මුහුකුරා යනවා.
 
තරල බුද්ධිය කියන්නේ අලු‍ත් ගැටලු‍ නිරවුල් කිරීමේ ස්නායුමය හැකියාව, ක්ෂණික තර්කණය, පවතින දත්ත මනසේ තබාගෙන සූක්ෂ්ම ලෙස විශ්ලේෂණය කිරීමේ සහ කෙටිකාලීන මතකයේ එහෙම නැත්නම් ක්‍රියාකාරී මතකයේ සක්‍රීයභාවයටයි.
 
පරිණතභාවය කොතෙක් තිබුණද, දීර්ඝ නඩුවකදී එකිනෙකට පරස්පර සාක්ෂි සිය ගණනක්, නීතිමය පූර්වාදර්ශ සහ වාචික සාක්ෂි එකවර සිය මනසේ තබා ගනිමින් තර්ක කිරීම අත්‍යවශ්‍ය වනවා. වයසත් සමඟ පූර්ව මස්තිස්ක බාහිකය අඩපණ වන විට වඩාත්ම හානි වන්නේ මෙම තරල බුද්ධියට සහ කෙටිකාලීන මතකයටයි.
 
එබැවින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වයස අවුරුදු 65 සහ 67 වශයෙන් දීර්ඝ කිරීමෙන් නඩු විසඳීම ‘වේගවත්‘ වීමකට වඩා තීන්දු ප්‍රකාශ කිරීම ප්‍රමාද වීම සහ මානසික වෙහෙස නිසා නීතිමය වැරදීම් සිදුවීමේ අවදානම ඉහළ යාමේ හැකියාව තිබිය හැකියි.”‍
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ විනිසුරුවරුන්ට මියයන තෙක්ම සේවයේ යෙදෙන්නට පුළුවන් නම් ලංකාවට ඇති බාධාව කුමක් ද?
 
”‍ඇමෙරිකානු ක්‍රමය පිටුපස තියෙන්නේ වෛද්‍ය විද්‍යාත්මක තර්කයකට වඩා දේශපාලනික සහ ව්‍යවස්ථාපිත පදනමක්. 18 වැනි සියවසේ සකස් කළ ඇමෙරිකානු ව්‍යවස්ථාවෙන් විනිසුරුවරුන්ට ජීවිතාන්තය දක්වා ධුර කාලයක් ලබා දුන්නේ දේශපාලන බලපෑම්වලින් තොරව අපක්ෂපාතීව කටයුතු කිරීමටයි.
 
නමුත් ප්‍රායෝගිකව එහිදීද මේ සඳහා යම් යම් පිළියම් යොදා තිබෙනවා. ඒ අනුව වයස 65-70 පසුවන විට විනිසුරුවරුන් අර්ධ-විශ්‍රාමික තත්ත්වයට පත්වී තමන්ගේ නඩු ප්‍රමාණය අඩුවෙන් පවත්වා ගැනීම සිදුවෙනවා. ලියකියවිලි කියවීමට සහ නීතිමය පර්‌යේෂණ කිරීමට දක්ෂ තරුණ නීතිඥයින් කණ්ඩායමක් ඔවුන් යටතේ සේවයට යොදවා ගන්නවා.
 
එසේ තිබියදී පවා, වර්තමානයේ ඇමෙරිකාව තුළද අධිකරණමය ඩිමෙන්ෂියාව (Judicial Dementia) පිළිබඳ විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා. වයස්ගත විනිසුරුවරුන් තමන්ගේ මානසික ධාරිතාව අඩුවී ඇති බව පිළිගැනීමට ඇති මැළිබව සහ ඔවුන් තනතුරෙන් ඉවත් කිරීමේ ඇති දේශපාලන සංකීර්ණතාව නිසා, විනිසුරුවරුන්ට නිශ්චිත වයස් සීමාවක් හඳුනාගත යුතුයි යන මතය අද වන විට ඇමෙරිකාවේ පවා දැඩි කතාබහට ලක්ව තිබෙනවා.”‍
 
විනිසුරුවරුන්ට වයස බලපානවා නම් නීතිඥයන් ජීවිත කාලය පුරාවටම නීතිඥ වෘත්තියේ යෙදෙන්නේ කොහොම ද?
 
”‍නීතිඥවරුන්ට ජීවිත කාලය පුරාම වෘත්තියේ යෙදීමට හැකි වුවත්, විනිසුරුවරයකුගේ කාර්යභාරයට සාපේක්ෂව නීතිඥවරයෙකුගේ වෘත්තීය ව්‍යුහය, වගකීම සහ විද්‍යාත්මක පදනම සම්පූර්ණයෙන්ම වෙනස්. මේ සඳහා බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා.
 
විනිසුරුවරයකු කියන්නේ අපක්ෂපාතීව නඩුවේ දෙපාර්ශ්වයේම සාක්ෂි එක වර මනසේ තබාගෙන, නීතිය සහ කරුණු ගළපා අවසානාත්මක යුක්තිය ඉටුකළ යුතු පුද්ගලයා. එහිදී පූර්ව මස්තිස්ක බාහිකයේ ක්‍රියාකාරී මතකය සහ විධායක ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමින් පැවතිය යුතුයි. නමුත් නීතිඥවරයකු පිළිබඳව සැලකූ විට ඔහු ක්‍රියා කරන්නේ එක් පාර්ශ්වයක් වෙනුවෙන් පමණයි. ඔහුට සමස්ත නඩුවේම මැදිහත්කරුවකු වීමට සිදුවන්නේ නැහැ. තමන්ගේ පාර්ශ්වයේ ජයග්‍රහණය උදෙසා අදාළ තර්කය ඉදිරිපත් කිරීම පමණයි ඔහුගේ ප්‍රධාන කාර්යය.
 
එතකොට නීතිඥවරයකුගේ මානසික හෝ ශාරීරික ධාරිතාව වයසත් සමඟ අඩුවුවහොත්, සේවාදායකයින් ස්වේච්ඡාවෙන්ම වෙනත් තරුණ/කාර්යක්ෂම නීතිඥවරුන් වෙත යොමු වීම සිදුවෙනවා. නමුත් අධිකරණයකට පැමිණෙන ජනතාවට විනිසුරුවරයාව තෝරාගැනීමේ අයිතියක් නැහැ. විනිසුරුවරයාගේ මානසික ධාරිතාව හීන වුවත්, ජනතාවට සිදුවෙනවා එම විනිසුරුවරයා තීන්දුවට යටත් වීමට.
 
විනිසුරුවරයකුගේ අත්දැකීම් සහ නීතිමය පරිණතභාවය සමාජයකට සම්පතක්. නමුත් එම පරිණතභාවය, ස්නායු-විද්‍යාත්මකව සිදුවන මානසික මන්දගාමීත්වයට යටපත් වීමට ඉඩ හැරීම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට සිදුවන අසාධාරණයක්. විනිසුරුවරයකුගේ අත්දැකීම්වලින් ප්‍රයෝජන ගැනීම අත්‍යවශ්‍ය වුවත් අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ නිවැරදිතාව සුරුකීමට නම්, විනිශ්චයාසනය සඳහා විද්‍යාත්මක වයස් සීමාවක් පවත්වා ගැනීම කාලීන අවශ්‍යතාවක්.”‍
 
විනිසුරුවරයෙකුගේ දෛනික කාර්යභාරය සාමාන්‍ය වෘත්තියකට වඩා බෙහෙවින් වෙනස් මෙන්ම අතිශය වෙහෙසකාරී එකකි. යම් හෙයකින් වයස්ගත වීමත් සමඟ මතු වන ප්‍රජානන ඌනතාවන් නිසා විනිසුරුවරයකු තොරතුරු ග්‍රහණය කරගැනීමේ ප්‍රමාදයකට හෝ මතකය ගිලිහීමකට ලක් වුවහොත්, එය නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීමට මෙන්ම තීන්දු තීරණවල ගුණාත්මකභාවය කෙරෙහිද සෘජුවම බලපෑ හැකිය. පරිණතභාවය සහ වෘත්තීය ඥානය කොතරම් ඉහළ වුවද, එය ප්‍රායෝගිකව යෙදවීම සඳහා මොළයේ සක්‍රීය ක්‍රියාකාරීත්වය නිරෝගීව පැවතිය යුතුමය.
 
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ තීරණ ගැනීමේදී එය හුදෙක් පරිපාලනමය හෝ දේශපාලනික කෝණයකින් පමණක් දෙස බැලීම ප්‍රමාණවත් නැත. විශේෂයෙන්ම ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවලට එරෙහිව අභියාචනා නොමැති පසුබිමක, වියපත් බව හේතුවෙන් ඇති විය හැකි මානසික මන්දගාමීත්වයක් නිසා සිදුවන එක වැරදීමක් වුවද අහිංසක ජීවිතයක අයිතිවාසිකම් සදාකාලිකවම විනාශ කිරීමට හේතු විය හැකිය.
 
එබැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම ‘කාර්යක්ෂමතාව වැඩි කිරීමක්‘ ලෙස අර්ථ දැක්වීම වෛද්‍ය විද්‍යාත්මකව පදනම් විරහිත යන්න මගේ අදහසයි. මේ නිසා නවීන ස්නායු-විද්‍යාත්මක සොයාගැනීම් කෙරෙහිද අවධානය යොමුකරමින් විද්‍යාත්මක වයස් සීමාවක් පවත්වා ගැනීම කාලීන අවශ්‍යතාවකි.
 
නදීෂා අතුකෝරළ