
පසුගිය සතියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුව විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල (Trial-at-Bar) ලබාදුන් තීන්දුව, තවත් සාමාන්‍ය අධිකරණ තීන්දුවක් පමණක් නොවේ. එය පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ වැරදි ලෙස වටහාගෙන තිබූ අතිශය වැදගත් කරුණක් නැවත ඇගයීමට ලක් කිරීමට බලකරන සුවිශේෂී නීතිමය සන්ධිස්ථානයකි. මෙම තීන්දුව මගින් බුද්ධි තොරතුරු රැස්කිරීම, ක්‍රියාන්විත පොලිස් කටයුතු සහ විධායක තීරණ ගැනීම යන එකිනෙකට වෙනස් වගකීම් පැහැදිලිව වෙන්කර හඳුනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. වසර ගණනාවක් පුරා මෙම වෙනස් වගකීම් මහජන සංවාදය තුළ එකිනෙකට පැටලී තිබූ හෙයින්, සාක්ෂි මත පදනම් වූ වාර්තාවලින් තහවුරු නොවන බොහෝ උපකල්පන සහ විශ්වාසයන් රාශියක් බිහි විය. ඒවා කුමන්ත්‍රණ න්‍යායන්වල මෙවලම් බවට පත්විය. අධිකරණයේ නවතම තර්කානුකූල විග්‍රහය එම වැරදි මිශ්‍රවීම් නිවැරදි කරමින්, එකී වෙනස යළි ස්ථාපිත කිරීමට වැදගත් අවස්ථාවක් සලසා දී ඇත.
වසර හතකට වැඩි කාලයක් පුරා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ මහජන සංවාදය දේශපාලන තරගකාරීත්වය, අනුමාන, සහ රාජ්‍ය ආයතන අසාර්ථක වූ බවට ඉදිරිපත් කළ විවිධ න්‍යායන් විසින් හැඩගස්වනු ලැබ තිබුණි. රාජ්‍ය බුද්ධි සේවය (State Intelligence Service) මෙම විවේචනවල ප්‍රධාන ඉලක්කයක් බවට පත්වූ අතර, සිදුවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව රජයට අනතුරු ඇඟවීමට අපොහොසත් වූ ආයතනයක් ලෙස නිතර නිරූපණය කෙරිණි. කෙසේ වෙතත්, ත්‍රිපුද්ගල අධිකරණ තීන්දුව එම චෝදනාව නෛතිකව ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට, අධිකරණය හමුවේ ඉදිරිපත් කළ සාක්ෂි සහ ජාතික ආරක්ෂක ව්‍යුහය තුළ නීතිය මගින් එක් එක් ආයතනයට පවරා ඇති වගකීම් කෙරෙහි එහි අවධානය යොමු කර තිබේ.
අධිකරණය පිළිගත් සාක්ෂි සටහන් මගින් බුද්ධි තොරතුරු හුවමාරු වූ ආකාරය පිළිබඳ පැහැදිලි කාලානුක්‍රමික අනුපිළිවෙළක් තහවුරු කර ඇත. 2019 අප්‍රේල් 8 වැනිදා, විදේශීය බුද්ධි ආයතනයකින් ලැබුණු තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියා (Chief of National Intelligence) හරහා රාජ්‍ය බුද්ධි සේවය විසින් අදාළ බලධාරීන් වෙත යොමු කර තිබුණි. සහ්රාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් (National Thowheeth Jama'ath) සංවිධානයේ සාමාජිකයන් ආසන්න කාලයකදී මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව එම අනතුරු ඇඟවීමෙන් දැනුම් දී තිබිණි. එම තොරතුරුවලින් ප්‍රහාරයට ඉලක්ක විය හැකි ස්ථාන හඳුනා දී, ප්‍රහාර එල්ල කළ හැකි ක්‍රමවේද විස්තර කරමින්, මෙහෙයුමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් කිහිප දෙනකුගේ නම්ද සඳහන් කර තිබුණි. මෙය සාමාන්‍ය හෝ අපැහැදිලි ආරක්ෂක තක්සේරුවක් නොවන බව අධිකරණ තීන්දුව තහවුරු කරයි. එය, වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි සපයන ලද නිශ්චිත බුද්ධි තොරතුරු සමූහයක් බව පෙන්වා දී ඇත.
අතිරේක තොරතුරු අනාවරණය වීමත් සමඟ, බුද්ධි තොරතුරු පිළිබඳ සමස්ත තක්සේරුව තවදුරටත් පැහැදිලි හා සවිස්තරාත්මක ලෙස ඉදිරිපත් කර තිබේ. අප්‍රේල් 18 වැනිදා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තලන්කුඩාවේ සිදුවූ යතුරුපැදි පිපිරීම සම්බන්ධ බුද්ධි තොරතුරු සන්නිවේදනය කළ අතර, පසුව එම සිද්ධිය ප්‍රහාර සඳහා සිදුකළ ක්‍රියාන්විත සූදානමක කොටසක් ලෙස පැහැදිලි කරන ලදී. අප්‍රේල් 20 වැනිදා වන විට බුද්ධි තක්සේරුව සැලකිය යුතු ලෙස ඉදිරියට ගොස් තිබුණි. මරාගෙන මැරෙන ප්‍රහාරයක පෙරහුරුවක් (dry run) දැනටමත් සිදුකර ඇති බවත්, එවැනි ප්‍රහාර අප්‍රේල් 21 වැනිදා හෝ ඊට පෙර සිදුවිය හැකි බවත්, ඉන්දීය ජාතිකයන් නිතර ගැවසෙන හෝටල් මෙන්ම දේවස්ථානද ප්‍රධාන ඉලක්ක අතර වන බවත් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දෙන ලදී. එමෙන්ම, අප්‍රේල් 21 වැනිදා උදෑසනම රාජ්‍ය බුද්ධි සේවය විසින් තවත් බුද්ධි තොරතුරු යොමු කරමින්, ප්‍රහාර පෙරවරු 6.00 ත් 10.00 ත් අතර කාලයේදී සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ වන විටත් පොලිසියට අදාළ අනතුරු ඇඟවීම් ලබාදී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබුණි.
බුද්ධි තොරතුරු වගකිවයුතු පාර්ශ්වයන් වෙත ලබාදී තිබුණද, ඊට අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග එම පාර්ශ්වයන් නොගන්නේ නම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් තබා වෙනත් කිසිදු අනතුරක් වළක්වාගත නොහැකිය. තම අසමත්භාවය වසාගැනීම සඳහා වෙනත් පාර්ශ්වයකට චෝදනා කිරීමෙන් ස්වකීය වගකීමෙන් නිදහස් විය නොහැක.
මෙම කාලානුක්‍රමික සිදුවීම් පෙළ අධිකරණ තීන්දුවේ වැදගත්කම අවබෝධ කරගැනීම සඳහා මූලික වශයෙන්ම වැදගත් වේ. රටේ තීරණ ගන්නා බලධාරීන් වෙත බුද්ධි තොරතුරු නොපැමිණි බවට වූ පදනමක් මත අධිකරණය සිය තීරණයට එළඹුණේ නැත. එසේම, බුද්ධි සේවා විදේශීය හවුල්කාර ආයතනවලින් ලැබුණු අනතුරු ඇඟවීම් වසන් කළේය නැතහොත් ඒවා නිසි පරිදි සන්නිවේදනය කිරීමට අපොහොසත් වූයේය යැයිද අධිකරණය නිගමනය කළේ නැත. ඊට ප්‍රතිවිරුද්ධව, ප්‍රධාන බුද්ධි වාර්තා නිල සන්නිවේදන මාර්ග ඔස්සේ ආරක්ෂක ලේකම්වරයා වෙත ලැබී තිබූ බව අධිකරණය පිළිගත් අතර, එම සන්නිවේදනයන්හි සත්‍යතාව සහ ඒවා ලැබී තිබීම නඩු විභාගය පුරාවට කිසිදු පාර්ශ්වයකින් අභියෝගයට ලක්නොවූ බවද නිරීක්ෂණය කළේය. එබැවින්, අධිකරණයේ නීතිමය විමර්ශනය යොමුවූයේ එම අනතුරු ඇඟවීම් සන්නිවේදනය කරනු ලැබූ පසු සිදුවූ ක්‍රියාමාර්ග වෙත මිස, ඒවා සන්නිවේදනය කර තිබුණේද යන්න සම්බන්ධයෙන් නොවේ.
මෙම වෙනස හුදෙක් තාක්ෂණික හෝ අහඹු කරුණක් නොවේ. නීතිය මත පදනම් වූ ඕනෑම ජාතික ආරක්ෂක ව්‍යුහයක මූලික පදනම එයයි.
බුද්ධි සේවයක නීතියෙන් නියම කර ඇති ප්‍රධාන කාර්යභාරය වන්නේ තොරතුරු රැස්කිරීම, තර්ජන තක්සේරු කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ නීතිමය බලය හිමි නිලධාරීන් වෙත එකී බුද්ධි තොරතුරු සන්නිවේදනය කිරීමයි. බුද්ධි ආයතන පිහිටුවා ඇත්තේ අනතුරු ඇඟවීම් ලබාදීම සඳහාය. නීතිය බලාත්මක කිරීමේ බලය ඔවුන් සතු නොවේ. රාජ්‍ය බුද්ධි සේවයට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, මාර්ග බාධක පිහිටුවීම, අපරාධ විමර්ශන පැවැත්වීම, සෝදිසි වරෙන්තු ක්‍රියාත්මක කිරීම හෝ පොලිස් මෙහෙයුම් මෙහෙයවීම සඳහා නීතියෙන් පවරා ඇති බලයක් නැත. එවැනි බලතල අදාළ නීතිමය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන නීතිය බලාත්මක කිරීමේ ආයතන සතුවේ.
බුද්ධි තොරතුරු වගකිවයුතු පාර්ශ්වයන් වෙත ලබාදී තිබුණද, ඊට අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග එම පාර්ශ්වයන් නොගන්නේ නම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් තබා වෙනත් කිසිදු අනතුරක් වළක්වාගත නොහැකිය. තම අසමත්භාවය වසාගැනීම සඳහා වෙනත් පාර්ශ්වයකට චෝදනා කිරීමෙන් ස්වකීය වගකීමෙන් නිදහස් විය නොහැක. ඒ හා සමානව, ක්‍රියාන්විත වගකීම් දරන ආයතන වෙත බුද්ධි තොරතුරු නියමිත වේලාවට නොලැබෙන්නේ නම්, ඔවුන්ටද තම නීතිමය වගකීම් ඉටුකළ නොහැකිය. එබැවින් සමස්ත ජාතික ආරක්ෂක පද්ධතියේ සාර්ථකත්වය රඳා පවතින්නේ සෑම ආයතනයක්ම නීතියෙන් නිශ්චිතව පවරා ඇති තමන්ගේම කාර්යභාරය නිසි ලෙස ඉටුකිරීම මතය.
මෙම අධිකරණ තීන්දුව මගින් තහවුරු කරන්නේද එකී මූලධර්මයයි. එය බුද්ධි තොරතුරුවල වැදගත්කම සහ සැබෑ වටිනාකම හඳුනාගෙන ඇත. ප්‍රහාරයට පෙර ලබාදී තිබූ බුද්ධි තොරතුරු එකම මට්ටමක ස්ථාවරව නොපැවති අතර, සති දෙකකට ආසන්න කාලයක් තුළ ඒවා ක්‍රමයෙන් වඩාත් සවිස්තරාත්මක ක්‍රියාන්විත තක්සේරු බවට වර්ධනය වී ඇති ආකාරය හඳුනාගෙන තිබේ. තර්ජනය පිළිබඳ චිත්‍රය වඩාත් පැහැදිලි වන තරමටම, එම බුද්ධි තොරතුරුද යාවත්කාලීන කෙරෙමින් ස්ථාපිත නිල සන්නිවේදන දාමය ඔස්සේ අදාළ බලධාරීන් වෙත සම්ප්‍රේෂණය කර ඇත. එබැවින් අධිකරණයේ විශ්ලේෂණය යොමුවූයේ බුද්ධි තොරතුරු පැවතියේද යන ප්‍රශ්නය වෙත නොව, ඒවා ලැබීමෙන් අනතුරුව අදාළ ආයතනවලින් අපේක්ෂා කළ ආයතනික ප්‍රතිචාරය කෙරෙහිය.
මෙය මෙම තීන්දුවේ වඩාත්ම වැදගත් ජාතික දායකත්වය විය හැකිය. වසර ගණනාවක් පුරා මහජන සංවාදය බොහෝවිට කේන්ද්‍රගත වී තිබුණේ බුද්ධි තොරතුරු සැබවින්ම පැවතියේද යන ප්‍රශ්නය මතය. එහෙත්, අධිකරණයේ තර්කානුකූල විග්‍රහය පෙන්නුම් කරන්නේ එය තවදුරටත් නීතිමය වශයෙන් තීරණාත්මක ප්‍රශ්නය නොවන බවයි. ඊට වඩා මූලික ප්‍රශ්නය වන්නේ, බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු විධායක වගකීම් පවරා තිබූ බලධාරීන් විසින් ඒ අනුව කාලෝචිත ක්‍රියාන්විත පියවර ගත්තේ ද යන්නයි. මෙම වෙනස නීතිමය වගවීම සම්බන්ධයෙන් පමණක් නොව, මහජන සංවාදයේ විශ්වසනීයත්වය සහ අඛණ්ඩතාව සම්බන්ධයෙන්ද ගැඹුරු බලපෑමක් ඇති කරයි.
කෙසේ වෙතත් මෙම අධිකරණ තීන්දුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මතුව ඇති සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයන්නේ නැත. එසේම, 2019 වසරෙන් පසුව ඉදිරිපත් වූ සෑම චෝදනාවක්ම අවසාන වශයෙන් නිරාකරණය කිරීමටද එය අදහස් කරන්නේ නැත. අධිකරණය යනු දේශපාලන විමර්ශන කොමිෂන් සභා නොවන අතර, මහජන කතාන්දර හෝ ජනප්‍රිය මතවාද සනාථ කිරීම සඳහා වූ සංසදද නොවේ. ඒවායේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කාර්යභාරය වන්නේ අධිකරණමය විමර්ශනයට ලක්වූ, පිළිගත හැකි සාක්ෂි මත පදනම්ව කරුණු තීරණය කිරීමයි. අධිකරණ තීරණ මහජන අනුමානවලින් වෙන්කර හඳුනාගත හැක්කේ එම විනයගරුක සාක්ෂිමය ප්‍රවේශය හේතුවෙනි. චෝදනාවලට දේශපාලන සංවාදයට බලපෑම් කළ හැකි වුවද, ඒවා කිසිවිටෙකත් සාක්ෂි සඳහා ආදේශකයක් නොවේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින විවිධ හා තරගකාරී ආඛ්‍යානවලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවට මෙම කරුණ වැදගත් සිහිගැන්වීමක් විය යුත්තේ මෙන්න මේ නිසාය. මන්ද මෙවැනි නීත්‍යානුකූල හා සාධාරණ ප්‍රශ්න ඉදිරියටත් මතු වනු ඇත. එහෙත් ආයතනික වගවීම යන්න උපකල්පන, අනුමාන හෝ තම පෞද්ගලික අභිලාෂයන් පිනවීම සඳහා එකම කතාව පුනරුච්චාරණය කිරීම මත තීරණය කළ නොහැක. එය සැමවිටම නීතියෙන් නියම කර ඇති වගකීම් සහ අධිකරණය ඉදිරියේ විභාගයට ලක්වූ සාක්ෂි මත පදනම් විය යුතුය.
අවසාන වශයෙන්, මෙම අධිකරණ තීන්දුව මහජන සංවාදය තුළ ක්‍රමයෙන් අපැහැදිලි වී තිබූ වැදගත් නීතිමය මූලධර්මයක් යළි තහවුරු කර ඇත. ජාතික ආරක්ෂාව යනු එක් ආයතනයක පමණක් වගකීමක් නොවේ. එය ආයතන කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියාකරන සම්බන්ධීකෘත නීතිමය ව්‍යුහයකි. එහිදී බුද්ධි සේවා තොරතුරු රැස්කර ඒවා සන්නිවේදනය කරන අතර, නීතිය බලාත්මක කිරීමේ ආයතන විමර්ශන සිදුකරමින් නීතියෙන් පවරා ඇති බලහත්කාරී බලතල ක්‍රියාත්මක කරයි. එමෙන්ම, ක්‍රියාන්විත ප්‍රතිචාර මෙහෙයවීම හා සම්බන්ධීකරණය කිරීමේ වගකීම විධායක බලධාරීන් සතුවේ. එක් ආයතනයක් තම නීතියෙන් නියම කර ඇති වගකීම නිසි ලෙස ඉටුකළ විට, ක්‍රියාමාර්ග ගැනීමේ බලය නීතියෙන් පවරා ඇති අනෙකුත් බලධාරීන් වෙත වගකීම අනිවාර්යයෙන්ම මාරු වේ.
දශක තුනකට ආසන්න සිවිල් යුද්ධය පුරා මෙන්ම, එය අවසන් වූ පසු වසරවලදී සිදුවූ තවත් බොහෝ ඛේදවාචකයන් සේම, පාස්කු ඉරුදින ප්‍රහාරයද මහා ඛේදවාචකයකි. කිසිදු අධිකරණ තීන්දුවකට එම ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විඳි දුක් වේදනාවන් අඩුකළ නොහැක. කෙසේ වෙතත්, යුක්තිය යනු වගවීම මෙන්ම නිරවද්‍යතාවද එකසේ ඉල්ලා සිටින මූලධර්මයකි. එබැවින් ආයතන ඇගයීමට ලක්කළ යුත්තේ වසර ගණනාවක් පුරා පැවති මහජන මතභේද හා මතවාද මගින් ගොඩනැගුණු උපකල්පන මත නොව, නීතියෙන් ඒවාට පවරා ඇති වගකීම් සහ අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කර විමර්ශනයට ලක්වූ සාක්ෂි මත පදනම්වය.
එම අර්ථයෙන් බලන විට, පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ තීන්දුව සැබවින්ම නව අවබෝධයක් ලබාදෙන සුවිශේෂී අවස්ථාවකි. නීතියේ ආධිපත්‍යය රැකගැනීම සඳහා බුද්ධි තොරතුරු සහ නීතිය බලාත්මක කිරීම අතරද, බුද්ධි තොරතුරු සන්නිවේදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම අතරද, සියල්ලටම වඩා සාක්ෂි සහ අනුමාන අතරද පැහැදිලි මෙන්ම ප්‍රවේශම්සහගත වෙනසක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව එය ජාතියට යළි සිහිපත් කරදී ඇත.
ලක්ෂ්මන් අරවින්ද්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd