
සියවස් ගණනාවක් තිස්සේ රැකගෙන ආ බෞද්ධ උරුමය ලොව පුරා ප්‍රචලිත කිරීමේ කාර්යභාරය සිය උරුමය කරගත් කොළඹ ගංගාරාම විහාරය හා බැඳුණු, පුරාවෘත්තයක් බඳු යතිවරයාණන් වහන්සේ නමක ලෙස ගංගාරාමයේ විහාරාධිපතිව සිට අපවත් වී වදාළ “පොඩි හාමුදුරුවෝ” නමින් ප්‍රකට ගල්බොඩ ශ්‍රී ඥානිස්සර නාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැක. උන්වහන්සේ බෞද්ධ අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ පුනරුදයක් ඇති කිරීමට සිදු කළ සමාජීය මෙහෙවර අතිමහත්ය. අගොස්තු 02 වැනිදාට යෙදුණු උන්වහන්සේගේ 2 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් මේ ලිපිය සකස් කෙරුණි.
‘පොඩි හාමුදුරුවන්ගේ‘ මෙම සුවිශේෂී සමාජ සේවාව උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු මැකී යාමට නොදී තවත් වර්ධනීය ලෙස පවත්වාගෙන යාම පිණිස වත්මන් ගංගාරාම විහාරාධිපති, ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් විසින් ‘නැණ ඉසුර’ නමින් සුවිශේෂී ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මේ ඒ පිළිබඳව ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් සමග කළ සංවාදයකි.
ස්වාමින් වහන්ස, ගංගාරාමය හා බැඳුණු පුරාවෘත්තයක් බඳු ‘පොඩි හාමුදුරුවෝ’ ගැන මුලින්ම මතකය අවදි කළොත්?
ගංගාරාම විහාරස්ථානය කියන්නේ මේ රටේ යුග පුරුෂයෙකු ලෙස පහළ වූ, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ, ආනන්ද, නාලන්දා, ධර්මාශෝක වැනි බෞද්ධ පාසල් බිහි කිරීමට සහ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට දායක වූ, භාෂා සාහිත්‍යයට අමිල සේවයක් කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරට අයත් විහාරස්ථානයටයි.
උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන දෙවුන්දර ශ්‍රී ජිනරතන නායක හාමුදුරුවෝ, හික්කඩුවේ නායක හාමුදුරුවන් වහන්සේගේ අවසරය පරිදි කුඩා අසපුවක් ලෙස තිබූ මේ විහාරස්ථානයේ වැඩකටයුතු ආරම්භ කරනවා. හික්කඩුවේ නායක හාමුදුරුවෝ ගෙන ආ ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට ජිනරතන නායක හාමුදුරුවෝ සමත් වෙනවා. ඒ, උන්වහන්සේ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ පුස්කොළ පොත්වල රචනා කරමින් සහ පිටපත් කරමින් අපේ භාෂා සාහිත්‍යයට කරන ලද සේවාවත් සමගයි. ඒ නිසාම උන්වහන්සේට මුණගැසෙන ස්කොට්ලන්තයේ සිට පැමිණි ජේම්ස් පොළොක් නමැති සුදු ජාතික මහතා මේ දුෂ්කර කාර්යය දැක උන්වහන්සේට මුද්‍රණ යන්ත්‍රයක් පිරිනමනවා. ඒක අදටත් ‘ජිනාලංකාර මුද්‍රණාලය’ ලෙස විහාරස්ථානයේ කෞතුක භාණ්ඩ අතර තිබෙනවා. 1885 සිට ජාතක පොතේ සිට රසවාහිනිය, පාලි නාමපද වරනැගීම ආදී විවිධ ග්‍රන්ථ මේ මුද්‍රණාලයෙන් එළිදැක්වුණා.
ඉන් අනතුරුව භාෂා සාහිත්‍යය තවදුරටත් ශක්තිමත් කිරීමට පොඩි හාමුදුරුවන් වහන්සේ’ ලෙස කවුරුත් හඳුන්වන, ගංගාරාම විහාරාධිපතිව සිට අපවත් වී වදාළ, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඥානිස්සර නායක සාමීන්ද්‍රයන් වහන්සේ පෙරමුණ ගන්නවා. උන්වහන්සේ එතෙක් පැවැති පුස්කොළ පොත් ආරක්ෂා කරන අතරතුර තවත් විශාල සංඛ්‍යාවක් ඊට එකතු කර පැරණි පොතපත ගෙනැවිත් නැවත මුද්‍රණය කළා. විශේෂයෙන්ම ප්‍රාචීන විභාගවලට පෙනී සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට තිබෙන පොත්පත්වල දුලබතාව දැක, ඒ පොත් ගෙනැවිත් මුද්‍රණය කර උන්වහන්සේලාට ඉගෙනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළා. ප්‍රාචීන විභාග හදාරන සියලු ස්වාමීන් වහන්සේලාට ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන ශිෂ්‍යත්ව ආදිය පිරිනමමින් එම කාර්යය ඉදිරියට ගෙන ආවා.

නැණ ඉසුර ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිනමන් ලයිෆ් හි ඇරඹි අවස්ථාවේ ඡායාරූපයක්
ඒ විතරක් නොවෙයි, විශ්වවිද්‍යාල මහාචාර්ය, ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් ගංගාරාම විහාරස්ථානයට කැඳවා ත්‍රිපිටකය විවිධ මාතෘකා ඔස්සේ වෙන් කර මුද්‍රණය කොට මහජනතාව වෙත ලබා දීමට කටයුතු කළා. එහි මූලික අදියර ලෙස සමස්ත ත්‍රිපිටකය තුළ දානය පිළිබඳව සඳහන් වන සියලු කරුණු කාරණා එකතු කර ‘දානය’ 1 සහ 2 ලෙස පොත් දෙකක් මුද්‍රණය කළා. ඉතිරි ඒවා ශීලය, භාවනාව, බුදුරජාණන් වහන්සේගේ දේශනා, පරිසරය, සමාජ සහජීවනය, ත්‍රිලක්ෂණය, කර්මය ආදී විවිධ මාතෘකා ඔස්සේ ධර්ම සංග්‍රහ ලෙස නිර්මාණය කළා.
උන්වහන්සේ පැවිදි වූ දිනයේ තමයි ශ්‍රී ඥානිස්සර පිරිවෙන ආරම්භ වන්නේ. මේ පිරිවෙන අස්ගිරි, මල්වතු උභය පාර්ශ්වයේ සිට රාමඤ්ඤ, අමරපුර නිකායන්හි සංඝ පීතෘවරයාණන් වහන්සේලා ඉගෙනගත් පිරිවෙනක්. ලෝකයේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩිම භික්ෂූන් වහන්සේලා ප්‍රමාණයක් විදේශගත වී තිබෙන්නේ මේ පිරිවෙන හරහායි. මේ රටේ සම්භාවනීය ඓතිහාසික විහාරස්ථානවල අධිපතිත්වය හොබවන්නේ මේ පිරිවෙනේ ඉගෙනගත් භික්ෂූන් වහන්සේලායි. ඒ නිසා උන්වහන්සේ මේ පිරිවෙන මූලික කරගෙන පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා. ලංකාවේ ඒ කාලයේ හැටියට අනුමත පිරිවෙන් 590ක වැසිකිළි කැසිකිළි සාදා, පිරිවෙන්වල අධ්‍යාපනය ලබන කුඩා සාමණේරයන් වහන්සේලාට ශිෂ්‍යත්ව ආදිය පිරිනමා උන්වහන්සේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමටත්, සංඝයා වහන්සේලාගේ පහසුව ඇති කිරීමටත් ලොකු කාර්යභාරයක් ඉටු කළා.
ඒ වගේම පාසල් හැර ගිය දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවා, ඒ දරුවන්ට වෘත්තීය පුහුණුව නොමිලේ ලබා දෙන ගමන්ම බස් රථයෙන් හෝ දුම්රියෙන් පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසා දී, උදෑසන ආහාර වේලත් ලබා දුන්නා. කොළඹට පැමිණීමට නොහැකි තරම් දුර බැහැර සිටි දරුවන් 80ක් පමණ සෑම වසරකම නේවාසිකව තබාගෙන ආහාර පාන ලබා දෙමින් නඩත්තු කර ඔවුන්ගේ අනාගතය සකස් කර දුන්නා.
ඉතින් පොඩි හාමුදුරුවෝ කියන්නේ ආගමික, ශාසනික කටයුතුවලින් ඔබ්බට ගොස් සමාජීය කටයුතුවලට ලොකු දායකත්වයක් ලබා දුන් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේගෙන් ආධාර උපකාර ලබාගෙන අනාගතය සාර්ථක කරගත්, ලෝකය දිනූ ගිහි පැවිදි සංඛ්‍යාව මෙපමණයි කියා කියන්න පුළුවන්කමක් නෑ.
මොකක් ද මේ ශිෂ්‍යත්ව අරමුදල? එය ඇරඹුණේ කොහොම ද?
‘පොඩි හාමුදුරුවෝ’ ලෙස මුළු රටම හඳුනන, ගංගාරාම විහාරාධිපතිව සිට අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඥානිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව, 2024 සැප්තැම්බර් 19 වැනිදා සිංගප්පූරුවේ ගෝල්ඩන් පැගෝඩා බෞද්ධ විහාරස්ථානයේ සහ බුද්ධ ටූත් රිලික් ටෙම්පල්හි අධිපතිත්වය හොබවන මාස්ටර් ෂි ෆා චාඕ නායක මාහිමියන් සිංගප්පූරු ඩොලර් ලක්ෂ තුනක් පිරිනමමින් පොඩි හාමුදුරුවන් වෙනුවෙන් චිරස්ථායී යමක් කරන ලෙස ඉල්ලා සිටියා. උන්වහන්සේ අපේ පොඩි හාමුදුරුවන්ගේ සහෝදරයකු මෙන් සිටි නායක හිමි නමක්.
ඇත්ත වශයෙන්ම පොඩි හාමුදුරුවෝ සිංගප්පූරුවේ ප්‍රතිකාර ලැබූ කාලසීමාව තුළ උන්වහන්සේ ඒ කටයුතුවලට ප්‍රමුඛතාවක් දැක්වූ නිසා, තවදුරටත් උන්වහන්සේගෙන් වියදම් කරවා ගැනීමේ අවශ්‍යතාවක් අපට නොතිබුණත්, මේ කටයුත්තට උන්වහන්සේ මූලිකත්වය ගැනීමත්, අපේ දායකයන් ‘පොඩි හාමුදුරුවන්ගේ’ අවසන් කටයුතු වෙනුවෙන් එකතු කර දුන් මුදලත් එකතු කරගෙන, පොඩි හාමුදුරුවන් වඩාත්ම රුචිකත්වයක් දැක්වූ පාසල් දරුවන්ට සහ කුඩා සාමණේරයන් වහන්සේලාට ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දෙන ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කළ යුතුයි කියා අපි කල්පනා කළා.
ඒ අනුව පසුගිය වසරේ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලක් ස්ථාපිත කළා. මෙය නම් කර තිබෙන්නේ “පූජ්‍යපාද ගල්බොඩ සිරි ඥානිස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාරකාර අරමුදල” නමිනුයි. අපි සිනමන් ලයිෆ් හෝටලයේදී මේ ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් පැවැත්වූ කථිකාවට කොළඹ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ව්‍යාපාරිකයන් භේදයකින් තොරව පැමිණ දායක වුණා. ඒ සියලු දෙනාටම අපගේ පුණ්‍යානුමෝදනාව සහ කෘතවේදීත්වය පුද කළ යුතුයි. මේ සියලු පාර්ශ්ව නිසයි අපට මෙලෙස දරුවන්ට යමක් කිරීමට හැකි වුණේ.
ඒ ශිෂ්‍යත්ව අරමුදල හරහා අපේක්ෂිත අරමුණු දෙස බලන විට, එය විශාල පරමාර්ථයක් පෙරදැරි කරගෙන ආරම්භ කරන ලද සත්ක්‍රියාවක් ලෙස සඳහන් කළ යුතුයි. මන්ද අපේ රටේ දුෂ්කර ප්‍රදේශවල බොහෝ පාසල් වැසී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම ගොඩනැගිලි අබලන් වෙලා, පන්ති කාමර තෙමෙනවා, දරුවන්ට නිසි වැසිකිළි කැසිකිළි පහසුකම් නෑ. ඉතින් මේ අරමුදල හරහා තෝරාගත් එවැනි දුෂ්කර ප්‍රදේශවල පාසල් සංවර්ධනයටත් අපි ඉඩකඩ හදාගත්තා.
විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් ලබාගන්නා ලකුණු ඔවුන්ගේ අනාගතයට බෙහෙවින් බලපානවා. බොහෝ විට විභාගය හොඳින් සමත් වුවත් ආර්ථික අපහසුතා නිසා ගමෙන් නගරයට යාමට නොහැකි දරුවන්ට සවියක් වීමට මේ ගල්බොඩ ඥානිස්සර (පොඩි හාමුදුරුවෝ) නමින් ආරම්භ කළනැණ ඉසුර ශිෂ්‍යත්ව වැඩසටහන’ දායක වෙනවා.

‘නැණ ඉසුර’ ශිෂ්‍යත්ව වැඩසටනෙහි නිර්මාතෘ, ගංගාරාම, විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් වන එවැනි දරුවන්ට අපි ශිෂ්‍යත්ව ආධාරයක් ලෙස මාසිකව මුදලක් පිරිනමන අතර සාමාන්‍ය පෙළට එනවිට එම මුදල වැඩි කිරීමටත්, උසස් පෙළට එනවිට තවත් වැඩි කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. දෙමාපියන්ට කරදරයකින් තොරව දරුවකුට විශ්වවිද්‍යාලයකට යාමට සහනයක් සැලසීමට මේ ශිෂ්‍යත්ව වැඩසටහන සමත් වී තිබෙනවා.
විශ්වවිද්‍යාලයට යන දරුවන්ට ලැබෙන මහපොළ ශිෂ්‍යත්වය පිහිටුවීමටත් පොඩි හාමුදුරුවෝ ලොකු දායකත්වයක් ලබා දුන්නා. දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතා දේශපාලනයට පැමිණීමට පෙර සිටම ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සිටියා. මාසිකව පිරිනමන සලාක දාන ලැයිස්තුවේත් එතුමාගේ නම අදටත් තිබෙනවා. එතුමා මහපොළ පිළිබඳ අදහස පොඩි හාමුදුරුවන් සමග සාකච්ඡා කරලයි එය ක්‍රියාත්මක කළේ. විශ්වවිද්‍යාලයට යන දරුවකුට අද මහපොළ ලොකු හයියක්. ඒ සමගම විශ්වවිද්‍යාලයට යන තෙක් ‘නැණ ඉසුර ශිෂ්‍යත්වය’ ලබා දීමට අවස්ථාව සැලසීමත් පොඩි හාමුදුරුවන්ගේ ඒ දැක්මට පූර්විකාවක් වේවි.
පාසල් දරුවන්ට පරිබාහිරව, පාසල් හැර ගිය දරුවන් උදෙසා වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා අවසන් කරන අයට, වෙනත් තැනක රැකියාවකට නොගොස් තමන්ගේ නිවසේ සිට ස්වයං රැකියාවක් කරන්නේ නම් ඊට දායක වීමටත් මේ ශිෂ්‍යත්ව අරමුදලට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස මෝටර් මැකෑනික් පාඨමාලාව කළ දරුවකුට නිවසේ ගරාජයක් දමාගැනීමට අවශ්‍ය උපකරණ ලබා දිය හැකියි. වෙල්ඩින් පාඨමාලාව කළ දරුවකුට වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමරයේ සිට අනෙකුත් ආම්පන්න ලබා දිය හැකියි. සැලූන් එකක් දමාගැනීමට අවශ්‍ය අයටත් එසේමයි. කුඩා ව්‍යවසායකයකු බිහි කිරීමට අතදීමට මේ ශිෂ්‍යත්ව අරමුදල තුළ ඉඩකඩ තිබෙනවා.
ඒ වගේම නව නිර්මාණකරුවන් උදෙසා අතදීමටත් අපි සූදානම්. අපේ දායක සභාවේ සිටි රේ විජයවර්ධන මහතා තමයි අත් ට්‍රැක්ටරය හැදුවේ. නමුත් එතුමාට ඒක මේ රට තුළ ජනගත කරගැනීමට අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් දැන් සිටින නව නිර්මාණකරුවන්ගේ සිහිනය මහපොළොවේ යථාර්ථයක් කිරීමට අපි සූදානමින් සිටිනවා.
දැන් පොල් ගස්වල නැග ඵලදාව නෙලීමට පිරිස් නැති ගැටලුවක් තිබෙනවා. රබර් කිරි කැපීමට කෙනෙකු සොයාගැනීමට බෑ. මේ ගැටලුවලට නව තාක්ෂණය යොදාගෙන යම් යම් රටවල් විසඳුම් සොයාගෙන තිබෙනවා. පොල්ගසට නගින යන්ත්‍රයක් චෙන්නායිහි නිර්මාණකරුවෙකු නිර්මාණය කර තිබෙනවා. තම දක්ෂතාව සහ කුසලතාව යොදාගනිමින් ඒවා තවත් වැඩිදියුණු කර රටේ දියුණුව වෙනුවෙන් යමක් හදන්න පුළුවන් නම් ඊට අතදීමට අපි සූදානම්.
ඒ වගේම කෘෂිකර්මාන්තයට දැඩි ලෙස හානි කරන මොනරා, දඬුලේනා, ඉත්තෑවා, රිලවා, අලියා වැනි සතුන්ට හානියක් නොකර, සංඛ්‍යාත යොදාගෙන ඔවුන් වගා භූමියෙන් පලවා හැරිය හැකි යම් යන්ත්‍රයක් නිර්මාණය කළ හැකි නම්, ප්‍රායෝගිකව එහි ප්‍රතිඵල අප දකිනවා නම් එය ජනගත කිරීමට උපකාර කිරීමේ අවස්ථාව මෙම ශිෂ්‍යත්ව ක්‍රමවේදය තුළ තිබෙනවා.
වැදගත්ම කාරණය නම්, ප්‍රාචීන විභාගයට යොමු වූ කුඩා සාමණේරයන් වහන්සේලාට ධර්ම විනය මෙන්ම ඉංග්‍රීසි සහ පරිගණක දැනුම ලබා ගැනීමට ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාව ද අප සතුව පැවතීමයි.
ගායන, වාදන, නර්තන, ක්‍රීඩා ආදී විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා පෙන්වන දරුවන් ගම්වල අප්‍රමාණව සිටිනවා. එවැනි දරුවන් නගරයට ගෙනැවිත් ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරදීමට මේ ශිෂ්‍යත්වය තුළින් හැකියාව තිබෙනවා. දැනටමත් අපි එවැනි දරුවන්ට උපකාර කර ජාතික තලයට ගෙනැවිත් තිබෙනවා.
අපි මේ ශිෂ්‍යත්ව ලබා දීමේදී දරුවන්ගේ ජාතිය හෝ ආගම කිසිසේත්ම තකන්නේ නෑ. මේ මව්බිමේ උපන්, දක්ෂතාව තිබෙන, පිළිසරණක් අවශ්‍ය ඕනෑම දරුවකුට උදව් කිරීමි පොඩි හාමුදුරුවන්’ තුළ තිබූ සුවිශේෂී ගුණයක්. ඒ නිසාම උන්වහන්සේගේ ගමන්මගේ දිගුවක් ලෙස ක්‍රියාත්මක වන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන තුළ ඕනෑම ජාතියක, ආගමක දක්ෂතා සහිත දරුවෙකුට උපකාර කිරීමට අපි සූදානම්. ඊට හොඳම උදාහරණය තමයි, මෙම වැඩසටහනේ පළමු ශිෂ්‍යත්වය අගමැතිනිය අතින් ලබා දුන්නේ පැරා ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබූ නවීඞ් නම් මුස්ලිම් දරුවකුට වීම. ඔහු වෙනුවෙන් රුපියල් ලක්ෂ 8ක ශිෂ්‍යත්ව මුදලක් අප ලබා දුන්නා. ඒ වගේම විදේශීය තරගවලට යාමට මුදල් ප්‍රශ්නයක් වූ දක්ෂ දරුවන්ට ද විදේශගත වී එම තරගවලට සහභාගි වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.මේ ශිෂ්‍යත්ව අරමුදල යනු බොහෝ පරමාර්ථ සාක්ෂාත් කරගැනීමේ අභිලාෂයෙන් ඇති කළ වැඩසටහනක්.
ලැබුණු ආධාර හරහා ඇරඹි මෙම ශිෂ්‍යත්ව අරමුදල් රැස්කිරීමේ ක්‍රමවේදය ඔබ වහන්සේට පැහැදිළි කළ හැකිද?
මෙය ශිෂ්‍යත්ව අරමුදලක් ලෙස තර කිරීම සඳහා දෙස් විදෙස් ජනතාවගේ දායකත්වය ලබාගැනීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් මේ වන විට සකසා තිබෙනවා. ඒ අනුව ශිෂ්‍යත්ව අරමුදල සඳහා වාර්ෂිකව දායක මුදලක් ලබාදීමේ අවස්ථාව සලසා තිබෙනවා.
උදාහරණයක් ලෙස, ඔබගේ උපන්දිනය අර්ථවත්ව සමරන ක්‍රමයක් අප හඳුන්වා දී තිබෙනවා. උපන්දිනය යෙදී ඇති දිනට රුපියල් 30,000ක දායකත්ව මුදලක් පිරිනැමීමට අවස්ථාව තිබෙනවා. එක් දරුවකු වෙනුවෙන් අවම වාර්ෂික ශිෂ්‍යත්ව දීමනාව වන්නේ රුපියල් 36,000ක්. මේ නිසා ඔබ රුපියල් 30,000ක වාර්ෂික දායක මුදලක් ලබාදුන්නොත්, ඉතිරි රුපියල් 6,000ක මුදල විහාරස්ථානය විසින් ඊට එකතු කර දරුවා වෙනුවෙන් ලබා දෙනවා.
එලෙස වාර්ෂික දායකත්ව සාමාජිකත්වය ගන්නා අයකුගේ උපන්දිනය දා අපගේ විහාරස්ථානය තුළ කේෂධාතූන් වහන්සේලා සහ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ගිලන්පස පූජාවක්, බුද්ධ පූජාවක් සූදානම් කර ඒ තැනැත්තාට ආශීර්වාද කිරීම සිදු කරනවා. ඔහුට තම ඥාතීන් සමග විහාරස්ථානයට පැමිණ ඊට සහභාගි විය හැකියි. එසේත් නැතිනම් සූම් (Zoom) ඔස්සේ ඒ පූජාව සමග සම්බන්ධ වීමටත් අවස්ථාව සලසා තිබෙනවා. මෙය ස්වාමීන් වහන්සේලා විසින් දායකත්වය වෙනුවෙන් සිදු කරන කෘතවේදී කාර්යයක්.
එපමණක් නොව, විවාහ සංවත්සර සැමරීමට මෙන්ම මියගිය ආදරණීයයන්ට පින් අනුමෝදන් කිරීමේ පින්කමක් ලෙස ද මෙම ශිෂ්‍යත්ව අරමුදලට දායක විය හැකියි.
ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට දායක වීම පිළිබඳ වැඩිවිස්තර 0112435169, 0112327084 හෝ 0776765084 (සුමිත් මැදවත්ත මහතා) ඇමතීමෙන් ලබාගත හැකියි.
මෙම භාරකාර අරමුදල සඳහා වසරකට මෙන්ම වසර ගණනාවකට අදාළව වුවද යමෙකුට දායක මුදල් පිරිනැමිය හැකියි. මෙය තඹ, රිදී, රත්රන් හා ප්ලැටිනම් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. මෙහි මූලික මුදල රුපියල් 30,000යි. තමන්ගේ ආර්ථික හැකියාව මත ඊට වැඩි මුදලක් වුවද පිරිනැමිය හැකියි.
උදාහරණයකට මෑතකදී මවක් කතා කරලා කිව්වා, “ස්වාමීන් වහන්ස, අපේ ඉඩම් කැබැල්ලක් කොළඹට තදාසන්න ප්‍රදේශයක තිබෙනවා. අපි එය පාවිච්චි කරන්නේ නෑ. අපේ දරුවනුත් ඉන්නේ පිටරට. ඒ නිසා එය මට මේ ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් පිරිනමන්න පුළුවන් ද?” කියා අසා සිටියා. එවිට මම කිව්වා එය මුදල් කර දෙනවා නම් හොඳයි කියලා. එවිට ඒ මව කිව්වා, “මට එය විකිණීමේ කටයුතු කිරීමට අපහසුයි. ඒ නිසා මම ඒ ඉඩම ඔබ වහන්සේලාගේ ශිෂ්‍යත්ව අරමුදලට බැර කරන්නම්. ඉන්පසුව එය මුදල් කර අරමුදලට එකතු කරගන්න. මේ ශිෂ්‍යත්ව අරමුදලෙන් රටේ දරුවෙක් ඉගෙනගෙන ගුණ යහපත්කමින් යුතුව රටට සේවයක් කරාවි. ඊට මට උදව්වක් වෙන්න ලැබෙනවා නම් මම මගේ නැතිවූ මහත්තයා වෙනුවෙන් කරන ලොකුම කාර්යය මේකයි” කියා.
මේ ආකාරයට ඕනෑම කෙනකුට විවිධ අයුරින් ශිෂ්‍යත්ව අරමුදලට දායක විය හැකියි. ශිෂ්‍යත්ව අරමුදලේ වැඩකටයුතු සඳහා ස්වේච්ඡාවෙන්ම බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. අපි වසරින් වසර ශිෂ්‍යත්ව සංඛ්‍යාව ක්‍රමවත්ව වැඩි කරගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ වන විට ශිෂ්‍යත්ව සඳහා දරුවන් 1,200කගේ ලැයිස්තුවක් තිබෙනවා.

භාරකාර අරමුදුලට සිංගප්පූරුවෙන් ප්‍රතිපාදන පිරිනැමූ අවස්ථාව (මාස්ටර් ෂ ෆා චාඕ නාහිමියෝද මෙහි සිටිති)
අපි මේ ශිෂ්‍යත්ව අරමුදල ඉතා භක්තියෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කරන්නක්. අපට පුළුවන් සෑම අවස්ථාවකම අපගේ ශ්‍රම දායකත්වයත් ඊට ලබා දෙනවා. ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය සඳහා ශිෂ්‍යත්ව අරමුදලෙන් කිසිදු මුදලක් ලබා ගන්නේ නෑ. විහාරස්ථානයෙන් වියදම් කරලයි උත්සව කටයුතු සිදු කරන්නේ. ඒ නිසා ඔබ ශිෂ්‍යත්ව අරමුදලට දෙන සෑම රුපියලක්ම යොමු කරන්නේ දරුවන්ගේ ශිෂ්‍යත්ව සඳහාම පමණයි.
අපගේ මෙම කටයුතු ලංකාවේ ප්‍රමුඛ විගණන ආයතනයක් වන අමරසේකර ඇන්ඩ් කම්පැනි’ මගින් වාර්ෂිකව විගණනය කරනු ලබනවා. එසේම අපගේ භාරකාර මණ්ඩලයේ සිටින්නේ ගංගාරාමයේ හාමුදුරුවරුන්, දායක සභාවේ සිටින විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, කළුතර බෝධියේ සභාපති සහ මියුසියස් විද්‍යාලයේ සභාපති අජිත් ද සොයිසා, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වැනි පිරිසකුයි.
ගල්බොඩ ශ්‍රී ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේ අපවත් වී වසර දෙකක් ගෙවුණු පසුගිය 2 වැනිදා ශිෂ්‍යත්ව ලාභී දරුවන් 460ක් කොළඹට ගෙන ආවා. බදුල්ල, රිදීමාලියද්ද, මැදගම, බඩල්කුඹුර, මොනරාගල, හම්බෙගමුව, කතරගම, තණමල්විල, සූරියවැව, වීරකැටිය, අකුරැස්ස, වඳුරඹ, කළුතර, කුරුණෑගල, අනුරාධපුරය සහ රත්නපුර යන ප්‍රදේශවල දරුවන් තමයි පැමිණියේ. අපි බස් රථ යවා ඒ දරුවන් කොළඹට කැඳවා, උදෑසන ආහාර වේලක් ලබා දී කොළඹ නගරය පෙන්වූවා. අනතුරුව ශිෂ්‍යත්වය යොදාගෙන තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව, තමන්ගේ ජීවිතය ජයගත් මහාචාර්යවරයකු ලවා දේශනයක් පැවැත්වූවා. පසුව දරුවන්ට ආහාර පාන ලබා දී, සවස අරලියගහ මන්දිරයේ උත්සව ශාලාවේදී අග්‍රාමාත්‍යතුමිය අතින් ශිෂ්‍යත්ව පිරිනමා, පාසල් උපකරණ සහිත බෑගයක් ද ලබා දුන්නා.
ලබන වසරේ සිට මේ උත්සවය ඒ ඒ පළාත් තුළ පවත්වා, එම ප්‍රදේශයේ උපකාරයක් ලැබිය යුතුම පාසලක් තෝරාගෙන ඊට අවශ්‍ය ගොඩනැගිල්ලක් හෝ වෙනත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මන්ද අප කරන දේ අන් අය දැනගැනීම මෙවැනි සත්කාරයන් වඩාත් පුළුල්ව හා ක්‍රමවත්ව කරගැනීමට ඉවහල් වන නිසයි.
පොඩි හාමුදුරුවන් වැනි උතුමකුට කළ හැකි උපරිම ගෞරවය වන්නේ උන්වහන්සේ කරගෙන ආ කාර්යයන් ඉදිරියට කරගෙන යාමයි. අපි කළේ උන්වහන්සේ කළ ක්‍රියාවට තවත් කුඩා දිගුවක් එකතු කිරීම විතරයි.
මේ අවුරුද්දේ උදව් කළ පාසල මොකක් ද?
මේ අවුරුද්දේ අපි පාසල් දෙකක් සංවර්ධනය කරනවා. එකක් අලුත්වෙල ප්‍රාථමික විද්‍යාලය. අපි එම පාසලට අලුතින්ම ගොඩනැගිල්ලක් ඉදිකළා. අනෙක වැසී යාමේ තර්ජනයට ලක්ව තිබූ මාතර ප්‍රදේශයේ පාසලක්. එය දිස්ත්‍රික්කයේ තිබෙන හොඳම ආදර්ශ පාසලක් ලෙස සංවර්ධනය කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
ස්වාමින් වහන්ස, ශිෂ්‍යත්ව ලබාදීමට දරුවන් තෝරාගන්නා ක්‍රමවේදය කුමක් ද?
පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ මතයි අපි මේ තෝරාගැනීම සිදු කරන්නේ. ඒ ක්‍රමවේදය තුළින් වඩාත්ම සාර්ථක හා අත්‍යවශ්‍යම දරුවන් පිරිස තෝරා දීමට ඔවුන් කටයුතු කළා. ඒ ගැන ඔවුන්ටත් කෘතවේදීත්වය පිරිනමනවා. අපි මේ දරුවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරනවා. ඒ අනුව තමයි දරුවන්ට දිගටම ශිෂ්‍යත්වය ලබා දෙනවාද සහ ශිෂ්‍යත්ව මුදල වැඩි කර දෙනවා ද යන්න තීරණය කරන්නේ. එසේම එම දරුවන්ගේ බාහිර කුසලතා පිළිබඳවත් ඇගයීමක් කරනවා.
අලුතින් මේ සඳහා ඉල්ලුම් කළ හැකි ද?
ශිෂ්‍යත්වයක් හිමිවිය යුතු යැයි සිතෙන ඕනෑම කෙනකුට අයදුම් කළ හැකියි. නමුත් විදුහල්පතිවරයා ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මත තමයි ශිෂ්‍යත්ව ලබා දීමට සලකා බලන්නේ.
අයැදුම්පත් ‘නැණ ඉසුර ශිෂ්‍යත්ව අරමුදල’, ගංගාරාම මහා විහාරය, කොළඹ 02. යන ලිපිනයට යොමු කළ හැකියි.
නිරෝෂාන් ප්‍රේමරත්න

අලුත්වෙල ප්‍රාථමිකයේ ඉදිකළ ගොඩනැගිල්ල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd