- ආදායමට වඩා ඉඩම් සහ නිවාස මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම ඊට හේතු වෙලා
- නිවාස ඉදිකිරිම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලත් ඉහළ යාම ප්‍රධාන හේතුවක්
- නිවාස පිරිවැය එදිනෙදා වියදම් වෙත බරක් වන ප්‍රතිශතය සියයට 21.4 ක්
- කුලී වියදම් දැරිය හැකි සීමාව සියයට 26 ක් දක්වා ඉහළ ගිහින්
- ආර්ථික අර්බුදයෙන් පහළ වැටුණු නිවාස අගය වර්ධනය වීම යළි ඉහළ යෑමෙන් අසීරුතාව ඉහළ යාමේ අවදානමක්
භානුක අමරසිංහ
නිවාස මිල ගණන් සහ ආදායම් අතර අනුපාතය (home price to income ratio) අනුව ගත් විට නිවෙසක් ඉදිකිරීම සහ මිලදී ගැනීම සඳහා අසීරු ලොව රටවල් අතරින් දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම සංවිධානයේ UN Habitat මගින් පසුගියදා නිකුත් කළ නවතම UN Habitat World Cities Report 2026 තුළ මේ බව සඳහන්ව තිබේ. The Global Housing Crisis – Pathways to Action ලෙස මෙම වාර්තාව නම් කර තිබේ.
මෙම අනුපාතය මගින් සාමාන්‍ය පවුලකට සම්පූර්ණ වාර්ෂික ආදායමෙන් වෙනත් කිසිදු වියදමක් නොකර, සාමාන්‍ය මට්ටමේ නිවසක් මිලදී ගැනීමට කොපමණ වසර ගණනක් ගතවේද යන්න මින් පෙන්නුම් කරයි.
එයට අනුව මෙම නිවාස මිල - ආදායම් අනුපාතයේ ලෝක සාමාන්‍ය අගය 11.2 කි. එහි අඩු අගය මගින් නිවාස මිලදී ගැනීමට ඇති හැකියාවත්, ඉහළ අගය මගින් නිවාස මිලදී ගැනීමට ඇති අසීරුතාවත් පෙන්නුම් කරයි.
මෙම වාර්තාවට අනුව නිවසක් මිලදී ගැනීම සඳහා අසීරුම රට වන්නේ සිරියාවයි. එරට නිවාස මිල - ආදායම් අනුපාතය 86.7ක අගයක් ගෙන තිබේ. දෙවැනි තැන පසුවන ශ්‍රී ලංකාවේ එම අනුපාතය 40.8 කි. තෙවැනි තැන පසුවන චීනයේ එය 34.6 කි.
ශ්‍රී ලංකාව අතින් ගත්විට 2010 වසරේදී මෙම අනුපාතය 9.8 ක අගයක් ගෙන තිබේ. එහෙත් 2015 දී එය 14.3 ක්ද, 2020 දී එය 31.1ක් ලෙස සහ 2023 දී මෙලෙස 40.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, පසුගිය කාලසීමාවේදී ආදායමට වඩා වේගයෙන් ඉඩම් සහ නිවාස මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යෑම මෙන්ම නිවාස ඉදිකිරීම සඳහා යන වියදමද ශීඝ්‍රයෙන් ඉහළ යෑම මේ තත්වයට හේතුව වී තිබේ.
ආසියානු රටවල් දෙස බැලීමේදී භූතානය මෙම අනුපාතයේ අඩුම අගය වාර්තා කර තිබේ. එය 5.5 කි. එසේම මාලදිවයිනේ එය 7.2 ක්. ඉන්දියාවේ එය 9.2ක්, බංග්ලාදේශයේ එය 12.6 ක්, පාකිස්තානයේ එය 13.9ක්, ඇෆ්ගිස්තානයේ එය 14.1ක්, ඉරානයේ 25.1 ක් සහ නේපාලයේ එය 32.8 ක් ලෙස සටහන්ව තිබේ.
මෙම වාර්තාවට අනුව 2023 වසර වනවිට ශ්‍රී ලංකාවේ ඇති සමස්ත නිවාස ඒකක ගණන මිලියන 5.5 කි. එසේම 2010 දී මෙය මිලියන 4.5ක්, 2015 දී මිලියන 5.1ක් සහ 2020 දී මිලියන 5.4 ක් ලෙස සටහන්ව තිබී ඇත.
මේ අතර 2024 වසරේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව එය මිලියන 6 ක් (6,030,541ක්) ලෙස සටහන්ව තිබේ.
කෙසේ වෙතත් 2023 වසර වනවිට රට තුළ පැවති නිවාස හිඟය ඒකක මිලියන 1.1 ක් බව UN Habitat වාර්තාව පෙන්වා දෙයි. එය 2010 දී පැවැති ලක්ෂ 2ක අගයේ සිට කැපී පෙනෙන ඉහළ යාමකි.
මේ අතර නිවාස පිරිවැය අනෙකුත් එදිනෙදා වියදම් වෙත බරක් වන ප්‍රතිශතයද (Housing Cost Overburden) ශ්‍රී ලංකාව තුළ සියයට 21.4 ක අගයක් ගෙන තිබේ. මෙය 2010 දී 15.8 ක් ලෙස පැවතී තිබේ.
ලැබෙන ආදායමෙන් විශාල කොටසක් ගෙවල් කුලී හෝ නිවාස ණය වෙනුවෙන් වෙන් කිරීමට සිදු වීම නිසා මෙම තත්වය හට ගනී. මෙය සියයට 30ක ප්‍රතිශතයක් ඉක්මවීම යනු ඇතැම් රටවලදී ජීවන තත්වය පිරීහීමට ලක් වීමේ අවස්ථාවක් ලෙස හඳුනා ගැනේ.
මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කුලී වියදම් දැරිය හැකි සීමාව (Rental Affordability) 2010 පැවැති සියයට 20 සිට 2023 දී සියයට 26 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය සහ නිවාස ප්‍රතිපත්තිවලට අනුව ගෘහස්තයක මුළු ආදායමෙන් සියයට 30 කට වඩා අඩු ප්‍රමාණයක් ගෙවල් කුලිය සඳහා වැය වෙන්නේ නම් එය දැරිය හැකි මට්ටමේ කුලියක් ලෙස සැලකෙයි. සියයට 30 ත් 40ත් අතර අගයක් යනු අධිකර බරක් සහිත මට්ටමකි.
මේ අතර නිවාස අගය වර්ධනය වීම හෙවත් දේපළ අගය ඉහළ යාම ශ්‍රී ලංකාව තුළ 2010 පැවැති සියයට 5 ක සිට 2023 වන විට සියයට 3ක් දක්වා පහත වැටී තිබේ. එහිදී මූලිකවම 2009 යුද්ධය අවසන්වීමත් සමගින්ම දේපළ මිල වටිනාකම් ඉහළ යාම හේතු වූ අතර, 2022 පැවැති ආර්ථික අර්බුදයත් සමගින්ම උද්ධමනය පාලනය කිරිම සඳහා පොලී අනුපාත ඉහළ යෑම 2023 දී මෙම අගය පහත වැටීමට හේතුව වී තිබේ.
කෙසේ වෙතත් ආසන්න වසර දෙකේදී සිදු වූ ආර්ථික වර්ධනයත් සමගින් මෙම නිවාස සහ දේපළ අගය ඉහළ යෑම මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, ඉදිරියේදී එය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවත් දේපළ වෙළෙඳාම පිළිබඳ විශේෂඥයෝ පවසති. එහිදී නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් තවත් හේතුවකි.
“නිවසක අගය ශීඝ්‍රයෙන් වර්ධනය වන විට, ගෙවල් කුලී (Rent) සහ නිවාස මිල ගණන් ද ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ආදායම් ලබන්නන්ගේ කුලී වියදම් දැරීමේ හැකියාව අඩු වන අතර, ඔවුන් සතු නිවාස පිරිවැය බර ඉහළ මට්ටමට පත්වීමේ අවදානමක්ද පවතිනවා.“ ඔවුහු පවසති.
මෙම UN Habitat වාර්තාවට අනුව ලොව වඩාත් පහසුවෙන් මිලදී ගත හැකි නිවාස වෙළෙඳපොළක් පවතින්නේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය තුළයි.
එම රටවල නිවාස මිල ගණන් සහ ආදායම් අතර අනුපාත පිළිවෙළින් 3.0ක් ලෙස සටහන්ව තිබේ. අදාළ රටවල ක්‍රියාත්මක ඉහළ ආදායම් සහ නිවාස සඳහා වන සහනාධාර ක්‍රම මේ සඳහා හේතුව වී තිබේ. එසේම දකුණු අප්‍රිකාව තුළ මෙම අනුපාතය 3.4ක්, උතුරු කොරියාව තුළ 3.5ක් ඕමානය තුළ 3.6ක් නාවුරු තුළ 4.0ක්, එක්සත් ජනපදය තුළ 4.5ක් ලෙස සටහන්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd