• මුල් මාස අටේ තේ නිෂ්පාදනයත් කිලෝ මිලියන 172 ක් දක්වා සියයට 2.70කින් පහළට 
  • ගත වූ කාල සීමාවේදී හරිත තේ නිෂ්පාදනයේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය අගෝස්තු මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 18.99ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ කිලෝ මිලියන 19.72 හා සැසඳීමේදී කිලෝ මිලියන 0.72 ක එනම් සියයට 3.65 ක පසු බැසීමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker පවසයි. මෙහිදී අගෝස්තුවේදී පහත් වගා බිම් තේ සහ හරිත තේ හැර උස් වගා බිම් සහ මැදි වගා බිම් තේ නිෂ්පාදනය වසරින් වසර කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කර තිබේ. ඒ අනුව උස් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 3.61 ක සිට කිලෝ මිලියන 3.02ක් දක්වා සියයට 16.17 කින්ද, මැදි වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 3.16 ක සිට කිලෝ මිලියන 2.70ක් දක්වා සියයට 14.77 කින්ද පහත වැටී තිබේ. 

කෙසේ වෙතත් අගෝස්තුවේදී පහත් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 12.76ක සිට කිලෝ මිලියන 13.09 ක් දක්වා සියයට 2.59ක ඉහළ යාමක් සහ හරිත තේ නිෂ්පාදනය කිලෝ 184,319 ක සිට කිලෝ 184,634ක් දක්වා සියයට 0.17 ක ඉහළ යාමක්ද සටහන් කර තිබේ. 

මේ අතර 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලයේ සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 172.21 ක් ලෙස සටහන්ව තිබේ. එය 2025 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ කිලෝ මිලියන 176.98 හා සැසඳීමේදී කිලෝ මිලියන 4.77 ක එනම් සියයට 2.70 ක අඩුවීමක් බව Forbes & Walker පවසයි. 

මෙහිදී එම කාලසීමාවේදී උස් සහ හරිත තේ නිෂ්පාදනය හැර මැදි සහ පහත් වගා බිම් තේ නිෂ්පාදනයේ අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ඒ අතරින් මැදි වගා බිම් තේ නිෂ්පාදනය සියයට 6.21කින්ද, පහත් වගා බිම් තේ නිෂ්පාදනය සියයට 2.81 කින්ද පහත වැටී තිබේ. එහෙත් උස් වගා බිම් තේ නිෂ්පාදනය සියයට 0.14 ක සුළු වැඩිවීමක් සහ හරිත තේ නිෂ්පාදනයේ කැපී පෙනෙන සියයට 8.17ක වර්ධනයක් සටහන්ව තිබේ.