• වසර අවසාන උත්සව සමය නිසා නිෂ්පාදන අංශයේ ධනාත්මක ඉදිරි අපේක්ෂාවක් 
  • පුළුල් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා නිසා ඉදිරි දැක්මට අහිතකර අවදානමක්

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අගෝස්තු මාසයේදී දර්ශකාංක 53ක් ලෙස සටහන්ව තිබෙන බව මහ බැංකුව පවසයි. අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉදිරිපත් කරමින් මහ බැංකුව මෙම කරුණු සඳහන් කරයි. කෙසේ වෙතත් මෙය ජූලි මාසයේදී සටහන් වූ දර්ශකාංක 55 ට සාපේක්ෂව අඩු වේගයකින් ඉහළ යෑමක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර කාලීන අභියෝග හමුවේ යම් තරමකට මන්දගාමී වුවද, වසර අවසාන උත්සව සමය හේතුවෙන් නිෂ්පාදන අංශයේ ඉදිරි අපේක්ෂා තවදුරටත් ධනාත්මක මට්ටමක පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයත්, පෙර මාසයට සාපේක්ෂව වේගවත් වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශකාංක 65.6ක අගයක් වාර්තා කර තිබේ. ජූලි මාසයේදී එය දර්ශකාංක 61.4 ක් විය.

විශේෂයෙන්ම බොහෝ සේවා අංශවල දක්නට ලැබුණු වැඩිදියුණුවීම්වල සහාය ඇතිව, සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් වේගයෙන් වර්ධනයවීම මේ සඳහා හේතු වූ බව මහ බැංකුව පවසයි. එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය, තොග සහ සිල්ලර වෙළෙඳාම සහ වෘත්තීය සේවා යන උප අංශවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය මෙම ප්‍රසාරණය සඳහා දායක වී තිබේ. මූල්‍ය සහ අනෙකුත් පෞද්ගලික සේවා උප අංශ ද සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

මේ අතර අපේක්ෂිත ආර්ථික වැඩිදියුණුවීම් සහ සංචාරක පැමිණීම්වල අපේක්ෂිත වර්ධනයේ සහාය ඇතිව, ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා අගෝස්තුවේදී ධනාත්මකව පැවතුණු බවත් මහ බැංකුව සඳහන් කරයි. කෙසේ වෙතත් පුළුල් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉදිරි දැක්ම කෙරෙහි අහිතකර අවදානම් තවදුරටත් එල්ල කරන බවත් මහ බැංකුව පවසයි.