• කොළඹ වරාය නගරය එමීරයේ Umm Al Quwain නිදහස් වෙළෙඳ කලාප අධිකාරිය අතර එකඟතාවකට

CHEC Port City Colombo (Pvt) Ltd නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලු‍විහාරේ

කොළඹ වරාය නගරය මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 2 කට අධික ආයෝජන තහවුරු කරගෙන ඇති බවත්, ඉදිරි වසර කිහිපය තුළ එය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා යාමට ඉලක්ක කර තිබෙන බවත් CHEC Port City Colombo (Pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලු‍විහාරේ මහතා පැවසීය. 

පසුගියදා ඩුබායි හි Hilton Dubai Al Habtoor City හිදී පැවැත්වුණු ‘Sri Lanka Beyond Your Dreams’  තානාපති සහ ආයෝජන හමුවේදී ඒ මහතා මේ බව පවසා තිබේ. 

විශේෂයෙන්ම දකුණු ආසියාව තුළ තම ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට, ස්ථාපිත කිරීමට හෝ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර සඳහා කොළඹ වරාය නගරය තුළ ඇති අවස්ථාද ඔහු පෙන්වා දී තිබේ. 
දේපළ වෙළෙඳාම්, මූල්‍ය සේවා, කලාපීය මූලස්ථාන පිහිටුවීම සහ ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යාම යන ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන වේ. 
දෙවැනි වරටත් පැවැත් වුණු මෙම හමුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කර තිබේ. 

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව,  CHEC Port City Colombo (Pvt) Ltdසහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Umm Al Quwain නිදහස් වෙළෙඳ කලාප අධිකාරිය අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට අත්සන් තැබීමද සිදුව ඇත. 

කොළඹ වරාය නගරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිදහස් වෙළෙඳ කලාප අධිකාරියක් අතර එළැඹි පළමු නිල ගිවිසුම මෙයයි. 

Umm Al Quwain  නිදහස් වෙළෙඳ කලාප අධිකාරිය වෙනුවෙන් එහි ජෙනරාල් කළමනාකාර ජොන්සන් මොඩයිල් ජෝර්ජ් මහතා අත්සන් තැබූ අතර, කොළඹ වරාය නගරය වෙනුවෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රෙවාන් වික්‍රමසූරිය සහ CHEC Port City Colombo හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලු‍විහාරේ යන මහත්වරු අත්සන් තබා තිබේ.