- කොළඹ ආහාර මිල උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේදී වාර්ෂික පදනම මත සියයට 8.5 දක්වා ඉහළ ගිහින්
- මෙරටට සිදුවිය හැකි කෘෂිකාර්මික හෝ ආර්ථික පාඩුව කොපමණදැයි මේ අවස්ථාවේ නිශ්චිතව ගණනය කළ නොහැකියි
- එළැඹෙන දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ආහාර සුරක්ෂිතතාව සහ ආහාර මිල ගණන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කාලයක්
- සහල් ආනයනය මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තුවක්
විමුක්ති එස් රුද්‍රිගු
එල්නිනෝ තත්වය හේතුවෙන් මෙරට කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඉදිරියේදී ආහාර මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලංකාදීප එෆ්.ටී කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළේය.
කොළඹ ආහාර මිල උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේදී වාර්ෂික පදනම මත සියයට 8.5 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය සියයට 6.3ක්ව පැවති බව එම සංවිධානය පෙන්වා දුන්නේය.
එල්නිනෝ තත්වයේ බලපෑමෙන් මෙරටට සිදුවිය හැකි කෘෂිකාර්මික හෝ ආර්ථික පාඩුව කොපමණදැයි මේ අවස්ථාවේ නිශ්චිතව ගණනය කළ නොහැකි බවද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කළේය. ඉදිරි මහ කන්නයේ වර්ෂාපතනය, වගා කෙරෙන භූමි ප්‍රමාණය සහ ගොවීන්ට අවශ්‍ය සහාය වගා කාලය අවසන් වීමට පෙර ලැබෙන්නේද යන්න මත එම බලපෑමේ ප්‍රමාණය තීරණය වන බවද එම සංවිධානය පැවැසුවේය.
විශේෂයෙන් එළැඹෙන දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ආහාර සුරක්ෂිතතාව සහ ආහාර මිල ගණන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කාලයක් බව එම සංවිධානය පෙන්වා දුන්නේය. මහ කන්නයේ අස්වැන්න ලැබීමට පෙර එම කාලයේදී නිවෙස්වල ආහාර තොග පහළ මට්ටමක තිබීමට හැකිවීම එයට හේතුව බව එම සංවිධානය ප්‍රකාශ කළේය.
කෙටි නිෂ්පාදන චක්‍ර සහ අඩු තොග හේතුවෙන් එළවළු සහ අනෙකුත් කෙටි කාලීන බෝගවලට කාලගුණ බලපෑම් මුලින්ම දැනිය හැකි අතර, සහල් මිලට එහි බලපෑම පසුව පැමිණියද එය දිගු කාලයක් පැවතිය හැකි බවද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවැසුවේය. එමෙන්ම මහ කන්නයේ වගාව සාර්ථකව සිදුකර ප්‍රමාණවත් පොහොර සහ අනෙකුත් යෙදවුම් නියමිත වේලාවට ලබාදීම මෙරට ආහාර ආනයන අවශ්‍යතාව අඩු කර ගැනීමට ඇති ප්‍රධාන මාර්ගයක් බවද එම සංවිධානය ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විදේශ කෘෂිකර්ම සේවයට අනුව 2026/27 වගා වර්ෂයේ මෙරට සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.45ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන අතර සහල් ආනයනය මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවද එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කළේය.
කෙසේ වෙතත් එම නිෂ්පාදන ඇස්තමේන්තුව සාමාන්‍ය මහ කන්නයක් පවතිනු ඇතැයි යන උපකල්පනය මත පදනම් වන අතර, මෙරට වාර්ෂික වී නිෂ්පාදනයෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් මහ කන්නයෙන් ලැබෙන බවද එම සංවිධානය පෙන්වා දුන්නේය. ඒ අනුව මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ගොවීන්ට පොහොර සහ ගුණාත්මක බීජ ලබාදීම, ජල හිඟයට ගැළපෙන කෙටි කාලීන බෝග සහ ප්‍රභේද හඳුන්වාදීම, ජලය අඩුවෙන් අවශ්‍ය ප්‍රදේශවල බෝග මාරු කිරීම සහ ගංවතුර අවදානම් ප්‍රදේශවල ජලාපවහන පහසුකම් සූදානම් කිරීම කඩිනමින් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂි කර්ම සංවිධානය ප්‍රකාශ කළේය.
එමෙන්ම ජලාශවල ජල මට්ටම්, වර්ෂාපතන පුරෝකථන, වගා කළ භූමි ප්‍රමාණය, ගංවතුර බලපෑම් සහ පොහොර ඇතුළු කෘෂිකාර්මික යෙදවුම්වල මිල සතිපතා නිරීක්ෂණය කරමින් අවශ්‍ය අවස්ථාවලදී ගොවීන්ට සහන සහ නැවත වගා කිරීමේ පහසුකම් ලබාදීම වැදගත් බවද එම සංවිධානය පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd