
“සර්, මම පොඩි බිස්නස් එකක් කරගෙන යන්නේ. මගේ බිරිඳගේ සහ දුවගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරිනවා කියලා වට්ස්ඇප් මාර්ගයෙන් කෙනෙක් කතා කරලා ලක්ෂ විසිපහක මුදලක් ඉල්ලනවා. නැත්නම් ඒක කරනවා කියලා නිතර නිතර තර්ජනය කරනවා. මට එච්චර මුදලක් දෙන්න තරම් හැකියාවක් නැහැ...”
හලාවත, මාදම්පේ ප්‍රදේශයේ සුළු ව්‍යාපාරයක නිරත පුද්ගලයෙකු මාදම්පේ පොලිස් ස්ථානයට පැමිණ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා හමුවේ මෙසේ පැමිණිලි කළේය.
“බිරිඳගේ සහ අවුරුදු 15ක් වයස මගේ ගැහැණු දරුවාගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ෆෝන් එකට එවා තිබෙනවා. නිරුවත් ඡායාරූපත් තිබෙනවා කියලයි කතා කරපු කෙනා කිව්වේ. ලක්ෂ විසිපහක කප්පම් මුදල නොදුන්නොත් ඒ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ප්‍රසිද්ධ කරන බව පැවසුවා...” යැයි ව්‍යාපාරිකයා වැඩිදුරටත් කියා සිටියේය. පැමිණිලිකාර ව්‍යාපාරිකයා තම ජංගම දුරකථනයට ලැබී තිබූ බිරිඳගේ සහ බාලවයස්කාර දියණියගේ එම අඩ නිරුවත් ඡායාරූප ද පොලීසියට පෙන්වා ඇත.
එම ඡායාරූප පරීක්ෂා කළ පොලීසියට පෙනී ගොස් ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහ දියණියගේ ඡායාරූප සොයාගෙන, ඒවා කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂණය) ඔස්සේ අඩ නිරුවත් කර සකසා ඇති බවයි.
කප්පම් ඉල්ලූ පුද්ගලයා මුදල් තැන්පත් කිරීම සඳහා බැංකු ගිණුම් අංකයක් ද ලබා දී තිබූ අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලීසිය විමර්ශන ආරම්භ කළේය. එම බැංකු ගිණුම කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් එකක් බවත්, එහි අයිතිකරු කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම එම නිවස සොයාගොස් බැංකු ගිණුම් හිමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වූ ඔහු පොලීසිය හමුවේ මෙසේ පැවසීය.
“සර්, මම මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. අපේ පැත්තේ පන්ති කරන්න එන ගැහැණු ළමයෙක් මීට ටික දවසකට කලින් මගෙන් බැංකු ගිණුම් අංකය ඉල්ලා ගත්තා.”
තවත් කෙනෙකුට තමන්ගේ බැංකු ගිණුම් අංකය දුන්නේ මන්දැයි පොලීසිය ප්‍රශ්න කළ විට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි.
“මාදම්පේ පැත්තේ ඉඳලා ගැහැණු ළමයෙක් පන්ති කරන්න එනවා. ඒ ළමයාගේ පන්තියට එන ළමයෙකුට රුපියල් 5000ක පන්ති ගාස්තුවක් ගෙවන්න තියෙනවා කිව්වා. ඒ මුදල දැම්මහම අරන් දෙන්න කියලා, එයාට බැංකු ගිණුමක් නැති නිසා මගේ අංකය ඉල්ලගත්තේ.”
එම තොරතුර ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකාර තරුණිය සොයා ගියේය. ඇය 19 හැවිරිදි වියේ පසුවන්නියකි.
”මම කැම්පස් යන්න ඉන්නේ. කැම්පස් යනකම් ළමයින්ට මැක්ස් (ගණිතය) උගන්නනවා. මොරටුව ඉංජිනේරු පීඨයට තමයි මාව තේරිලා තියෙන්නේ...” යැයි ඇය පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත. ඇය පරිහරණය කර ඇත්තේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයකි.
එම දුරකථනය පරීක්ෂා කිරීමට පොලිස් භාරයට ගෙන එහි මුරපදය ඉල්ලා සිටියද, “පාස්වර්ඩ් එක මතක නැහැ සර්” කියමින් ඇය පැයකට වැඩි කාලයක් පොලිස් නිලධාරීන් නොමග යැවීමට උත්සාහ කර තිබේ. ඉවසිලිවන්ත වූ පොලිස් නිලධාරීන් අවසානයේ ඇගෙන් මුරපදය ලබාගෙන ජංගම දුරකථනය පරීක්ෂා කළේය.

උප පොලිස් පරීක්ෂක සරත් කුමාර, මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක, උප පොලිස් පරීක්ෂක ජයන්ත වීරසිංහ
එහිදී ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහ 15 හැවිරිදි දියණියගේ ඡායාරූප AI තාක්ෂණයෙන් අඩ නිරුවත් කර සකස් කරන ලද ඡායාරූප පෙළ මෙන්ම, ඇය ලේන්සුවකින් කට වසාගෙන කටහඬ වෙනස් කරමින් ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 25ක කප්පම් ඉල්ලන පටිගත කළ හඬ පට ද සොයා ගැනීමට හැකි විය. ඒ අනුව සැකකාර තරුණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ පහළොස් හැවිරිදි දියණිය ද සැකකාර තරුණියගේ නිවසට පැමිණ ඇගෙන් ගණිතය විෂය හදාරන සිසුවියකි. එම දියණිය හරහා මෙම ඡායාරූප ලබාගෙන මෙම ජාවාරම සැලසුම් කර ඇති බව පැහැදිලි වේ.
සැකකාරිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු පොලීසිය පවා මවිත කරවන සුළු විය.
ඇය උසස් පෙළ ඉහළින්ම සමත් වී මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත් වූ බවටත්, ගණිත අංශයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමි කරගත් බවටත් ඇතැම් මාධ්‍ය මගින් පවා ප්‍රචාරය කරගෙන තිබුණි. එසේම ගණිත අංශයෙන් උසස් පෙළ සියලුම විෂයන් සමත් වූ බවට ඇය විසින්ම සකස් කරගෙන තිබූ ව්‍යාජ අධ්‍යාපන සහතිකය ද සොයා ගැනීමට පොලීසියට හැකි විය.
නමුත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වූයේ ඇය උසස් පෙළ සියලුම විෂයන් අසමත් වී ඇති බවයි.
2025 වසරේදී බාහිර අයදුම්කාරියක ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති ඇය, මුලින් මාර්ගගත ක්‍රමයට ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබා, මාස 6කට පසු ගණිත අංශයට මාරු වී තිබේ. 2026 වසරේ නිකුත් වූ ප්‍රතිඵලවලින් විෂයන් 3ටම ‘A ’ සාමාර්ථ ලැබුණු බවට සියලු කතා ගොතා, මව්පියන්, සහෝදරයන් දෙදෙනා, පවුලේ ඥාතීන්, ගුරුවරුන් මෙන්ම ගමේ අය පවා කිසිවෙකුටත් සැකයක් නොවන අන්දමින් හරි අපූරුවට අන්දවා තිබුණි. එයින් නොනැවතී ඇය විසින්ම රතිඤ්ඤා පත්තු කර උත්සව පවා පැවැත්වූවාය. මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන දිනට ගමේ අය කැඳවාගෙන යාමට බස් රථයක් ලෑස්ති කරන බවට ද ඇය පුරසාරම් දොඩවා තිබේ.
මෙම අසත්‍ය ප්‍රචාරය නිසා බොහෝ මව්පියන් තම දරුවන් ඇයගේ ගණිත පන්තියට යොමු කර තිබූ අතර, ඇය කුලියාපිටිය ප්‍රදේශයේ ද උපකාරක පන්ති පවත්වා යහමින් මුදල් උපයාගෙන ඇත.
පොල් කඩා පවුල නඩත්තු කරන ඇගේ පියා එදා දියණියගේ ව්‍යාජ ජයග්‍රහණය හමුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූයේ, තමා ඉගෙන නොගත්තද මහන්සි වී පොල් ගස් නැග හෝ දියණියට උපාධිය ලබා ගැනීමට උපකාර කරන බවයි. ඇගේ මව ද සතුටු කඳුළු වගුරුවමින් දියණියගේ දක්ෂතා අගය කර තිබුණි. පාසලේදී ඇයට 9, 10 වසරවල ගණිතය ඉගැන්වූ ගුරුවරයා ද පුවත්පතකට පවසා තිබුණේ ඇයට හොඳ අනාගතයක් ඇති බව තමා දැන සිටි බවයි. එහෙත් මේ සියල්ල සැකකාර තරුණිය විසින් ගොතන ලද විශාල අන්දවා ගැනීමක් බව දැන් මුළු ගමටම ප්‍රසිද්ධ රහසක් වී හමාරය.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණිය හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණ පැවැත්විණි. විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්.කේ. විජේබණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි. සරත් කුමාර, නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත වීරසිංහ, පොලිස් සැරයන්වරුන් වන (72468) කුමාර, (85188) දිලන්ත සහ කාන්තා පොලිස් කොස්තාපල් (12512) නිපුණි යන නිලධාරීහු සැකකාරිය අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ සඳහා එක්වූහ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප - මාදම්පේ, එස්. හේරත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd