
මෙරට ජනතාවගේ වාහන සිහිනය යළිත් වරක් හඹා යා නොහැකි දුරකට ඈතට යමින් පවතී. තීරුබදු ඉහළ නැංවීම, ලීසිං සීමා පැනවීම සහ පොලී අනුපාත ඉහළ යාම හමුවේ වාහන වෙළඳපොළ තුළ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයත්, පාරිභෝගිකයා මුහුණ දී සිටින අභියෝගයන් පිළිබඳවත්, මූල්‍ය උපදේශක රවිශංක වීරසූරිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.
Q පසුගිය කාලයේ පැනවූ තීරුබදු අධිභාරයත් සමඟ මෙරට වාහන මිල ඉහළ ගියේ කුමන ආකාරයෙන් ද?
ඉකුත් මැයි 15 වැනිදා සිට මෙරටට ආනයනය කරන වාහන සඳහා 50%ක තීරුබදු අධිභාරයක් (Surcharge) පනවනු ලැබුවා. මීට පෙර පැවැති තීරුබදු අනුපාතය 30%ක්. මෙම 50% අධිභාරය අය කරන්නේ අදාළ 30%ක බද්ද මතයි. එනම් 30%න් 50%ක් යනු තවත් 15%ක්. ඒ අනුව මුළු තීරුබද්ද 45% දක්වා ඉහළ යනවා.
මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු කරුණක් තිබෙනවා. එනම්, මෙම අධිභාරය බලපෑම් කරන්නේ මැයි 15 වැනිදායින් පසු විවෘත කරන ලද ණයවර ලිපි (LC) සඳහා පමණයි. ඊට පෙර විවෘත කළ ණයවර ලිපි සඳහා මෙම අධිභාරය බලපාන්නේ නැහැ. එමෙන්ම මැයි 15 වැනිදායින් පසු නිකුත් කළ ණයවර ලිපිවලට අදාළ වාහන මෙරටට ළඟා වීම ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ මුල් සතියේ සිටයි. එම නිසා වාහන මිල ඉහළ යා යුතුව තිබුණේ ද අගෝස්තු මැද භාගයේ සිටයි.
නමුත් සිදු වූයේ රජයේ නිවේදනයත් සමඟම, වාහන අලෙවිකරුවන් තමන් සතුව පැවැති පැරණි තීරුබදුවලට ගෙන්වන ලද වාහනවල මිල ගණන් ද හිතුමනාපයට ඉහළ නැංවීමයි. ඊට එරෙහිව මෙරට කිසිදු නීතිමය පාලනයක් පැවැතුණේ නැහැ. නව තීරුබදු සහිත වාහන මෙරටට ළඟා වීමටත් පෙරම, පැරණි තොගවල මිල ඉහළ නැංවීම පාරිභෝගිකයාට සිදු වූ දැඩි අසාධාරණයක්.
Q නව තීරුබදු සහිත වාහන වෙෙළඳපොළට පැමිණීමත් සමඟ ඉදිරියේදීත් මිල තවදුරටත් ඉහළ යයිද?
පවතින තත්ත්වය හමුවේ ඉදිරියට පැමිණීමට ඇත්තේ 50%ක අධිභාරයට යටත් වූ වාහන බැවින්, ඉදිරියේදීත් වාහන මිල යළි ඉහළ යන බවට මතයක් පවතිනවා. පාරිභෝගිකයන් දැනටමත් සිටින්නේ දරාගත නොහැකි මිල ඉහළ යාමකට මුහුණ දීලයි.
මැයි 15 සිට දෙසැම්බර් 31 දක්වා වූ මුළු කාලසීමාව තුළම මෙරටට පැමිණෙන්නේ අධිභාර සහිත වාහන බැවින් මිල ගණන් ඉහළ මට්ටමක පවතිනු ඇති. මෙම තත්ත්වය දෙසැම්බර් 31න් පසුවත් තවදුරටත් දීර්ඝ වේද යන්න පිළිබඳව මේ මොහොතේ අනාවැකි පළ කළ නොහැකියි.
Q පවතින අධික මිල ගණන් හමුවේ පාරිභෝගිකයාට වාහන සිහිනය සැබෑ කරගැනීමට තව කොපමණ කල් ගතවේද?
අධික මිල හමුවේ පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත්, වාහන අලෙවිකරුවන්ගේ ලාභ පරතරය තුළ විශාල පරාසයක් පවතිනවා. වාහනයක් මෙරටට ගෙන්වා දින 90ක් (මාස 3ක්) ගතවීමට පෙර එය අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බවට නීතියක් පවතිනවා. වාහන විකුණාගත නොහැකි වූ විට අලෙවිකරුවන්ට සිදුවන්නේ එම වාහනය තමන්ගේ නමට, පවුලේ අයකුගේ නමට හෝ අලෙවිසලේ නමට ලියාපදිංචි කිරීමටයි.
එවිට වාහනයේ මුල් අයිතිකරු (First Owner) බවට පත්වන්නේ අලෙවිකරුවා හෝ ඔහුගේ ආයතනයයි. පාරිභෝගිකයෙකු අලුත්ම වාහනයක් ලෙස මිලදී ගත්තද, නීතිමය වශයෙන් ඔහු බවට පත්වන්නේ දෙවැනි අයිතිකරු (Second Owner) වෙතයි. ලියාපදිංචි කළ සැණින් එය භාවිත කළ වාහනයක් Second-hand) බවට පත්වන බැවින්, ඊට මුල් මිලම ගෙවීමට පාරිභෝගිකයන් සූදානම් වන්නේ නැහැ. එම නිසා ඉදිරියේදී වාහන අලෙවි කරගැනීමට නම්, අලෙවිකරුවන්ට තමන්ගේ අධික ලාභය අඩු කරමින් මිල ගණන් පහත හෙළීමට සිදු වෙනවා.
Q මේ දිනවල පවතින ලීසිං සීමාවන් වාහන මිලදී ගැනීමට බලපාන්නේ කෙසේ ද?
අලුත් වාහන සඳහා පැවැති 50%ක ලීසිං සීමාව (Loan to Value Ratio) මේ වන විට කාර්, වෑන් සහSUV වැනි සාමාන්‍ය භාවිත වන වාහන සඳහා 40% දක්වා අඩු කර තිබෙනවා. මෙයින් අදහස් වන්නේ වාහනයේ වටිනාකමින් 40%ක් පමණක් ලීසිං පහසුකම් ලෙස ලැබෙන අතර, ඉතිරි 60%ක මුදල පාරිභෝගිකයා විසින් පෞද්ගලිකව සොයාගත යුතු බවයි.
වාහනයේ වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් තමන් විසින් සොයාගෙන, වාහනයේ පූර්ණ අයිතිය ලීසිං සමාගමට පැවරීමට සිදුවීම පාරිභෝගිකයාට විශාල අවදානමක්. වාරික ගෙවාගැනීමට නොහැකි වුවහොත් ලීසිං සමාගම මගින් වාහනය අත්පත් කරගනු ලබනවා. එම නිසා මෙවැනි වටපිටාවක අනවශ්‍ය ලෙස අධික මිල ගණන්වලට වාහන මිලදී ගැනීමට උත්සාහ කිරීම නුවණට හුරු නැහැ.
‘‘නව තීරුබදු සහිත වාහන මෙරටට ළඟා වීමටත් පෙරම, පැරණි තොගවල මිල ඉහළ නැංවීම පාරිභෝගිකයාට සිදු වූ දැඩි අසාධාරණයක් “
Q පවතින තත්ත්වය හමුවේ වාහන අලෙවිකරුවන්ට සහ වාහන කර්මාන්තයට සිදුවන බලපෑම කෙබඳු ද?
සියලුම වාහන අලෙවිකරුවන් ධනපතියන් නොවෙයි. විශාල පිරිසක් කරන්නේ මූල්‍ය මෙහෙයුම් රෝල ගහමින් ව්‍යාපාරය පවත්වාගෙන යාමයි. වාහන අලෙවි නොවී ප්‍රමාද වන විට, මූල්‍ය අර්බුදයෙන් ගැලවීම සඳහා කුඩා ලාභයක් තබාගෙන හෝ වාහන විකුණා දැමීමට ඔවුන්ට සිදු වෙනවා. පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන්නේ එවැනි අවස්ථාවලදීයි.
දැනටමත් මෙරට වාහන සඳහා පැවැති ඉල්ලුම (Demand) විශාල ලෙස පහත වැටී තිබෙනවා. වාහන මිලදී ගන්නවා වෙනුවට කුලී පදනම මත (Rent) හෝ Uber, PickMe වැනි කුලී රථ සේවා භාවිත කිරීමට ජනතාව යොමු විය හැකියි. එම නිසා අලෙවිකරුවන් තමන්ගේ අධික ලාභ සීමා අඩු නොකළහොත්, සමස්ත වාහන කර්මාන්තයම දැවැන්ත කඩාවැටීමකට ලක්වීමට ඉඩ තිබෙනවා.
Q වර්තමාන පොලී අනුපාත හමුවේ ලීසිං පහසුකම් ලබාගැනීම අවදානම් සහගතද?
පවතින තත්ත්වය මත අධික පොලී අනුපාත යටතේ ලීසිං පහසුකම් ලබාගැනීම ඉතාම භයානකයි. ජූනි 1 වැනිදා සිට රජය ප්‍රතිපත්තිමය පොලී අනුපාතය 1%කින් ඉහළ දැමූ අතර, ඊට සාපේක්ෂව ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන තමන්ට රිසි සේ ලීසිං පොලී අනුපාත ඉහළ නංවා තිබෙනවා. බැංකුවලට වඩා මූල්‍ය සමාගම්වල ලීසිං පොලිය කොහොමත් වැඩියි.
උදාහරණයකට, කෙනකු රුපියල් ලක්ෂ 25ක ලීසිං මුදලක් ලබාගෙන, මාසික වාරිකය රුපියල් 50,000ක් ලෙස වසර 5කට (මාස 60කට) ගෙවීමට ගිවිසුම් ගත වූවා යැයි සිතමු. එවිට ඔහු වසරකට රුපියල් ලක්ෂ 6 බැගින් වසර 5 අවසානයේ ගෙවා ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 30ක්.
මෙම රුපියල් ලක්ෂ 30ක මුළු මුදල මත 2%ක මුද්‍රා ගාස්තුවක් (Stamp Duty) ගෙවිය යුතුයි. ලක්ෂ 30ට 2%ක් යනු රුපියල් 60,000ක මුදලක්. මෙය කිසිදු ඵලයක් නැති අමතර නිරපරාදේ සිදුවන ගෙවීමක්. එමෙන්ම පවතින ආර්ථික අපහසුතා හමුවේ වාරික එකක් හෝ දෙකක් මඟඇරුණහොත්, වාහනය අත්පත් කරගැනීමට ලීසිං සමාගම් කටයුතු කරනවා. එම නිසා මෙවැනි කාලයක දැවැන්ත පොලියකට යටත්ව ලීසිං ලබාගැනීම නුවණට හුරු නැහැ.
Q අවසාන වශයෙන් පාරිභෝගිකයාට ලබාදිය හැකි උපදේශය කුමක් ද?
මෙරට බොහොමයක් අලෙවිකරුවන් සාධාරණ ලාභයක් තබාගෙන වාහන අලෙවි කළත්, ඇතැම් පිරිස් අධික ලෙස ලාභ ලැබීමට උත්සාහ කරනවා. එම නිසා පාරිභෝගිකයන් ලෙස මේ මොහොතේ කලබල වී, අධික නොවැදගත් ගණන්වලට වාහන මිලදී නොගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. මන්ද පසුව ඔබට එම වාහනය සාධාරණ මිලකට විකුණා ගැනීමට පවා නොහැකි වනු ඇති. වාහන සිහිනය සැබෑ කරගැනීමට නම් තවත් ටික කලක් ඉවසීමෙන් හා බුද්ධිමත්ව බලා සිටීමට පාරිභෝගිකයාට සිදු වෙනවා.
- දිනිති අභයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd