ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO)  ඇතුළු ගෝලීය සෞඛ්‍ය සංවිධාන මගින් වර්තමානයේ ලොව මුහුණ දෙන දැවැන්තම සහ භයානකම නිහඬ තර්ජනයක් ලෙස “ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව”‍(Antimicrobial Resistance - AMR)  හඳුන්වා දී ඇත. 

සරලව පැවසුවහොත් - බැක්ටීරියා, වෛරස, දිලීර ඇතුලු වෙනත් පරපෝෂිතයන් නාශනයට  අප භාවිත කරන ඖෂධවලට (විශේෂයෙන්ම ප්‍රතිජීවක/Antibiotics සඳහා) මෙම ක්ෂුද්‍රජීවීන් ප්‍රතිරෝධීතාවයක් දැක්වීම හෝ ඔරොත්තු දීමට පටන්ගැනීමAMR ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය නිසා සාමාන්‍ය තුවාලයක්, පෙණහැලි ආසාදනයක් (Pneumonia)  හෝ සැත්කමකින් පසු ඇතිවන ආසාදනයක් පවා සුවකිරීමට නොහැකි වී රෝගියා මරණයට පත්වීමේ දැඩි අවදානමක් මතු වේ. 

සංඛ්‍යාන දත්තයන්ට අනුව දැනටමත් වසරකට ලොව පුරා ලක්ෂ 12කට (මිලියන 1.27) අධික පිරිසක් කෙළින්මAMR තත්ත්වයන් නිසා මියයන අතර, මීට අනුබද්ධ හේතූන් මත මියයන සංඛ්‍යාව මිලියන 5කට ආසන්න ය. අප්‍රමාදව ඊට විසඳුම් නොලැබුණහොත් 2050 වන විට වසරකට මිලියන 10ක ජනගහනයක් මියයනු ඇතැයි අනුමාන කෙරේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රති-ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය (AMR)  හේතුවෙන් වාර්ෂිකව සෘජු මරණ 2,000කට අධික සංඛ්‍යාවක් සිදුවන අතර, එය මරණ 10,000ක් පමණ සමග අනියම්ව සම්බන්ධ වී පවතී. සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර අකාර්යක්ෂම කරන බහු-ඖෂධ ප්‍රතිරෝධී රෝග කාරක හේතුවෙන්, වැඩිහිටි ජනගහනය (වයස අවුරුදු 70ට වැඩි) සහ අවදානමට ලක්විය හැකි ළදරුවන් මේ සම්බන්ධයෙන් ඉහළම අවදානමකට මුහුණ දෙයි. 

2019වසරේ දී ශ්‍රී ලංකාව තුළ සිදුවූ මරණ 8,000කට අධික සංඛ්‍යාවක් බහු-ඖෂධ ප්‍රතිරෝධී (MDR)  ආසාදන සමග සම්බන්ධ වී තිබූ අතර, ඒවා බොහෝවිට රෝග කාරකයන් හේතුවෙන් රෝහල් තුළ ඇති වූ ආසාදන ව්‍යාප්තීන් හි ප්‍රතිඵලයක් ලෙස හටගත් ඒවා විය.

මෙම බරපතළ ගෝලීය ගැටලු‍වට තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුමක් දෙමින් ශ්‍රී ලංකාවේ නාමය ලෝක විද්‍යා අඹරේ බැබළවීමට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තරුණ පර්‌යේෂකවරියක වන “මෙලිසා අලු‍විහාරේ” දැන් සමත්ව ඇත.

ශ්‍රී ලංකාවේ නාමය ලෝක විද්‍යා අඹරට

ජර්මානු අධ්‍යයන හුවමාරු සේවයේ (DAAD)  නවදිල්ලි කලාපීය කාර්යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව 2026 මැයි 26 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ දී පවත්වන ලද "Falling Walls Lab Sri Lanka 2026"  තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට මෙලිසා අලු‍විහාරේ සමත් වූවාය.

ඒ අනුව, ජර්මනියේ බර්ලින් නුවර දී මෙම නොවැම්බරයේ පැවැත්වෙන Falling Walls Lab Global Finale ලෝක අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අතිශය විරල අවස්ථාව දැන් ඇයට හිමිව තිබේ.

ලොව පුරා තරුණ පර්යේෂකයන්, සිසුන් සහ නව නිපැයුම්කරුවන්ට තමන්ගේ විප්ලවීය අදහස් මිනිත්තු 3ක් වැනි කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් හමුවේ ඉදිරිපත් කිරීමට ලැබෙන මෙකී කීර්තිමත් තරගාවලියේ දී මෙලිසා ඉදිරිපත් කරනුයේ "Breaking the Wall of Delayed AMR Detection" (AMR-kinetiX – AI-based Rapid Detection of Antimicrobial Resistance නැමැති පර්‌යේෂණ ව්‍යාපෘතියයි.

කෘත්‍රිම බුද්ධිය(AI) සහ පර්‌යේෂණයේ සුවිශේෂත්වය

සාමාන්‍යයෙන් බැක්ටීරියාවක් කිසියම් ප්‍රතිජීවක ඖෂධයකට සංවේදී ද? නැද්ද? යන්න (Antibiotic Susceptibility Testing)  තහවුරු කරගැනීමට විද්‍යාගාර තුළ පැය 24 සිට දින කිහිපයක් දක්වා කාලයක් ගතවේ. මෙම ප්‍රමාදය නිසා වෛද්‍යවරුන්ට සිදුවන්නේ නිවැරදි ඖෂධය තහවුරු වන තෙක් බහුලව භාවිත වන වෙනත් ඖෂධ ලබාදීමටයි. එමගින් රෝගියාගේ ජීවිතය අවදානමකට ලක්වනවා මෙන්මAMR තත්ත්වය තවදුරටත් උග්‍ර වේ.

මෙලිසාගේ පර්‌යේෂණය මගින් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) සහ වර්ණ විශ්ලේෂණ තාක්ෂණය (AI-powered color analysis & metabolic detection) ) එකතු කරමින් බැක්ටීරියාවල ජීව ක්‍රියාකාරීත්වය ඉතා ඉක්මනින් හා අඩු පිරිවැයකින් හඳුනාගත හැකි ක්‍රමවේදයක් ඇය සකසා ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය පහසුකම් සහ අධි-තාක්ෂණික විද්‍යාගාර උපකරණ හිඟ සංවර්ධනය වෙමින් පවතින රටවලට(Developing Nations) ඉතා අඩු මුදලකින්, විශ්වාසනීය ලෙස භාවිත කළ හැකි වීම මෙහි ඇති විශාලතම ප්‍රායෝගික වාසියයි.

දේශීය අභිමානය සහ ආදර්ශය

මෙම තරගයේදී කොළඹ විශ්වවිද්‍යාලයේම රම්ලා මොහොමඩ් කමාල් (මුත්‍රාශ පිළිකා හඳුනාගැනීම) දෙවැනි ස්ථානයත්, කැලණිය විශ්වවිද්‍යාලයේ විනුෂයිනි රවිචන්ද්‍රන් (තේ බෑග්වල මයික්‍රෝප්ලාස්ටික්) තෙවැනි ස්ථානයත් දිනාගනිමින් ශ්‍රී ලාංකේය තරුණ පර්‌යේෂණ ශක්තිය තහවුරු කළහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ මෙලිසා අලු‍විහාරේ ගේ මෙම ජයග්‍රහණය, කෘත්‍රිම බුද්ධිය වැනි නූතන තාක්ෂණය භාවිත කරමින් මානව වර්ගයා මුහුණ දෙන ප්‍රායෝගික සෞඛ්‍ය ගැටලු‍වලට විසඳුම් සෙවීමට වෙහෙසෙන සියලු‍ම ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මහා බලගතු ආදර්ශයකි. බර්ලින් ලෝක අවසන් තරගයේ දී මාතෘභූමියට කීර්තියක් අත්කර දීමට ඇයට ශක්තිය ලැබෙවායි අපි සුබ පතමු.

සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි