
දෙමළ පක්ෂ නියෝජිතයෝ ජනපති හමුවෙති
දෙමළ භාෂාව කතා කරන දේශපාලන පක්ෂ හයක නියෝජිතයන් එක්ව පිහිටුවාගෙන ඇති එකමුතුව ඉකුත් සතියේ සඳුදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡා පැවැත්වීය. දිගු කලක් එකට විපක්ෂයේදී කටයුතු කළ දෙපාර්ශ්වය ආණ්ඩුව සහ විපක්ෂය ලෙස සාකච්ඡාවක නිරත වූයේ ප්‍රථම වතාවටය.
සුහද පිළිසඳරකින් පසු හිටපු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ජනාධිපතිවරයාගෙන් විමසුවේ,‘ජනාධිපතිතුමනි, ඔබතුමාලා ගේනවා කියපු නව ව්‍යවස්ථාවේ දැන් තත්ත්වය කුමක් ද? ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් ඒක තියෙනවා’’ කියාය.
‘‘අපි තවම ඒක හදලා නෑ. ඒක හදන්න ඕනෑ අනිවාර්යයෙන්ම. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන ව්‍යවස්ථාවක් හැටියටයි’’ ජනාධිපතිවරයා පැවසීය.
‘‘එතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාලා ව්‍යවස්ථාව හදාලා අපිට අනුමත කරන්න දෙනවා නම් එහෙම කරන්න බෑ. අපේ ජනතාවටත් ගැටලු තියෙනවා. අපිටත් යෝජනා තියෙනවා ව්‍යවස්ථාවට දාන්න...’’ සුමන්තිරන් කීවේය.
‘‘අනිවාර්‌යයෙන්ම පිළිගන්නවා. අපි මේක මහජන අදහස් අරගෙන තමයි හදන්නේ....’’ ජනපති කීවේය.
‘‘72 සහ 78 ගෙනාවේ ඒ ආණ්ඩු කරපු අයගේ වුවමනාවට හදපු ව්‍යවස්ථා. ඒවා ඒකපාක්ෂිකයි. එහෙම එනවා නම් ගේන්න එපා... අපි විරුද්ධයි...’’ සුමන්තිරන් යළිත් කීවේය.
‘‘ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි එහෙම කරන්නේ නෑ. අපි හොරෙන් වැඩ කරන ආණ්ඩුවක් නොවෙයි. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වෙන්නේ ජනතා සම්මුතියක්. ඒ නිසා අනිවාර්‌යයෙන්ම ඔබලාටත් අදහස් හා යෝජනා ගේන්න පුළුවන්. ඒ නිසා ව්‍යවස්ථාවක් කඩිමුඩියේ ගේන්නෙ නෑ....’’ ජනාධිපතිවරයා කීවේය.
‘‘මගේ තවත් ඉල්ලීමක් තියෙනවා. අපි දැන් මේ විදිහට ජනකොටස්වලට බෙදිලා හිටිය කාලය ඇති. අපි දැන් පක්ෂ කිහිපයක් හැටියට එකතුවෙලා කටයුතු කරන්න ඕනෑ. අපි උතුරද, දකුණද කියා වෙනසක් නැතුව අවශ්‍ය සංවර්ධන කටයුතු කරනවා. ඒ නිසා මොන පක්ෂයක් නියෝජනය කළත් කමක් නෑ. ජාතීන් හැටියට නොබෙදී ඉන්න පුළුවන්නම් හොඳයි’’ ජනාධිපතිවරයා ඉතා සුහදව දෙමළ, මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
‘‘අපි බලයට ගෙනාපු.... ඒ වගේම අපිත් හිටිය ආණ්ඩුවලින් කරගන්න බැරි වුණ වැඩ ගොඩක් මේ ආණ්ඩුව ඇවිත් ටික කාලෙකින් කරලා තියෙනවා. ඔබතුමාලා වතු ජනතාවගේ පඩිය වැඩි කළා. දැන් ඉඩමක් දීලා ගෙවල් හදලා දෙනවා. බොහෝම ස්තුතියි ජනාධිපතිතුමනි.....’’ හිටපු ඇමැති වී. රාධක්‍රිෂ්ණන් කියා සිටියේය.
ගමේ කොන්ත්‍රාත් වැඩ කෙරෙන්නෙ හෙමින්
මැති ඇමැතිවරුන් පිරිසක් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක නිරත වූයේ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳව ඇති ගැටලු සාකච්ඡා කිරීමටය.
‘‘කොහොමද සහෝදරයා දැන් ගම්වල වැඩකටයුතු?’’ ජනාධිපතිවරයා පළාත් පාලන නියෝජිතයකුගෙන් විමසීය.
‘‘ගමේ වැඩ ටික ඉක්මන් කරගන්න එක තමයි ටිකක් අමාරු....’’ පළාත් පාලන නියෝජිතයෙක් පැවසීය.
‘‘ඔව් එතන ප්‍රශ්න තියෙනවා. සමහරුන්ට ඉස්සර වගේ කොමිස් නැති නිසාත් කොන්ත්‍රාත් වැඩ යන්නෙ හිමින්. අපි ඒ ප්‍රශ්න විසඳගෙන ලබන අවුරුද්දේ රජයෙන් ලොකු ආධාරයක් දෙනවා. ඒකත් එක්ක වැඩ ටික කරමු. ඔයාලගේ යෝජනා සම්බන්ධීකරණ කමිටු සභාපතිට දෙන්න....’’ ජනාධිපති කීවේය.
එදින පැවැති රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ද මෙම ප්‍රශ්නය ගැන යළිත් අදහස් පළ විය. නිලධාරීන් ලබාදුන් සංඛ්‍යා ලේඛන අනුව එහිදී අනාවරණය වූයේ ග්‍රාමීය කුඩා පාලම් සංවර්ධන ව්‍යාපෘති සඳහා 2026 වසරට වෙන් කළ මුදලින් සියයට තිහක්වත් ප්‍රයෝජනයට ගෙන නොමැති බවය.
‘‘මෙහෙම වැඩ කරන්න බෑ. මේ වැඩකටයුතු ඉක්මනින් ඉවර කරන්න. දැන් සල්ලි ආපහු ගියාම ආයේ ලබන අවුරුද්දෙත් සල්ලි වෙන් කරන්න වෙනවා. ඒක තේරුමක් නැති වැඩක්. ඔහොම වැඩ කළාම මිනිස්සු බනින්නේ නගරෙට විතරයි වැඩ කරන්නේ, ගමට වැඩ කරන්නේ නෑ කියලා. ඒ නිසා ඉක්මනට මේ වැඩ කටයුතු ඉවර කරන්න.....’’ ජනපති කියා සිටියේ ටිකක් ආවේගශීලීවය.
වී ගන්න සමුපකාරයට මිලියන 600ක්
ගොවීන්ගේ වී මිලදී ගැනීම ඇතුළු කටයුතු සඳහා සමුපකාර ව්‍යාපාරයට රුපියල් මිලියන හයසීයක මුදලක් ලබාදීමට වෙළෙඳ, වාණිජ හා සමුපකාර අමාත්‍යාංශය පියවරගෙන ඇත. ඇමැති වසන්ත සමරසිංහ පවසන්නේ ගබඩා පහසුකම් ඇති සමුපකාර පනහකට වී වේළන යන්ත්‍ර ලබාදීම ද මේ යටතේ සිදුවන බවය.
දූෂණ විරෝධී පනතේ කොටසක් රිවස්
දූෂණ විරෝධී පනත ගෙන එන ලද්දේ 2023 වසරේදීය. එම පනත බලාත්මක වීමෙන් පසු ඉකුත් කාලයේ ආණ්ඩු පක්ෂයේ බලවත් පුද්ගලයන්ගේ මෙන්ම, ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ද පෞද්ගලික වත්කම් ප්‍රසිද්ධ කිරීමට සිදුවිය. මෙම තත්ත්වය මහජනතාවගේද ප්‍රසාදයට හේතු වී තිබුණේ දේශපාලකයන් ගණනාවකගේම වත්කම් හෙළිදරව් වූ නිසාය.
එහෙත් එම පනතට රජය පසුගියදා සංශෝධනයක් ගෙන ඒම සඳහා පනත අලුතෙන් ගැසට් කළ අතර, එමගින් ජනතාවට එම වත්කම් හෙළිදරව් වීමට සීමාවක් පැනවිණි. මෙය සමාජ මාධ්‍ය ඇතුළු විවිධ අංශවලින් දැඩි විවේචනයට ලක්විය.
මෙම විවේචන නිසා එම ගැසට්ටුව යළිත් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඇමැති බිමල් රත්නායක ඉකුත් බ්‍රහස්පතින්දා කියා සිටියේ, දේශපාලකයන්ගේ වත්කම් ප්‍රකාශ පමණක් ජනතාවට දැක බලාගත හැකි පරිදි පනත සංශෝධනය කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවය. ඒ අනුව නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශවල පමණක් රහස්‍යභාවය රැකෙනු ඇත.
ඉහළ අධිකරණ ගැන ඇමැති වසන්තගේ අනාවරණය
ආණ්ඩු පක්ෂයේ විවිධ මැති ඇමැතිවරුන් විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන වරින් වර පරස්පර කතා පැවසීම නිසා විපක්ෂය පවසන විරෝධතාව ජන මනසට වඩාත් කා වැදිණි. එහෙත් වෙළෙඳ, වාණිජ හා සමුපකාර ඇමැති වසන්ත සමරසිංහ පෙන්වා දෙන්නේ එයට හාත්පසින්ම වෙනස් කරුණකි.
ඉකුත් සතියේ ආණ්ඩු පක්ෂ අභ්‍යන්තරයේ පැවැති රැස්වීමකදී වසන්ත සමරසිංහ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නංවා නොමැති බවත්, එහෙත් පහළ අධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නංවා ඇති බවත්ය.
‘‘ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවද්දීම 1978දී ශ්‍රේෂ්ඨාධිකරණ නිසුරුවරුන් විශ්‍රාම යා යුතු වයස අවුරුදු 65 ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස 63 ලෙසත් ව්‍යවස්ථාවට ඇතුළු කළා. මහාධිකරණ විනිසුරු විශ්‍රාම වයසත් අවුරුදු 61 බවට පත් කරලා තියෙනවා. මේ වයස් සීමා තියෙන්නේ ව්‍යවස්ථාවේ නොවෙයි, අධිකරණ සංවිධාන පනතේ. රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස ඉහළ නංවන කොට මේ පනත අනුව පහළ අධිකරණ දෙකේම විනිසුරු විශ්‍රාම වයස දැන් අවුරුදු 60 දක්වා ඉහළ ගිහින් තියෙන්නේ.
ඒත් ඉහළ විනිසුරු විශ්‍රාම වයස කලින් තැනමයි. දැන් මෙතන තියෙන්නේ අවිධිමත් බවක්. නැවතත් රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 62 බවට පත් කළොත් මේ පහළ අධිකරණ දෙකේම විනිසුරු විශ්‍රාම වයසත් 62 වෙනවා. ඒත් මහාධිකරණ විනිසුරු විශ්‍රාම වයස 61යි. ඉහළ අධිකරණ දෙකේ 63යි, 65යි. මේ අවිධිමත් බව නිවැරැදි වෙන්න ඕනෑ. අපි දැන් කරන්න යන්නේ ඒක. එහෙම නැතිව එක් පුද්ගලයකු තියාගන්න දරණ උත්සාහයක් නොවෙයි. දැන් ඔය කෑ ගහන අය 20 වැනි සංශෝධනය ගෙනත් ඉහළ අධිකරණ දෙකේ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ දැම්මා. ඒ වෙලාවේ විශ්‍රාම වයසත් වැඩි කරන්න තිබුණා. ඒත් ඒක කෙරිලා නෑ. ඒ වැරැද්ද තමයි අපි මේ වෙනස් කරන්න හදන්නේ’’ ඇමැති වසන්ත සමරසිංහ කියා සිටියේය.
‘‘දැන් අන්තර්ජාතික විනිසුරුවරුන්ගේ සංගමයත් මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ වැරදි තොරතුරු මත. මෙයාලා පාදක කරගෙන තියෙන්නේ ඉහළ අධිකරණ දෙක පමණයි, සමස්තය නොවෙයි. අපි ඉලක්ක කරගත් විනිසුරු කෙනකුට මේ වාසිය දෙන්න යන බවයි ඒ ලිපියේ තියෙන්නේ. ඒක බොරුවක්නේ. අපි සියලු විනිසුරු වයස ඉහළ දාන්නනේ හදන්නේ. විපක්ෂය කියනවා දැන් නෙවෙයි හැකිනම් දෙසැම්බර්වලින් පස්සේ මේ සංශෝධනය ගේන්න කියලා. ඒ කියන්නේ මේ පනත් සංශෝධනය එදායින් පස්සේ හොඳයි කියන එකනේ. පනත හොඳයි කියලා එයාලත් පිළිගන්නවා....’’ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල සඳහන් කළේය.
ඉන්දියාව කිව්වට පළාත් සභා ලබන වසරේත් නෑ?
ඉකුත් සතියේ මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ජනාධිපති, අගමැති, විපක්ෂ නායක හා විදේශ ඇමැති සමග සාකච්ඡා පැවැත්වීය. ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වන්නේ දිගුකලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවය.
පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂය ද නිතර ඉල්ලා සිටියි. මේ වන විට පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රියාත්මක වූ පනත අක්‍රීය කර නව සංශෝධන පනතක් ගෙනැවිත් ඇතත්, ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කිරීම අතරමග නතර වූ නිසා මැතිවරණය පැවැත්වීමට දැනට නීතියක් නැත.එහෙත් ඉන්දීය බලපෑම මත මෙම මැතිවරණය පැවැත්වීමට සිදුවේ ද යන්න ඉකුත් සතියේත් යළි කතාබහට ලක්විය. එහෙත් අපට දැනගන්නට ඇත්තේ තාක්ෂණික හේතුවක් මත ලබන වසරේ ද පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවිනිශ්චිත බවය.
2017 සම්මත කළ පනත අනුව සභාවක් පිහිටුවීමේදී කාන්තා සහ තරුණ නියෝජනය සභාවේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට විසිපහක් විය යුතුය. මෙම සංඛ්‍යාව කාන්තාවන්ගෙන් පිරවීම ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී බොහෝ සභාවල අවුල් සහගත තත්වයක් මතු කළේය. ඇතැම් පක්ෂ තවමත් කාන්තා මන්ත්‍රී පුරප්පාඩු පුරවා නැත.
රජයේ මතය වී ඇත්තේ මෙම ප්‍රශ්නය මේ වන විට පාර්ලිමේන්තුවේ පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත්ව ඇති අතර එම සභාවේ තීන්දුව එනතුරු රජයට තීන්දුවක් ගත නොහැකි බවය. සියයට විසිපහේ අනිවාර්ය කාන්තා නියෝජනය අර්බුදයක් බවට පත්වී ඇත්තේ ජයග්‍රහණය කළ පක්ෂයට නොව විපක්ෂයටය. ඉකුත් මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ බොහෝ සභාවල මැතිවරණයෙන් තේරී පත්වූ බොහෝ දෙනා පිරිමි මන්ත්‍රීවරුන් වූ අතර, අනිවාර්ය කාන්තා නියෝජනය ලෙස මන්ත්‍රීවරියන් පත් කිරීමට සිදුවූයේ පරාජය වූ විපක්ෂයට ලැබෙන සමගාමී ලැයිස්තුවෙනි. බොහෝ සභාවල විපක්ෂය තවමත් එම ලැයිස්තු මන්ත්‍රීවරියන් පත්කර නැත. මෙම නීතියම පළාත් සභා සඳහා ද වලංගු වන නිසා එම ප්‍රශ්නය විසදෙනතුරු පළාත් සභා මැතිවරණයක් නොපැවැත්වෙන බව රජයේ පාර්ශ්වයෙන් දැනගන්නට තිබේ.
සජබ සංවිධායකයන්ට උපදෙස් පංතියක්
සමගි ජන බලවේගය සූදානම් වන්නේ ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරෙන මෙම සැප්තැම්බරයේ පෙරමග චාරිකා’’ නමින් විරෝධතා හා ජනතාව දැනුවත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටය. මේ ගැන සාකච්ඡා කිරීමට සහ ආසනවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් සඳහා ඉකුත් සතියේ සජබ ආසන සංවිධායකවරුන් පිටකෝට්ටේ සජබ මූලස්ථානයට කැඳවා තිබිණි.
සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ සභාපති කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී සාමාජිකයන් අලුතෙන් බඳවාගැනීමට සංවිධායකයන් උනන්දු කරවූ අතර පෙරමග චාරිකා’’ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ද ආසන සංවිධායකයන්ට උපදෙස් ලැබිණි.
‘‘ආණ්ඩුවට අවුරුදු දෙක පිරෙන දවසට අපි ගෙන් ගෙට ගිහිල්ලා ආණ්ඩුව කළ දූෂණ වංචා ආදිය ගැන ජනතාව දැනුවත් කළ යුතුයි’’ මහලේකම් රංජිත් එහිදී කීවේය.
‘‘කීප දෙනෙක් ඇරෙන්න අනික් හැම දෙනාටම පක්ෂය ලබාදීලා තියෙන්නේ ආසනයේ වැඩබලන සංවිධායක තනතුර කියලයි. ඒකට හේතුව ඔබ පක්ෂයට ලබාදෙන දායකත්වය මතයි ඔය තනතුර ස්ථිර සංවිධායක ධුරයක් වෙනවද නැද්ද කියන එක තීන්දුවෙන්නේ. අපි ඔබට ටාගට් තුනක් දෙනවා. ආසනය පුරා ශාඛා සමිති හදන එක, සාමාජිකයන් බඳවා ගන්න ව්‍යාපාරය සහ ආණ්ඩුවට අවුරුදු දෙක පිරෙන දිනවල ‘පෙරමග චාරිකා‘ වැඩසටහන සාර්ථක කරගන්න එක. ඒ සාර්ථකත්වය මතයි ඔබගේ පත්වීම ස්ථිර වෙන්නේ. මේ මාස තුනේ ඔබගේ ප්‍රගතිය පෙන්වන්න. එහෙම අයට ස්ථිර සංවිධායක තනතුරු ලබන අවුරුද්දේ මුල ලබා දෙනවා’’ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කීවේය. පැමිණ සිටි සංවිධායකවරු ද විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
විදේශ තානාපතිවරුන් දැනුවත් කරයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දිගු කිරීමට රජය ගන්නා උත්සාහයට පසුබිම් වී ඇති කරුණු සම්බන්ධයෙන් මෙරට සිටින විදේශ තානාපතිවරුන් දැනුවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් බ්‍රහස්පතින්දා කටයුතු කළේය.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සංවිධානය කර තිබූ මෙම හමුවට සජිත් සමග විපක්ෂයේ තවත් පක්ෂ නායකයෝ කිහිප දෙනෙක්ද සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ. මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයකින් ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් පහරක් එල්ල වන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, ආණ්ඩුව තනි පක්ෂ ආණ්ඩුකරණයකට යාමට සූදානම් වන්නේදැයි සැක මතු වන බව ද කියා සිටියේය.
ආණ්ඩුවේ සැලසුම ගැන පෙරටුගාමීන් කියන දේ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන්ගේ හමුවක් ඉකුත් සතියේ පැවැත්විණි. පක්ෂ නායක කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ, සේනාධීර, ගුණතිලක, දුමින්ද නාගමුව ඇතුළු මධ්‍යම කාරක සභිකයෝ එම හමුවට එක්ව සිටියහ.
‘‘අපියි ජනතා විමුක්ති පෙරමුණයි එකතුවෙන කතාවක් ගැන සමහරු බොරු ප්‍රචාර යවල තිබුණා. ලයනල් බෝපගේ සහෝදරයාගේ විමුක්ති ගී පොත එළිදැක්වූ උත්සවයට අපි දෙගොල්ලම සහභාගි වෙච්ච එක අල්ලගෙනයි මේ ප්‍රචාර යවල තිබුණේ’’ කුමාර් ගුණරත්නම් කීවේය.
‘‘අපේ පක්ෂයට බෝපගේ සහෝදරයා කළ ආරාධනාවට කුමාර් සහෝදරයයි මමයි ගියා. බෝපගේ සහෝදරයා ජවිපෙ හිටපු මහලේකම් කෙනෙක්. ටිල්වින් සිල්වයි නිහාල් අබේසිංහයි ඒ පැත්තෙන් ඇවිත් හිටියා. අපි දෙගොල්ල අතර වචනයක්වත් හුවමාරු වුණේ නෑ. මීට කලිනුත් ඔය වගේ උත්සවවලට අපි ඕනෑතරම් ගිහින් තියෙනවනෙ’’ පුබුදු ජයගොඩ කීවේය.
‘‘දැන් මේ ආණ්ඩුව විනිසුරු වයස ඉහළ දාන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්න හදන්නේ හේතුව හැටියට ආණ්ඩුව කියන්නේ හොරු ඇල්ලීමට සහ නඩු ප්‍රමාදය වැළැක්වීමට විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බව. ඒත් ප්‍රශ්නෙ මේ හොරකම් පිළිබඳ නඩු විභාග වෙන්නේ ශේඨාධිකරණයේ නෙවෙයි. රාජපක්ෂලාට අදාළ එක නඩුවක්වත් ශේඨාධිකරණයේ නෑ. ඒවා විභාග වෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණවල’’ කුමාර් ගුණරත්නම් එහිදී කියා සිටියේය.
‘‘නඩු කල් යනවා නම් කරන්න ඕනෑ අධිකරණ පද්ධතිය පුළුල් කරන එක. උසාවි ගණන වැඩි කරන එක. දැනට සිටින විනිසුරු පිරිසගේ විශ්‍රාම වයස වැඩි කළා කියලා මේ ප්‍රශ්නය විසක්‍ෂෙන්නේ නැති බව ඕනෑම කෙනෙකුට තේරෙනවා’’ පුබුදු ජයගොඩ කීවේය.
‘‘ආණ්ඩුව ඡන්දෙට කලින් කීවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා. දැන් ඒ වෙනුවට කරන්නේ ජනතා අයිතිවාසිකම් උදුරා ගැනීම. පාර්ලිමේන්තුවේ විපක්ෂය කිඹුල් කඳුළු හෙළනවා. ඒත් එයාලගේ කාලෙත් මේ වගේම අධිකරණයට අතපෙවීම් කළා. මේ ප්‍රශ්නය විසඳන්න ජනතාව සංවිධානය වියයුතුයි. මේ කඳවුරු දෙකම වෙනුවට පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාවගේ නව කඳවුරක් ගොඩනගමු’’ ගුණරත්නම් කීවේය.
මඟුල් ගෙදර දේශපාලන කතා සහ රනිල්ගේ උපදෙස්
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුෂ පැල්පිට මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යය ඉකුත්දා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්විණි. මෙම මංගල උත්සවයේ දෙපාර්ශ්වයේ සාක්ෂියට අත්සන් කළේ නාමල් රාජපක්ෂ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසිනි.
උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු දේශපාලකයෝ ගණනාවක්ද පැමිණ සිටියහ.
රනිල් හෝටලයට පැමිණෙන විට හිටපු ජනපති මහින්ද දිවා භෝජනය ගැනීමට ගොස් සිටි අතර, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ අනුර ප්‍රියදර්ශන යාපා හෝටල් ආලින්දයේ කොනක කතාබස් කරමින් සිටියහ. රනිල් එනු දුටු නාමල් ඉදිරියට පැමිණ සර්, භූතාන සංචාරය කොහොම ද?’’ යැයි ඉංග්‍රීසි බසින් විමසීය.
‘‘ගොඩක් හොඳයි, භූතානය කියන්නේ වේගයෙන් දියුණු වෙන රටක්’’ යැයි කියූ රනිල්, නාමල් තමා ළඟින් වාඩිකරවාගෙන භූතානය ගැන කෙටි විස්තරයක් කළේය. වැඩි වේලාවක් නොගොස් සංවාදය දේශපාලන පැත්තට ගමන් කළේය.
‘‘අද ඇතිවෙලා තියෙන්නේ වෙනදට වඩා විශේෂිත තත්ත්වයක්. වෙනදට අපි බලය නැතුව හැප්පුණේ බහුතර කණ්ඩායම එක්ක. අද තියෙන්නේ ඊට වෙනස් තත්ත්වයක්. ජනාධිපතිට සහ මාලිමා ආණ්ඩුවට අද තියෙන්නේ සුළුතර බලයක්. බහුතරය ඉන්නේ ඊට විරුද්ධව. ගැටලුව තියෙන්නේ බහුතරයේ එකතුව තාම හැදිලා නැති එකයි. ඉක්මනට කළ යුත්තේ ඒ එකතුව ඇතිකරන එකයි’’ රනිල් කීවේය.
මම දකිනවා නාමල් සෑහෙන්න ගමින් ගමට යනවා කියලා’’ යි රනිල් කී විට, ඔව් සර්, කොහොමත් අපේ බිම් මට්ටම ශක්තිමත් කරගන්න ඕනෑ. දිස්ත්‍රික්ක බොහොමයක සංවිධාන වැඩ මේ වන විටත් අවසන්’’ යනුවෙනි.
‘‘නගරවලට හිර වෙන්නේ නැතුව ගමට යන එක තමයි හොඳ. ගමට ගිහිල්ලා වැඩ කටයුතු ආරම්භ කරන්න’’ රනිල් උපදෙස් දුන්නේය.
මේ අතර නාමල් තමන්ගේ වට්ස්ඇප් පණිවිඩ පරික්ෂා කර බලා රනිල්ට යමක් පෙන්වීය. මේ මොකක්ද ඔයාව අත්අඩංගුවට ගන්නවා කියලානේ මේකේ තියෙන්නේ’’ රනිල් කීවේය.
‘‘ඔව් සර්... ඔහොම පණිවිඩ සීයක් විතර ආවා. මාව අත්අඩංගුවට අරන් සැප්තැම්බර් වෙනකම් හිරේ දානවා කියලයි මේකේ තියෙන්නේ’’ නාමල් කීවේය.
එතැනට පැමිණි හිටපු ජනපති මහින්ද පැවසුවේ, අපි ඉතින් ඔයිට වැඩිය දේවල්වලට මුහුණදීලා තියෙනවනෙ’’ කියාය.
එහි සිටි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසූයේ, සර්, අලි ඇතුන් ගැන අලුත් ගැසට්ටුවක් ගහලා තියෙනවා. අලි ඇතුන්ට දම්වැල් දාන්න බෑ කියලා ඒකේ තියෙන්නේ. අලි ඇතුන් ඇවිද්දන ප්‍රමාණයත් සීමා කරන්න අවශ්‍යයි කියලා එහි තියෙනවා. ඒ වගේම අලි ඇතුන් වැඩි කාලයක් හිටවලා තියන්න එපා කියලත් සඳහනක් තියෙනවා’’ යනුවෙනි.
ඉන් පුදුමයට පත් වූ රනිල්, එහෙනම් අලි ඇතුන් බඳින්නේ පිරිත් නූල්වලින්ද?’’ යි සිනාමුසුව විමසීය.
‘‘මේක කරන්නේ අලි ඇතුන්ට තියෙන ආදරේට නෙමෙයි. අලි ඇතුන් සමහර වෙලාවට එක පළාතක ඉඳන් තවත් පළාතකට අලි කොරිඩෝ හරහා ගමන් කරන අවස්ථා තියෙනවා. අනික අපි දන්න විදියට නම් අලි ඇතුන් දවස පුරාම හිටගෙන තමයි ඉන්නේ. මේ කරන්න යන්නේ පෙරහැර කරන එක නතර කරලා ඒ අයගේ අරමුණු ඉටු කරගන්න’’ රනිල් විස්තර කළේය.
එහි සිටි අයකු පැවසූයේ, මේ උදවියට කොහොමත් පෙරහැරවල් අගුණයිනේ. අච්චර හාස්කම් තියෙන බව කියන කතරගම පෙරහැරටත් ගහපු උදවියනේ’’ යනුවෙනි.
එම උත්සවයේ ආරාධිතයකු වූ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ඇමතූ රනිල්, අදාළ ගැසට්ටුව ගැන කරුණු කීම සඳහා වහා මාධ්‍ය හමුවක් කැඳවන්නැයි උපදෙස් දුන්නේය. එජාප සභාපති වජිර, මාන්නප්පෙරුම සහ පසිඳු ඊට යොදවන ලෙස ද, පනත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා පළ කළ යුතු බව ද රනිල් පැවසීය.
ඉන්පසුව රනිල්ට මුණගැසුණේ දිලිත් ජයවීරයි.ි‘ඔයගොල්ලෝ එකතු වෙනවාට අමතරව විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ආදී ප්‍රශ්න ගැන ගම් මට්ටමින් දැනුවත් කිරීම් අරඹන්න උවමනයි’’ රනිල් කීවේය.
දිලිත් පැවසූයේ ගම් මට්ටමින් තමන් ද වැඩසටහන් ආරම්භ කර තිබෙන බවයි. ඒක ප්‍රමාණවත් නැහැ දිලිත්. ඔබතුමා තමයි මෙතන නායකත්වය ගන්න ඕන’’ රනිල් කීවේය.
‘‘ඔයගොල්ලෝ නියමිත වැඩ කොටස කරන්න. මම වෙලාවට බැහැලා මගේ වැඩ කොටස කරලා දෙන්නම්’’ රනිල් පැවසීය.
‘‘හරි, එහෙනම් මම ඔබතුමා කියන දවසක ඇවිත් මුණගැහෙන්නම්. අපි එකට වැඩ කරමු’’ යි දිලිත් කීය.
අනතුරුව රනිල් ඩී.වී. චානක, ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදී නායකයන් ද හමුවී කතාබහ කර දිවා භෝජනය ලබාගැනීමෙන් පසු නික්ම ගියේය.
පොලිස්පතිට කියපු කතාව සාගරට ලෙඩක් වෙයි ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් කැඳවා තිබිණි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, ඩී.වී. චානක, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
‘‘මොකක්ද සාගර ඔයා මේ පොලිස්පති ගැන කිව්වා කියන්නේ?’’ නාමල් සාගරගෙන් විමසීය.
‘‘පොලිස්පති ආණ්ඩුවට කඩේ ගියොත් වෙන ඉරණම ගැනයි මම කිව්වේ’’ සාගර කීවේය.
‘‘අපිට ජීවිත තර්ජන තියෙනවා කියලා මාධ්‍යවේදියෙක් පැමිණිලි කළත් ඇක්ෂන් නෑ. හැබැයි මේ වගේ ඒවට ටක්ගාලා ඇක්ෂන් ගන්නවා. මම පාර්ලිමේන්තුවේදීත් එයාලට කිව්වා දේශපාලකයන්ගේ ලණු කන්න එපා කියලා’’ නාමල් කියා සිටියේය.
රනිල්ගෙන් යෝජනාවක්
මඟුල් ගෙදරින් පසු දිනෙක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ හමුවක් කැඳවා තිබිණි. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සමස්ත විපක්ෂයේ බොහොමයක් ඊට පැමිණ සිටියහ. මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රසන්න රණතුංග, පාටලී චම්පික රණවක, තලතා අතුකෝරළ, වජිර අබේවර්ධන, ශිරාල් ලක්තිලක, කීර්ති තෙන්නකෝන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
එහිදී අදහස් දක්වමින් රනිල්, ‘දැන් අපි නායක මට්ටමින් එකතුයි. ඒ වගේම නායක මට්ටමින් එකට වැඩ කරනවා. අපි දැන් අවස්ථා කීපයකදීම එකට මුණගැසී තිබෙනවා. හේෂා විතානගේ නීතිඥයෙක් වීම සම්බන්ධයෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදීත් මම සජිත් ඇතුළු කණ්ඩායම මුණගැසුණා. ගතයුතු ක්‍රියාමාර්ග ගැන අපි දැන් කතා කරලා තියෙනවා. අපිට දැන් යන්න තියෙන්නේ ඊළඟ පියවරට. ඒ පියවරට යන විට අපි අපේ වැඩපිළිවෙළ හදලා තියන්න ඕනෑ. මහාචාර්ය ජී.එල්.ගේ මූලිකත්වයෙන් දැන් ඒකාබද්ධ විපක්ෂය සාර්ථකව වැඩ කටයුතු කරගෙන යනවා. එක්කෝ කවුරුත් එතෙන්ට එකතු වෙන්න ඕනෑ, නැතිනම් වෙන ක්‍රමවේදයකින් හරි ඔක්කොම එකට වැඩ කරන යාන්ත්‍රණයක් හදන්න ඕනෑ’’ යනුවෙන් පැවසීය.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සජිත්ට ප්‍රශංසාවක්
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම බ්‍රහස්පතින්දා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.
විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් රජය සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බවත්, නිවැරදි ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඊට සම්පූර්ණ සහාය දෙන බවත් සඳහන් කරමින් එහිදී නිවේදනයක් නිකුත් කෙරිණි.
මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අති විශේෂ සිදුවීමක් විය. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක් සම්මත කරගැනීමයි. විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂවල එකමුතුවෙන් විපක්ෂ නායකවරයා රැස්වීමක් කැඳවීම ඊට හේතුව විය.
සම්මත වූ ප්‍රශංසා යෝජනාව මෙසේය:
‘‘විපක්ෂයේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ජූලි මස 23 වැනි දින පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ගත් පියවර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ප්‍රශංසාව පළ කර සිටී. ඉහත පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පෙළගැසෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉල්ලා සිටිනු ලැබේ.’’
රාජ දූත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd