
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න
රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න සමග කළ සාකච්ඡාවකි.
ආණ්ඩුවට අවුරුදු දෙකකට කිට්ටුයි. අවුරුදු දෙකක ශේෂ පත්‍රය ගැන ඔබට සතුටු ද ?
පිළිතුර:- ශේෂ පත්‍රය ගැන කතා කරනකොට ආරම්භක ස්ථානයේ ඉඳලනේ ඒක ගන්න වෙන්නේ. අපට ආරම්භ කරන්න වුණේ රතු පාවඩ එළපු පහසු තැනකින් නොවේ. කවුරුත් දන්නවා එතකොට රටම ආර්ථිකමය වශයෙන්, සමාජමය වශයෙන්, දේශපාලනික වශයෙන් දැවැන්ත බිඳ වැටීමකට ලක්වෙලයි තිබුණේ. ඒවා ප්‍රකාශයට පත්වෙන්න ගත්තේ අපි රට බාරගන්න ආසන්නයේ. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල මිනිස්සු මැරෙන ඒවා, විදුලිය කැපීම්, පඩි ගෙවාගන්න බැරිවෙච්ච හැටි, ඒවා එක්කලා ඒ ආරම්භය එක්ක ගත්තම අපට පේනවා ඒ දුෂ්කර අවධිය අපි පසු කරමින් ආවා.
ඔබ කියන්නේ දැන් රටේ ප්‍රශ්න නෑ කියල ද?
පිළිතුර:- නෑ, සියලු ප්‍රශ්න ඔක්කොම විසඳලා කියලා කියන්න බෑ. හැබැයි, දැන් තෙල් පෝලිම් නෑ. ගෑස් පෝලිම් නෑ. පඩි ගෙවාගන්න බැරි වෙලා නෑ. රාජ්‍ය සේවකයන් බඳවා නොගෙන නෑ. විදුලිය කැපීම් නෑ.
ඔබට පොඩි බාධාවක් කරන්න වෙනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ?
පිළිතුර:- ඔව්, එයාලට එහෙම කියන්න පුළුවන්. ඔබට මතකයි නම් මේ රටේ බෙහෙත් ටික නැති වෙනකොට, ඉන්දියාවේ යාචකයන් පවා සල්ලි එකතු කරලා අපට දුන්නා. ඉන්දියාවෙන් සල්ලි දුන්නා තෙල් ටික ගන්න. ගෑස් ටික ගේන්න. දැන් අපි කාගෙන්වත් එහෙම කරගන්නේ නෑ. දැන් අපි ස්වශක්තිය මත පදනම් වෙලා තෙල් ටික ගේනවානම්, ගෑස් ටික ගේනවානම්, විදුලිය දෙනවානම්, ඒ ශක්තිය හැදුණේ අපේ පාලන කාලයේ දී නේද? අද ණයටත් කන්න පුළුවන්. නමුත් වඩාත් හොඳ ස්වශක්තියෙන් කන එක. ඒ විදියට ගත්තම මේ අවුරුදු දෙකක කාලය තුළ ආපහු හැරිලා බලන්න. රට කොහේ ද තිබුණේ? රටේ දැවැන්ත මුදල් අච්චු ගැසීමක් කළා. දැවැන්ත ණය ගැනීම් කළා. ජාතික දේපොළ විශාල වශයෙන් විකිණුවා. දැන් එහෙම ප්‍රශ්න නෑනේ. ලංකා ඉතිහාසයේ 1948 ඉඳන් මේ දක්වා ගත්තාම භාණ්ඩාගාරයට වැඩිම අදායම ගත්තේ 2025 දී ලංකා ඉතිහාසයෙ වැඩිම සංචාරකයන් ගෙන්නපු අවුරුද්දත් 2025. ඒ තත්ත්වයට අපි රට ගෙනාවා. ආර්ථික වශයෙන් හොඳ අඩිතාලමක් අපි දාලා තියෙනවා. ඒ මත ඉදිරි ගොඩනැගීම් කරන්න අපට පහසුයි.
විපක්ෂය නම් කියන්නේ ආණ්ඩුව ගැන මිනිසුන්ට විශ්වාසයක් නෑ කියලා ?
පිළිතුර:- අපි ගැන නොවෙයි ඒගොල්ලෝ ගැනයි විශ්වාසය බිඳිලා තිබුණේ. ඒ කාලේ රටේ ජනතාවට දේශපාලනය ගැන විශ්වාසයක් තිබුණෙ නෑ. තිබුණේ කලකිරීමක්. රාජ්‍ය සේවය ගැනත් එහෙමයි. සමස්තයක් වශයෙන් ගත්තම මේ රට කාටවත් හදන්න බෑ කියලා මිනිස්සු හිතුවා. අපට රට දුන්නේ අපිව පරීක්ෂා කරන්නයි.
ඒ විශ්වාසය රැක්කා කියලා ඔබ හිතනවා ද?
පිළිතුර:- මෙහෙමයි. අපි වගේ කණ්ඩායමක් එනකොට අපි ගැන අවිශ්වාසයක් හදලා තිබුණා. මේ අයට මාස තුනක් රට කරන්න බැරිවෙයි කිව්වා. අත්දැකීම් නෑ කිව්වා. පෙට්ටි කඩයක්වත් කරලා නෑ කිව්වා. ලේ වැගිරීම් ඇති වෙයි කිව්වා. ජාත්‍යන්තරය නැතිවෙයි කිව්වා. පෙරහරක්වත් කරගන්න ඉඩක් නැති වෙයි කිව්වා. මේ වසර දෙක දිහා ආපස්සට හැරිලා බැලුවම මේ වසර දෙක තුළ ජනතාවට අපි සම්බන්ධයෙන් පෙන්වලා තිබුණු චිත්‍රය වෙනස් වෙලා තියෙනවා. අපිව වෙනස් විදියට දකින්න පටන් අරගෙන තියෙනවා. ජාත්‍යන්තරයක් එහෙමයි. ආණ්ඩුවක් විදියට අපි ශක්තිමත් තැනකට ඇවිත් ඉන්නෙ රටේ සියලු ප්‍රශ්න මේ අවුරුදු දෙකක දී විසඳන්න බැනේ. නමුත් ප්‍රශ්න විසඳෙන දිහාවට අපි රට හරවලා තියෙනවා.
ඔය ඔබ කියන්නේ ආණ්ඩුව ගැනනේ. ජනතාව ගැන හිතන්නේ නැද්ද ?
පිළිතුර:- අපි රට බාර ගන්න කොට සමාජය කඩා වැටිලයි තිබුණේ. රටක සංවර්ධනය කියන්නේ පාරවල් හදන එක, හයිවේ හදන එක විතරක් නොවෙයි. අපි එනකොට ජාතිවාදී. ආගම්වාදී ගැටුම් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සංචාරකයන් එන එක නැවතුණා. මේ වසර දෙකක ආපස්සට හැරිලා බලන්න. එහෙම ගැටුම් නෑ. ජාතික සමගියේ දිහාවට රට යනවා. ආයෝජකයන්ගේ සංචාරකයන්ගේ බිය තුරන් වෙලා තියෙනවා. විෂ මත්ද්‍රව්‍ය කොච්චර පැතිරිලා තිබුණ ද? ඒ විදියටම රට ගියානම් මොකක් වෙයි ද? විෂ මත්ද්‍රව්‍ය තුරන් කරන්න අපි දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපරාධ සංස්කෘතියක් තිබ්බ රටක්නේ. මේ අපරාධ කිව්වම පාතාලය තියෙනවා. රටේ වංචාව දූෂණය කොච්චර ඉහවහා ගියා ද කියනවානම් මහ බැංකුවට පවා ඒක බලපෑවා. පාර්ලිමේන්තුවෙත් අපරාධකාරයෝ සැලකිය යුතු ප්‍රමාණයක් හිටියා. අපරාධ වාතාවරණය ශුද්ධ කරන්න අපි නීතිය ශක්තිමත් කරලා තියෙනවා. ගම්වල අහිංසක මිනිස්සු ඉස්සර කිව්වේ නීතිය අපට විතරයි. ධනවතුන්ට, බලවතුන්ට නෑ කියලා. අද ඒ තත්ත්වය නෑ. අනුර කුමාර සහෝදරයා, ජනාධිපති නොවුණා නම් ඇමැති මණ්ඩලය 23ක් වෙයිද ? ජනාධිපති මන්දර, ඇමැති නිල නිවාස අතහැරෙන්නෙත් නෑ. විශ්‍රාම වැටුප අයින් කළා. ඒ විදියට දේශපාලන සංස්කෘතිය ඉමහත් සාධනීය වෙනස්කම් වෙලා තියෙනවා.
හොරුන්ට දූෂිතයන්ට දඬුවම් කරවා කියලා කිව්වත් විපක්ෂය නම් කියන්නේ ඒ හරහා විපක්ෂය මර්දනය කරනවා කියලයි ?
පිළිතුර:- විපක්ෂය මුලින් කිව්වේ ‘කෝ අල්ලපු හොරෙක් නෑ හොරුන්ට දඬුවම් නෑ කියලනේ. ජනාධිපතිතුමා කිව්වා. හැබැයි අල්ලනකොට කෙඳිරි ගාන්න එපා කියලා. ඉස්සර අධිකරණය ගන්න ඕන තීන්දු තීරණ ගත්තේ දේශපාලනඥයන්. දැන් එහෙම නෑ. අධිකරණයට ස්වාධීනත්වය ලැබිලා තියෙනවා. ඉස්සර විනිසුරුවරුන්ගේ ගෙවල්වලට ගල් ගැහුවා. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එළියට දැම්මා. දැන් මෙතැන පළි ගැනීමක් නෑනේ. ඉස්සර දේශපාලනඥයෝ ජනතාවගෙන් පළි ගත්තා. ජනතාවට ලැබිය යුතු බොහෝ දේ ඒ ගොල්ලෝ බෙදා ගත්තා. දැන් තමයි නීතිය යුක්තිය ඉෂ්ට වෙමින් තියෙන්නේ රටට.
අධිකරණය ස්වාධීනයි නම් නඩු තීන්දු ගැන මැති ඇමැතිවරුන් කලින් කියන්නේ කොහොමද?
පිළිතුර:- ඇත්තම ගත්තොත් සමහර නඩු අපි දාපු ඒවත් නොවෙයි. ඒ කාලේ දාපු නඩු තියෙන්නේ. අලුත් නඩු ඉස්සරහට එනවා. සමහර නඩු තීන්දු අලුතෙන් කියන්න දෙයක් නෑ. අපට තහවුරුයි නම් මේ මිනිහා හොරකම් කරලා කියලා. ඉතින් දඬුවමක් ලැබෙනවා කියන එක අහන්නත් දෙයක්ද? විපක්ෂයෙ ඉන්න කාලෙත් අපි කලින් කියපු දෙවල් තියෙනවා. මේ රටේ සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වුණොත් වංචා, දූෂණ, හොරකම් කරපු ගොඩක් අය ඇතුළේ තමයි. ඉතින් අපි ඒක කියනකොට අරුමයක් වෙන්නේ කොහොමද?
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ආණ්ඩුවට පුදුම කලබලයක් නේ තිබුණේ.
පිළිතුර:- කලබලයක් නෑ. මේක මීට කලින් කරන්න තිබුණා. 2015 දී හකීම් ඇමැති ඉන්න කාලයේ අධිකරණය සම්බන්ධ කාරක සභාවල මේ වයස වැඩි කිරීම ගැන සාකච්ඡා කරලා තියෙනවා. නීතිඥ සංගමයේ පෙර හිටපු සභාපතිවරු වයස වැඩි කළ යුතුයි කියලා සාකච්ඡා කරලා තියෙනවා.
අපි රට බාර ගන්න කොට සමාජය කඩා වැටිලයි තිබුණේ. රටක සංවර්ධනය කියන්නේ පාරවල් හදන එක, හයිවේ හදන එක විතරක් නොවෙයි. අපි එනකොට ජාතිවාදී. ආගම්වාදී ගැටුම් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සංචාරකයන් එන එක නැවතුණා. මේ වසර දෙකක ආපස්සට හැරිලා බලන්න. එහෙම ගැටුම් නෑ.
අගවිනිසුරුවරයා තබා ගැනීම තමයි මේ සංශෝධනයේ මූලික අරමුණ.
පිළිතුර:- එහෙම කියන්නේ කොහොමද? මහේස්ත්‍රාත් උසාවියේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ දක්වා සියලු විනිසුරුවරුන්ගේ වයස වැඩි කිරීම අගවිනිසුරුවරයා පමණක් තබා ගැනීමක් කියලා කියන්නේ කොහොම ද? අපි පුද්ගලයෙක් ඉලක්ක නොකළට විපක්ෂය පුද්ගලයෙක් ඉලක්ක කරලා කියලා පේනවා. ඉස්සරත් එහෙම කළා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය එළියට දැම්මේ කොහොම ද?
ඒක අකමැති කෙනාව ඉවත් කිරීමක්. මේක කැමති කෙනාව තබා ගැනීමක් කියලා තර්කයක් මතු කළොත්?
පිළිතුර:- වර්තමාන අගවිනිසුරුතුමා ගත්තාම, මගේ මතකය හරිනම් 2006 දී ඔහු මහාධිකරණයට එනවා. 2016 දී ඔහු අභියාචනාධිකරණයට එනවා. අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් හැටියට එතුමා පත් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. 2019 දී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරනවා. ඒ පත්වීම කළේත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයගේ කාලයෙත් ඔහු හිටියා. ඔහුම අගවිනිසුරු ධුරයට පත් වුණේ අපි බලයට ආවට පස්සේ. ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණවල ඉන්නේ එක එක කාලවල හිටපු ජනාධිපතිවරු, අගවිනිසුරුවරයන්ගේ කාලය විතරක් නොවෙයි. හැමෝගෙම කාලය දික් වෙනවනේ. අපට දේශපාලන ප්‍රශ්නයක් නෑ. අපට ඕනෑ අධිකරණය ශක්තිමත් කරන්නයි. නීතිය ක්‍රියාත්මක කිරීම උවමනාවක් වගේම යුක්තිය ඉටු කිරීමේ උවමනාවක් අපට තියෙනවා.
සී.අයි.ඩී. එකේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළේත් පොලිසිය බාර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළේත් මාලිමාවේ වේදිකාවේ හිටපු දෙන්නෙක් ?
පිළිතුර:- මෙහෙමයි. ස්වාධීනත්වය ගැනනේ ඔබ අහන්නේ. ස්වාධීනත්වය මනින ක්‍රම තියෙනවනේ. අපට පක්ෂග්‍රාහී ද? අපේ කවුරු හරි කෙනෙක් වංචාවක් කළොත් එයාව රකිනව ද? එයාල ක්‍රියාත්මක කරන්නේ අවනීතිය ද, ඒවායින් ස්වාධීනත්වය මනිනවා මිසක් කවුරුහරි කියන දෙයක් අල්ලාගෙන ස්වාධීනත්වය මනින්න බෑ.
ඔබේ සමහර මැති ඇමැතිවරු කියනවා ආණ්ඩුව ගත්තේ ආපහු දෙන්න නෙවෙයි. අපි අවුරුදු 20ක් 30ක් ඉන්නවා කියලා. නමුත් නීතිඥ සංගමය හමුවෙච්ච වෙලාවේ ජනාධිපති අනුර කුමාර කිව්වා ‘‘අවදානමක් බාරගන්න සූදානම් - යන්න වුණොත් යනවා කියලා. ඇමති ලාල් කාන්ත කිව්වා ‘‘ආපහු මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නෙ නෑ’’ කියලා මොකක්ද මේ පරස්පරය?
පිළිතුර:- ඔය දෙකම මම කියන්නේ වැරදි නෑ කියලා. අපි නොවෙයි ඕනෑම පක්ෂයක් බලය ගත්තම කියයි ද ‘මැතිවරණයකට ගියොත් අපි පරදිනවා ඒක නිසා අපි යනවා’’ කියලා හරි ! අපි මේ බලය ගත්තේ මේ රට ගොඩනගන්නේ ඒ නිසා අපි බලය අතහරින්නේ නෑ. අපි ජනතාවගේ ඒක තීන්දු කරන්නෙ. ජනතාව වෙන තීන්දුවක් ගත්තොත් අපිට බලෙන් අල්ලන් ඉන්නත් බෑනේ. අපිට විශ්වාසයක් තියෙනවා අපි කරගෙන යන වැඩපිළිවෙළට ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා කියලා. ජාතික ජනබලවේග ආණ්ඩුව පෙරළන්න මීට වඩා හොඳා දැක්මක් තියෙන නායකත්වයක් එන්න ඕනෑ. ඊට වඩා අඩු කණ්ඩායමකට නම් දෙන්න බෑ. ජනාධිපතිතුමා කිව්වේ ජනතාව වැරැදියට තේරුම් අරගෙන හරි යන තත්ත්වයට පත් වුණොත් ‘ඉන්නෙ නෑ යනවා’ කියලයි. ඉතින් ලාල් කාන්ත ඇමැතිතුමාගේ ප්‍රකාශය නම් පෞද්ගලිකයි. ‘මම නුවරින් ඉල්ලන්නේ නෑ’ කියලා ලාල් සහෝදරයා කියනවා. මමත් මාධ්‍යයෙන් දැක්කා. ඉතින් බලමු. එතුමා කළ ප්‍රකාශයෙම තිබුණා. ජනාධිපතිතුමා මට නුවරින් ඉල්ලන්න කියලා කිව්වා. ඉතින් මම ඉල්ලුවා කියලා. හරි විදියට කියනවානම් ජනාධිපතිතුමා කැමති වෙන එකක් නෑ ලාල් කාන්ත ඇමැතිතුමා යනවට නම්.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd