- 2016-17 එල්නිනෝ හා සැසඳීමේදී කැපී පෙනෙන අවස්ථාවක්
- කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ලවීමෙන් ආහාර උද්ධමනය ඉහළට
- ජල විදුලි බල උත්පාදනය අඩුවීමෙන් බලශක්තියට වැඩි විදේශ විනිමයක් වැය වෙයි
- ප්‍රධාන අපනයන භෝග නිෂ්පාදනයට බලපෑමෙන් අපනයන ආදායමට බලපෑමක්
- 2022 ඇති කරගත් IMF එකඟතාව නිසා තත්වයට මුහුණ දීමේ වෙනසක්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාව වෙත බලපෑමට ඉඩ තිබෙන එල්නිනෝ තත්වය හේතුවෙන් පළමුව දරුණු නියඟ තත්වයකටද, ඉන්පසුව අධික වර්ෂාපතනයකටද යනාදී ලෙස කම්පන දෙකකට මුහුණදීමේ අවදානමක් කාලගුණ විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙම කම්පන හේතුවෙන් මෙරට ආර්ථිකය වෙත ඉතාමත් දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවත්, එය 2016-17 කාලසීමාවේදී ඇති වූ නියඟ සහ ගංවතුර තත්ව හා සැසඳීමේදී කැපී පෙනෙන අවස්ථාවක් විය හැකි බවත් මේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන SenFin Securites ආයතනය පවසා සිටියි.
විශේෂයෙන්ම මෙම බලපෑමෙන් වගාවලට ඇති වන බලපෑම නිසා ආහාර උද්ධමනය ඉහළ යෑම, ආර්ථික වර්ධනය වෙත බලපෑම, බලශක්ති පිරිවැය ඉහළ යෑම මෙන්ම විදේශ මුදල් සංචිතය අඩුවීමට එය හේතුවීම යනාදිය හඳුනාගෙන ඇතැයි එම ආයතනය සඳහන් කරයි.
“මෙවැනි තත්වයට ශ්‍රී ලංකාව මීට පෙරත් මුහුණ දුන්නා. එහෙත් ඒ අවස්ථාවලදී විවිධ කාරණා නිසා එම තත්වය පැහැදිලිව නිරූපණය වුණේ නෑ. උදාහරණයක් විදියට 1997-98 කාලයේදී ඇති වූ දරුණු එල් නිනෝ තත්වය ආසියානු මූල්‍ය අර්බුදයෙන් වැසී ගියා. 2009-10 සාමාන්‍ය අවස්ථාව යුද්ධයෙන් පසු ඇති වූ තත්වයෙන් වැසී ගියා. 2015-16 තත්වය පැහැදිලිව පෙනුණා.”
මෙලෙස ශ්‍රී ලංකාව එල්නිනෝ තත්වය වෙත වඩාත් අවදානමට ලක්වන රටක් වීමට හේතු ලෙස SenFin Securites මූලික කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි.
එහිදී රටෙහි කෘෂිකාර්මික කටයුතු මෝසම් වර්ෂා දෙකක් මත සිදු කිරීම, කෘෂිකර්මාන්තය රටේ රැකියාවලින් සියයට 25ක් නියෝජනය කිරීම සහ ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රධානම සාධකය වීම, වඩාත් යහපත් වර්ෂාවක් පවතින වසරවලදී බලශක්ති උත්පාදනයෙන් සියයට 40-45ක් ජල විදුලියෙන් ලැබීම, තේ, රබර් සහ පොල් යන අපනයන භෝග වර්ෂාවට සංවේදී වීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව යටතේ පවත්වාගෙන යන විදේශ විනිමය සංචිතය යනාදිය පවතී.
ඒ අනුව මෙම එල්නිනෝ තත්වය නිසා කෘෂිකර්මාන්තයට ඇති වන බලපෑමත් සමගින්ම ආහාර නිෂ්පාදනය සහ සැපයුම වෙත කම්පනයක් එල්ල වන අතර, එය උද්ධමනය වෙත බලපෑමක් එල්ල කරයි.
එය පාලනය සඳහා ආහාර ආනයනය කළ යුතු අතර ඊට විදේශ විනිමය වැයවෙයි.
එසේම බලශක්තිය උත්පාදනය සඳහා ජලය නොමැතිවීමත් සමගින්ම ඉන්ධන සහ ගල් අඟුරු වෙත යොමුවීමට සිදුවීම නිසා වැඩි වශයෙන් විදේශ විනිමය වැය කිරීමට සිදු වෙයි.
“2015 සමාන්‍ය තත්වයේදී ජල විදුලි උත්පාදනය සියයට 46ක් වුණා, 2016 නියඟයේදී එය සියයට 30ක් දක්වා අඩු වුණා. 2015 දී සියයට 34ක් වුණු ගල් අඟුරු 2016 දී සියයට 36 ක් දක්වා ඉහළ ගියා. දහන ඉන්ධන 2015 දී පැවැති සියයට 17 ක සිට 2016 දී සියයට 32 ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගියා.”
මෙම වාර්තාවට අනුව 2016-17 කාලසීමාවේදී පැවැති තත්වයත් සමගින් ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.8 කට ආසන්න අගයකින් ඉහළ ගොස් තිබේ.
සහල් සහ ධාන්‍ය ආනයනය ඩොලර් මිලියන 22 ක සිට මිලියන 314ක් දක්වා 14 ගුණයකින්ද, ඉන්ධන සහ බලශක්ති පිරිවැය ඩොලර් මිලියන 2,481 ක සිට ඩොලර් මිලියන 3,428ක් දක්වා සියයට 38කින්ද, ගල් අඟුරු වියදම ඩොලර් මිලියන 197 ක සිට 261ක් දක්වා සියයට 33 කින්ද යනාදී ලෙස ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් පසුගිය අවස්ථාවේදී මෙන් නොව 2022 වසරේදී ඇති කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එකඟතාවත් සමගින් මේ අවස්ථාවේදී එම තත්වයට මුහුණ දීම වෙනස් වන බවද SenFin Securites පවසයි.
“2022 ට පෙර රජය තමයි ඉන්ධන සහ බලශක්ති මිල ගණන් තීරණය කළේ. ගෝලීය පිරිවැය ඉහළ යෑම් රජයේ ශේෂ පත්‍රයෙන් දරා ගත්තා. ජල විදුලි බලය හිඟවීම ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුවක් විදියට සැලකුණු අතර - එය ජනතාවයට පැටවුණේ නෑ. එහෙත් IMF එකඟතාවට අනුව තත්වය වෙනස් ඉන්ධන මිල ගණන් ලෝක වෙළෙඳපොළේ මිල අනුව වෙනස් වෙනවා. තාප බලාගාර හරහා බලශක්තියට වැය වන මුදල ජනතාවට පැටවෙනවා.”
ඒ අනුව මෙම බලපෑමත් සමගින්ම දළ දේශීය නිෂ්පාදිතය සියයට 0.3 ත් සියයට 1ත් අතර අගයකින් පහත වැටෙනු ඇති බවත්, ආහාර මූලික කරගත් උද්ධමනය සියයට 2 ත් 5ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවත්, ජල විදුලි බල උත්පාදනයේ පංගුව සියයට 46 ක සිට සියයට 30ක් දක්වා අඩු වනු ඇති බවත්, අවසානයේදී සංචිතය සියයට 20කට සමාන අගයකින් අඩු වනු ඇති බවත් SenFin Securites වැඩිදුරටත් පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd