සැප්තැම්බර් කියූ සැණින් අප මතකයට එන්නේ සාහිත්‍ය මාසය සහ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. එහෙත්, අද බොහොමයක් දෙනා සාහිත්‍ය දිනයක්, සාහිත්‍ය මාසයක් මෙන්ම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පැවැත්විය යුතු බවට යෝජනා කළ පුද්ගලයා ගැන නොදනිති. එවැනි ඉතිහාසයක් ගැන අද දන්නා අය ජීවතුන් අතර සිටින්නේ කිහිප දෙනෙකි. 1923 ජනවාරි 10 වැනිදා කෑගල්ලේ කන්නන්ගමුවේදී ජනිත වූ කරුණාතිලක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා පෙරමුණේ තිලක, පාඨක ලෝකය හඳුනන්නේ ‘පෙරමුණේ තිලක‘ යන නමිනි. පත්‍ර කලාවේදීන් එදා ඔහුව හැඳින්වූයේ ”‍පෙරමුණේ මහත්තයා”‍ යන නමිනි.

පෙරමුණේ තිලක ජීවිතය ආරම්භ කළේ සිංහල ඉස්කෝලේ මහත්මයකු ලෙසය. ගම්පොළ පාසලක උගන්වමින් සිටි ඔහුගේ ඇඳුම වූයේ රෙද්ද සහ බැනියමයි. භාෂාව වූයේ සිංහල පමණි; ඉංග්‍රීසි භාෂාව ගැන කිසිදු අවබෝධයක් නොතිබිණි. එහෙත් සිංහල භාෂාවෙන් කියවන්නට තිබුණු හැම පොතපතක්ම කියවා රටත් ලෝකයත් ගැන සෑහෙන අවබෝධයක් ලබාගත්තේය.

මේ අතර 1947දී ‘ලංකාදීප‘ නමැති අලු‍ත් පත්තරය පටන්ගත් විට පෙරමුණේ ගුරුකම කරන අතරතුර ගම්පොළ ප්‍රාදේශීය වාර්තාකරු ලෙසද කටයුතු කළේය. ‘ලංකාදීප‘යේ ප්‍රාදේශීය වාර්තාකරුවන් අතර කැපී පෙනුණු විශේෂ පුද්ගලයකු බවට පත් වූ ඔහු, ගම්පොළ පළාත් ආණ්ඩුවේ සභාවේ පැවති දූෂණ ගැන දිගින් දිගටම වාර්තා ලිවීම නිසා එම සභාවේ රැස්වීම්වලට සහභාගි වීම තහනම් කරනු ලැබීය. එම ප්‍රශ්නය උඩ හටගත් ආන්දෝලනය නිසා පෙරමුණේ තිලක ගැන ඩී. බී. ධනපාලගේ අවධානය යොමු විය. 1951දී පෙරමුණේ කොළඹට ගෙන්වූ ධනපාල මහතා ඔහුව ‘ලංකාදීප‘ මාණ්ඩලික වාර්තාකරුවෙක් ලෙස පත් කළේය.

පෙරමුණේ තිලක ලංකාදීපයට බඳවාගත් අයුරු ගැන හිටපු ඇමැතිවරයකු වූ රත්න දේශප්‍රිය සේනානායක තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ. (රත්න දේශප්‍රියගේ මල්ලී වන්නේ හිටපු ඇමැතිවරයකු වූ ධර්මසිරි සේනානායකය. ධර්මසිරි දේශපාලනයට පැමිණීමට පෙර පුවත්පත් කලාවේදියෙක් විය.)

”‍මම ‘ලංකාදීප‘ ප්‍රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කරනකොට පෙරමුණේ තිලක ගම්පොළ වාර්තාකරු. ඔහු සිංහල ගුරුවරයකු ලෙස කටයුතු කළා. පෙරමුණේව කර්තෘ මණ්ඩලයට බඳවාගන්න යෝජනා කළේ එවලේ ‘ලංකාදීප‘ කර්තෘ ඩී. බී. ධනපාල මහත්මයා. ඒක සිදු වුණේ පෙරමුණේ එවපු වාර්තාවක් නිසයි. 1951දී බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැති ධුරය අතහැර ගියාට පස්සේ ඩී. එස්. සේනානායක අගමැති ගම්පොළ නගරයේ රැස්වීමක් තිබ්බා. ඩී. එස්. කිව්වා ‘ඒ කාලකන්නි මිනිහා අයින් වෙලා‘ කියලා. ඒ කතාව පෙරමුණේ ලංකාදීපයට වාර්තා කළා. රැස්වීමේදී ඩී. එස්. කියපු විදිහටම පෙරමුණේ ඒ කතාව වාර්තා කරලා තිබුණා. ධනපාල මහත්තයා සතුටු වෙලා මට කතා කරලා කිව්වා ‘මේ වගේ වාර්තාවක් එවන්න හොඳ කුසලතාවක් තියෙන්න ඕනෑ, අපි මෙයාව කර්තෘ මණ්ඩලයට ගනිමු‘ කියලා. මට කිව්වා පණිවිඩයක් යවලා ගෙන්නන්න කියලා. පණිවිඩයට පෙරමුණේ ආවා. මම එන්න කියපු හේතුව දැනගෙන හිටියට කිව්වේ නෑ, ධනපාල මහත්තයාව හමුවෙන්න කිව්වා. ‘ලංකාදීපයට බැඳිලා වැඩ කරන්න කැමතිද‘ කියලා ධනපාල මහත්තයා ඇහුවහම පෙරමුණේ මගෙන් ඇවිත් ඇහුවා. මම කිව්වා පුවත්පත් කලාව හොඳ අනාගතයක් තියෙන දෙයක්, වැඩ කරන්න කියලා.”‍

“පෙරමුණේ ‘ලංකාදීපයේ‘ වැඩ කරපු කාලයේ තමයි හර්තාලය ඇති වුණේ. හර්තාලය වෙලාවේ කීප දෙනෙක් වෙඩි වැදී මැරුණා. ඩඩ්ලි අගමැති තනතුරින් අයින් වුණා. ඩඞ්ලිගේ දේශපාලන අනාගතය ගැන සාකච්ඡා කරන්න ‘ලංකාදීපයෙන්‘ ගියේ පෙරමුණේ. ‘මම දේශපාලනයෙන් ඉවත් වෙලා අරණ්‍යයට ගිහින් තපස් රකිනවා. හර්තාලයේදී වෙඩි වැදී මියගිය මිනිස්සු ගැන මට දුකයි. මගේ පියා ගාලු‍මුවදොර පිටියේදී අශ්වයාගේ පිටින් වැටිලා මැරුණහම ඇති වුණු කම්පනය මට ඒ අවස්ථාවේදී ඇති වුණා‘ කියලා ඩඞ්ලි කියපු කතාව පෙරමුණේ ‘ලංකාදීපයට‘ ලිව්වා. හර්තාලය දවස්වල දවස් තුනක් පෙරමුණේ සහ මම නිදි මරාගෙන විවිධ ප්‍රදේශවල ගමන් කළා; ප්‍රවෘත්ති එකතු කළා. ඒ තරම් උනන්දුවකින් පෙරමුණේ කටයුතු කළේ. 1956 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න ‘ලංකාදීප‘ පත්‍රයේ ජනමතයක් ඇති කළා. ඒ දවස්වල ‘දිනමිණ‘ පත්‍රය තමයි ප්‍රධාන පත්‍රය ලෙස තිබුණේ. අපි දවස් තුනෙන් ඒ වාර්තාව කැඩුවා. ‘ලංකාදීප‘ ලක්ෂයකට වැඩිය විකුණුණා.”‍

“ලංකාදීපයේ‘ වැඩ කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා මගේ ඉදිරිපස ආසනයේත්, පෙරමුණේ තිලක පැත්තේත් ඉඳලා අපි බොහොම විනෝදයෙන් කටයුතු කළා. ගුණදාස ලියනගේ, ධර්මසිරි ජයකොඩි පෙරමුණේව ළඟින්ම ආශ්‍රය කළා. නිමල් කරුණාතිලක, ප්‍රින්ස් ගුණසේකර, ආර්. පල්ලේවෙල, ඩී. එච්. අබේසිංහ, දීගොඩ පියදාස, කේ. එම්. සිරීසේන ආදීන් ‘ලංකාදීපයේ‘ සිටි අවධියේ එකතු වී වැඩ කළ අයයි.”‍ ධර්මසිරි සේනානායක එදා මතකය අවදිකර තිබුණේ එසේයි. 

කළු ඉංග්‍රීසිකාරයාගේ මඟු‍ලෙන් මුදවා භික්ෂූන් වහන්සේද, සිංහල ඉස්කෝලේ මහත්තයාද, ගොවි මහතාද, වෙද මහතාද අභිමානවත් පුද්ගලයන් බවට පත් කිරීමට පෙරමුණේ බොහෝ දේ ලිව්වේය. සිංහල ගැමියාට පෙත්සමක් යැවීමේදී ඉංග්‍රීසියෙන් ලියන්නට සිදු වීමත්, උසාවියේදී බයිබලයට අත තබන්නට සිදු වීමත්, භික්ෂුව පාංශකූලයට පමණක් සීමා කිරීමත් ඔහුගේ සිතට නොඉවසීය. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා පෙරමුණේ නොනවත්වාම ලිව්වේය.

එදා පත්තර රක්ෂාව නිසා ඇතැමකුට ‘මැති ගණ සෙවූ‘ පුද්ගලයකු වීමේ වරම ලැබෙයි. ඇතැමකුට එය භාග්‍යයක් වන අතර ඇතැමකුට අභාග්‍යයක් වෙයි. එම වරම භාග්‍යයක් කොටගත් ඇතැම්හු මැති ගණ සේවනය කරමින් තම මුඛ්‍ය කාර්යය අමතක කොට ලාභ ලෝභයෙන් වැනසෙති. ඇතැමෙක් මැති ගණ සහායෙන් තම පොදු පරමාර්ථ සමෘද්ධිමත් කරගනිති. පෙරමුණේ කළේ එයයි. 1951දී ඩී. බී. ධනපාල විසින් පෙරමුණේ තිලකව ‘ලංකාදීප‘ මාණ්ඩලික වාර්තාකරුවකු කිරීම බොහොමයක් දෙනාගේ මවිතයට කරුණක් වූයේ, එවලෙ සිංහල පුවත්පතකට ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය කරුණක් වී තිබූ බැවිනි.

පෙරමුණේ කර්තෘ මණ්ඩලයට යන විට එහි සිටි ඉංග්‍රීසි නොදත් එකම පත්‍ර කලාවේදියා වූයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පමණි. ඔහුගේ ප්‍රධාන වගකීම වූයේ වගතුග ලිවීම නිසා එය ප්‍රශ්නයක් නොවීය. එහෙත් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස පැවති රටක, ඉංග්‍රීසි නොදත් පෙරමුණේ වාර්තාකාරකම කළේ කෙසේ ද? ටයිකෝට් ඇඳගෙන පයිප්ප හෝ නෙවිල්ඞ් සිගරට් එක අතින් ගෙන ලොකු ලොක්කන් හමු වී ඉංග්‍රීසියෙන් කතා කර ප්‍රවෘත්ති සෙවූ වාර්තාකරුවන් අතර, රෙදි බෙනියම් ඇඳි පෙරමුණේ තැනක් ලබාගත් අන්දම ඉතිහාසගත වී ඇත.

අනෙක් සියලු‍ දෙනාගේ සිත් තුළ බලපෑමේ කිසිදු ප්‍රශ්නයක් රෙදි බෙනියම් ඇඳි ඉංග්‍රීසි විශාරදයකු ලෙස ධනපාලයන් ගණන් ගත්තේ නැත; ඔහු පෙරමුණේව දිරිගැන්වීය. පෙරමුණේ දැඩි ආත්ම ශක්තියකින් යුතුව ඉදිරියටම ගියේය. ඉංග්‍රීසි නැතුවට ප්‍රවෘත්ති සෙවීමට නොහැකියාවක් නැති බව ඔප්පු කළේය.

ඒ අතරතුර දිනපතාම ඉංග්‍රීසි දැනුම දියුණු කරගැනීමටද උත්සාහ කළේය. අවුරුද්දක් වැනි සුළු කාලයක් ඇතුළත ‘ලංකාදීපයේ‘ අය පමණක් නොව ‘ටයිම්ස්‘ සහ ‘ලේක්හවුස්‘ යන ආයතනවල ඉංග්‍රීසි පුවත්පත් කලාවේදීන් ද පෙරමුණේ තිලක නමැති ශූර ප්‍රවෘත්තිකාරයාගේ නමට ආදරය කළහ. පෙරළිවල අගමුල සොයාගැනීමට බැරි වූ විට බොහෝ ඉංග්‍රීසි වාර්තාකරුවෝ පවා පෙරමුණේගේ පිහිට පැතුවෝය.

1956දී සිදු වූ දේශපාලන පෙරළියට විශාල වශයෙන් සම්මාදම් වූ පත්‍ර කලාවේදියෙකි පෙරමුණේ තිලක. 1957දී මොස්කව් නුවර ප්‍රථම ලංකා තානාපති ලෙස ආචාර්ය මලලසේකර අක්තපත්‍ර භාරදුන් අවස්ථාවට පෙරමුණේද සහභාගි විය. මලලසේකර මහතාගේ අක්තපත්‍රය කෘෂෙව් ඉදිරියේ සිංහල භාෂාවෙන් කියවන ලද්දේ පෙරමුණේ විසිනි. ක්‍රෙම්ලින් මන්දිරය තුළ සිංහල කතා කළ ප්‍රථම පුද්ගලයා ලෙස පෙරමුණේ ඉතිහාසගත වී හමාරය. කොළඹ කාර්යාලයට බැඳී අවුරුද්දකින් පෙරමුණේ ‘ලංකාදීප‘යේ ප්‍රධාන වාර්තාකරු ධුරයට පත්කරනු ලැබීය.

දේශපාලන ලෝකයේ පතාක යෝධයන්ව සිටි සේනානායකලා, බණ්ඩාරනායකලා, ඔලිවර්ලා පමණක් නොව ෆිලිප්, එන්. එම්., වික්‍රමසිංහ, විවියන් වැනි අය ටෙලිෆෝනයෙන් කතා කර ”‍කොහොමද පෙරමුණේ”‍ කියා අසන තත්ත්වයට පෙරමුණේ තිලක පත් විය. ධනපති කඳවුරේ භික්ෂු බලවේගයේ බලකණුව ලෙස සිටි මාලේවන්නේ හාමුදුරුවන් මෙන්ම ප්‍රගතිශීලී කඳවුරේ බලකොටුව වූ විද්‍යාලංකාරයේ සියලු‍ම සටන්කාමී භික්ෂූන් වහන්සේලාද පෙරමුණේට එකසේ ආදරය කළහ.

රටේ සිදුවීමට ගිය දේශපාලන පෙරළි, සාහිත්‍ය මාසය, සාහිත්‍ය දිනය හා පොත් ප්‍රදර්ශනය ආරම්භය ගැන පෙරමුණේ තිලක 1985දී තබා ඇති සටහනක මෙසේ සඳහන් වේ.

“1957දී ජයවීර කුරුප්පු සංස්කෘතික ඇමැතිතුමා සාහිත්‍ය උපදේශක සභාව කියලා එකක් පත් කළා. මේ උපදේශක සභාවේ සාමාජිකයෝ ලෙස සිටියේ අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත, පණ්ඩිත කෝදාගොඩ ඥානාලෝක, ත්‍රිපිටකාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති, පණ්ඩිත කහඳමෝදර පියරතන, වැලිවිටියේ සෝරත, බඹරැන්දේ සිරිසීවලී යන මහා පණ්ඩි සංඝරත්නය සහ ඒ. අබේසේකර, අමරදාස රත්නනායක, එම්. ඒ. ඩයස්, එන්. යූ. දියෙස්, ඩබ්ලිව්. ඒ. සිල්වා, සාගර පලන්සූරිය, මාටින් වික්‍රමසිංහ යන අයයි.”‍

“ඇත්ත වශයෙන්ම මේ සභාවේ පුවත්පත් කලාවේදීන් අයුරින් පත් කිරීමට මට වඩා සුදුසු අය සිටියා. ජයවීර කුරුප්පුයි මමයි බොහොම ළඟින් ඇසුරු කරපු අය. එසේ ඇසුරු කරමින් සාහිත්‍ය අදහස් හුවමාරු කරගත් මම තමයි මේ සභාවට පළමුවෙන්ම යෝජනා කළේ ලංකාවේ සිංහල සාහිත්‍ය දිනයක් පැවැත්විය යුතුයි කියලා. ජනතාව ඉදිරියේ 1958දී සිංහල සාහිත්‍ය දිනය පැවැත්විය යුතුයි කිව්වා. ඒ සභාව මගේ යෝජනාවට අනුව තීරණයකට ආවා. පසුව ඒ දිනය සැප්තැම්බර් පළමුවැනිදාට නියම වුණා. එසේ වීමට කිසිදු විශේෂ හේතුවක් නෑ.”‍

“ඊළඟට මගේ සාහිත්‍ය දින වැඩපිළිවෙළ ගැන වැඩිදුර කරුණු සෙවීමට කොටහේනේ පඤ්ඤාකිත්ති, එම්. ඒ. ධර්මදාස, වින්සන්ට් පණ්ඩිත, ඊ. ඒ. අබේසේකර යන අයත් මාත් ඇතුළුව කාරක සභාවක් පත් වුණා. ශේෂ්ඨ ග්‍රන්ථකර්තෘන්ගේ නම් පාරවල්වලට යෙදීම, ග්‍රන්ථකර්තෘන් උපන් තැන් සොයා ඒවායේ සංරක්ෂණ වැඩ කිරීම, ඒ තැන්වල කෞතුකාගාර ආදිය ඇරඹීම, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීම ආදී යෝජනා රැසක් මේ කාරක සභාව යෝජනා කළා.”‍

“ඒ වැඩ කටයුතු අනුව 1958 ජූනි පළමුවැනිදා ලංකාවේ පළමුවැනි සිංහල සාහිත්‍ය දිනය පැවැත්වුවා. ඒ උත්සවයට ඉන්දියාවෙන් මුල්ක්රාජ් ආනන්ද් ගෙන්නුවෙත් මගේ යෝජනාවක් අනුව. මේ උත්සවවලට මහජනතාව විශාල වශයෙන් සහභාගි වුණා. ඇත්ත වශයෙන්ම ඒ කාලේ සිංහල සාහිත්‍යයේ පිබිදීමක් තිබුණා.”‍ යි පෙරමුණේ එදා ඉතිහාසය මතක් කළේය.

1959දී බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තබා මරා දැමූ විට එය සෝමාරාමගේ පෞද්ගලික කෝන්තරයක් ලෙස රටට පෙන්වීමට පාලක පක්ෂයත් පොලිසියත් උත්සාහ දරද්දී, ඝාතනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබූ බව ‘ලංකාදීප‘යේ පළ වූ විට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක, අගමැති ඩබ්ලිව්. දහනායක සහ රහස් පොලිසියේ අධිපති පේට් යන අය ප්‍රවෘත්තිය පට්ටපල් බොරුවක් බව කියමින් ධනපාලව අගමැති කාර්යාලයට ගෙන්වා ලංකාදීපය මෙල්ල කිරීමට උත්සාහ කළත්, ඔහු පෙරමුණේව රැකගනිමින් කුමන්ත්‍රණය ගැන තව තවත් වාර්තා ලියා පළ කළේය. අන්තිමේදී දේශපාලන කුමන්ත්‍රණය මුළු රටටම ඔප්පු විය.

කලක් ‘රසවාහිනී‘ සඟරාවේ සංස්කාරක ධුරය දැරූ පෙරමුණේ තිලක, 1971දී ‘ලංකාදීප‘ කර්තෘ ධුරයට පත් විය. 1973දී ‘දිනමිණ‘ කර්තෘ ධුරයට පත් කරනු ලැබූ ඔහු 1977 දක්වාම එම තනතුර හෙබවීය. ඉන්පසු ඔහු තමාටම අයත් අන්තර්ජාතික ප්‍රවෘත්ති ඒජන්සියක් පවත්වාගෙන ගියේය. ඉංග්‍රීසි දැනුමක් නැතිව කොළඹට ආ පෙරමුණේ තිලක, අන්තිමේදී තනි කරම ඉංග්‍රීසියෙන් කටයුතු කරන ප්‍රවෘත්ති ඒජන්සියක ප්‍රධානියා වීම ඔහුගේ දක්ෂකම සහ දැඩි ආත්ම ශක්තිය පිළිබඳ හොඳම නිදසුනකි.
පෙරමුණේ තිලක 1993දී මියගියේය. මෙහිදී ‘දිනමිණ‘ පළ කළ කතෘවැකිය, පත්‍ර කලාවේදියකුගේ මරණයකදී පළ කරන පුවත්පත් කතෘවැකි අතර ආන්දෝලනාත්මක එකකි. එහි මෙසේ සඳහන් කොට ඇත:

“ටී. බී. පෙරමුණේ තිලක විශිෂ්ට පත්‍ර කලාවේදියෙකි. අද අවසන් ගමන් යන ප්‍රවීණ පුවත්පත් කලාවේදී ටී. බී. පෙරමුණේ තිලක මහතා නූතන ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අතිශය උද්දීපනයට පත් වූවෙකි. පෙරමුණේ තිලක මහතාගේ හදිසි අභාවය ගැන අපගේ සතිශය සංවේගය මෙයින් පළ කරමු. ‘දිනමිණ‘, ‘ලංකාදීප‘ යන ජාතික පුවත්පත් දෙකෙහිම ප්‍රධාන කතෘ ධුර හෙබවූ ටිකිරි බණ්ඩා පෙරමුණේ තිලකගෙන් සිංහල පත්‍ර කලාවේ උන්නතියට පමණක් නොව රට, දැය, සමයේ අභිවෘද්ධියටද, භාෂා සාහිත්‍යයේ ප්‍රගමනයටද සිදු වී ඇති සේවය අත්‍යන්තයෙන්ම විශාලය.”‍

”‍ඔහු සිංහල පුවත්පත් කලාවේදියකු වුවද පෙරමුණේ තිලක යන නම ජපානය, බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව, මැදපෙරදිග ආදී රටවල පුවත්පත් සඟරා පාඨකයන්ටද බොහොමයක් සෙයින් හුරු විය. ඉරිදා සිංහල පුවත්පත් හා සඟරා ආදියෙහි ඔහු ලියූ ලිපිවලින් ඉංග්‍රීසි පරිවර්තන රැසක් පළ වී ඇත. සිංහල පුවත්පත් කලාවෙදීන් සම්බන්ධයෙන් බලන විට එය සුවිශේෂී වූ තත්ත්වයකි. පුවත්පත් කලාවට අමතරව පද්‍ය රචනය අතින්ද ඔහු දස්කම් දැක්වීය. ඔහු අතින් මනබන්ධනීය රසපූර්ණ ගීතද කිහිපයක් රචනා විය.”‍

”‍මේ සියල්ලටම වඩා පෙරමුණේ තිලක මහතා තුළ තිබූ මිනිස්කම නිරන්තරයෙන්ම විද්‍යමාන විය. ඔහු කිසිවකු අමාරුවේ දැමීමට කිසිවිටෙකත් තැත් කොට නැත. හැම අවස්ථාවකදීම ඔහු බැලු‍වේ හෙලූ කෙනකුට අත දීමටය. ඔහුගෙන් පිහිට ලද්දෝ බොහෝ වෙති. එම පිහිට ලත් අය අතර දේශපාලනඥයෝද, කවි කිවිඳියෝද, ලේඛක ලේඛිකාවෝද, චිත්‍ර ශිල්පීහුද, ගායක ගායිකාවෝද වෙති. ඔවුන්ට අතහිත දීමෙන් පෙරමුණේ තිලක මහතා අමුතු සංතෘප්තියක් ලැබූ බව ප්‍රකටය.”‍

සාහිත්‍ය මාසය තිබෙන තෙක් පෙරමුණේ තිලක නාමය කළගුණ දන්නා පාඨකයන්ගේ ජන හද තුළ රැඳෙනු නියතය.

මහින්ද රණවීර