
පෙරහරේ සද්දන්තයකුගේ පාදතැබීමත් සමග ඒ සෑම පියවරක් පිටුපසම මිනිසාත් අලියාත් අතර දශක ගණනාවක් පුරා ගොඩනැගුණු විශ්වාසයේත්, සෙනෙහසේත්, දිගු ඉතිහාසයක් සැඟවී තිබේ. අතීතයේ සිටම මිනිසාගේ ජීවිතයට සමීපව සිටි අලි ඇතුන් අදටත් අපේ සංස්කෘතියේ අභිමානයක් බවට පත්ව ඇත්තේ ඒ බැඳීමේ ශක්තිය නිසාය.පෙරහැර සමය ගතකරන මේ දිනවල සද්න්තයන් ගැන කතාබහ වැඩි වෙද්දී, ඒ අලි ඇතුන් සමග ජීවිතයේ දශක ගණනාවක් ගෙවා දැමූ මිනිසුන්ගේ කතා ද අමතක කළ නොහැකිය. උඩුපිල පෝරේගෙදර කුමාරපේළි යනු එවැනි මතක රාශියක් හදවතේ දරාගෙන සිටින මිනිසෙකි. හිලෑ අලි ඇතුන්ගේ හිමිකාරිත්වය දමින්, ඔවුන් සමග ජීවිතය බෙදාගත් ඔහුගේ අත්දැකීම් බොහෝය.
අදටත් ඒ නිවසත්, අක්කර ගණනාවක් පුරා විහිදුණු එහි සරුසාර ගෙවත්තත් නිහඬව දරා සිටින්නේ කුමාරපේලිගේ සද්දන්ත මිතුරන් හා බැඳුණු අතීතයේ සොඳුරු මතකයන්ය. ඔහුගේ ජීවිතයේ කොටසක් වූ ඒ අලි ඇතුන්ගේ සුවඳ, පියසටහන් හා සිහිවටන අදටත් ඒ නිවසේ තැනින් තැන හමුවන්නේ, ගෙවී ගිය ඒ අතීතය තවමත් එහි ජීවමානව ඇති බවට සාක්ෂි දෙමිනි.
“මගේ තාත්තාගේ තාත්තටත් (සීයා) ඒ කාලේ අලි තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. සීයා වගේම අපේ තා ත්තත් අලි ගැන හරිම උනන්දුයි. ඒ නිසාම සීයාගෙන් පස්සේ මේ පරම්පරාවේ වගකීම තාත්තාට බාර වුණා. මගේ තාත්තාගේ නම හෙන්ද්‍රික් අප්පුහාමි කුමාරපේළියි. මම ඉපදන්නත් කලින්ම අපේ ගෙදර අලි හිටියා. මට මතක ඇති කාලේ, පුංචි කාලේ උදේ පාන්දරින් නැගිටලා එළියට එද්දී වත්තේ අලි ඉන්නවා. අපේ පවුලේ මමයි, අක්කයි, නංගියි. ඒ නිසාම පුංචි කාලේ ඉඳන්ම අලි ඇතුන් එක්ක මටත් ලොකු බැඳීමක් ඇති වුණා.අලියෙක් කැලෙන් අරගෙන ඇවිත් හීලෑ කරගන්න හැටි, ඒ සතාට ආදරයෙන් සලකලා හදා වඩා ගන්න හැටි මම පුංචි කාලේ ඉඳන්ම දැක්කා. ඒ දේවල් මගේ හිතට කොච්චර කාවැදුණා ද කියනවා නම්, අලියෙක් හීලෑ කරගෙන එහි පළමු අයිතිකාරයා වෙන්න මගේ තාත්තා ආස කලා. දවසක් අපි ලොකු බස් එකක හයර් එකක් අරගෙන අනුරාධපුරේ වන්දනා ගමනක් ගියා. කට්ටියම වැවේ නාද්දී තාත්තා වැව් බැම්ම දිගේ යදදී මමත් තාත්තාගේ පස්සෙන් ගියා. එතැනදී මිනින්දෝරු පිරිසකට කැලේ අතරමං වෙලා හිටපු අලි පැටියෙක් හම්බ වෙලා, ඒ සතා බැඳලා තිබුණා.
ඒ කාලේ අද වගේ නීති රීති තිබුණේ නැහැ. කැලේ අතරමං වුණු අලි පැටියෙක් හමුවුණාම දිසාපතිගෙන් බලපත්‍රයක් අරගෙන බාරගන්න පුළුවන්කම තිබුණා. මට තාමත් හොඳට මතකයි, තාත්තා රුපියල් දෙදහසක් දීලා ඒ අලි පැටියාව ගත්තා.අද වගේ අලි ප්‍රවාහනය කරන්න ලොරි තිබුණේ නැති ඒ කාලේ, තාත්තා ඒ පුංචි සද්දන්තයාව අනුරාධපුරේ ඉඳන් අපේ ගෙදරට පයින්ම අරගෙන ආවා. "
හෙන්ඩුවෙන් පමණක් අලියෙක් හසුරුවාගන්න නෑ
කුමාරපේළි අතිත මතකයන් ඉරිදා ලංකාදීප පිටු අතරට එකතු කළේය.
එකල කැලෑබද ප්‍රදේශවල සිදු කෙරුණු දැව කොන්ත්‍රාත් කටයුතු සඳහා අලි ඇතුන්ට තිබුණේ විශාල ඉල්ලුමකි. බර දැව කඳන් ඇදගෙන යමින්, මිනිසුන්ට කළ නොහැකි තරම් දුෂ්කර කාර්යයන් පවා ඉටු කළ සද්දන්තයෝ එදා එම කර්මාන්තයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්ව සිටියහ. ඒ වෙනුවෙන් අලියකුට දිනකට ලැබුණු කුලිය රුපියල් පනහක් පමණ වූ අතර, අලි බාස් කෙනකුට දිනකට ගෙවනු ලැබුවේ රුපියල් පහක පමණ මුදලකි. එලෙස අලි ඇතුන් සමග සිදුකළ දැව කොන්ත්‍රාත් කටයුතු සඳහා ඔවුන්ව මනම්පිටිය, පොළොන්නරුව, මොනරාගල ඇතුළු දුර බැහැර ප්‍රදේශ වෙත රැගෙන යාම පවුලේ පුරුද්දක් විය. ඇතැම් අවස්ථාවල කුමාරපේළි ද තම පියා සමග එම දුෂ්කර ගමන්වලට එක් විය. වරක් මනම්පිටියේ සිට අලි පැටියකු සමග නිවස බලා පැමිණි ගමන ඔහුගේ මතකයේ අදටත් නොමැකෙන සිදුවීමකි. අලි පැටියා සමගම දින හතරක් පුරා පයින් ගමන් කරමින් නිවසට පැමිණීමට ඔවුන්ට සිදුවිය.
ඒ වන විට කුමාරපේලිගේ වයස අවුරුදු දහතුනකි.
“අලි හෙණ්ඬුවක් කියන්නේ නිකම්ම නිකම් උපකරණයක් නෙමෙයි. ඒක අලියා හසුරුවන කෙනාගේ අතට හොඳින් හුරුවෙලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හෙණ්ඩුවේ උසත් හසුරුවන කෙනාගේ උසට ගැළපෙන්න ඕනේ. මිනිහෙක් අත ඉස්සුවාම හෙණ්ඩුවේ තලය මතට අත තියාගන්න පුළුවන් තරමට තමයි ඒක හදන්නේ. ඊට වඩා දිග හෙණ්ඩුවක් තිබුණොත් ඒක හසුරුවන්න අමාරුයි. විශාල හෙණ්ඩුවක් අරගෙන අලියෙක් පාලනය කරන්න ගියොත් අවශ්‍ය වෙලාවට ඉක්මනින් ක්‍රියා කරන්නත් බැහැ. අලි හෙණ්ඩු බොහෝ වෙලාවට හදන්නේ කිතුල් ලීයෙන්. ඒ ලීයට හොඳ ශක්තියක් තයෙනවා. හෙණ්ඩු වර්ග කිහිපයක්ම තියෙනවා. ඒ අතර දෙදියගල හෙණ්ඩුව, කොටපොළ හෙණ්ඩුව,අත් හෙණ්ඩුව ප්‍රධාන තැනක් ගන්නවා. හෙණ්ඩුවේ අරමුණ අලියාට රිදවීම නෙමෙයි. අලියාගේ ශරීරයේ තියෙන සංවේදී ප්‍රදේශයක් ඉතා ක්ෂණිකව තෙරපීමක් කිරීම තමයි එයින් කරන්නේ. හෙණ්ඩුව දිග වැඩි වුණොත් අලි බාසුන්නැහේට ඒකේ සම්පූර්ණ පාලනය අතේ තියාගන්න බැරි වෙනවා. ඒ නිසා හෙණ්ඩුවේ ඉහළ කොටසේ තියෙන ‘ලේඩියා කියන පුංචි කොටස තමයි අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නේ. ඒකත් අලියාවට හයියෙන් ඇනලා හෝ පහර දීලා නෙමෙයි. අවශ්‍ය තරමට පමණක් ස්පර්ශ කරලා සංඥාවක් දෙන එකයි සිද්ධ වෙන්නේ.

කුමාරජෙළීට ලැබූ උපහාර
හැබැයි හෙණ්ඩුවක් තිබුණා කියලා අලියෙක් හසුරුවන්න බැහැ. ඒකට අලි බාසුන්නැහේගේ අත හොඳට හුරුවෙලා තියෙන්න ඕනේ. අලියෙක් එක්ක වැඩ කරන කෙනෙක් ඒ සතාගේ හැසිරීම් හඳුනාගන්න ඕනේ. අලියාට විවිධ සංවේදී ස්ථාන තියෙනවා. ඇවිස්සුම් නිලය, මරණීය නිලය වගේ ඒවා ගැන අලි බාසුන්නැහේ හොඳින් දැනගෙන ඉන්න ඕනේ. විශේෂයෙන් ඇවිස්සුම් නිලය තදින් තෙරපුවොත් අලියා කලබල වෙන්න පුළුවන්. ඒ නිසා අලියාගේ හැසිරීම තේරුම් අරගෙන, මොන වෙලාවේ මොන සංඥාවක් දෙන්න ඕනෙද කියන එක අත්දැකීමෙන් දැනගන්න ඕනේ.
හෙණ්ඩුවට අමතරව අලි බාසුන්නැහේගේ අතේ පුංචි කෝටුවකුත් තියෙනවා. මුල් කාලයේ දී ඒ කෝටුවට අලියා හුරු කරගන්නවා. ඒකෙන් බය කරලා අලියාව පාලනය කරනවා කියන එකට වඩා, මන් දෙන සංඥාවට අලියා හුරු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. පුංචි කාලේ ඉඳන්ම අලියාව හොඳින් හුරු කරගත්තොත්, පසුව ඒ සතා මෙල්ල කරගෙන හසුරුවන්න පහසු වෙනවා.
අලියෙක් හසුරුවන එකට හෙණ්ඩුවක් තිබීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ පිටුපස තියෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන දැනුමක්. අලියාගේ ශරීරය වගේම, උගේ හැසිරීමත් කියවාගන්න පුළුවන් වීම තමයි සැබෑ අලි බාසුන්නැහේ කෙනකුගේ දක්ෂකම වෙන්නේ "
කුමාරපේළි පවසයි.
අලි ඇතුන්ගේ කර මත අදටත් දැකිය හැකි මිණිගෙඩි දෙක, සද්දන්තයන්ගේ ගමනට එක් කරන අලංකාරයක් පමණක් සේ පෙනුණද, අතීතයේ ඒවාට තිබුණේ ඊට හාත්පසන්ම වෙනස් වූ වැදගත් කාර්යයකි. අලි ඇතුන් ගමන් කරනවිට ඒ මිණිගෙඩි නාදවන අතර, දුර සිටම ඒ හඬින් අලියකු පැමිණෙන බව මිනිසුන්ට දැනගත හැකි විය.
එකල හීලෑ අලි ඇතුන් බොහෝවිට ගමන් කළේ පයින්ය. එවැනි ගමනකදී සද්දන්තයාගේ කරේ රැඳුණු මිණිගෙඩියේ නාදය, ඔහුගේ පැමිණීම පිළිබඳ ගම්වැසියන්ට ලැබුණු ස්වභාවික සංඥාවක් බඳු විය. නිවෙස්වල සිටි මිනිසුන්ට ඒ නාදය ඇසුණු සැණින්, “අන්න අලි එනවා” යැයි කියමින් දොරකඩට හෝ මඟ අයිනට පැමිණ ඒ අපූරු දසුන නැරඹීමට පුරුදුව සිටියහ.
විශේෂයෙන් රාත්‍රී අඳුරේ සද්දන්තයන් ගමන් කරනවිට මේ මිණිගෙඩිවල නාදයට හිමිවූයේ තවත් විශේෂ වැදගත්කමකි. අලියා පෙනෙන්නටත් පෙර ඔහු පැමිණෙන බව නාදයෙන් හඳුනාගත හැකි විය. ඒ හඬ ඇසුණු මිනිසුන් මාර්ගයෙන් ඉවත්ව ඉඩ ලබා දුන්නේ, අඳුර මැදින් තමන් වෙත ළඟා වන සද්දන්තයාගේ ගමනට බාධාවක් නොවන ලෙසය.
අද වන විට අලි ඇතුන්ගේ කර මත මිණිගෙඩි පැලඳීම බොහෝ විට පෙරහරේ අලංකාරය හා සම්ප්‍රදාය සමග බැඳී පවතින්නකි. එහෙත් එදා ඒ මිණිගෙඩි හුදෙක් විසිතුරු ආභරණයක් නොවීය. සද්දන්තයාගේ ගමන මිනිසුන්ට දැනුම් දුන්, අඳුර මැද මඟ පෙන්වූ, මිනිසාත් අලියාත් අතර නිහඬ සන්නිවේදනයක් ගොඩනැඟූ අපූරු සංඥාවක් විය.

ඇත් පන්තිය
“අලියෙකුට දත් තියෙන්නේ හතරයි. යටි ඇන්දේ එකයි, ඒකට සාපේක්ෂව උඩු ඇන්දේ එකයි. ඒ වගේම හකු දෙකේ තවත් දත් දෙකක් තියෙනවා. අලියා කෑම කන්නේ ඒ දත්වලින්. කාලයක් යද්දී ඒ දත් ගෙවෙනවා. ඒ නිසා අලියකගේ දත් පුළුවන් තරම් පරිස්සම් කරගන්න ඕනේ. අලියෙක් හොඳින් රැකබලා ගන්න කෙනෙක් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.අලියාගේ හොඬවැලෙත් වඩාත් සංවේදී පුංචි කොටසක් තියෙනවා. ඒ කොටසින් හරිම සියුම් දේවල් පවා අල්ලගන්න පුළුවන්. ඒක හරියට පුංචි දරුවෙකුගේ හිස් මුඳුන වගේ සංවේදී තැනක්. ඒ නිසා ඒ කොටසටත් හරිම පරිස්සමින් තමයි කටයුතු කරන්න ඕනේ. අලියා හොඬවැලෙන් වතුර අරගෙන කටට දාගන්නකොට වතුර පිටතට නොයන විදිහට අල්ලාගෙන ඉන්නෙත් ඒ සංවේදී කොටසෙන්.
අලියකුට බෙහෙත් දෙන එකත් හැම වෙලාවෙම ලේසි වැඩක් නෙමෙයි. සමහර අලින්ට බෙහෙත් දෙන්නේ මී පැණි, පොල් පැණි වගේ දේවල් එක්ක මිශ්‍ර කරලා. එහෙම කළාම අලියා කැමැත්තෙන් කාලා බෙහෙත් ගන්න අවස්ථා තියෙනවා. හැබැයි සමහර වෙලාවට බෙහෙත් තියෙනවා කියලා දැනගත්ත ගමන්ම අලියා ඒක ප්‍රතික්ෂේප කරනවා.
එහෙම වෙලාවක බෙහෙත් දෙන්න විශේෂ උපකරණ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒකත් අලියාට බයක් ඇති නොවන විදිහට, පරිස්සමින් කරන්න ඕනේ. අලියෙක් බලාගන්නවා කියන්නේ කෑම බීම දීලා නිකම්ම හදාගන්න එකක් නෙමෙයි. උගේ දත්, හොඬවැල, ශරීරයේ සංවේදී ස්ථාන, හැසිරීම් වගේ හැම දෙයක්ම තේරුම් අරගෙන ආදරයෙන් සහ වගකීමෙන් රැකබලා ගන්න ඕනේ. ඒ දැනුමත් එක්ක තමයි අලි බාසුන්නැහේ කෙනෙක්ගේ සැබෑ පළපුරුද්ද ගොඩනැඟෙන්නේ.”
වතුරෙ බැහැලා ගොරව ගොරවා නිදාගන්න එකම සතා අලියා
අලි ඇතුන් ස්වභාවයෙන්ම පැණි රසට දැඩි කැමැත්තක් දක්වන සතුන්ය. පැරණි නිවෙස්වලට හීලෑ අලියකු පැමිණි විට ඔහුට සංග්‍රහ කිරීමද එදා ගැමි ජීවිතයේ සුන්දර පුරුද්දක් විය. වී කුල්ලකට වී පුරවා දීම ඒ අතරින් ප්‍රකට වූ සිරිතකි. විශේෂයෙන් තමබන ලද වී අලින් ඉතා ප්‍රියයෙන් ආහාරයට ගත් අතර, ඊට අමතරව විවිධ පලතුරු හා උක් වැනි පැණි රස ආහාරද ඔවුන්ගේ ප්‍රියතම ආහාර අතර විය.
හීලෑ අලියකුට මිනිසුන්ගෙන් ලැබෙන ඒ සංග්‍රහය අමතක නොවන මතකයක් බවට පත්වීමද අපූරුය. දිනක් මඟයන අතරතුර කිසියම් නිවසකින් රසවත් ආහාරයක් ලැබුණේ නම්, පසුදින එම නිවස අසලින් යන විට අලියා මඳකට නතර වී නිවස දෙස බලා සිටීමට පුරුදු විය. පෙර දිනයේ ලැබුණු රසවත් සංග්‍රහය යළිත් ලැබේදැයි බලාපොරොත්තුවෙන් ඔහු එලෙස නතර වන විට, අලි බාසුන්නැහේට සද්දන්තයා එතැනින් ඉදිරියට රැගෙන යාම ඇතැම් විට තරමක් අපහසු කාර්යයක් විය.
"අලියෙකුට නින්ද කියන්නේ අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. දියේ බැහැලා ගොරව ගොරවා නිදාගන්න පුළුවන් සතෙක් ඉන්නවා නම් ඒ අලියා විතරයි. දවසකට අඩුම තරමේ පැය හතරක්වත් අලියකුට දියේ නිදාගන්න අවස්ථාව ලැබෙන්න ඕනේ.දවල් කාලයේ දියේ බැහැලා හොඳට නින්ද ගන්න අලියා, රාත්‍රියේ කෑම කාලා ඉවර වුණාට පස්සේ ආයෙත් බිම දිගාවෙලා නිදාගන්නවා. හැබැයි රෑට නිදා ගනිද්දී පුංචිම ශබ්දයකට පවා එක පාරටම නැඟිටිනවා.
![]() |
![]() |
අලියන්ට ප්‍රතිකාර කරන උපකරණ
ඒකට හේතුවක් තියෙනවා. දවල් කාලයේ දියේ බැහැලා අලියා හිතේ හැටියට නිදාගන්නේ තමන් ළඟ අලි බාසුන්නැහේ ඉන්නවා කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය නිසා තමයි සද්දන්තයාට ඒ තරම් සුව සේ නින්ද යන්නේ. තමන් ළඟ ඉන්න මිනිසා ගැන තියෙන ඒ විශ්වාසය අලියාගේ ජීවිතයේ හරිම වැදගත් දෙයක්.
අලියාගේ පිරිසුදුකම ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ. අලියා නිකම්ම වතුරේ බැස්සාට පස්සේ එළියට ගන්න සතෙක් නෙමෙයි. හොඬවැලේ ඉඳන් ශරීරයේ සෑම රේඛාවක්ම හොඳින් අතුල්ලා පිරිසුදු කරලා තමයි ගොඩට ගන්න ඕනේ. ඇත්තටම අලියා කියන්නේ හරිම පිරිසුදු සතෙක්. ඒ නිසාම අලියකු බලාගන්නවා කියන්නේ ආහාර දීලා නිකම්ම රැකබලා ගැනීමක් නෙමෙයි. උගේ නින්ද, පිරිසුදුකම, සුවපහසුව වගේ හැම දෙයක් ගැනම ආදරයෙන් සහ වගකීමෙන් සොයා බැලීමක්."
අලියකුගේ තරුණ වියේදී මද කිපීම ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියකි. හොඳින් පෝෂණය වූ, පුෂ්ටිමත් හා නිරෝගී අලියකුට සාමාන්‍යයෙන් වයස අවුරුදු දහඅටක් පමණ වන විට මද ගලන කාලය ආරම්භ වේ. එම කාලයේ දී කම්මුල් දෙපසින් මද ගලා එන අතර, සද්දන්තයාගේ හැසිරීමද වෙනදාට වඩා ආවේගශීලී ස්වභාවයක් ගනී.
අලියාගෙන් අලියාට වෙනස් වුවද, මෙම මද කිපීමේ කාලය සාමාන්‍යයෙන් මාස දෙකහමාරක සිට මාස හතරක් පමණ දක්වා පැවතිය හැකිය. එම කාලය තුළ අලියා තමන් රැකබලා ගන්නා අලි බාසුන්නැහේ සමග පවා තරමක් නොසන්සුන් හෝ අකමැති ස්වභාවයක් පෙන්විය හැකිය. එබැවින් එවැනි කාලයක දී සද්දන්තයාගේ හැසිරීම පිළිබඳ මනා අවබෝධයකින් හා විශේෂ අවධානයකින් කටයුතු කිරීම වැදගත්ය.මද කාලය අවසන් වූ පසු හතරවරම් දෙවිවරුන් උදෙසා මල්පැළ හතරක් සාදා, කිරිබත් හා කැවිලි පිළියෙල කරමින් චාරිත්‍ර ඉටු කිරීමද පැරණි සම්ප්‍රදායකි. එය සද්දන්තයා යළි සාමාන්‍ය තත්ත්වයට පැමිණීම වෙනුවෙන් සිදුකරන ආගමි හා සංස්කෘතික චාරිත්‍රයක් ලෙස සැලකේ.
අලියෙකු රඳවා තබන ස්ථානයද ඔහුගේ සුවපහසුවට ඉතා වැදගත්ය. එම ස්ථානයට ‘අලි පන්තිය යනුවෙන් හැඳින්වේ. ස්වභාවික පරිසරයට සමීපව, නිසි වාතාශ්‍රයක් ලැබෙන ආකාරයෙන් අලියා රඳවා තැබීම ඔහුගේ සෞඛ්‍යයට මෙන්ම සුවපහසුවටද බලපාන්නකි.
අලියා යනු තමන්ට සිදුවන යම් අසාධාරණයක් හෝ අනතුරක් පිළිබඳව දීර්ඝ කාලයක් මතකයේ තබාගන්නා සතකු බවටද අලි ඇතුන් සමග දිවි ගෙවූ පළපුරුදු අලි බාසුන්නැහේලාගේ අත්දැකීම් සාක්ෂි දරයි. ඇතැම් අවස්ථාවලදී තමන්ට පීඩාවක් හෝ හිරිහැරයක් සිදු කළ පුද්ගලයකු පිළිබඳව මතක තබාගෙන පසුව ප්‍රතිචාර දැක්වූ සිදුවීම් පිළිබඳවද අසන්නට ලැබේ.
මිණිගෙඩි නාදය අලියා එනබවට සංඥාවක්
සාමාන්‍යයෙන් අලියකුගේ ආයු කාලය මිනිසෙකුගේ ආයු කාලයට සමාන යැයි සැලකේ. ජීවිතයේ දිගු කාලයක් සද්දන්තයකු ලෙස ගත කරන ඔහු, වයස අවුරුදු හැට ඉක්මවූ පසු වයෝවෘද්ධ අලියකු ලෙස හැඳින්විය හැකිය. එතැන් සිට ඔහුග ශරීර ශක්තිය මෙන්ම දෛනික අවශ්‍යතාද වෙනස් වන බැවින්, වයසට සරිලන විශේෂ රැකවරණයක් ලබාදීම වැදගත් වේ.
"අලියෙක් කියන්නේ පාංසකූලයට පවා හිමිකම් කියන සතෙක්. අපේ ගෙදර හිටපු හැම අලියකුම මියගියාට පස්සේ අපි පාංසකූලය දීලා තමයි අවසන් ගෞරව දැක්වූවේ. ඒ සතුන් අපේ ජීවිතවල කොච්චර සමීපව හිටියද කියන එක ඒ අවසන් මොහොතේදීත් අපිට දැනෙනවා.
ඒ වගේම අපි සාංඝික දානයක් දෙන හැම අවස්ථාවකදීම අපෙන් වෙන්වෙලා ගිය ඒ අලින් සිහිපත් කරලා ඔවුන් වෙනුවෙන් අටපිරිකර පූජා කරනවා. අපිට ඒ සත්තු නිකම්ම අලි නෙමෙයි. අපේ ජීවිතයේ කොටසක් වෙලා හිටපු, අපි ආදරයෙන් රැකබලා ගත්ත ජීවිත. ඒ නිසා ඔවුන් මියගියාට පස්සේ පවා අපේ මතකයෙන් ඈත් කරන්නේ නැහැ."
උඩුපිල පෝරේගෙදර කුමාරපේළි පවසයි.
පෙරහරේ සද්දන්තයකු පියවර තබන සෑම මොහොතකම, ඒ පාද තැබීම් තුළින් ඇසෙන්නේ හුදෙක් මිණිගෙඩි නාදය පමණක් නොවේ. පරම්පරා ගණනාවක් පුරා මිනිසාත් අලියාත් අතර ගොඩනැඟුණු සෙනෙහසේ, විශ්වාසයේ සහ නොමැකෙන බැඳීමේ දුරස්ථ ප්‍රතිරාවයයි...
දිශානි ජයමාලි කරුණාරත්න
ජායාරූප -ගයාන් අමරසේකර.

මිණි ගෙඩි

අලියන්ට බෙහෙත් කරන උපකරණ

අලි දතක්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd