
නිදහස් අධ්‍යාපනයේ හිණිපෙත්තටම නැඟ, රටේ ජනතාවගේ බදු මුදලින් ලෝකයේ උසස්ම විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි හැදෑරීම සඳහා රජයේ ප්‍රතිපාදන හා පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා විදෙස්ගත වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් අද රටට පිටුපා සිටිති.
ඒ හුදෙක් සේවා වගකීම මගහැරීමෙන් පමණක් නොවේ; රජයට අය විය යුතු රුපියල් කෝටි 340කට (බිලියන 3.4) අධික දැවැන්ත මුදලක් ද පැහැර හරිමිනි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූ මෙම සංඛ්‍යාලේඛනය හුදෙක් මූල්‍යමය පාඩුවක් පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය රටේ බුද්ධිමතුන් යැයි සම්මත පිරිසකගේ වෘත්තීය සහ මානුෂීය අර්බුදය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයකි.
රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ අනාගතය පිළිබඳ පවතින අවිශ්වාසය මත වෘත්තිකයන් රට අතහැර යාම එක් පැත්තකින් සාධාරණීකරණය කිරීමට උත්සාහ කළද, මහජන බදු මුදලින් නඩත්තු වන නිදහස් අධ්‍යාපනයේ අස්වැන්න මෙලෙස රටට අහිමි වීම සාධාරණීකරණය කළ නොහැක. උසස් අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම අනාගත පරපුරට දැනුම ලබාදීමට සිටින මෙම උගතුන් ආපසු නොපැමිණීම නිසා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැඩි ආචාර්ය මණ්ඩල හිඟයක් ද නිර්මාණය වී තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව:
”විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් අධ්‍යාපනයට විදේශගත වුණාට පස්සේ ඔවුන් බැඳුම්කරය කඩ කරලා තියෙනවා. 2025 දෙසැම්බර් 31 වන විට ඒ සම්බන්ධව බිලියන 3.4ක හිඟ මුදලක් තියෙනවා. මේ කාලපරාසය තුළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අයත් විශ්වවිද්‍යාලවල සරසවි ආචාර්යවරුන් 618 දෙනෙකු මෙසේ විදේශගත වී නැවත නොපැමිණීම වාර්තා වී තිබෙනවා.”
”මේ වගේ අවස්ථාවල ගතයුතු නීතිමය පියවර විශ්වවිද්‍යාලයකින් විශ්වවිද්‍යාලයකට වෙනස් වෙනවා. ඒ අදාළ නීති ඒ ඒ විශ්වවිද්‍යාල මගින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. පෙන්වා දුන් 618 දෙනා පිළිබඳවත් අදාළ පියවර ගනිමින් සිටිනවා. පසුගිය වසරේ අවසාන මාසය වන විට 54 දෙනෙකුගෙන් අදාළ මුදල් සම්පූර්ණයෙන්ම අය කරගැනීමට හැකිවුණා. ඉදිරියට මෙවැනි දේ සිදු වීම වැළැක්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අවශ්‍ය නීතිමය රාමුව තවදුරටත් සකස් කරමින් පවතිනවා. අදාළ ආචාර්යවරුන්ට එරෙහි වැඩිදුර නීතිමය පියවර ගනු ලබන්නේ විශ්වවිද්‍යාල මට්ටමිනුයි.”
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. ඒ. ජයන්ත:
”පශ්චාත් උපාධි සඳහා ආචාර්යවරුන් විදේශගත වන විට, සම්පූර්ණ කාලයටම නිවාඩු අනුමත කළ යුත්තේ අවුරුද්දෙන් අවුරුද්දටයි. ඒ වගේම ඒ ආචාර්යවරුන් මාස හයකට වරක් ඔවුන්ගේ ප්‍රගති වාර්තා අප වෙත එවිය යුතුයි. නිවාඩු දීර්ඝ කරන්නේ එම වාර්තා සලකා බැලීමෙන් පසුවයි.”
”ඔවුන් විදේශගත වීමට පෙර විශ්වවිද්‍යාලය සමඟ බැඳුම්කරයකට අත්සන් කළ යුතුයි. මේ බැඳුම්කරයේ වටිනාකමට ඔවුන්ගේ ගුවන් ගමන් වියදම්, වැටුප් ආදී සියල්ල ඇතුළත් වෙනවා. ඊට අමතරව ඔවුන්ට ශිෂ්‍යත්වයක් ලැබෙනවා නම්, ප්‍රමාණානුකූල අනුපාතයකට එයත් බැඳුම්කරයේ වටිනාකමට ඇතුළත් කෙරෙනවා. ඔවුන් විදේශගතව සිටින කාලසීමාව තුළ විශ්වවිද්‍යාලය ගෙවන වැටුප්වල වටිනාකම ද ඊට ඇතුළත්. මේ බැඳුම්කරයට අත්සන් නොකර විදේශගත වීමට හෝ නිවාඩු ලබාගැනීමට බැහැ. බැඳුම්කරයට අත්සන් නොකර විදේශගත වුවහොත් ඔවුන් සේවය හැරගියා සේ සලකා කටයුතු කරනවා. බැඳුම්කරයට අත්සන් කර නැවත නොපැමිණෙන්නේ නම්, එහි වටිනාකම ඔවුන් ගෙවිය යුතුයි.”
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සුබසිංහ:
”ආචාර්යවරුන්ට අධ්‍යාපන කටයුතු සඳහා වසර පහක් දක්වා වැටුප් සහිත හෝ වැටුප් රහිත අධ්‍යයන නිවාඩු ලබාගන්න පුළුවන්. ඒ වසර පහ පසු වීත් ලංකාවට නැවත ආවේ නැතිනම්, වහාම සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකන බවට විශ්වවිද්‍යාලය හරහා දැනුම් දෙනවා.”
”එසේ නොපැමිණෙන ආචාර්යවරයෙකු බැඳුම්කරයකට යටත් නම්, ඔහු හෝ ඇය එතෙක් ලබාගත් වැටුප සහ බදු මුදලක් සහිතව යම් සමීකරණයකට අනුව ගණනය කිරීමක් සිදුකරනවා. මෙයට මූලික වැටුප සහ ඊට අදාළ පොළියත් එකතු වෙනවා. පසුව අදාළ කාලසීමාව ඇතුළත එම මුදල ගෙවන ලෙස ලිඛිතව දැනුම් දෙනවා. එය නොගෙවන්නේ නම්, ඇපකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා මුදල අය කරගැනීමට කටයුතු කරනවා.”
”විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියමයෙන් පිහිටුවා ඇති ‘බැඳුම්කර අයකරගැනීමේ කමිටුව‘ (Bond Recovery Committee ) වසරකට සිව් වතාවක් රැස්වෙනවා. එහිදී හැම එකකම ප්‍රගතිය සමාලෝචනය කර, නීතිමය පියවර ගතයුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර, මුදල් ආපසු ගෙවන අයගේ ගෙවීම් ප්‍රගතිය පරීක්ෂා කර බලනවා.”
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සහකාර කළමනාකාර (1 ශේණිය) චාන්දනී ද සිල්වා:
”විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විදේශගත වන කාලසීමාවට අදාළව, ඔවුන්ගේ සම්පූර්ණ වැටුප ආවරණය වන පරිදි විශ්වවිද්‍යාලය සමඟ බැඳුම්කරයකට යටත් වෙනවා. උදාහරණයක් ලෙස ඔවුන් වසර දෙකහමාරකට විදේශගත වන්නේ නම්, එම කාලයට අදාළ වැටුප් පදනම් කරගෙන විශ්වවිද්‍යාලය සමඟ එකඟතාවකට පැමිණෙනවා.”
”හදිසියේ හෝ එම ආචාර්යවරයා පාඨමාලාව අතහැරියහොත් හෝ වසර දෙකහමාරකින් නැවත පැමිණියේ නැතිනම්, අදාළ මුදල අය කරගැනීමට ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ සඳහා ඇති එකඟතා ලේඛනය තමයි බැඳුම්කරය (Bond ) කියන්නේ. විවිධ වර්ගයේ බැඳුම්කර පවතින අතර, ඒ ඒ බැඳුම්කර වර්ගයට අදාළ නීති සහ රෙගුලාසිවලට යටත්ව ආචාර්යවරුන් විදේශගත වෙනවා. බැඳුම්කරය කඩ කළහොත් එම මුදල විශ්වවිද්‍යාලයට අය කරගැනීමට නීතිමය පියවර ගනු ලබනවා.”
සජිනි ගුරුගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd