
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, ඇහැටුවැව යනු වන අලින්ගේ රජදහනක් වූ ප්‍රදේශයකි. සමහර කාලවලට මෙම ගම්මානවල ජනතාවට රාත්‍රිය උදා වීම බියක් සහ අවිනිශ්චිතතාවක් එක්කරන්නකි. පසුදින හිරු උදාවත් සමඟ පාසල් යන වයසේ දරුවන්ට සහ දෙමාපියන්ට උදෑසන ලොකුම අභියෝගය වන්නේ, පොතපත පාඩම් කිරීමටත් වඩා වන අලින්ගේ තර්ජනයෙන් බේරී ආරක්ෂිතව පාසල වෙත පිය නැඟීමය.
විටෙක පාසල් ගේට්ටුව අසලට වන අලින් පැමිණ ඇති අවස්ථා මෙන්ම මාර්ගයේදී වන අලින් මුණගැසුණු අවස්ථාවලදී මුහුණ දීමට සිදු වූ අත්දැකීම් ඕනෑ තරම් මේ දරුවන්ට අත්විඳීමට සිදුව තිබේ.
2026 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් ලබා ගනිමින් මුළු රටේම මොහොතකින් තම නම රැන්දූ පුංචි වීරයෙක් ගැන පසුගියදා වාර්තා විය. ඒ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟය.
ඔහු නමින් ඩබ්.බී.එම්. දනෝජ් තීක්ෂණ වීරසේකරයි. පුංචි දනෝජ් මවගේ සෙනෙහස නොමැතිව පියාගේ හා එකම සොහොයුරියගේ සෙවණේ හැදී වැඩුණේ බොහෝ දුෂ්කරතා දරා ගනිමිනි. පළමු ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබුවේ ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේය. ඔහුගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස ඇත්තේ ධෛර්යසම්පන්න කතාවකි. දනෝජ් කුඩා අවදියේදීම ඔහුගේ ආදරණීය මෑණියන් මෙලොවින් සමුගත්තාය. එතැන් පටන් දනෝජ් පුතාගේත්, ඔහුගේ අක්කාගේත් එකම සෙවණැල්ල වූයේ පියා වන 43 හැවිරිදි ඩබ්.බී.එම්. සිසිර කුමාර මහතාය.
ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සේවය කළ ඔහු, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් කාලය වෙන් කිරීමටත්, දරුවන්ගේ වියදම් පියවා ගැනීමටත් නොහැකි වූ තැන එම රැකියාවෙන් ඉවත් වී ගොවිතැන තම ජීවනෝපාය කරගත්තේය.
අසල්වාසීන්ගේ සහ ගුරුවරුන්ගේ ද සහයෝගය ඇතිව තනිකඩ පියෙකු ලෙස ඔහු විඳි අනන්ත කටුක කැපකිරීම්වල ප්‍රතිඵලය අද මුළු රටම අත්විඳිමින් සිටී. දනෝජ්ගේ අක්කා ද මෙම පාසලෙන්ම ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වී (2018 දී ලකුණු 188ක් ලබාගනිමින්) දැනට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු සිදු කරන්නීය. ඇය ද නිවසට පැමිණෙන සෑම මොහොතකම මල්ලීගේ අධ්‍යාපන කටයුතුවලට නොමඳ සහයක් ලබා දෙයි.
දනෝජ් පුතාගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය තනි තනිව ලබා ගත් එකක් නොවේ. ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කැපවීම මෙයට විශාල ශක්තියක් විය. දනෝජ් සමඟ විභාගයට පෙනී සිටි සිසුන් 117 දෙනා අතුරින් 58 දෙනෙකුම මෙවර කඩඉම් ලකුණු පසුකර ඇත්තේ සමස්ත පාසලම ජයග්‍රහණය කරවමිනි.
උදෑසන 6.30 සිට සවස 5.30 දක්වා පාසල තුළ පැවැත්වුණු අමතර පන්ති, දෙමාපියන් විසින් සපයන ලද ආහාර වේල සහ පන්තිභාර කුමුදුනී ගුරුතුමියගේ කැපවීම මේ ජයග්‍රහණයේ රහස වී තිබේ.
කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවී, පාසලේ ගුරුවරුන්ගේ ගුරුහරුකම් මැද සියලු ඉගෙනුම් කටයුතු එදිනෙදාම අවසන් කරමින්, විභාගයට බියකින් තොරව විනෝදයෙන් මුහුණ දීම දනෝජ්ගේ විශේෂත්වය විය. දනෝජ් එම කඩඉම ඉහළින්ම සමත් වන බව ගුරුවරුන් කල් තියාම දැන සිටින්නට ඇත. කිසිදු කලබලයකින් තොරව ඉගෙනීමේ කටයුතු සඳහා යොමු වී සිටි දනෝජ්, ගුරුවරුන්ගේ ආදරය සහ රැකවරණය මැද හැදී වැඩිණි.
අනාගතයේදී රටට වැඩදායී දක්ෂ ඉංජිනේරුවෙකු වීමේ සිහිනය පෙරදැරිව සිටින මේ පුංචි දනෝජ් අප සමඟ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

පන්තිභාර ගුරුතුමිය සමග, විදුහල්පති වසන්ත ඇබෝගම
”මට හරිම සතුටුයි අපේ පාසලට කීර්තියක් ගෙනදීමට හැකිවීම ගැන. ඇත්තටම ප්‍රතිඵල එද්දී මම හිටියේ හේනේ මොනරු එළව එළවා. මේ සතුට මට කියලා නිමකරන්න බැහැ. අපේ ටීචර්ලා කියලා දුන්න දේ ඒ විදිහටම ඉගෙන ගත්තා. මම කවදාවත් ටියුෂන් පන්ති ගියේ නැහැ. පාසලේ ටීචර්ලා තමයි මට ඉගැන්නුවේ. විදුහල්පතිතුමා, පන්ති භාර ගුරුතුමිය සහ ගුරු මණ්ඩලය හැමෝම මට විතරක් නෙමෙයි විභාගයට මුහුණ දීපු හැමෝටම ඉගෙන ගන්න උදව් කළා. ඒ නිසයි මට ලංකාවෙන්ම අංක එකට එන්න හැකියාව ලැබුණේ. හොඳින් ඉගෙනගෙන අනාගතයේ රටට සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලොකුම හීනය තමයි ඉංජිනේරුවෙක් වෙන එක. මගේ පන්තියේ ගොඩක් දෙනෙක් විභාගය සමත් වෙලා තියෙනවා, මට හරිම සතුටුයි. අපි හැමෝම එක විදිහට මහන්සි වුණා.”
ඇහැටුවැව යනු පහසුවෙන් ජීවත් විය හැකි පරිසරයක් නොවේ. වන අලි සහ නියඟයෙන් පීඩා විඳින මේ දුෂ්කර ගම්මානයේ ජීවිතය ගෙවීම අතිශය අභියෝගයකි. දනෝජ් පුතා ද එම අභියෝගයන්ට මුහුණ දෙමින් ඉදිරියට පැමිණි දරුවෙකි. කොළඹ, ගම්පහ වැනි ප්‍රදේශවලින් බිහිවන ජයග්‍රාහකයාට වඩා වන්නියේ හපනාගේ කතාව වෙනස් වන්නේ ඒ නිසාය. ඉතා අසීරු දුක් කම්කටොලු මැදින් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් සමඟ දනෝජ් පුතා අද ලෝකයටම වැඩදායි මනුස්සයෙක් වෙන ගමනේ පළමු පියවර තබා අවසන්ය.
විභාගය ලොකු පීඩනයක් කර නොගෙන, එදා දවසේ දෙන වැඩ එදාම ඉවර කර හරිම විනෝදයෙන් දනෝජ් විභාගයට ලෑස්ති වූ බව නොරහසකි. දනෝජ් පුතාගේ මේ ජයග්‍රහණය ශිෂ්‍යත්වය නිසා දරුවන් මරවන, රැයක් දවාලක් නොබලා ටියුෂන් පස්සේ දුවන අම්මලාට සැර ටොක්කක් වගේම ආදර්ශයකි.
දනෝජ්ගේ මේ උත්සාහයට ඔහුගේ පියා වූ ඩබ්.බී.එම්. සිසිර කුමාර මහතා දුන් ශක්තිය ද අතිමහත්ය. පෙරපාසල් වියේදීම පුතාගේ මව අහිමි වී වුවත්, මවගේ අඩුව දැනෙන්නට නොදී දරුවන් දෙදෙනා සිය කරපිටට ගත් ඔහු, පුංචි පැටවුන්ගේ අනාගතය වෙනුවෙන් තනියම ජීවිතයත් සමඟ සටන් කළේය.
”දරූ පැටියාගේ අම්මා නැති වෙන්නේ පුතා පෙරපාසල් අවදියේදී; ලොකු දුව 8 වසරේදී. දුවත් ඉගෙන ගන්න හරිම දක්ෂයි. දුවත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. අනේ මගේ දරුවෝ දෙන්නාම අම්මා නැහැ කියලා කිසිම වෙලාවක මට කරදර කරලා නැහැ. මගේ වැඩවලට ඒ දෙන්නා ලොකු සහයෝගයක් දෙනවා. මගේ කුඹුරු වැඩවලටත් පුතා හරියට උදව් වෙනවා. මං කුඹුරේ බීජ සිටවන්න කපද්දී ඒවා හිටෙව්වේ පුතා. ප්‍රතිඵල එන වෙලාවෙත් පුතා හිටියේ මාත් එක්ක මෑ වගාවට එන මොනරුන් එළව එළවා. දරුවා එක්ක කුඹුර රකින්නත් යනවා. සමහර දවසට දරුවෝ දෙන්නා දාලා රස්සාව කරගන්න මට කුලී වැඩවලට යන්න විදිහක් නැහැ. කුලී වැඩකට ගියත් මාත් එක්ක ගිහින් ඒ වැඩවලින් භාගයක් කරන්නේ මගේ පුතා.
ඇහැටුවැව වියළි බිමේ මේ පුංචි නිවසට අද සතුටේ කඳුළු මතු වී තිබේ. දනෝජ් පුතාගේ මේ ජයග්‍රහණය තුළ ඇත්තේ අභියෝගයන්මය. දනෝජ්ගේ ජීවිතයේ තවත් අභියෝගයක් වන්නේ ඔහුගේ සෞඛ්‍ය ගැටලුවයි. ඔහු කොළඹ හද සුව මැඳුරෙන් ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ හදවතේ සිදුරක් ඇති බැවින් දිගටම ප්‍රතිකාර ලබාගනියි. එහෙත් අසනීප අවස්ථාවලදී පවා ඔහු පාසල මඟහැරියේ නැත.

පවුලේ සාමාජිකයන් සමග
”පුතා එක වසරේ සිටම මේ දක්වා අධ්‍යාපනය ලබන්නේ මේ ඉස්කෝලේ. එයා පන්තියේ මුල සිටම දක්ෂයි. හොඳ ලකුණකට යනවා කියන එක ගුරුවරුන්ගේ සහ මගේ ලොකු විශ්වාසයක් තිබුණා. ඉස්කෝලේ යන සමහර දවස්වලට වන අලි තර්ජන නිසා යන්න බැරි අවස්ථා තිබුණා. ඉස්කෝලේ ළඟට අලි එනවා. ඉස්කෝලේ ගේට්ටුව පවා කඩලා තියෙනවා. ඒවට ආරක්ෂිත ක්‍රමයක් නැහැ. මේ දරුවෝ රැක බලා ගන්න වටපිටාවේ අපේ ගමේ අයගේ සහයෝගයත් තියෙනවා. පාසලට දරුවා රැගෙන ඒමේදී සහ රැගෙන යාමේදී අපි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මේ අවුරුදු 4-5ට තිස්-හතළිස් වතාවක් අලි හම්බවෙන්න ඇති. පාසලට නොයා ආපහු ගිය වාරත් තියෙනවා.
ගුරුවරුන්ගේ හොඳ සහයෝගයක් තිබුණා. පුතාගේ අම්මා නැතිවුණාට පස්සේ මට පෙරපාසලේ හිටපු දෙමාපියන්, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත්, මගේ සහෝදර දෙමාපියවරුනුත් මේ ගමන එන්න කරදරයක් කියලා හිතන්නේ නැතුව මගේ දරුවෝ දෙන්නාටම උදව් කළා. අදට ඒ සියලු දෙනා සතුටු වෙනවා මේ ප්‍රතිඵලයත් එක්ක. ඒ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ දරුවෙක් මේ තැන ලබාගත්තා කියලා සතුටු වෙනවා.
මට ස්ථීර රක්ෂාවක් නැහැ. මම ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ වැඩ කළා. පත්වීම ස්ථීර වීමේ ප්‍රමාදයත් එක්ක ලැබෙන වැටුපෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න අපහසුවක් දැනුණා. මට ඒ ලැබුණු මුදල ප්‍රමාණවත් වුණේ නැහැ. ඊට පස්සේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මට කාලය මිඩංගු කරන්නත් වෙනවා. ඒ නිසාම මම රැකියාවෙන් අයින් වුණා. කාලය කැප කරලා ලොකු තේරුමකුත් නැහැ. ඒ නිසා මම ගොවිතැන තෝරාගත්තා. සාමාන්‍ය පරිදියෙන් ගොවිතැනක් කරගෙන දරුවෝ දෙන්නට එදිනෙදා කටයුතුවලට වියපැහැදම් කරගෙන උගන්වාගෙන යන කාර්යය තමා කරන්නේ.
මගේ දුව කුරුණෑගල මලියදේව බාලිකාවට යන නිසා හොස්ටල් එකේ නැවතී ඉන්නවා. දුවත් ගෙදර එන වෙලාවල්වල නිරන්තරයෙන්ම උදව් කළා. මගේ දරුවෝ දෙන්නගෙම මේ ජයග්‍රහණවල රහස විදිහට මම දකින්නේ, සියල්ලටම වඩා මම විශ්වාස කරන්නේ විදුහල්පතිතුමාගේ මඟපෙන්වීම සහ පන්තිභාර ගුරු මහත්මීන්ගේ පූර්ණ කැපවීම” යැයි ද දනෝජ්ගේ පියා සිසිර කුමාර සඳහන් කළේය.
දනෝජ්ගේ ජයග්‍රහණය පිළිබඳව ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති වසන්ත ඇබෝගම කතා කළේ ඉමහත් සතුටකිනි.
”අපේ ළමයි 117ක් විභාගය ලිව්වා. එයින් 58ක් සමත්. වැඩිම ලකුණ 193යි, දෙවැනි ලකුණ 188යි. නිල නොවන මට්ටමේ මං හිතන්නේ කුරුණෑගල වැඩිම ලකුණ ඒක කියලා. 188 දෙකක් අපේ තියෙනවා. 170 ගණන්වල ළමයි තුන්දෙනෙක් ඉන්නවා. කඩඉම සමත් 58යි. අනිත් ළමයි සේරම 100ට වැඩි ලකුණු අරගෙන ඉන්නේ. අපේ පාසල් අතර තරගකාරී පාසල් තියෙනවා.
අපි හැම සතියකම විශේෂ දේශකයෙක් ගෙනල්ලා සම්මන්ත්‍රණ කරනවා. මමත් කලින් හිටපු විද්‍යා ගුරුවරයෙක්. මගේ කාලයේ 100% ප්‍රතිඵල අරගෙන ලංකාවේ ප්‍රථම ස්ථානයට ගිහින් තියෙනවා. මගේ අත්දැකීමුත් එක්ක මම වැඩ කළා. අපි ළමයි 30ක විතර පූල් එකක් හිටියා, ඒ 30 හැමදාම 180න් උඩ ලකුණු ගන්නේ. අපිට අනුමානයක් ආවා ලංකාවේ වැඩිම දරුවා මේ ගොඬේ ඉන්න ඕනේ කියලා. දනෝජ් පුතා බොහොම අහිංසක දරුවෙක්. ඉගෙන ගන්න දක්ෂතා පෙන්නුවා. ඒ නිසා මගේ යටි හිතේ දරුවා ගැන බලාපොරොත්තුවක් තිබුණා, හොඳ ප්‍රතිඵලයක් ගනීවි කියලා. අපි පාසලේ උදේ 6.30ට වැඩ පටන් ගන්නවා. හවස 5.00, 5.30 වෙනකල් හැමදාම පංති කළා. දරුවන්ට කෑම බීම දෙමව්පියන් දුන්නා.”
හදවතේ තුවාල දරාගෙන, වියළි පොළොවේ කටුක බව සමඟ පොරබදමින් දනෝජ් පුතා තැබූ ඒ අභීත පියවර, අද අඳුරු අහසක පායා ආ දීප්තිමත්ම තාරකාවක් සේ මුළු රටටම එළිය සපයයි. පියාගේ දාඩිය බිංදුවටත්, ගුරුවරුන්ගේ අප්‍රමාණ කැපවීමටත් ඉහළම වටිනාකමක් දුන් ඒ පුංචි හදවත, ඉදිරියටත් සියලු අභියෝග පරාජය කරමින් ලෝකයම දිනන වගට සැකයක් නැත. අද ඒ වියළි කතරේ මල් පිපී අවසන්ය; හෙට දිනයේදී ඒ මල් සුවඳ මුළු මහත් ලෝකයම සුවඳවත් කරනු ඇත. දනෝජ් පුතුට ඉරිදා ලංකාදීප අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරන්නෙමු!
සංජීවනී ආරියරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd