ප්‍රේමකීර්ති රණතුංග

මූල්‍ය  අරමුදල සමග දැනට පවතින ගිවිසුම ලබන   වසරේ මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසු නැවත ගිවිසුමකට නොයෑමට රජය තීන්දු කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග  සඳහන් කරයි.

ඉකුත් රජය අත්සන් කළ ගිවිසුම යටතේ රට කඩා නොවැටීම සඳහා එම මාර්ගයේ ගමන් කළද නැවත ගිවිසුමකට එළඹීමට ආණ්ඩුව තීන්දු කර නැතැයි ද ගිවිසුම අක්‍රිය වීමෙන් පසුව ණය ගෙවීම ඇතුළු ආර්ථික කටයුතු තමන්ටම අනන්‍ය වූ ක්‍රමයක් යටතේ සිදු කිරීමට රජය මේ වන විට තීන්දු කර ඇතැයි ද දැනගන්නට ඇත. 

මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අවස්ථා ගණනාවක දීම රජය තුළ සාකච්ඡා වී ඇති අතර එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ තම රජය අයි.එම්.එෆ්. පදයට නටන බවට විපක්ෂය නිරතුරුවම චෝදනා කරන බවය. ගොවීන් ඇතුළු විවිධ අංශ සඳහා සහනාධාර ලබා දීමට මෙම  ගිවිසුම බාධාවක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ. එම සාකච්ඡාවේ දී රජයේ  ඉහළ බලධාරීන් පවසා ඇත්තේ දැනට ක්‍රියාත්මක අයි.එම්.එෆ්. ගිවිසුම නියමිත කාලසීමාවෙන් පසු ඉබේම අක්‍රිය වීමට ඉඩ හරින බවත් යළිත් ගිවිසුමකට එළඹීමට අදහසක් නොමැති බවත්ය.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර මේ වන විට හත්වැනි වාරිකය සඳහා සමාලෝචන සාකච්ඡා පැවැත්වෙන අතර වාරික අටකින් යුතු අයි.එම්.එෆ්. වැඩසටහන 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතය.