සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
මීගමුවෙන් ඇරඹී මහර, වැලිකඩ, කුරුවිට සහ පල්ලන්සේන දක්වා පැතිරගිය බන්ධනාගාර නොසන්සුන්තා සහ ගැටුම් සැලසුම්සහගතව සිදුවන බවත් එහි කුමන්ත්‍රණකාරී ස්වභාවයක් ද දක්නට ලැබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සිකුරාදා (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බව සදහන් කළ අමාත්‍යවරයා බන්ධනාගාර තුනේ ගැටුම් පාලනය කර ඇති බවත් එම සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මතුව නැති බවත් කීය.
ආනන්ද විජේපාල මෙසේ ද පැවසීය.
“අද උදේ කුරුවිට බන්ධනාගාරයේ යම් කලහකාරී තත්ත්වයක් උද්ගත වුණා. මේ මොහොතේ මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මේ ගැටුම් ආරම්භ වුණේ මීගමුව බන්ධනාගාරයෙන්. මේ ගැන ලැබුණු බුද්ධි තොරතුරු අනුව අපිට සැකයක් නිර්මාණය වෙලා තිබෙනවා, කුමන්ත්‍රණකාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ද කියන එක. මේවට ආසන්නම හේතුව වශයෙන් හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒවා මර්දනයට පියවර ගෙන තියෙනවා.”
“ඊයේ දවල් මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය ගැන කියන්න ඕනෑ. 40 කට වැඩි පිරිසක් වාට්ටු කඩාගෙන එළියට ඇවිල්ලා නොසන්සුන්කාරී ලෙස හැසිරිලා තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකාය මැදිහත් වී දැන් ඒ ගැටුම පාලනය කරලා තියෙනවා. ඒ සිද්ධියේ දී එක්කෙනෙක් මියගොස් දස දෙනෙක් තුවාල ලබලා තියෙනවා. ඒ දස දෙනා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අද උදේ හයයි තිහට කුරුවිට බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. එතැන දෙන්නෙක් මියගොස් 13 දෙනෙක් තුවාල ලබා රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
බන්ධනාගාරවල ඇතිවන නොසන්සුන්තා පාලනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. කිසිදු රැඳවියකුගේ හෝ නිලධාරියකුගේ ජීවිතවලට හානි නොවන විදිහට වැඩ කරන්න අපි කටයුතු කරනවා. මීට පැය කීපයකට පෙර පල්ලන්සේන කඳවුරේ වාට්ටුවක වහළය මතට තිස් දෙනෙක් නැගලා උද්ඝෝෂණයක යෙදිලා ඉන්නවා. උදේ කෑමට එළියට දාපු වෙලාවෙ ආපහු ඇතුළට ගිහිල්ලා නෑ. පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් ඒක පාලනය කරන්න කටයුතු කරනවා. අනෙක් බන්ධනාගාරවල තත්ත්වය පාලනය කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ.”
“මේ සිද්ධීන් සැලැස්මක් ආකාරයකට සිදුවන බව නිරීක්ෂණය වෙනවා. කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිරීක්ෂණය වෙනවා. පූර්ණ විමර්ශනයකින් පසුව ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සෑම කෙනෙකුගේම ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.”
“මේක අධිකරණ ඇමතිතුමා ගේ ගැටලුවක් නොවෙයි. මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරන්න අවශ්‍යයි. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන්නේ නෑ. මේ රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය මැදිහත් වෙනවා. රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා කැපවෙනවා. කෙටිකාලීන සහ දිගුකාලීන වැඩසටහන් ගණනාවක් යෝජනා වෙලා තිබෙනවා. අද ජනාධිපතිතුමා පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් කැඳවලා තිබෙනවා.”
මේ අතර බන්ධනාගාරවල හටගෙන ඇති සෑම නොසන්සුන්තාවක් ගැනම අවධානය යොමු කරමින් නිසි ආරක්ෂක පියවර ගන්නා බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
පසුගිය සිකුරාදා (07) වන විට කුරුවිට, පල්ලන්සේන ඇතුළු බන්ධනාගාර කිහිපයක හට ගෙන තිබූ නොසන්සුන්තා සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් ගන්නා පියවර පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා එසේ පැවසීය.
බන්ධනාගාරවල ඇති වී තිබෙන නොසන්සුන්තා පාලනය කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.
පසුගිය 06 වැනිදා කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ උද්ගත වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවියකු මිය ගොස් 11 දෙනකු තුවාල ලැබූ බවටත් කුරුවිට බන්ධනාගාරයේ උද්ගත වූ ගැටුමින් රැඳවියන් දෙදෙනකු මිය ගොස් ඇති බවටත් සිකුරාදා දහවල් වන විට මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ අතර පසුගිය 07 වැනිදා බන්ධනාගාරවල පවතින තත්ත්වය හා රැඳවියන්ගේ අාරක්ෂාව වෙනුවෙන් ගෙන ඇත් පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී බන්ධනාගාරවල පවතින ගැටලු රැඳවියන්ගේ සුභ සාධනය සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd