තවත් කොටසක් ගණන් හදයි,  මේ වසරේ රතු වරෙන්තුකරුවන් 17ක් ලංකාවට ගෙනත්

උපුල් වික්‍රමසිංහ සහ නිරෝෂාන් ප්‍රේමරත්න

වසර 2026 ආරම්භයේ සිට අගෝස්තු 10 දක්වා ගත වූ කාලයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සහ වෙනත් සියලු අනීතික ක්‍රම මගින් උපයන ලද රුපියල් මිලියන 839 ක් වටිනා දේපොළ සහ මුදල් තහනම් කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද නීතිවිරෝධී මුදල්වලට අමතරව නිවාස, වාහන, ඉඩම් වංචා කිරීම ඇතුළු වෙනත් අනීතික ක්‍රියාමාර්ග මගින් උපයන ලද මුදල් ද ඊට අයත් බව ඉරිදා ලංකාදීපය කළ විමසීමක දී පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ ය.

මේ අතර 2025 වසරේ දී මත්ද්‍රව්‍ය ඇතුළු අනීතික ක්‍රියාවලින් උපයන ලද රුපියල් මිලියන 1,549 ක වටිනාකමක් සහිත මුදල් සහ දේපොළ තහනම් කළ බව ද එම කොට්ඨාසය හෙළි කළේ ය. 

පසුගිය දිනවල මෙරටට ගෙන එන ලද මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරීන්ගේ දේපොළ සහ වත්කම්වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැති බවත් එම කටයුතු ඉදිරියේ දී සිදු කරන බවත් ඒ සම්බන්ධව කළ විමසීමක දී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. 

මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් හා මහා පරිමාණ කප්පම් ආදි අපරාධ සිදුකර මෙරටින් පලාගොස් විදෙස් රටවල සැඟව සිටින රතු වරෙන්තු නිකුත් කළ අපරාධකරුවන් 17ක් මේ වසරේදී මෙරටට රැගෙන ඒමට හැකිවූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් මේ වනවිට රතු වරෙන්තු නිකුත් කර ඇති මුළු අපරාධකරුවන් ගණන 110ක් වන අතර 2023 සිට මේ දක්වා මෙරටට රැගෙන ආ අපරාධකරුවන් ගණන 41ක් බවද සඳහන් ය.

මෙලෙස රතු වරෙන්තු ලද අපරාධකරුවන්ගෙන් අතිබහුතරය ඩුබායිහි රැඳී සිටිමින් මෙරට තුළ සිය අපරාධ මෙහෙයවන බවට වාර්තා වී තිබේ.