වසර ගණනාවකට පසු අහස නිරීක්ෂකයන් සඳහා උදාවන වඩාත් උද්‌යෝගිමත් දිනයක් ලෙස 2026 අගෝස්තු 12 වන දින සැලකිය හැකිය. ලංකාවේ අපට සියල්ලම නොපෙනුණත්, මෙදා අහස මත තාරකා විද්‍යාත්මක විස්මිතදෑ කිහිපයක් එකවර සිදු වීමට නියමිතය.

ඒ අගෝස්තු 12 දා සිදුවීමට නියමිත පර්සයිඩ්ස් (Perseids) උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව උදාවීම, පූර්ණ සූර්යග්‍රහණයක් සහ දුර්ලභ ග්‍රහලෝක හයක පෙළගැස්මක් යන විශිෂ්ට සිදුවීම් පෙළයි. මෙම සෑම සිදුවීමක්ම ලොව සෑම ස්ථානයකටම දෘශ්‍යමාන නොවනු ඇතත්, මෙම ප්‍රධාන තාරකා විද්‍යාත්මක සිදුවීම් එකම පැය 24 ක කාලයක් තුළ වීම ඇදහිය නොහැකි අහඹු, ඉතිහාසගත වන සංසිද්ධියකි.

ඒ අනුව 2026 අගෝස්තු 12 වන බදාදා උදෑසනට පෙර පැය කිහිපය තුළ ග්‍රහලෝක හයක ඇදහිය නොහැකි පෙළගැස්මක් අපූරුවට දිස්වන්නට නියමිතය. බුධ, බ්‍රහස්පති, අඟහරු, යුරේනස්, සෙනසුරු සහ නෙප්චූන් මෙදා උදෑසන අහස හරහා චාපයක් ලෙස පෙළ ගැසී තිබෙනු දකින්නට හැකි වනු ඇත.

වසරේ සරුසාරම උල්කා වැස්සක් වන පර්සයිඩ්ස් උල්කාපාත වර්ෂාව ඔබට දැකගැනීමට ලැබීම කලකින් ලැබෙන අවස්ථාවකි. 

සාමාන්‍යයෙන් පැයකට වේගවත්, දීප්තිමත් උල්කාපාත සහ ගිනි බෝල 90 ත් 100 ත් අතර ප්‍රමාණයක් දැකගත හැකි මෙම සුන්දර උල්කා වැසි, ඔබ ජීවිත කාලය තුළ එක් වරක් හෝ නරඹා අත්දැකීමක් ලැබිය යුතු අහසේ විස්මිත දසුනකි. අගෝස්තු 12 දින රෑ නැගෙනහිර වෙරළ තීරය අසලට යන්නට ඔබට හැකිනම්, මේ සුවිශේෂී දසුනේ සුන්දරත්වය උපරිම ලෙස විඳිය හැකි බවයි විද්වත් මතය වන්නේ. මෙවර මෙම වර්ෂාව පැයකට උල්කා 50 ක් පමණ විහිදුවන්නට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙවර කොළඹ නගරයට පර්සයිඩ්ස් උල්කා වර්ෂාව වඩාත් පැහැදිලිව දැකගත හැක්කේ අගෝස්තු 12 වනදා රාත්‍රියේ සිට අගෝස්තු 13 වනදා අලු‍යම දක්වා කාලය තුළදීය.

මෙම වසරේ අගෝස්තු 12 දිනට සඳ එළියෙන් තොර අඳුරු අහසක් නිර්මාණය වී උල්කාපාත නැරඹීමට කදිම පසුබිමක් උදාවෙයි. කෙසේ වෙතත්, නිරීක්ෂණ රාත්‍රීන් සඳහා වන දේශීය කාලගුණ අනාවැකිය පහත පරිදි වේ:

නිරීක්ෂණ උපදෙස්:

  • හොඳම වේලාව: මධ්‍යම රාත්‍රියෙන් පසුව, විශේෂයෙන් අලු‍යම 2:00 න් පසු ඊසානදිග අහස දෙස බැලීමෙන් වැඩි උල්කා සංඛ්‍යාවක් දැකගත හැකිය.
  • කාලගුණ බාධා: නිරිතදිග මෝසම් බලපෑම හේතුවෙන් කොළඹ අහස වලාකුළුවලින් බරවීමට සහ වැසි ඇතිවීමට ඉඩකඩ පවතී. වැසි නොමැති, වලාකුළු පහව යන පැහැදිලි අහසක් ලැබෙන මොහොතකදී පමණක් මෙය නැරඹිය හැකි වනු ඇත.
  • ස්ථානය: කොළඹ නගරයේ නම් අධික ආලෝක දූෂණය නිසා උල්කා පැහැදිලිව නොපෙනෙන බැවින්, නගරයෙන් බැහැර ආලෝකය අඩු අඳුරු ස්ථානයක් තෝරාගන්න.

උල්කා වර්ෂාව නැරඹීමට ඔබ සැලසුම් කරන්නේ කොළඹින් බැහැර වෙනත් ප්‍රදේශයක සිට නම්, එම ස්ථානවල කාලගුණය ගැන විස්තර කිහිපයක් මෙන්න.

පර්සයිඩ්ස් උල්කා වර්ෂාව උපරිමයෙන්ම සිදුවන අගෝස්තු 12 රාත්‍රියේ සිට 13 වැනිදා අලු‍යම දක්වා කාලය තුළ, ලංකාවේ පවතින සක්‍රීය නිරිතදිග මෝසම් බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලගුණය බෙහෙවින් වෙනස් විය හැකිය.

ඒ අනුව තරු නැරඹිය හැකි පැහැදිලි අහසක් ලැබීමේ හැකියාව සහ කාලගුණ තත්ත්වය මෙසේය:

1. නිරිතදිග සහ කඳුකර කලාප (නැරඹීමට අපහසු/අවම අවස්ථාවක් උදාවේ):

නිරිතදිග මෝසම් සුළං සක්‍රීය බැවින් මෙම නගරවල අහස වලාකුළුවලින් බරව පවතින අතර වැසි තත්ත්වයන් බලාපොරොත්තු විය හැක.

  • ගාල්ල: විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අහස 80%-90% වලාකුළුවලින් වැසී පවතින බැවින් උල්කාපාත නැරඹීමට ඇති ඉඩකඩ ඉතා අඩුය.
  • මාතර: වෙරළබඩ තද සුළං සමඟ වැසි සහිත කාලගුණයක් පවතී. අහස වලාකුළුවලින් බර බැවින් නිරීක්ෂණය අපහසු වනු ඇත.
  • මහනුවර: මධ්‍යම කඳුකරයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සහ මීදුම් තත්ත්වයන් ඇතිවිය හැක. අහස සම්පූර්ණයෙන්ම පාහේ වැසී පවතින බැවින් නැරඹීමේ අවස්ථා අවමය.
  • කුරුණෑගල: විටින් විට වැසි වැටිය හැකි අතර අහස වලාකුළුවලින් බරව පවතී. වැසි රහිත කෙටි විරාමයන්වලදී පමණක් තරමක නිරීක්ෂණ අවස්ථා ලැබිය හැක.

2. උතුරු සහ උතුරු-මැද කලාප (මධ්‍යස්ථ අවස්ථා):

මෝසම් බලපෑම අඩු වුවද වියළි තද සුළං සහ වලාකුළු මද වශයෙන් ඇතිවිය හැක.

  • පුත්තලම: වැසි රහිත වියළි කාලගුණයක් පැවැතිය හැකි වුවද වයඹ වෙරළ තීරයේ වලාකුළු මදක් පැතිර යා හැක. මධ්‍යම රාත්‍රියෙන් පසු අහස පැහැදිලි වුවහොත් හොඳින් නැරඹිය හැක.
  • අනුරාධපුරය: ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතී. නමුත් රාත්‍රී කාලයේදී විටින් විට වලාකුළු රඳා පැවැතිය හැක. වලාකුළු පහව යන අවස්ථාවලදී පැහැදිලි දර්ශන ලබාගත හැක.
  • යාපනය: ඉතා අවම වලාකුළු සහිත පැහැදිලි අහසක් පැවැතීමට වැඩි ඉඩක් ඇත. නගරයෙන් බැහැර අඳුරු ස්ථානවල සිට උල්කාපාත නැරඹීමට හොඳ මධ්‍යස්ථ/ඉහළ අවස්ථාවක් පවතී.

3. නැගෙනහිර කලාපය (නැරඹීමට ඉතාම සුදුසු / ඉහළම අවස්ථා මෙම කලාපයේ පවතී):

නිරිතදිග මෝසම් කාලයේදී ලංකාවේ නැගෙනහිර තීරයට වියළි සහ පැහැදිලි අහසක් හිමිවන බැවින් උල්කාපාත නැරඹීමට හොඳම ප්‍රදේශ මේවා වේ.

  • අම්පාර: රාත්‍රී කාලයේදී අහස ඉතා පැහැදිලිව පවතී. කෘත්‍රිම ආලෝකය අඩු ගම්මානයක් හෝ වැවක් අසලට ගියහොත් උපරිම ලෙස උල්කාපාත දැකගත හැක.
  • මඩකලපුව: වැසි රහිත, වලාකුළුවලින් තොර ඉතා පැහැදිලි රාත්‍රී අහසක් බලාපොරොත්තු විය හැක. නැගෙනහිර වෙරළ තීරය මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට ලංකාවෙන් තෝරාගත හැකි විශිෂ්ටතම කලාපයකි.

ගිනි බෝල 

පර්සයිඩ්ස් එහි කැපී පෙනෙන ගිනි බෝල සඳහා ඉතා ප්‍රසිද්ධය. ගිනි බෝල යනු සාමාන්‍ය උල්කාපාත රේඛාවකට වඩා දිගු කාලයක් පැවැතිය හැකි ආලෝකය සහ වර්ණයෙන් යුත් විශාල පිපිරීම් වේ. මෙයට හේතුව ගිනි බෝල වල්ගා තරු ද්‍රව්‍යවල විශාල අංශු වලින් ආරම්භ වීමයි. ගිනි බෝල දීප්තිමත් වන අතර දෘශ්‍යමාන විශාලත්වය -3 ට වඩා වැඩිය.

පර්සයිඩ්ස් උල්කා රෑ අහසේ පර්සියස් තාරකා මණ්ඩලයේ සිට විහිද යන ආකාරය දක්නට හැකිය. පර්සියස් තාරකා මණ්ඩලයට ඒ නම ලැබී ඇත්තේ මෙඩූසා නම් රාක්ෂයාගේ හිස කපා ඇන්ඩ්‍රොමීඩා කුමරිය බේරාගත් මහා වීරයා ලෙස ග්‍රීක පුරාවෘත්තවල නම සඳහන්ව ඇති, සියුස්ගේ සහ ඩැනේගේ පුත් පර්සියස්ට අනුරූපවය.

එහෙත් මෙම තාරකා මණ්ඩලය උල්කාපාතවල සැබෑ උප්පත්ති ස්ථානය නොවේ. සැබැවින්ම පර්සයිඩ්ස් උල්කා වැස්ස නිර්මාණය කිරීම සඳහා අපගේ වායුගෝලය සමඟ අන්තර්ක්‍රියා කරන අභ්‍යවකාශ සුන්බුන් කොටස් පැමිණෙන්නේ ස්විෆ්ට්-ටට්ල් (109P/Swift-Tuttle ) ලෙස හැඳින්වෙන වල්ගා තරුවෙනි. මෙම වල්ගා තරුව පර්සයිඩ්ස් උල්කා වැස්සේ ප්‍රභවය බව 1865 දී මුලින්ම තේරුම් ගෙන ප්‍රකාශයට පත් කළේ ජියෝවානි ෂියාපරෙලි නමැති තාරකා විද්‍යාඥයාය.

ස්විෆ්ට්-ටට්ල් වල්ගා තරුව 1862 දී ලු‍විස් ස්විෆ්ට් සහ හොරේස් ටට්ල් විසින් සොයාගන්නා ලදී. ස්විෆ්ට්-ටට්ල් යනු විශාල වල්ගා තරුවකි. එහි න්‍යෂ්ටිය සැතපුම් 16 ක් (කිලෝමීටර් 26) පළල වේ. (මෙය ඩයිනෝසෝරයන්ගේ මරණයට හේතු වූ බවට උපකල්පනය කරන ලද අභ්‍යවකාශ පර්වතයේ ප්‍රමාණය මෙන් දෙගුණයකට ආසන්නය.)

ස්විෆ්ට්-ටට්ල් හට සූර්යයා වටා එක්වරක් කක්ෂගත වීමට වසර 133 ක් ගතවේ. ඒ අනුව ස්විෆ්ට්-ටට්ල් වල්ගා තරුව අවසන් වරට අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයට පැමිණියේ 1992 දීය.

අගෝස්තුවේ අරුමය 

ඉතින් උදාවූ මේ අපූරු අගෝස්තු මාසයේ හිරු බැස යාමෙන් පසු සැඳෑ අහසේ ඉරබටු තරුව හෙවත් සිකුරු බටහිරින් දීප්තිමත්ව දැල්වෙනු ඇත. පර්සයිඩ්ස් උල්කා වර්ෂාව කඩා හැලෙනු ඇත. දුර්ලභ ග්‍රහලෝක හයක පෙළගැස්මක් සිදුවනු ඇත. පූර්ණ සූර්යග්‍රහණයක් රුසියාව, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ නැගෙනහිර ස්පාඤ්ඤය දෙසට දිස්වනු ඇත. එසේම ගැඹුරු අර්ධ චන්ද්‍රග්‍රහණයකින්, චන්ද්‍රයාගේ වැඩි කොටසක් අඳුරු කරමින් මාසය අවසන් කරන්නට නියමිතය.

මේ අතරින් සිකුරුගේ සුන්දරත්වයත්, පර්සයිඩ්ස් උල්කා වර්ෂාවත්, දුර්ලභ ග්‍රහලෝක හයක පෙළගැස්මත් අපට නැරඹිය හැකි අමතක නොවන අපූරු දසුන් බවට පත්වනු ඇත. ඉතින් මේ අවස්ථාව මගහැර ගන්න එපා!

සුගත්ප්‍රිය කුලතුංග ආරච්චි