
උදෑසන කාර්යාලයට හෝ පාසලට යාමට මඟට බසින ඔබටත් මටත් මුහුණ දීමට සිදුවන තිත්ත ඇත්ත අපි හැමෝම දනිමු. වේලාවට එන්නේ නැති, මගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරුණු, පාරේ තරගයට පදවන බස් රථයක එල්ලී යෑම අපේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දෙයකි. එහෙත්, මෙම අනවශ්‍ය වෙහෙසකාරී ප්‍රවාහන සංස්කෘතිය වෙනස් කරමින්, ලොව දියුණු නගරවල මෙන් සුපහසු, වේලාවට වැඩකරන සහ සුරක්ෂිත ප්‍රවාහන සේවාවක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ මූලාරම්භය ‘මෙට්‍රෝ බස්’ (Bus Rapid Transit - BRT ) සංකල්පය හරහා මේ වන විට සටහන් වී ඇත.
මෙට්‍රෝ බස් සංකල්පය යනු හුදෙක් මහ පාරට තවත් අලුත් බස් රථ කිහිපයක් එකතු කිරීම පමණක් නොවේ. එය තාක්ෂණය, නිසි කළමනාකරණය සහ කාලවේලාවට ගරු කිරීම එකට කැටි වූ නාගරික ප්‍රවාහන විප්ලවයකි.
ලෝකය ජයගත් මෙට්‍රෝ බස් අත්දැකීම
ලොව පුරා ප්‍රධාන නගර රැසක පොදු ප්‍රවාහන පද්ධතියේ කොඳුනාරටිය බවට පත්ව තිබෙන්නේ මෙම මෙට්‍රෝ බස් සංකල්පයයි. ලෝකයේ විවිධ රටවල් මෙම ක්‍රමය සාර්ථකව මෙන්ම අභියෝග මධ්‍යයේ ක්‍රියාත්මක කළ ආකාරය දෙස බලන විට අපට ඉගෙනගැනීමට පාඩම් රැසක් තිබේ.
කොලොම්බියාවේ බෝගෝටා නගරය මූලික කරගත් TransMilenio බස් රථ සේවය ලොව විශාලතම සහ ප්‍රකට මෙට්‍රෝ බස් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙයි. දිනකට ලක්ෂ සංඛ්‍යාත මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන මෙම පද්ධතිය මගින් නගරයේ මාර්ග තදබදය සැලකිය යුතු ලෙස අඩු කිරීමටත්, පරිසර දූෂණය පාලනය කිරීමටත් හැකි විය. එහෙත් කාලයත් සමඟ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා අධික මගී තදබදයක් නිර්මාණය වීම, ආරක්ෂාව පිළිබඳ ගැටලු, සොරකම් වැඩිවීම, ගාස්තු නොගෙවා හොරෙන් ගමන් කිරීම සහ නිසි නඩත්තුවක් නොවීම වැනි අභියෝගවලට ද බෝගෝටා නගරයට මුහුණ දීමට සිදු විය.
අසල්වැසි ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ක්‍රියාත්මක වන ජන්මාර්ග් (Janmarg) මෙට්‍රෝ බස් සේවාව, ජනාකීර්ණ ආසියාතික නගරයකට මෙට්‍රෝ බස් පද්ධතියක් කෙතරම් ගැළපේද යන්නට හොඳම උදාහරණයකි. කෙසේ වෙතත්, විශේෂ මංතීරු වෙන් කිරීම නිසා සාමාන්‍ය වාහන ධාවනය වන ඉතිරි මංතීරු පටු වී තදබදයක් ඇතිවීම, වෙනත් වාහන අනවසරයෙන් බස් මංතීරුවලට ඇතුළු වීම සහ ප්‍රධාන මාර්ගවල සිට නිවස දක්වා සම්බන්ධ වන අතිරේක ප්‍රවාහන මාධ්‍ය නොතිබීම එහි අභියෝග බවට පත් වී තිබේ.
ජර්මනියේ බර්ලින්, හම්බර්ග් වැනි නගරවල ‘‘Metrobus’ සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ස්මාර්ට් මාර්ග සංඥා මගින් බස් රථයක් ළඟා වන විට රතු එළිය කොළ එළිය බවට පත් කර ප්‍රමුඛතාව ලබා දෙයි. එසෙන් නගරයේ ‘O-Bahn’ තාක්ෂණය හරහා සිමෙන්ති පීලි මත සුක්කානම හැසිරවීමකින් තොරව අධික වේගයෙන් බස් ධාවනය කෙරේ. සිංගප්පූරුවේ ද රතු සහ කහ පැහැති විශේෂ බස් මංතීරු මගින් බස් රථ සඳහා නීතිමය ප්‍රමුඛතාව තහවුරු කර ඇත. මේ ලෝකය දෙස බලද්දී ගත හැකි බොහෝ උදාහරණවලින් කිහිපයකි. ඒ අනුව මෙට්‍රො බස් සේවා සාර්ථක වීම මෙන්ම පසුකාලීනව අසාර්ථක වීමට හේතුද බොහෝ සොයා ගත හැකිය. අප කළ යුත්තේ අසාර්ථක හේතු ඇති නොවන ලෙස කටයුතු කිරීමයි.
ඩිජිටල් තාක්ෂණය සහ ස්මාර්ට් ගමනාගමනය
මෙට්‍රෝ බස් පද්ධතියක ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ නවීන තාක්ෂණය සමඟ බද්ධ වී පැවතීමයි. ජංගම දුරකථන යෙදවුම් (Apps) සහ GPS Tracking තාක්ෂණය හරහා බස් රථයක් පැමිණෙන වේලාව, එය දැනට පවතින ස්ථානය සහ ගමනාන්තයට ළඟාවීමට ගතවන කාලය සජීවීව (Real-Time) නිරීක්ෂණය කිරීමේ හැකියාව මගීන්ට හිමිවේ.
යම් මගියකුට උදෑසන 8.15 ට කාර්යාලයට හෝ පාසලට ළඟාවීමට තිබේ නම්, ජංගම දුරකථනයෙන් හෝ බස් නැවතුමේ සවිකර ඇති ඩිජිටල් තිරයෙන් ”ඊළඟ බස් රථය පෙ.ව. 8.02 ට පැමිණේ” යනුවෙන් සටහන්ව තිබීම විශාල සැනසීමකි. එමගින් මගියාට පැය ගණන් හෝල්ට්වල රඳවා සිටීමට සිදු නොවන අතර අනවශ්‍ය කලබලයකින් තොරව තමන්ගේ ගමන සැලසුම් කරගැනීමට හැකියාව ලැබේ.
එමෙන්ම, මුදල් වෙනුවට ස්මාර්ට් කාඩ් හෝ QR සංකේත භාවිතයෙන් ගමන් ගාස්තු ගෙවීමේ ක්‍රමය නිසා ඉතිරි මුදල් ලබාදීමේ ප්‍රමාදයන් නැති වී, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩිවේ. මේ තත්ත්වයන්ට අනුගත වීම මගීන්ට මෙන්ම බස් රථ සේවකයන්ටද පහසුවකි.

අහමාබාද්හි ජම්මාර්ග් මෙට්‍රෝ බස් සේවය
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්: ආයතනික දැක්ම සහ ඉදිරි සැලසුම
ශ්‍රී ලංකාවේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය භාරව ක්‍රියාත්මක වන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී. එම්. පියතිලක මෙම නව වැඩපිළිවෙළ සහ එහි අනාගතය පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.
“මීට පෙරත් අවස්ථාවලදී බස් සේවාවන් කිහිපයක් ආරම්භ කළත් ඒවායේ ධාවන හා නඩත්තු මෙහෙයුම් කටයුතු නිසි ලෙස අධීක්ෂණය කිරීමට නම් කළ විධිමත් ආයතනයක් පිහිටුවනු ලැබුවේ නැහැ. එක්කෝ ලංගමයටම බස් ටිකක් ගෙනත් දාලා ඔවුන්ට ඒ ගැන බලන්න කිව්වා. නැත්නම් පෞද්ගලික පාර්ශ්වයකට මෙහෙයුම් කටයුතු බලන්න කියලා ලබාදී තිබුණා. බස් ගෙනාවට, පාරට දැම්මට නියාමනය කිරීමක් සිදුවුණේ නැහැ. මේ නිසාම තමයි සියයට සියයක් රජයේ ආයතනයක් ලෙස සහ ලංගමයට අනුබද්ධිත ආයතනයක් ලෙස ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්‘ නමින් බස් සමාගමක් ආරම්භ කරන්නේ.”
“ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පෞද්ගලික සමාගමේ කාර්යභාරය වන්නේ ‘මෙට්‍රෝ‘ කියන ව්‍යාපෘතිය ඉදිරියට රැගෙන යාමයි. අපි සියයට සියයක් විශ්වාස කරනවා පෙර වරින් වර ඇති කළ බස් සේවාවන් මෙන් නොව දිගටම පවතින බස් සේවාවක් වෙනුවෙන් වගකියන ආයතනයක් ලෙස අපි කටයුතු කරනවා කියලා.
අතීතයේ මගී ප්‍රවාහනය සඳහා වෑන් රථ යොදා ගනු ලැබුවා. මගියා දෙකට නැවිලා තමයි ඒවායේ ගමන් කළේ. ඉන් පසුව කෙළින් හිටගෙන යාහැකි බස් රථවලට මාරුවුණා. ඒ කාලයේ වෑන් රථ හිමිකරුවන්ට ගැටලු ඇති කළා බස් රථ පැමිණීම නිසා තම ව්‍යාපාර අහිමි වෙනවා කියලා. හැබැයි එහෙමයි කියලා පාරට බස් රථ නොදා හිටියෙත් නැහැ, වෑන් රථ අයින් වෙන්නෙ නැතුව තිබුණෙත් නැහැ. ඒ ගැටලුව ඒ විදිහට විසඳගන්න පුළුවන් වුණේ බස් රථවලට මිනිස්සුන්ගේ කැමැත්ත හිමිවීම හා වෑන් රථවලට අකමැත්ත පළවීම නිසයි.”
“මෙතැනදීත් අපි බලාපොරොත්තු වන්නේත් ඒකම තමයි. දැන් මිනිස්සුන්ගේ කැමැත්ත තිබෙන්නේ මාර්ගවල ධාවනය වන සාමාන්‍ය බස් රථවල යනවා වෙනුවට සුවපහසු මෙට්‍රෝ බස් රථයක ගමන් කිරීමටයි. ඒ නිසා මගී ජනතාව අනිවාර්යයෙන්ම මෙට්‍රෝ බස් සේවාව ආරක්ෂා කරනවා. ඒ වගේම අපිත් ඉල්ලා සිටිනවා ප්‍රවාහනයේ ඊළඟ ලෙවල් එකට යන්න අවශ්‍ය නම් මෙට්‍රෝ බස් සේවාව ආරක්ෂා කරගන්න කියලා. නැත්නම් ඉතින් ලොරි බොඩිවල තමයි දිගටම යන්න වෙන්නේ.”
“හැබැයි පසුගිය අප්‍රේල් මාසයේ බස් 10 කින් ආරම්භ කළ මෙහෙයුම්වලින් මේ වන විට ඔප්පු වෙලා තිබෙනවා මගී ජනතාවට මෙට්‍රෝ බස් තමයි ඕනේ කියලා. ඒ නිසා අපි අපේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් ඉල්ලුමට සැපයුම ලබා දෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මගීන් විසින්ම මේක ආරක්ෂා කරනවා කියලා. ජනතාවගේ වගකීම වෙන්නෙත් ඒකම තමයි.
ඉක්මනින්ම QR සහ කාඩ් ගෙවීම්වලට මාරු වෙයි
මෙට්‍රෝ බස් රථ භාවිත කරන මගීන්ට සිය ගාස්තු කාඩ්පත් ගෙවීම්, QR ගෙවීම් සහ මුදල් මගින් ගෙවීම් යන තුන් ආකාරයෙන් කැමති ආකාරයකට ගෙවිය හැකියි. නමුත් ඉදිරි මාස 6 - අවුරුද්ද ඇතුළත අපි මුදල් මගින් ගෙවීම අවසන් කර කාඩ්පත් හා QR මගින් පමණක් ගෙවීමේ ක්‍රමවේදයක් සැලසුම් කරමින් තිබෙනවා.
මෙට්‍රෝ බස් රථවල ගමන් කරන මගීන් වෙනුවෙන් ‘LMT GO’ නමින් ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා. එම ඇප් එක මේ වන විට 150,000 කට වැඩි පිරිසක් ඩවුන්ලෝඩ් කරගෙන තිබෙනවා. මෙම ඇප් එක මගින් රියල් ටයිම් ලොකේෂන් බලාගත හැකියි. උදාහරණයක් ලෙස ඇප් එක මගින් තමන්ට ළඟම බස් නැවතුම්පොළට මෙට්‍රෝ බස් රථය ළඟාවෙන්නේ කීයට ද කියලා හරියටම දැනගන්න පුළුවන්. ඒ නිසා කාලය කළමනාකරණය කරගනිමින් බසය පැමිණීමට විනාඩි දෙක තුනකට කලින් බස් හෝල්ට් එකට යන්න පුළුවන්. දැනට අපි හඳුන්වා දී තිබෙන රූට් 7 ටම අදාළව තොරතුරු මේ ඇප් එකෙන් ලබාගත හැකියි. ආසන්නම වෙලාවේ බසය පමණක් නොව ඊළඟට එන බසය ගැනත් තොරතුරු මෙහි ඇතුළත් වෙනවා.
මේ වන විට බස් රථ 121 ක් අප සතුව තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර මින් බස් 110 - 112 ක් ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙනවා. එසේම මේ වසර අවසාන භාගයේ හෝ ලබන වසර මුලභාගයේ තවත් බස් රථ 50 ක් ගෙන්වීමට කටයුතු යොදා තිබෙනවා. එම බස් රථ 50 මහනුවර සහ යාපනයේ ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කොට තිබෙනවා. ඊට අමතරව 2027 දී ඉලෙක්ට්‍රික් බස් 100 ක් සහ තවත් බස් 150 ක් ගෙන්වීමට නියමිතව තිබෙනවා.
මේ වන විට මෙට්‍රෝ බස් ඩිපෝ 4 ක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතින අතර ඉදිකිරීම් වැඩකටයුතු සියයට 90 ක් පමණ අවසන්. එම ඩිපෝ ඉදිකරමින් තිබෙන්නේ තලංගම, රත්මලාන, කඩවත හා ඒකල යන ප්‍රදේශවලයි. එසේම බස් රථවල නඩත්තු කටයුතු සඳහා සෙන්ට්‍රල් වර්ක්ෂොප් එකකුත් ඉදිකරමින් තිබෙනවා. මෙම සියලු කටයුතු අගෝස්තු මාසය අගභාගයේදී අවසන් කිරීමට නියමිතව තිබෙනවා.”

පරිවර්තනයේ මහජන වගකීම
ලෝකය ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ ඉදිරියට යද්දී, අප තවමත් පාරවල්වල බස් රථ දෙකක් එකිනෙකා පරාජය කිරීමට තරග වදින, මගීන් අසරණ වන ප්‍රවාහන රටාවක සිරවී සිටිය යුතු නැත. යුරෝපයේ සහ ආසියාවේ දියුණු රටවල් පෙන්වා දී ඇත්තේ ප්‍රවාහනය යනු හුදෙක් ගමනාන්තයට යාම පමණක් නොව, එය මිනිසාගේ වටිනා කාලය සහ ජීවන තත්ත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවයි.
ශ්‍රී ලංකාව දියුණු දේශයක් බවට පත්වීමට නම්, අපගේ පොදු ප්‍රවාහන සංස්කෘතිය ද ප්‍රමුඛතාව ලබාගනිමින් යාවත්කාලීන විය යුතුය. ඒ සඳහා මෙට්‍රෝ බස් සේවාව යනු අපට ලැබුණු හොද අවස්ථාවකි. එහෙත්, ජර්මනියේ, සිංගප්පූරුවේ හෝ ඉන්දියාවේ අත්දැකීම්වලින් අප උගත යුතු පාඩම වන්නේ තාක්ෂණය සහ අලුත් බස් රථ ගෙනදීමෙන් පමණක් පද්ධතියක් සාර්ථක නොවන බවයි.
මෙට්‍රෝ බස් රථ, බස් නැවතුම්පොළවල්, ඩිජිටල් තිර සහ ජංගම දුරකථන යෙදවුම් යනු මහජනතාවගේ බදු මුදලින් ඉදිවන අපගේම ජාතික සම්පත්ය. බස් රථ ඇතුළත සහ නැවතුම්පොළවල් පිරිසිදුව තබා ගැනීම, අසුන්වලට හෝ තාක්ෂණික මෙවලම්වලට හානි නොකිරීම, සහ ස්මාර්ට් ගෙවීම් ක්‍රමවේදයන්ට හුරුවීම මගීන් වන අපගේ වගකීමකි.
මෙට්‍රෝ බස් යනු හුදෙක් ගමනාගමන සේවාවක් නොව, ශ්‍රී ලංකාව වෙනස්ම සංවර්ධිත මානයකට ගෙන යා හැකි සංස්කෘතික ප්‍රවේශයකි. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ පාලනාධිකාරියේ කැපවීම මෙන්ම, එය අපගේම පොදු දේපළක් ලෙස සුරක්ෂිත කරගන්නා මහජනතාවගේ ශිෂ්ටසම්පන්න භාවිතය මතය.
නිරෝෂන් ප්‍රේමරත්න



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd