
හැත්තෑව දශකයේ අග භාගයේ පසුවන කාන්තාවක්, දකුණු පළාතේ ගම්මානයක, වසර ගණනාවකට පෙර තම දරුවන් හදා වඩා ගත් නිවසේ අද තනිව ජීවත් වෙයි. ඇගේ දරුවන් කොළඹට සහ විදේශ රටවලට පදිංචියට ගොස් ඇත. දුරස්ථව සිටියද ඔවුන්ගෙන් ලැබෙන සෙනෙහස ඇගේ ජීවිතයට ශක්තියකි. බොහෝ මාසවල ඇයට මුදල් ඇණවුමක් ලැබෙන අතර, හැකි සෑම අවස්ථාවකදීම ඇගේ දියණිය ඇයට දුරකථනයෙන් කතා කරයි. මෙය ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර වඩ වඩාත් සුලභ වෙමින් පවතින යථාර්ථයකි.
2024 ජන හා නිවාස සංගණනයට අනුව, මේ වන විට වැඩිහිටි කාන්තාවෝ දෙලක්ෂ පනස්දහසකට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම තනිව ජීවත් වෙති. ඇගේ කතාව මෙන්ම, ඒ සෑම කාන්තාවක් පිටුපසම තමන්ටම අනන්‍ය වූ කතාවක් තිබේ. සෑම සංඛ්‍යා ලේඛනයක්ම වෙනස් වෙමින් පවතින පවුල් රටා, දීර්ඝ වන ආයු කාලය සහ නව ප්‍රජා විද්‍යාත්මක යුගයකට පිවිසෙමින් සිටින රටක් පිළිබඳ කතාවක් කියනු ලබයි.
දශක ගණනාවක් පුරා දිවෙන සංක්‍රාන්තියක්
ඉහත සඳහන් පිරිස ඉතා කැපී පෙනෙන සුළුය. වර්තමානය වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට 18ක් වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් වන අතර, එය 1981දී වාර්තා වූ සියයට 6.6ට සාපේක්ෂව තුන් ගුණයකට ආසන්න අගයකි. ගෝලීය වශයෙන්, වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජනගහන ප්‍රතිශතය මත පදනම්ව ‘වයස්ගත වෙමින් පවතින’ (ageing), ‘වයස්ගත’ (aged) සහ ‘අධි-වයස්ගත’ (super-aged) රටවල් ලෙස වර්ගීකරණය කෙරෙන අතර, ඒ සඳහා පිළිවෙළින් සියයට 7, සියයට 14 සහ සියයට 21 යන සීමා යොදා ගැනේ. ලංකාවේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි ජනගහනය සියයට 12.6ක් වන අතර, ඒ අනුව රට ‘වියපත්’ සමාජයක් බවට පත්වීමේ සීමාවට ළඟා වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ ප්‍රක්ෂේපණවලට අනුව, ඉදිරි දශක දෙක තුළ ලංකාව ‘අතිශයින් වියපත්’ සමාජයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලංකාවේ මෙම ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය සිදුවෙමින් පවතින්නේ කැපී පෙනෙන වේගයකිනි. ප්‍රංශයට එම ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය කරා ළඟා වීමට සියවසකට ආසන්න කාලයක් ගත වූ අතර, ජපානයට ඒ සඳහා ගත වූයේ වසර 24කි. ශ්‍රී ලංකාව ද එම සංක්‍රාන්තිය දශක දෙකකට මඳක් වැඩි කාලයක් තුළ සම්පූර්ණ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතීන්ගේ ප්‍රක්ෂේපණවලට අනුව, 2050 වන විට සෑම ලාංකිකයන් දස දෙනකුගෙන් තිදෙනකුට ආසන්න සංඛ්‍යාවක් වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් වනු ඇත. 1981දී අවුරුදු 21ක් පමණක් වූ මෙරට ජනගහනයේ මධ්‍යස්ථ වයස මේ වන විට වසර අවුරුදු 35 දක්වා ඉහළ ගොස් ඇත.
ලංකාව තවමත් ආර්ථික වශයෙන් යථා තත්වයට පත්වෙමින් සිටින පසුබිමක සහ මීට පෙර මෙම ප්‍රජා විද්‍යාත්මක සංක්‍රාන්තිය අත්විඳි බොහෝ රටවලට වඩා සැලකිය යුතු ලෙස පහළ ආදායම් මට්ටමක සිටියදී, වියපත් වන සමාජයක යථාර්ථයට මුහුණ දෙමින් සිටී. එයින් අදහස් වන්නේ, මෙම වෙනස් වන යථාර්ථයට සූදානම් වීමට සහ ඒවාට අනුගත වීමට පවුල්, ආයතන සහ රාජ්‍ය මූල්‍ය පද්ධතිය සතුව ඇත්තේ ඉතා සීමිත කාලයක් සහ සම්පත් ප්‍රමාණයක් බවයි. ප්‍රජාවිද්‍යාඥයන් මෙය ‘පොහොසත් වීමට පෙර වියපත් වීම’ (Growing Old Before Becoming Rich) ලෙස හඳුන්වයි.
පරම්පරා අතර සමතුලිතතාව වෙනස් වීම
දශක ගණනාවක් පුරා ලංකාවේ යැපුම් තත්වය පිළිබඳ කතාව ප්‍රධාන වශයෙන් දරුවන් කේන්ද්‍ර කරගත් එකක් විය. අද වන විට එය වැඩිහිටි පුද්ගලයන් පිළිබඳ කතාවක් බවට ද වැඩි වශයෙන් පත්වෙමින් තිබේ.
1981 වර්ෂයේදී වැඩ කරන වයසේ පසුවන සෑම පුද්ගලයන් 100 දෙනකුටම දරුවන් 60 දෙනෙක් සහ වැඩිහිටි පුද්ගලයන් 11 දෙනෙක් පමණක් සිටියහ. අද වන විට එම සංඛ්‍යා, වැඩ කරන වයසේ පසුවන සෑම පුද්ගලයන් 100 දෙනකුටම දරුවන් 34 දෙනකු සහ වැඩිහිටි පුද්ගලයන් 29 දෙනකු ලෙස වෙනස් වී ඇත. මෙම දශකය තුළදීම, වැඩිහිටි යැපෙන්නන්ගේ සංඛ්‍යාව ළමා යැපෙන්නන්ගේ සංඛ්‍යාව ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2050 වර්ෂය වන විට, දරුවන්ට සාපේක්ෂව වැඩිහිටි පුද්ගලයන්ගේ සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වනු ඇතැයි ප්‍රක්ෂේපණය කර ඇත.
මෙම ප්‍රජා විද්‍යාත්මක වෙනස, ලංකාව අනාගතය සැලසුම් කරන ආකාරය සැලකිය යුතු ලෙස වෙනස් කරනු ඇත. ජනතාවට අවශ්‍ය සේවාවල සිට රාජ්‍ය සම්පත් වෙන් කරන ආකාරය දක්වා සෑම අංශයකටම පාහේ එය බලපෑම් කරනු ඇත. දරුවන් සංඛ්‍යාව අඩුවීමත් සමග පාසල් සඳහා ඇති ඉල්ලුම අඩු විය හැකි අතර, වැඩිහිටි ජනගහනය වර්ධනය වීමත් සමග වයෝවෘද්ධ සත්කාර සේවා, වඩාත් ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සහ සෞඛ්‍ය හා දිගුකාලීන සත්කාර සේවා සඳහා වැඩි ආයෝජනයක් අවශ්‍ය වනු ඇත. ඒ සමගම, ප්‍රමාණයෙන් කුඩා වන වැඩ කරන වයසේ ජනගහනයට විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා සහ ආර්ථික වර්ධනය සඳහා සහාය දැක්වීම කෙරෙහි වැඩිවන පීඩනය ද දැරීමට සිදුවනු ඇත.
විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් වන්නේ, ජනගහනයේ වේගයෙන්ම වර්ධනය වන කාණ්ඩය වනුයේ වයස්ගතම කාණ්ඩය ද වීමයි. පසුගිය වසර 12 තුළ වයස අවුරුදු 70-74 අතර පුද්ගලයන්ගේ සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වී ඇති අතර, වයස අවුරුදු 75 සහ ඊට වැඩි පුද්ගලයන් 950,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. මෙයින් පැහැදිලි වන්නේ ජනගහන වියපත් වීම අනාගතයේ මුහුණ දීමට සිදුවන දුරස්ථ අභියෝගයක් නොව, දැනටමත් ලාංකීය සමාජය වෙනස් කරමින් පවතින ක්‍රියාවලියක් බවයි.
මහලු වියට ඇත්තේ කාන්තා මුහුණුවරකි
වියපත් වීමේ අත්දැකීම සැමට එක හා සමාන නොවේ. ලංකාව තුළ මෙය වැඩි වැඩියෙන් කාන්තාවන්ට අදාළ කාරණයක් බවට පත්වෙමින් තිබේ.
වැඩිහිටි පුද්ගලයන් අතර දැනටමත් පුරුෂයන්ට වඩා කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩි වන අතර, වයස ඉහළ යත්ම මෙම පරතරය තවදුරටත් පුළුල් වේ. තනිව ජීවත් වන වැඩිහිටි පුද්ගලයන් 370,000කට ආසන්න සංඛ්‍යාවකගෙන් 264,000ක් කාන්තාවන්ය. වයස අවුරුදු 70 ගණන්වල අගභාගයේ පසුවන සහ තනිව ජීවත් වන අය අතරින් හතර දෙනකුගෙන් තිදෙනකුම කාන්තාවන් වේ.
සාමාන්‍යයෙන් කාන්තාවන් පුරුෂයන්ට වඩා දිගු කාලයක් ජීවත් වන අතර, වැන්දඹුභාවයට පත්වීමෙන් පසු නැවත විවාහ වීමේ ප්‍රවණතාව ද ඔවුන් අතර අඩුය. එහි ප්‍රතිඵලයක් ලෙස, කාන්තාවන් වියපත් විය තනිව ගත කිරීමේ අවකාශය වැඩි අතර, ඔවුන්ට සහාය වඩාත්ම අවශ්‍ය වන අවධියේදී දරිද්‍රතාව, හුදකලාභාවය සහ අනාරක්ෂිතභාවයට මුහුණ දීමේ අවදානම ද ඔවුන් අතර ඉහළ වේ.
ශ්‍රී ලාංකීය පවුල් ව්‍යුහයේ සිදුවෙමින් පවතින වෙනස්කම් හේතුවෙන් මෙම යථාර්ථය තවදුරටත් වැදගත් වේ. වියපත් වන මවුපියන් රැකබලා ගැනීම සඳහා වැඩිහිටි දරුවකු සැමවිටම ඔවුන් සමග සිටිනු ඇතැයි සමාජය තුළ ගැඹුරින් මුල් බැසගත් අපේක්ෂාව අද වන විට එතරම් නිශ්චිත නොවේ. අතීතයට සාපේක්ෂව අද පවුල්වල ප්‍රමාණය කුඩා වී ඇති අතර, තරුණ ජනගහනය අතර සංක්‍රමණය වැඩිවීමත් සමග දරුවන් වෙනත් දිස්ත්‍රික්කයක හෝ ඇතැම් විට වෙනත් රටක ජීවත් වීම වඩ වඩාත් සුලභ වෙමින් පවතී.
වියපත් වන සමාජයකට සූදානම් වීම
මෙම වෙනස්කම් විසින් සමාජය නැවත හැඩගස්වන විට, අභියෝගය වන්නේ හුදෙක් දිගු කාලයක් ජීවත් වීම පමණක් නොව, ගෞරවාන්විතව වියපත් වීමට හැකි වීමයි. එයින් අදහස් වන්නේ වැඩිහිටි පුද්ගලයන් සෞඛ්‍ය සම්පන්නව, මූල්‍යමය වශයෙන් සුරක්ෂිතව, සමාජය සමග සම්බන්ධව සිටීම සහ සමාජයට සක්‍රීයව දායක වීමට හැකියාව ඇතිව සිටීමයි.
වර්තමානයේ ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් පමණක් විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රමයක ආවරණය ලබයි. වියපත් වියට ළඟා වන බොහෝ පුද්ගලයන්ට තම ජීවන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පවුලේ සහාය, පෞද්ගලික ඉතිරිකිරීම් හෝ අවිධිමත් ආදායම් මාර්ග මත යැපීමට සිදුවී ඇත.
සේවක අර්ථසාධක අරමුදල (EPF) විශ්‍රාම යාමේදී මුදලක් ලබා දෙන අතර, දැනට එම ප්‍රතිලාභය ලබාගත හැකි වයස කාන්තාවන් සඳහා අවුරුදු 50ක් සහ පුරුෂයන් සඳහා අවුරුදු 55ක් වේ. එහෙත්, වර්තමානයේ ආයු අපේක්ෂාව අවුරුදු 76 ඉක්මවා ඇති බැවින්, විශ්‍රාමිකයන් බොහෝ දෙනකුට එම ඉතිරිකිරීම් තවත් වසර 16ත් 26ත් අතර කාලයක් පුරා තම ජීවන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිත කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, අවිධිමත් රැකියාවල කාන්තාවන්ගේ නියෝජනය ඉහළ මට්ටමක පවතින අතර, රැකබලා ගැනීමේ වගකීම් භාර ගැනීම සඳහා විධිමත් ශ්‍රම බලකායෙන් ඉවත් වීමට ද ඔවුන්ට වැඩි ඉඩක් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ කාන්තාවන් වියපත් වියට ළඟා වන්නේ අඩු මූල්‍ය සුරක්ෂිතභාවයක් සහ වැඩි සහයක් සහිතවය.
කෙසේ වෙතත්, වයස්ගත වීම හුදෙක් යැපීම පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් පමණක් නොබැලිය යුතුය. මන්ද එය අවස්ථාවක් ද වන බැවිනි. ආයු කාලය දීර්ඝ වීම යන්නෙන් අදහස් වන්නේ, සාම්ප්‍රදායික විශ්‍රාම ගැනීමේ වයස ඉක්මවා ගිය පසුවත් බොහෝ ලාංකිකයන් නිරෝගීව හා අත්දැකීම් බහුලව සිටින අතරම, සමාජයට දායක වීමට ද කැමැත්තෙන් පසුවන බවයි. ‘ජාතික හුවමාරු ගිණුම්’ (NTA) දත්තවලින් පෙන්නුම් කෙරෙන්නේ බොහෝ දෙනකු වයස අවුරුදු 60 ගණන්වල අගභාගය සහ 70 ගණන් දක්වාත් ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත වන බවයි. මෙය වර්ධනය වෙමින් පවතින ‘රිදී ආර්ථිකයක’ (Silver Economy) ඇති විභවය ඉස්මතු කර දක්වන්නකි.
මෙම විභවය පූර්ණ වශයෙන් හඳුනාගෙන එය ප්‍රයෝජනයට ගැනීමට හැකි වන පරිදි ලංකාවේ ආයතන සහ ජාතික පද්ධති හැඩගස්වා ගැනීම ලංකාවට ඇති අභියෝගයයි.
එබැවින්, වියපත් වන සමාජයකට සූදානම් වීම සඳහා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. දීර්ඝ වන ජීවිත කාලය තුළ අප වැඩ කරන, ඉතිරි කරන, රැකවරණය හා සත්කාරය සපයන සහ එකිනෙකාට සහාය වන ආකාරය පිළිබඳව නැවත සිතා බැලීම අවශ්‍ය වේ. ඒ සඳහා අවිධිමත් අංශයේ සේවකයන් දක්වා විශ්‍රාම වැටුප් ක්‍රමවල ආවරණය පුළුල් කිරීම සහ නව විශ්‍රම වැටුප් ක්‍රම හඳුන්වා දීම, විශ්‍රාම යාමේදී එක්වර ගෙවනු ලබන අර්ථසාධක අරමුදල් මුදල් වඩාත් තිරසාර විශ්‍රාම ආදායම් මාර්ගයක් බවට පරිවර්තනය කිරීම, ඉහළ යන ආයු අපේක්ෂාවට ගැළපෙන පරිදි විශ්‍රාම ප්‍රතිපත්ති නැවත සලකා බැලීම සහ ආර්ථික වශයෙන් සක්‍රීයව සිටීමට කැමැති වැඩිහිටි පුද්ගලයන් සඳහා නම්‍යශීලී අවස්ථා නිර්මාණය කිරීම අවශ්‍ය වේ.
එමෙන්ම, වැඩිහිටි පුද්ගලයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට ද සහාය වන නවීන සත්කාර පද්ධතියක් සඳහා ආයෝජනය කිරීම ද මෙයින් අදහස් වේ. නිවාස පදනම් කරගත් සත්කාර සේවා පුළුල් කිරීම, ප්‍රජා මට්ටමේ දිවා සුරැකුම් සේවා සංවර්ධනය කිරීම, රැකවරණ හා සත්කාර සපයන්නන් සඳහා තාවකාලික විවේකය ලබා දීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඔස්සේ වඩාත් ශක්තිමත් වයෝවෘද්ධ සෞඛ්‍ය සත්කාර සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීම ඒ සඳහා අවශ්‍ය වේ. පවුල් ව්‍යුහ අඛණ්ඩව වෙනස් වන පසුබිමක, මෙවැනි පද්ධති වැඩිහිටි පුද්ගලයන්ට අවශ්‍ය සහාය සහ රැකවරණය ලබා දීමට උපකාරී වනු ඇත.
2024 ජන හා නිවාස සංගණනය මගින්, අපගේ වැඩිහිටි පුරවැසියන් කවුරුන්ද සහ ඔවුන් ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඉතා පැහැදිලි චිත්‍රයක් ලංකාවට ලබා දී ඇත. එම සියයට 18ක ප්‍රතිශතය පිටුපස සිටින්නේ මෙම රට ගොඩනැගීමට අතිමහත් දායකත්වයක් ලබා දුන් පරම්පරාවකි. අපගේ සමාජය ගොඩනැගීමට ඔවුන් දැක්වූ දායකත්වයට අනුරූප වන පරිදි, එම රැකවරණය, ගෞරවය සහ දූරදර්ශීභාවයෙන් යුතුව ඔවුන්ට සහාය වීමට ලංකාව සූදානම්ද යන්නයි දැන් පැන නැගී ඇති ප්‍රශ්නයයි.
වියපත් වීම ලංකාව මුහුණ දෙනුලබන අවාසනාවන්ත තත්වයක් නොවේ. සැබවින්ම එය රටක් ලෙස අප අත්කරගත් විශිෂ්ටතම සංවර්ධන ජයග්‍රහණවලින් එකකි. අප දැන් ක්‍රියාත්මක වුවහොත්, දීර්ඝ ආයු කාලය අපගේ ප්‍රගතිය මනින මිනුමක් පමණක් නොව, රටක් ලෙස අප සතු විශාලතම ශක්තීන්ගෙන් එකක් බවට ද පත් කරගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd