දේශපාලනය යනු හුදෙක් බලය ලබාගැනීමේ හෝ පවත්වාගැනීමේ ක්‍රියාවලියක් පමණක් නොවේ. එය සංකේත, ප්‍රතිරූප, හැඟීම් සහ ගැළපෙන කාලවේලාව (Timing) කළමනාකරණය කිරීමේ සූක්ෂම කලාත්මක මෙහෙයුමකි. විශේෂයෙන්ම අර්බුදකාරී හෝ පසුබැසීම් සහිත වටපිටාවකදී, විපක්ෂ දේශපාලන ව්‍යාපාරයක් තමන්ට එල්ල වන ප්‍රහාර සහ අභියෝග තමන්ගේ වාසියට හරවා ගන්නේ කෙසේ ද යන්න මත එම ව්‍යාපාරයේ ඉදිරි ගමන තීරණය වේ.

පසුගියදා අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනරැලිය සහ ඊට පෙර දින නිර්මාණය වූ දේශපාලන වාතාවරණය, දේශපාලන උපායමාර්ගික කෝණයකින් අධ්‍යයනය කළ යුතු අතිශය වැදගත් සන්ධිස්ථානයකි. එදින රැලියට සහභාගී වීමට නියමිතව සිටි පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම නැගී එන නායක නාමල් රාජපක්ෂ, පැරණි සිදුවීමකට අදාළව අත්අඩංගුවට පත්වීමත් සමග මුළු මහත් දේශපාලන කරළියම උණුසුම් විය. විපක්ෂයේ බොහෝ පක්ෂ පැහැදිලිවම චෝදනා කළේ මෙය අනුරාධපුර රැලිය අසාර්ථක කිරීම සඳහා ආණ්ඩුව විසින් දියත් කළ දේශපාලන පළිගැනීමක් සහ බාධා කිරීමක් බවයි.

නමුත් අවසානයේ සිදුවූයේ කුමක් ද? එම රැලියේ ප්‍රධාන වේදිකාවට, අතිශය දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කැඳවාගෙන ඒමට පොහොට්ටුවේ සංවිධායකයන් කටයුතු කිරීමයි. දේශපාලන විචාරකයන් මෙන්ම පොදුජන මතයද දැන් ප්‍රශ්න කරන්නේ, මෙම තීරණය හරහා පොහොට්ටුව තමන් වෙත පැමිණි ස්වර්ණමය දේශපාලන අවස්ථාවක් අහිමි කරගත්තේ ද යන්නයි.

නාමල් නැති වේදිකාව පිරවීම 

දේශපාලන මනෝවිද්‍යාවේදී සහ ප්‍රචාරක යාන්ත්‍රණයේදී, අත්අඩංගුවට පත්වීම හෝ මර්දනයට ලක්වීම යනු අලු‍ත් නායකයකුට ජනතා අනුකම්පාව දිනාගැනීමට ලැබෙන හොඳම පසුබිමයි. පාලකයන් විසින් තම ප්‍රතිවාදියා සිරගත කරන විට, සිරගත කළ කාරණය කුමක් වුවත් මහජනතාව තුළ එකී පුද්ගලයා කෙරෙහි නිරායාසයෙන්ම අනුකම්පාවක් සහ ගෞරවයක් ගොඩනැඟේ.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත්වූ මොහොතේ, පොහොට්ටුවට තිබුණේ එම සිදුවීම මත පදනම්ව නාමල් නැති වේදිකාව බලවත්ම ප්‍රචාරක ආයුධය බවට පත්කර ගැනීමටය.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් වේදිකාවේ එක හිස් පුටුවක් තබා, “ඔවුන් අපේ නායකයා සිරගත කළද අපේ හඬ සිරකළ නොහැක”‍ යන පණිවිඩය ජනතාව වෙත දීමට පොහොට්ටුවට ඉතා හොඳ අවස්ථාවක් තිබුණි.

එසේම නාමල් සිරගෙදර සිටින අතරතුර, අනුරාධපුර වේදිකාව නාමල්ගේ රූපයක් හෝ ඔහුගේ හඬ පටයක් භාවිත කරමින්, ඔහු වෙනුවෙන් පෙනී සිටින තරුණ නායකත්වයේ වේදිකාවක් කළා නම්, එය නාමල් රාජපක්ෂ යනු”‍දේශපාලන මර්දනයට ලක්වූ නව යුගයේ වීරයකු”‍ ලෙස රූපප්‍රකාශනය කිරීමට තිබූ හොඳම අවස්ථාව වන්නට තිබුණි.

එහෙත්, ඒ වෙනුවට පොහොට්ටු නායකත්වය කළේ ශාරීරිකව සහ දේශපාලනිකව අතිශය ගිලන්ව සිටින මහින්ද රාජපක්ෂ නැවතත් ප්‍රධාන වේදිකාවට කැඳවාගෙන ඒමයි.

මහින්ද කැඳවීමෙන් වූ දේශපාලන හානිය

මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලාංකේය දේශපාලනයේ යුගයක් නියෝජනය කළ, ජනතාව අතර දැවැන්ත ලෙස ආකර්ෂණය වූ නායකයෙකි. නමුත් ස්වාභාවික මහලු‍ විය සහ සෞඛ්‍ය ගැටලු‍ හමුවේ ඔහු සිටින්නේ විශ්‍රාමික සුවයෙන් පසුවිය යුතු තත්ත්වයකය. එබඳු තත්ත්වයක සිටින නායකයකු බලහත්කාරයෙන් මෙන් වේදිකාවට ගෙන ඒමෙන් සිදුවූයේ වාසියකට වඩා දැවැන්ත හානියකි.

මහින්ද රාජපක්ෂ නැවතත් ඉදිරියට දැමීම හරහා පොහොට්ටු විරෝධීන්ට පමණක් නොව මැදහත් සාමාන්‍ය ජනතාවට ගොඩනැඟීමට ලෙහෙසි වූ මතය නම්, රාජපක්ෂවරුන් තවමත් බලය සහ ප්‍රමුඛතාව අතහැරීමට සූදානම් නැති බවයි. පුතා සිරගත වූ වහාම, පක්ෂයේ දෙවැනි පෙළ නායකත්වයකට ඉඩ නොදී, රෝගී පියා ඉදිරියට ඒම මගින් ”‍මෙය තවමත් පවුල් පාලනයක් ඇති පක්ෂයක්ය”‍ යන පැරණි චෝදනාව නැවතත් සනාථ විය.

නාමල් නැති තැන පක්ෂය මෙහෙයවීමට හෝ ජනතාව ආකර්ශනය කරගැනීමට සමත් වෙනත් කිසිදු දැක්මක් ඇති නායකයකු පොහොට්ටුව තුළ නැති යැයිද මෙමගින් සංකේතවත් විය. මහින්ද නමැති වෘක්ෂයේ සෙවණැල්ලෙන් මිදී අලු‍ත් නායකත්වයක් නැගී සිටීමට පොහොට්ටුව අභ්‍යන්තරයෙන්ම ඉඩ නොදෙන බව ඉන් ගම්‍ය විය.

දේශපාලන නායකයකු කෙරෙහි ජනතාව තුළ තිබිය යුත්තේ ගෞරවනීය ආකර්ෂණයකි. නමුත් අතිශය දුර්වල තත්ත්වයෙන් සිටින මහින්ද රාජපක්ෂ වේදිකාව මත සිටින ආකාරය දැකීමෙන් ජනතාව තුළ ඇතිවූයේ දේශපාලන අනුකම්පාවකට වඩා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කනගාටුවකි. ඇතැම් පාර්ශ්ව එය උපහාසයටද ලක් කළේය.

ලෝක දේශපාලනයෙන් උගත හැකි පාඩම්

පාලකයන්ගේ මර්දනය හමුවේ අත්අඩංගුවට පත්වීම තමන්ගේ විශාලම දේශපාලන ජයග්‍රහණය බවට හරවාගත් අවස්ථා ලෝක දේශපාලන ඉතිහාසයේ ඕනෑ තරම් හමු වේ.

මෙහි මුල්ම උදාහරණය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ PTI  පක්ෂයයි. පසුගිය කාලයේ පාකිස්නයේ ඉම්රාන් ඛාන්ව සිරගත කිරීමට එරට හමුදාමය සහ රාජ්‍ය යන්ත්‍රණය කටයුතු කළේය. නමුත් ඔහුගේ පක්ෂය කළේ ඉම්රාන් ඛාන්ගේ සිරගත වීම තම ප්‍රධානම සටන් පාඨය කර ගැනීමයි. වේදිකාවල ඉම්රාන් ඛාන් සිටියේ නැත. ඒ වෙනුවට කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ ඔහුගේ හඬ සහ හිස් සංකේත භාවිත විය. ප්‍රතිඵලය වූයේ ඉම්රාන් ඛාන් නැති මැතිවරණයකදී පවා ජනතාව ඔහු වටා රොක් වී අතිදැවැන්ත ඡන්ද ප්‍රමාණයක් ලබා දීමයි. පොහොට්ටුවට අනුරාධපුරයේදී මගහැරුණේ මෙවැනිම මාදිලි​යේ “සංකේතීය සංග්‍රාමයකි”‍.

මෙයට සමාන උදාහරණයක් පිලිපීනයෙන් ලබාගත හැක. 1983 දී මාකෝස්ගේ ඒකාධිපති පාලනය විසින් බෙනිග්නෝ අකිනෝව ඝාතනය කරන විට හෝ ඊට පෙර සිරගත කරන විට, ඔහු පිලිපීන ජනතාවගේ පරම වීරයා විය. අකිනෝගේ පවුල හෝ පක්ෂය කළේ පැරණි නායකයන් පිටුපස හැංගීම නොව, අකිනෝගේ පරිත්‍යාගය වටා ජනතාව සංවිධානය කිරීමයි. එය අවසානයේ මාකෝස් පාලනය පෙරළා දැමීමට තරම් බලවත් විය.

නෙල්සන් මැන්ඩෙලා ගේ කතාවද මෙයට තවත් සාක්ෂියකි. මැන්ඩෙලා සිරගතව සිටි වසර 27 තුළ අප්‍රිකානු ජාතික කොංග්‍රසය කිසිවිටෙක ඔහු වෙනුවට වෙනත් පැරණි නායකයන් ඉදිරියට දමා මැන්ඩෙලාගේ හිස් තැන වසා දැමීමට උත්සාහ කළේ නැත. ඔවුහු මැන්ඩෙලාගේ ”‍හිස්තැන”‍ ලෝකය හමුවේ යෝධ සංකේතයක් බවට පත් කළහ.

ලෝක ඉතිහාසයේ මෙම උදාහරණ දෙස බලන විට, නායකයකු සිරගත වූ විට පක්ෂයක් කළ යුත්තේ එම නායකයාගේ අඩුව වේදිකාව මත කැපී පෙනෙන්නට හැරීම මිස, වෙනත් අයකු ලවා ඒ හිස් තැන ඉක්මනින් වසා දැමීමට උත්සාහ කිරීම නොවේ.

පොහොට්ටුවේ උපායමාර්ගික බංකොලොත්භාවය

අනුරාධපුර රැලිය යනු පොහොට්ටුවට තමන්ගේ දෙවැනි ගමන ආරම්භ කිරීමට ලැබුණු හොඳම අවස්ථාවකි.නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත් වූ මොහොතේ, පොහොට්ටුවේ ප්‍රචාරක අංශයට තිබුණේ පෙර කී ආකාරයේ ‘%හිස් පුටු දේශපාලනය’ පෙරටුකොටගත් ගමනක් යාමටය වේදිකාවේ ප්‍රධාන කථිකයා ලෙස නාමල්ගේ පුටුව හිස්ව තැබුවා නම් එයින් පැමිණ සිටි පිරිසට දෙන උත්තේජනය අධිකය.

පක්ෂයේ තරුණ නායකයන් සහ මහා සංඝරත්නය ලවා ”‍අද අපේ නායකයා නීතියේ නාමයෙන් කෙරෙන දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිරගත කර ඇත”‍ යන්න හැඟීම්බරව ජනතාව හමුවේ තැබීමට ඒ හරහා අවස්ථාව සැලසෙයි. 

ජනතාව තුළ ආවේගයක් සහ සහනුභූතියක් නිර්මාණය කරමින් නාමල් රාජපක්ෂව ”‍දේශපාලන ගොදුරක්”‍  නොව, ”‍ප්‍රතිපත්තිය උදෙසා සිරගත වූ වීරයකු”‍ ලෙස අභිෂේක කිරීමට මේ හරහා හැකියාව ලැබෙයි.  

නමුත් සිදුවූයේ කුමක් ද? මහින්ද රාජපක්ෂ වේදිකාවට පැමිණීමත් සමග, මාධ්‍ය සහ ජනතාවගේ අවධානය නාමල්ගේ අත්අඩංගුවට ගැනීමෙන් ඉවතට ගොස්, මහින්දගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සහ රාජපක්ෂවරුන්ගේ බලලෝභීත්වය දෙසට යොමු විය. ආණ්ඩුවට එල්ල විය යුතුව තිබූ දේශපාලන පීඩනය, මෙම එක වැරදි තීරණය නිසා ආපසු පොහොට්ටුව දෙසටම කැරකිණි.

මගහැරුණු ස්වර්ණමය අවස්ථාව

දේශපාලනයේදී වැදගත් වන්නේ සිදුවන සිදුවීමට වඩා, එකී සිදුවීම ඔබ සමාජගත කරන්නේ කෙසේද  යන්නයි. ආණ්ඩුව විසින් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හරහා පොහොට්ටුවට පිරිනැමුවේ නොමිලේ ලැබුණු අතිදැවැන්ත ප්‍රචාරණයකි. නාමල්ව වීරයකු කිරීමටත්, පක්ෂය වටා අලු‍ත් ජන රැල්ලක් නිර්මාණය කිරීමටත් තිබූ හොඳම පන්දුව එය විය.

එහෙත්, පැරණි උපායමාර්ගවලම එල්ලී සිටිමින්, මහින්ද රාජපක්ෂ නැමැති සංකේතය තවදුරටත් භාවිත කිරීමට යාමෙන් පොහොට්ටුව පෙන්නුම් කළේ තමන් තවමත් අතීතයේ ජීවත්වන බවයි.

අවසාන වශයෙන්, අනුරාධපුර රැලිය පොහොට්ටුවට අනුව හිස්  පෙන්වීමේ රැලියක් වූවාට සැකයක් නැත. නමුත් එය ”‍නාමල් රාජපක්ෂ නමැති නව නායකයා වීරයෙකු ලෙස අභිෂේක කිරීමේ”‍ ස්වර්ණමය අවස්ථාව ස්වයංක්‍රීයවම අහිමි කරගත්, පක්ෂයේ උපායමාර්ගික පසුගාමීත්වය ප්‍රකාශ වූ දිනයක් ලෙස දේශපාලන ඉතිහාසයට එකතු වනු ඇත.

කේ.ආර්. විතානගේ