
ගෞතම බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වීමෙන් අනතුරුව උන්වහන්සේ ස්වකීය ඥානයෙන් සොයාගත් ධර්මය ජාති, කුල, වර්ණ ආදී භේදයන්ගෙන් තොරව පොදුවේ සමස්ත මානව සංහතිය උදෙසාම පිළිගත හැකිනම් අනුගමනය කිරීම සඳහා දේශනා කළ ධර්මයකි.
අනුරාධපුර රාජධානියේ දේවානම් පියතිස්ස රජසමයේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝයාගේ ආගමනයත් සමග ශ්‍රී ලංකාද්වීපය බෞද්ධ ධර්මයේ අනුගාමික රාජ්‍යයක් බවට පරිවර්තනය වූ අතර, අනතුරුව සිංහල ජනයාගේ පොදු ප්‍රධාන ආගම බවට බුදුදහම පත් විය. එතැන් පටන් සෑම සිංහල රාජ්‍ය නායකයකුගේ සිට වර්තමානය දක්වා රාජ්‍ය නායකයන් බෞද්ධ පදනමක පිහිටා පත්වූවා සේම ඒ මත පිහිටා කටයුතු කරමින් රාජ්‍යය පාලනය කළේය. රජුන් ප්‍රමුඛ රට වැසියන්ගේ ජීවන දර්ශනයේ මුදුන් මල්කඩ බුදුදහම වනවත්ම ජීවන සංස්කෘතියේ කේන්ද්‍රය තීරණය කිරීමේ සාධකය බවට ද එයම පත් විය.
සිංහල බෞද්ධයන්ගේ ආගමික සංකල්පය බුදුදහම වූවා සේම බුද්ධ වන්දනාව උදෙසා ශ්‍රද්ධාව ඇතිකරගනු වස් ධාතු වන්දනය ද අනුරාධපුර රාජධානියේදිම ආරම්භ විය. බුදුරජාණන් වහන්සේගේ තෛයිධාතුක වහන්සේලා වන ශාරීරික, උද්දේසික සහ පරිහාරික නොහොත් පාරිභෝගික ධාතූන් වහන්සේලා උදෙසා ස්තූප, ප්‍රතිමා සහ බෝධි ප්‍රකාර ආදී පූජනීය ස්ථාන නිර්මාණය කරමින් පන්සල්, වෙහෙර විහාර ආරම්භ වීම ඒ අතර ප්‍රමුඛ විය. පොදු බොදු බැතිමතුන් වෙනුවෙන් නිර්මාණය වූ එකී නිර්මාණ කේන්ද්‍රීයව ජනයා ආගමික වත්පිළිවෙත් හී යෙදුණහ. මහාවංශය, ථූප වංශය, බෝධි වංශය, ධාතු වංශය, දළදා පූජාවලිය, දළදා සිරිත, පූජාවලිය, රාජාවලිය ආදී ඉතිහාස හා ආගමික ලිඛිත මූලාශ්‍රය ග්‍රන්ථ ඒ සඳහා සාක්ෂි දරනු ඇත.
මහියංගණය ස්ථූපයෙහි කේශ ධාතු සහ ග්‍රීවා ධාතු තැන්පත් කොට ධාතු වන්දනාව ආරම්භ වීමෙන් අනතුරුව ථූපාරාමයෙහි දකුණූ අකු ධාතුන් වහන්සේත්, මුතියණ්ගනයෙහි මුක්ත ධාතුන් වහන්සේත්, සෝමාවතියෙහි දකුණු දළදා වහන්සේත්, සේරුවාවිල ලලාට සහ කේශ ධාතුන් වහන්සේත්, දීඝවාපියෙහි නිය ධාතුන් වහන්සේත්, මිහින්තලයෙහි ඌර්ව රෝම ධාතුන් වහන්සේත්, රුවන්වැලි මහා ස්ථූපයෙහි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාත් ආදී වශයෙන් බොහොමයක් බුද්ධ ධාතුන් වහන්සේලා පමණක් නොව රහතන් වහන්සේලාගේ ද ධාතු තැන්පත් කොට ජාති, කුල, ආගම් භේදයකින් තොරව වන්දනා කරන සංස්කෘතික පරිසරයක මහනුවර දළදා වහන්සේ අභියස එක් පැතිකඩකින් එසේ නොවන තත්ත්වයක් පැවතීම ජාතික සංස්කෘතික ඛේදවාචකයකි. වර්තමාන මහනුවර දළදා මන්දිරයෙහි වැඩ සිටින වම් දන්ත ධාතූන් වහන්සේ අනුරාධපුර රාජධානියේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවස හේමමාලා සහ දන්ත කුමරු යන දෙපළගේ ප්‍රමුඛත්වයෙන් වැඩම කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ. එතැන් පටන් එහි ඓතිහාසික සමාජ, දේශපාලන, ආර්ථීක හා සංස්කෘතික භාවිතයන්ගේ විකාසනය ලිඛිත මූලාශ්‍රයන් හී පමණක් නොව අදටත් මුඛ පරම්පරාගත ජනශ්‍රැතික මූලාශ්‍රයන්ගෙන් ද අනාවරණය වේ. ලාංකේය ඓතිහාසික දේශපාලන පරිණාමය රාජධානියෙන් රාජධානියට දිශාගත වූයේ දළදා වහන්සේ ජාතික මෙන්ම රාජ්‍යත්වයේ කෙන්ද්‍රීය සංකේතයක් වශයෙන් ඉහළින්ම පවත්වාගෙන වන අතර දේශයේ පළමු පුරවැසියාගේ සිට සෑම පුරවැසියකුටම එහි යාම ඒම් පවත්වමින් වන්දනාමාන, පූජෝපහාර ලැබීමට අවසරය ලබා දෙමිනි. උතුරාගිය ශ්‍රද්ධාවක් ඇතිව ආගමික භක්තිය පෙරදැරිව තම සිතුම් පැතුම් සාක්ෂාත් කරගනු වස් දළදාව වෙත මහජන බැතිමතුන් පැමිණියේ ආගමික අරමුණු සේම මානසික සුව සහනය ප්‍රාර්ථනා කරගෙනය. වර්තමානය වනවිටත් එය පොදු ධර්මතාවක් සේ පැවතිය යුතුය.
- ලාංකේය ආගමික සංස්කෘතිය තුළ පෙරහර සංස්කෘතිය
ස්පර්ශනීය මෙන්ම අස්පර්ශනීය ජාතික සංස්කෘතික උරුමයන් ලොවට විදහාපාන පෙරහර සංස්කෘතිය යනු ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කලාව ඇතුළුව කලාවන් මූර්තිමත් කරන වේදිකාවකි. බෞද්ධ පෙරහර අවස්ථා පන්සල්, වෙහෙර, විහාර ආශ්‍රීතව ධාතුන් වහන්සේලා හා බෞද්ධ සංකල්ප කේන්ද්‍රීයවත් දේවාල ආශ්‍රීතවත් පවත්වනු ලබන අතර එහිදී සංස්කෘතකමය වශයෙන් පොදුවේ සෑම සංස්කෘතිකාංගයක්ම නියෝජනය වීම සුලභ ලක්ෂණයක් වූවා සේම පොදු ධර්මතාවක් විය. ඒවා තුළ නර්තනය, වාදනය සහ ගායනය ප්‍රමුඛ සාධකයක් වූ අතරම එය නර්තකයන්ට ආගමික පූජෝපහාර දැක්වීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් ද වූවා පමණක් නොව පෙරහර අලංකාර කීරීමටත් විචිත්‍රවත් කිරීමටත් විවිධත්වය උදෙසාත් ප්‍රබල උත්තේජනයක් විය. එසේම ජාතිකත්වය විදහා පෑමට මහා තෝතැන්නක් විය. එකී අලංකාරත්වය, විචිත්‍රත්වය, විවිධත්වය සහ ජාතිකත්වය ඇතිවීමට උඩරට, පහතරට, සබරගමු සහ ඒ අනුසාරීව ගොඩනැගුණු අවශේෂ සම්ප්‍රදායික නර්තනාංග ප්‍රස්තුත විය.
වර්තමානයේ වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රධාන ජාතික මහා පෙරහර මහෝත්සවයන් හී ද මෙකී ලක්ෂණය විද්‍යමාන වන බව එම පෙරහර සාක්ෂි දරනු ඇත. ඊට නිදසුන් වශයෙන් කතරගම දේවාල පෙරහර, රත්නපුර සමන් දේවාල පෙරහර, දෙවිනුවර විෂ්ණු දේවාල පෙරහර, බොල්තුඹ සමන් දේවාල පෙරහර, උග්ගල් අළුත් නුවර කතරගම දේවාල පෙරහර, සොරගුණේ කතරගම දේවාල පෙරහර, අළුත් නුවර දැඩිමුණ්ඩ දේවාල පෙරහර, කැළණිය රජ මහ විහාරයේ දුරුතු මහ පෙරහර, කෝට්ටේ රජ මහ විහාර ඇසල පෙරහර, බෙල්ලන්විල රජ මහ විහාර ඇසල පෙරහර, හුණුපිටිය ගංගාරාම විහාරයේ නවම් මහ පෙරහර ආදිය ස්වල්පයක් වශයෙන් ගෙනහැර දැක්විය හැකිය.
මෙම ලක්ෂණය බුදුන් වහන්සේගේ ධාතු වැඩ වසන සෑම ධාතු පෙරහරකම මෙන්ම රහත් ධාතුන් වැඩ වසන සෑම පෙරහරකම ද විද්‍යමාන වේ. නමුත් රටේ ප්‍රධානතම ජාතික, ආගමික රාජ්‍ය මහෝත්සවයක් සේ රාජ්‍ය අනුග්‍රහය යටතේ වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසල මහා දළදා පෙරහර තුළ ධාතු පෙරහර සඳහා ඉහත කී පෙරහරයන් හී දක්නට ලැබෙන ලක්ෂණය ප්‍රදර්ශනය නොවේ. එකී පෙරහර තුළ සබරගමු සහ පහතරට නර්තනය ඉදිරිපත් නොකිරීමට වාරණයන් යෙදුණේ කුමණ තාර්කික පදනමකද යන්න නැවත සිතා බැලිය යුතුය.
ජීවමාන බුදුරජානන් වහන්සේ වඳිනවා හා සමානව මහනුවර දළදා වහන්සේ උදෙසා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය පරිදිම ජාති, ආගම්, කුල භේදයකින් තොරව සියලු පුරවැසියන්ට පමණක් නොව සකළ ලෝ වැසියන්ට ද වන්දනාමාන කිරීමට කාලය අවකාශය ලබා දී තිබේ නම් ඉහත ගැටලුව නිර්මාණය වී තිබීම සාධාරණය නොවේ. විශේෂයෙන් සිංහල බෞද්ධ ආගමිකයන්ට විවිධ ආකාරයන්ගෙන් පොදුවේ දළදා වහන්සේ උදෙසා පූජෝපහාර දැක්වීමට අයිතියක් ඇත. එය වන්දනාවෙන් හෝ නර්තනයෙන් හෝ වෙනයම් ආකාරයකින් හෝ විය හැකිය. උඩරට නර්තකයින්ට පමණක් එසේ වෙන්කොට තැබීම ජාතික සංස්කෘතික නියාමන අවශේෂ සම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට කරන දැඩි අසාධාරණයකි. අලංකාරත්වයෙන්, විචිත්‍රත්වයෙන් සමලංකෘත වූ ජාතික හා ආගමික සංස්කෘතික උරුමයෙන් පෝෂණය වූ අනෙක් ප්‍රධාන සම්ප්‍රදායද්වය ද ජාතික ආගමික දළදා පෙරහර ඔස්සේ ලෝකයට නිරාවරණය කරමින් ඊට අවස්ථාව, අවසරය ලබා දී ශ්‍රී විභූතිය අත්පත් කරදීම රජයේ ද යුතුකමක් වගකීමක් වන්නේය.
උඩරට නර්තනයේ යෙදෙන ශිල්පීන්ට පහතරට නර්තනයට අනන්‍යය වූ මාලක්කම් නර්තනයෙහි යෙදීමට හැකිනම් දළදා වහන්සේ අභියස පහතරට නර්තනයේ යෙදීමට අවසරයක් නොමැති වීමටද හේතුවක් නොමැත. සබරගමු නර්තනයේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය සමග දළදා පෙරහර තුළ හේවිසි වාදනයේ යෙදීමට ද අවසරය ඇතිනම් සබරගමු නර්තනයට නර්තනයේ යෙදීමටද අවස්ථාවක් නොතිබෙන්නට හේතුවක් නොමැත. මහනුවර දළදා මාලිගාව කේන්ද්‍රීයව එය ප්‍රධානත්වයෙන් “සිබා“ කැම්පස් උපාධි පාඨමාලාව තුළ දේශීය නර්තන සම්ප්‍රදායත්‍රයම උගන්වා උපාධි පිරිනැමීමට හැකිනම් මත ගැටලුව ඇතිවීමට කිසිදු හේතුවක් නොමැත. සම්ප්‍රදායත්‍රයම තුළ යාතුකර්මයන් හිදී ආරම්භක ප්‍රවේශය,
උතුම් බුදුරුවනේ
ලොව්තුරු දහම් සරණේ
සමඟ සඝ රුවණේ
සදා වඳිමුව මෙතුන් සරණේ
පද්‍යයෙන් පොදුවේ ආරම්භ වන්නේ නම් මෙවැනි ස්වභාවයක් නිර්මාණය වීම කොහෙත්ම අනුමත කළ නොහැකිය. එසේම අද්‍යතනය වනවිට උඩරට නර්තනය පමණක් නොව අනෙක් නර්තන සම්ප්‍රදායද්වය ද ලංකාව පුරා දීපව්‍යප්තව ව්‍යවහාරිකව සංචරණය වී ඇත.
එනිසා අනෙක්ක සම්ප්‍රදායන්ට ද නර්තනයෙන් පූජෝපහාර දැක්වීමට ආගමික අයිතියක් ඇත. එපමණක් නොව දළදාව වූකලි රටේ සෑම බෞද්ධාගමිකයන්ගේම පොදු පූජනීය වස්තුවකි. බුදුන් වහන්සේ සේම උන් වහන්සේගේ ධාතුන් වහන්සේටත් ධර්මයටත් වර්ග වාදයක් නොමැත. දළදා වහන්සේ විසින් ඉල්ලා සිටින්නේ උඩරට නර්තනය පමණක්ය යන්න සිදුවිය නොහැකි කාරණයකි. එසේ නම් මෙම තත්ත්වය නිර්මාණය වීම කාගේ අවශ්‍යතාවකට සිදුවන්නක් වුවද එය උපහාසාත්මක ක්‍රියාවකි.
ලෝක ප්‍රජාව අභිමුඛව මෙම මංගල්‍යය නැරඹීමට සහ පර්‌යේෂණයට ලක්කීරීම සඳහා සංචාරකයන් සේම පර්‌යේෂකයන් විශාල ප්‍රමාණයක් පැමිණීම සුවිශේෂී කාරණයකි. ඔවුන් අභියස ජාතික සංස්කෘතිය විදහා පෑ හැකි ස්වර්ණමය අවස්ථාවක් වන මෙම අවස්ථාව තුළ උරුමයන් නියාමනය වීම අත්‍යාවශ්‍ය කාරණයකි. එසේ නොවන තැන මෙම පෙරහර මංගල්ලය ජාතික මංගල්ලයක් සේ හැඳින්වීම පිළිබඳව නැවත සිතා බැලිය යුතුය. ඇතැම් විට රදළවාදී සංකල්පයන් මේ තුළ ක්‍රියාත්මක වන්නේද යන්න
සැක සහිතය. ආගමික හා සංස්කෘතිකමය වශයෙන් වර්ගවාදී, මූලධර්මවාදී, ගෝත්‍රවාදී ආකල්ප ඇති කිරීමට කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේ ද ප්‍රතික්ෂේප කළ ආදර්ශයක් වන නමුදු උන්වහන්සේගේ වම් දළදා වහන්සේ මගින් එවැන්නක් ඇතිවීම කුමන පදනමක පිහිටා ගත් තීරණයක් ද යන්න අපැහැදිලිය. කෙසේ නමුත් දළදා මාලිගා භාරකාරත්වය උසුලන රජය ප්‍රමුඛ මල්වතු

සහ අස්ගිරි විහාරවාසී නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම බස්නායක නිලමේ තුමා ඇතුළු කාර්ය මණ්ඩලය
විසින් මේ සඳහා අනුබලය දීමක් සේ මෙය පැහැදිලි වන්නේය. සමාජ සංස්කෘතික පර්යාය යනු නිරන්තර ගතික ස්වභාවයක් උසුලන නමුදු සිදුවී ඇති මෙකී වෙනස අනුමත කළ නොහැකි ප්‍රබල සාධකයක් බව ඕනෑම බැතිමතකුටම ඒත්තු ගැන්වෙන කරුණක් බව නොඅනුමානය. අතීතයේ නුගවෙල දිසාවේ විසින් දළදා පෙරහරට උඩරට නර්තනය එක් කළ බව ඓතිහාසික මූලාශ්‍රයන් හී සඳහන් වන අතර අනතුරුව ස්වභාවිකව එය සම්ප්‍රදායක් බවට ස්ථාපිත වී ඇත්නම් වෙනස් කිරීමට ද කාලය එළඹ ඇත. මෙවර පෙරහරෙ හි මෙකී වෙනස අපේක්ෂිතව අපි බලා සිටිමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd