
කරුණාරත්න අමරසිංහයන් බොහෝ දෙනා හඳුන්වන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු, වේදිකා නළුවකු, සිංහල සංස්කෘත පාලි භාෂා විශාරදයකු, ගුරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, රූපවාහිනී තිරපිටපත් රචකයකු හා හඬ කැවීම් ශිල්පියකු, ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු, පූරකයකු ආදි වශයෙන් විවිධ භූමිකා නිරූපණය කළ අමරසිංහයෝ අද එකී ඇතැම් භූමිකාවන්ගෙන් ඉසිඹු ගෙන නිදහස් මාධ්‍යවෙිදියකු ලෙස තවමත් ක්‍රියාකාරීව සිටිති. සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ ජාතියේ පිනට පහළ වූ මෙි නිහතමානී භාෂාප්‍රේමී මාධ්‍ය චින්තකයා මතු පරපුරට සෙවණ සදන වනස්පතියකි.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහගම සේකර ආදි ගලිවරයන් සෙවණේ හැදී වැඩුණු අමරසිංහයෝ යටකී සුධීමතුන් කුලුපගව ඇසුරු කිරීමට තරම් සුදුර්ලභ වාසනාවන්තයෙක් ද වූහ. අනාගත පරපුර පිළිබඳ ගැඹුරු හැඟීමකින් හා විදර්ශනාවකින් මුහුණුපොත ඔස්සේ පවා විවිධ ලිපි පළ කරන ඔවුහු තරුණ මහලු කාගේත් ගෞරවාදරයට පත්වී සිටිති. වත්මන් මාධ්‍ය සංස්කෘතියේ භාෂා භූෂණය සහ දූෂණය පිළිබඳ ඉරිදා ලංකාදීපයට ඔහු සමඟ කළ කතාබහකි මේ.
Q භාෂාව සංස්කෘතික ජීවියෙක්. මෙි සංස්කෘතික ජීවියා උස් මහත් නොකර කිසිවකුට කිසිදු මාධ්‍යයක නියැළෙන්න බැහැ.එහෙත් අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙකී සංස්කෘතික ජීවියා සිත්පිත් නැති ලෙස මරා දමනවා.වත්මන් පරපුර බස නසන හැටි දුටුවම භාෂා ප්‍රේමියකු වන ඔබට මොකද හිතෙන්නෙ?
පිළිතුර: භාෂා භ්‍රෂ්ටයන් හැටියට උග්‍ර විවේචනයට පරිහාසයට ප්‍රහාරයට ලක් කරන වර්තමාන මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවල නිරත තරුණ පරපුරට මම එක හෙළා දොස් පවරන්න, සාප කරන්න,අපහාස උපහාස කරන්න ඉක්මන් වෙන්නෙ නැහැ.මේ රටේ දිගින් දිගටම පාසල් පද්ධතියෙන් මග හැලෙන විශාල තරුණ පරපුරක් ඉන්නවා. එය උග්‍ර සමාජ ආර්ථික අධ්‍යාපනික උවදුරක දුර්විපාකයක්. භාෂාව සම්බන්ධයෙන් වැළඳී ඇති මේ දුස්සාධ්‍ය මාධ්‍ය ව්‍යාධියේ රෝග නිදානය ඇත්තෙ විශේෂයෙන් 1977 මෙරටට උදා වුණු අවිචාර සමය තුළයි. එවක බිහිවුණු ආණ්ඩුවෙන් පාසල් පද්ධතියට ගුරු පත්වීම් දීමේදී අඩුවෙන්ම සැලකුවේ අධ්‍යාපන සුදුසුකමයි. සෙසු විෂයන්ට වගේම විශේෂයෙන් භාෂා සාහිත්‍යය විෂයටත් පත් කෙරුණෙ කලින් පාසල් පද්ධතියෙ හිටිය බහුශ්‍රැත මනා පුහුණුවකින් යුක්ත ගුරු පරපුරට අලගු තියන්නවත් බැරි අඳබාල අල්පශ්‍රැත ගුරු පරපුරක්. ඒකෙන් සිද්ධ වුණේ මුළු පාසල් පද්ධතියම තනිකරම රස්සා සපයන සාමාන්‍ය තැනක තත්වයට වැටීමයි. රටක අනාගත පරපුරේ ප්‍රඥා බීජය ප්‍රරෝහණය කරන ආලවාලය වන උච්ච පාසල් පද්ධතිය ඒ වගේ නීච තත්වයකට හෙළීම අද සංස්කෘතික සාපයක් බවට පත්වෙලා. සාහිත්‍යය හා ඉතිහාසය යන විෂයන් පාසල් පද්ධතියෙන් පිට මං කළෙත් මේ දේශපාලන අවිචාර සමයේදීමයි. අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි නවකතා කවි සින්දු ආදි නිර්මාණ ලේඛන කලා ක්ෂේත්‍රයේත් බහුලව ඉන්නෙ ඒ අබුද්දස්ස යුගයේ අනිවාර්ය ආදීනවයක් වශයෙන් පහළ වුණු අනාථ අසරණ සංස්කෘතික පරපුරක්. ඉතින් උන් හෙළා දැකීමෙන් පමණක් රෝග නිවාරණයක් කළ හැකිද?
Q සාහිත්‍යය කන්න දැයි ඇසූ දේශපාලනඥයන් හිටපු රටක අනාගත පරපුරේ චින්තන වින්දන ශක්තිය මොටවීම අරුමයක් නොවේ. අද තිබෙන්නේ වින්දනය නිර්වින්දනය කළ සමාජයක්.එබඳු සමාජයකින් රටට ලෝකයට බිහිවන්නේ සහකම්පනය නැති විපරිත චරිත.මෙි සන්තෑසියට වගකිවයුත්තෝ කවරහුද?
පිළිතුර: ඒකාධිපති ව්‍යවස්ථාවකින් සර්ව බලධාරිවී සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති එක්තරා රාජ්‍ය සාහිත්‍ය උත්සවයකදී අවධාරණයෙන් ප්‍රශ්න කර සිටියේ සාහිත්‍යයෙන් කාර් එකක්වත් ගන්න පුළුවන්ද කියලයි. (සාහිත්‍යය කන්නද කියා නෙවෙයි.) මම ඔහුගේ ගර්හිත ප්‍රකාශය කළ ගර්විත විලාසය රූපවාහිනියෙන් නැරඹුවෙ කෝපාග්නියෙන් දැවෙමිනුයි. එකල රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිව හිටියේ මගේ විශ්වවිද්‍යාල සිංහල ආචාර්යවරයෙක් වූ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයනුයි. ඔහු තම කතාවෙදි ජේ.ආර්ගෙ ප්‍රකාශය අනුමත නොකරමින් තම අදහස් එඩිතරව ප්‍රකාශ කිරීම ගැන ඒ වෙලාවෙ මගේ හිතේ මගේ ගුරුවරයා ගැන පැහැදීමක් වගේම ආඩම්බරයක් ඇති වුණු හැටි මට අද වගේ මතකයි. ජේ.ආර්. ජනාධිපතිගේ ඒ අමනෝඥ සාවඥ ප්‍රකාශය තම විවෘත වෙළෙඳපොළ ආර්ථික න්‍යායේ පළමු සංස්කෘති ද්‍රෝහී විවෘත ජඩ අඬහැරයයි.
Q ඔබ තුළ සංස්කෘත භාෂා රසකාමීත්වය උද්දීපනය කිරීමට මානවසිංහයන් විශාල රුකුලක් වුණා.ඔබෙි සියලු ලේඛන හැඩගැන්වී තිබෙන්නේ ද සිංහල - සංස්කෘත මිශ්‍ර රසමුසු භාෂා හරඹයකින්. ලේඛකයකුට කාව්‍යාත්මක බස් වහරක් ඇත්නම් සහෘද රසික පාඨක ආකර්ෂණය ද වැඩියි. ඔබ මුහුණුපොතේ පළ කරන ඇතැම් රසවත් ලිපියක පවා භාෂාවේ යටකී කාව්‍යාත්මක ජීවගුණය රැකීමට වගබලා ගන්නවා. භාෂාවෙි රිද්මය අඛණ්ඩව පවත්වා ගැනීම ලේඛකයකුට කෙතරම් වැදගත් ද?
පිළිතුර: මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නෙවෙයි, සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේත් අද භාෂාව භාවිත වෙන්නෙ තම තමන් දන්නා භාෂාවට පමණක්ම සීමාවෙමිනුයි. සාහිත්‍යකරණය, මාධ්‍යකරණය නිරන්තරයෙන් භාෂාව ප්‍රගුණ කරගනිමින් පෝෂණය කරගනිමින් වර්ධනය කරගනිමින් කළ යුතු කාර්යක්ය කියලා ඒ ක්ෂේත්‍රවල අය හිතන්නෙ නැහැ. භාෂාව ආකර්ෂණීය විදියට විසිතුරු අලංකාර විදියට භාවිත කරන්න ඕනැ නම් ඒ භාෂාව හොඳට සුඛනම්‍ය කරගන්න ඕනැ. හොඳට ඔපමට්ටම් වෙච්ච මුදු මොළොක් වචන මාලාවක් නැතුව ඒක කරන්න බැහැ. එතකොට තමයි භාෂාවෙ කාව්‍යමය ගුණයක් ඇති වෙන්නෙ. ඒකට හොඳම පිළියම තමයි අපේ සම්භාව්‍ය සාහිත්‍යය අතැඹුල වගේ දැනගෙන ඉඳීම. ඔබ කියන කාව්‍යමය ගුණය පිළිබඳ රහස ඇත්තෙ එතනයි. මේ කාරණය සාරාංශ කරලා කිව්වොත් මෙහෙමයි. තියුණු සංවේදී භාවයකින් යුතුව අපේ සම්භාව්‍ය ගද්‍ය පද්‍ය කාව්‍ය භාෂාව හැදෑරිය යුතුයි. එතකොට ඔබට මේ කාව්‍යමය භාෂා රචන කෞශල්‍යය ඉබේම පහළ වෙනවා ඒකාන්තයි. භාෂා භූෂණයත් භාෂා දූෂණයත් සංසන්දනාත්මකව වටහාගන්න හොඳ නිදර්ශනයක් ඉදිරිපත් කරන්න කැමතියි. අපගේ විශිෂ්ට සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් වන විද්‍යා චක්‍රවර්ති පඩිඳුන්ගෙ ‘බුත්සරණ‘ නමැති ගද්‍ය කාව්‍යයෙහි එන රමණීය කාව්‍ය භාෂාවෙන් රචිත නාලාගිරි දමන වර්ණනාවයි මේ.
”ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවණක් ඝන බුදුරැසින් සැදී ගිය බුදු රජාණෝයැ. ඈත කෝපයෙන් රත්වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණායෙන් තෙත්වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝයැ. ඈත එබු එබූ පයින් මහ පොළොව පළා පියන්නාක් සේ දිවන ඇත් රජයැ. මෑත එබු එබූ පයින් මිහිකත සනහ සනහා වඩනා බුදු රජාණෝයැ.”
එෆ්.එම් දෙමුහුන් භාෂාව තම මව්බස කරගත් එකෙකුගේ කටින් කියවෙන කොට ඒ රමණීය කාව්‍යමය භාෂාවට යන කල මෙන්න බලන්න.
”ඈත ඩස්ට්වලින් කවර් වෙච්ච එලිෆන්ට් කිංය. මෑත සික්ස් කලර්ස් ෂයින් වෙන ලෝඩ් බුද්ධය. ඈත හොට් අයන් බෝල් අයිස් තියෙන එලිෆන්ට් කිංය. මෑත වෙට් බ්ලූ ලෝටස් අයිස් තියෙන ලෝඩ් බුද්ධය. ඈත ග්‍රවුන්ඩ් එක බ්ලාස්ට් කරන් රන් එක දෙන එලිෆන්ට් කිංය. මෑත ග්‍රවුන්ඩ් එකේ කූල් පිට වෝක් එකක් දාන ලෝඩ් බුද්ධය.”
සංස්කෘත භාෂාවේ ආභාසය ඇතුව ප්‍රාණවත් මිශ්‍ර සිංහලයෙන් ලිවීමේ කුසලතාව ඇතිකර ගන්න අනිවාර්යයෙන්ම සංස්කෘත පාලි භාෂා ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ සදහා විශේෂයෙන්ම අපේ පැරණි සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය පොතපත ළැදිව පරිශීලනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. අපේ පැරණි සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍ය කෘති වැඩිහරියක් ලියවිලා තියෙන්නෙ සංස්කෘත වචන සහිත මිශ්‍ර සිංහලයෙනුයි.
Q මෙරට සිටින ඇතැම් විචාර විදූෂකයන් සිංහල භාෂාව අංගවිකල කරනවා. අද ජාතික පුවත්පත්වල පවා පළ වන්නේ සාවද්‍ය ව්‍යාකරණ සහිත ප්‍රවෘත්ති. ලිපි සිරස්තල පවා වැරැදියි.ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන්ට පවා ව්‍යාකරණානුකූලව විශේෂාංග ලිපියක්වත් ලියා ගන්න බැහැ. ද්විභාෂික උගතුන් වඳ වී ගිය සංස්කෘතික කාන්තාරයක අප අතරමං වෙලා නේද?
පිළිතුර: මේ ව්‍යාකරණ අන්ධභාවයටත් ද්විභාෂික වන්ධ්‍යභාවයටත් හේතුව මෙරට පාසල් පද්ධතියෙනුත් සාහිත්‍ය ක්ෂේත්‍රයෙනුත් බහුශ්‍රැත ප්‍රාඥ ද්විභාෂික ගුරු පරපුර හා ලේඛක පරපුර අතුරුදන්ව යෑම මිසක් වෙන මොකක්ද? කෝ ඔවුන්ට ආවේශය ආභාසය ආලෝකය ප්‍රදානය කරන ප්‍රභවයක්.අද ජාතික පුවත්පත් යැයි කියාගන්නා ඇතැම් ජනප්‍රිය පුවත්පත්වල පවා සදොස් වචන, ව්‍යාකරණ පළ වෙනවා.එහෙත් එකී සදොස් තැන් නිදොස් කොට පාඨකයාට කනගාටුව පළ කරමින් පහුවදා පුවත්පතේ එම පුවත නිවැරැදිව පළ කිරීමට තරම් නිහතමානි ගුණයක් අද ඉන්න ඇතැම් කතුවරුන්ට නැහැ. ඕනෑම පුවත්පතක ජනප්‍රියත්වය, කීර්තිනාමය වැඩිම අලෙවිය රඳා පවතින්නේ එහි ඇති ගුණාත්මක භාවය නිසයි. පුවත්පතක ගුණාත්මක භාවය බිඳ වැටුණොත් පාඨක විශ්වාසය අඩු වෙනවා.පාඨකයා ඈත් වුණොත් අලෙවිය නැති වෙනවා.එතැන් පටන් දිගටම සිදු වන්නේ පරිහානියක්.කඩාවැටීමක්.
Q භාෂාව සංකේත සමුදායකින් ගහන මෙවලමක්. මෙය මූලික වශයෙන් සිදුවන්නේ ශබ්ද සහ රූප මාධ්‍යයෙන්.ශබ්ද භාෂාව හැඳින්වීමට භාෂණය යන පදයත් රූප භාෂාව හැඳින්වීමට ලේඛනය යන පදයත් යොදාගන්නවා.නමුත් සමාජ පරිණාමයට සමගාමීව මේ දෙවර්ගයම පොදු ව්‍යවහාරය තුළ කිසියම් වෙනසකට බඳුන් විය හැකියි. මේ පිළිබඳ යම් විග්‍රහයක් කළොත්?
පිළිතුර: ලේඛනය හා භාෂණය දෙකටම ආත්මය වෙන්නෙ භාෂාවයි. භාෂාව කියන්නෙ මෙවලමක්. බඩුමූට්ටුවක් නෙමෙයි. ඒක සංස්කෘතික ජීවියෙක්. ‘කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ‘ කියන යෙදුම ඇහෙන කොට අපේ හිතට දැනෙන සියුම් හැඟීම ඒක milk creepers milk creepers milk mother කියලා ඉංග්‍රීසියට පෙරළලා සුද්දෙකුට ඇස්සුවොත් ඌටත් එහෙමම දැනෙයිද? නැහැනෙ. මොකක්ද ඒකට හේතුව? ඒ යෙදුම ඇතුළේ තියෙන්නෙ අපේ සංස්කෘතිය.කවර ජාතියකට වුණත් අයිති සංස්කෘතික උරුමය ගලාගෙන එන්නෙ උන්ගෙ මව්බස දිගේමයි. Meanings are not in words, but in people කියලා ඉංග්‍රීසි ආප්ත වාක්‍යයක් තියෙනවා. ඒකේ අදහස ‘තේරුම් තියෙන්නෙ වචන තුළ නෙමෙයි මිනිසුන් තුළය‘ කියන එකයි. වචනවලින් කරන්නෙ මිනිසුන් තුළ කලින් ඉඳලම තියෙන තේරුම් අවදි කිරීමයි. භාෂාවක ව්‍යක්ත, ශූර, චතුර භාවිතය දුක සේ චිර පරිචයෙන් ප්‍රගුණ කළ යුත්තක්. ඉබේ පහළ වෙන ශක්තියක් නෙමෙයි. ඒ වගේම එය ඉතා සංවේදීව ළැදිව අවංකව කළ යුත්තක්. බබළන භාෂාවකිනුයි ලේඛනයේ හා භාෂණයේ කාන්තිය විහිදෙන්නෙ.අනෙක සිංහල භාෂාවෙි බහුඅරුත් දනවන වචන රාශියක් තියෙනවා.එහෙත් වචනවල නිරුක්ත්‍යාර්ථය නොදැන ඇතැමුන් තම හිතුමනාපෙට සදොස් වචන යොදා පුවත්පත්වලට පවා සිරස්තල දමනවා.බස දන්නා අය මෙි අපබ්‍රංශ දුටුවාම හිනා වෙනවා.බස හැසරවීමෙිදී වචන භාවිතය පරෙස්සමෙන් කළ යුතුයි.
Q වියරණ ඇදුරා සහ වාග්විද්‍යාඥයා අතර අන්‍යෝන්‍ය සහයෝගයක් තිබිය යුතුයි. මෙහිදී වියරණ ඇදුරාගේ ව්‍යවහාරික ශික්ෂණයත් වාග් විද්‍යාඥයාගේ විද්‍යාත්මක ශික්ෂණයත් කුමන ආස්ථානයක තිබිය යුතුද?
පිළිතුර: භාෂාව පහළ වුණාට පස්සෙයි වියරණය පහළ වුණේ. මිනිස්සු නිදහසේ කතා කරන්න පටන් ගත්තා. ඒ ව්‍යවහාර විධි පරීක්ෂා කරලා මත ප්‍රකාශ කළ අය තමයි වාග් විද්‍යාඥයෝ. ඒ අනුව නීතිරීති හදාපු උදවිය තමයි වෛයාකරණයෝ නැත්නම් වියරණ ඇදුරෝ. අදත් ඕකම තමයි සිද්ධ වෙන්නෙ. මළ භාෂාවක මිසක් මිනිස්සු කතා කරන ජීවමාන භාෂාවක වියරණය යුගයෙන් යුගයට වෙනස් වෙන එක පණ්ඩිතයන්ට වළක්වන්න බැහැ. ඒක අර්ථ විපරීත නොවෙන්න ඖචිත්‍යය අනුව සංඝටනය හෙවත් ගළපා ගැනීම තමයි ඥානවන්ත. විචාරවන්ත. වියරණයත් රමණයත් යන දෙකම ගතානුගතික නොවිය යුතුයි. නිර්මාණාත්මකම විය යුතුයි. රසාත්මකම විය යුතුයි. ජීවිතයත් අනිත්‍ය කොට වියරණේ ගැන කවර කතාද? පරිණාම වාදයේදි Survival of the Fittest (නොගැළපෙන එකාට පැවැත්මක් නැත.) කියලා කිව්වෙත් ඕකමනෙ!
Q වරක් මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය දැඩි දෝෂදර්ශනයට ලක්කළ මහැදුරු සුචරිත ගම්ලතුන් මෙබඳු ම සම්මුඛ සාකච්ඡාවකදී මා සමඟ පැවසුවේ මෙරට විශ්වවිද්‍යාලවල කලාපීඨ තනිකරම හරක්මඩු බවයි.සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම නොදන්න ගිරාපෝතක විද්‍යාර්ථින් පිරිසක් මෙහි සිටින බව ඔහු පැවසුවා. අපේ සරසවි මෙතරම් පිරිහීමකට ලක්වුණේ ඇයි?
පිළිතුර: ගම්ලතුන් ඒ කතාව කිව්වෙ හේතු සාධක ඇතුවයි. මේ පරම පරිහානියේ රෝග නිදානය ගැන තමයි ඔබයි මායි මුලදිම කතා කළේ. බහුශ්‍රැත, ප්‍රාඥ, පරිණත ගුරු පරපුරක ආවේශය, ආභාසය, ආලෝකය අහිමිවූ කලක මෙරටෙහි සරසවිවලින් සරසවි දේවී තොමෝ අන්තර්ධාන වීමත් ඒ නිසාම ඇයගේ බැල්මෙන් අසෙකින් අසක්වත් නොලද සරසවි සිසුන් හා ඇදුරන් පරපුරක් බෝවීමත් කවර අරුමයක්ද!
Q මාධ්‍ය සංස්කෘතිය තුළ භාෂාව භාවිත කිරීමෙිදී විවිධ ව්‍යාකූලතා මතුවෙනවා. අද තිබෙන්නේ ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියක්. භාෂාව ජුගුප්සා ජනකයි. සිංහල සංස්කෘතියේ හැඩරුව හඳුනාගැනීමට ඉවහල් වන භාෂාවම එය විකෘති කිරීමටත් යොදාගෙන තිබෙනවා.මෙි හැම්බර්ග් මාධ්‍ය සංස්කෘතිය ගැන ඔබට මොකද හිතෙන්නේ?
පිළිතුර: මේ අතිඝෝර සංස්කෘතික ව්‍යසනය වනාහි විශේෂයෙන්ම ජාතික ශාපයක් වැනි මෙි ගර්හිත ව්‍යවස්ථා ඒකාධිපතිත්වය කරණ කොට ගෙන වැළඳුණු මාරාන්තික විවෘත ආර්ථික පිළිකාවේම දුස්සාධ්‍ය දුර්විපාකයක්මයි.ඔබ කියූ පරිදි අද තිබෙන්නේ හැම්බර්ග් මාධ්‍ය සංස්කෘතියක්.බස නොදන්නාකමින් ඇතැමුන් අතරමං වෙලා. වචනයක නිරුක්තිය නොදැන සිරස්තල යොදන උපකතුවරුන් අද ඇතැම් පුවත්පත්වල ඉන්නවා.අපේ රටේ ඇතැම් විද්‍යුත් මාධ්‍ය නාලිකාවල නිවේදක නිවෙිදිකාවන් භාවිත කරන භාෂාව පවා ජුගුප්සිතයි. මොවුන්ට නිසි මගපෙන්වීමක් කරන්න මාධ්‍ය ආයතන හිමිකරුවන් පවා අපොහොසත් වී තිබෙනවා. අද ඉන්න ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවෙිදීන්ට සිංහලත් බැහැ.ඉංග්‍රීසිත් බැහැ.
සංවාදය
ශෂී ප්‍රභාත් රණසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd