
රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සමග කළ සාකච්ඡාවකි.
ප්‍රශ්නය:- බන්ධනාගාරවල කැරැලි ඇති කරලා. ඒ ඔස්සේ රටේ අලුත් භීෂණයක් මවලා ආණ්ඩු බලය ගැනීමේ කුමන්ත්‍රණයක් විපක්ෂය කරනවා කියලා ආණ්ඩුව කියනවා?
පිළිතුර:- මෙහෙමයි, මෙතුමන්ලා විපක්ෂයේ ඉන්න කාලෙත් බන්ධනාගාරවල කැරැලි ආවනේ. එතකොට ඒ කාලයේ ආණ්ඩු කරපු අයත් ඔය දේම තමයි කිව්වේ.
ප්‍රශ්නය:- ඔබ කියන්නේ මෙතැන කිසිම කුමන්ත්‍රණයක් නෑ කියල ද?
පිළිතුර:- මමනම් දන්නේ නෑ බන්ධනාගාරවල ඉන්න සිරකරුවන් පොලඹවලා ආණ්ඩු පෙරළන්නේ කොහොම ද කියලා. ප්‍රශ්නය ඒක නෙවෙයි, මේ අය ආණ්ඩුව අරගෙන දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. මේ කාලය තුළ දී මේ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල බන්ධනාගාර සිරකරුවන් සම්බන්ධව බොහෝ කරුණු දක්වලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන. එතකොට මේ බන්ධනාගාරවල තදබදය අඩු කරන්න ඒ ගොල්ලෝ යම් යම් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඇමැති ධුරය දරන අදාළ ඇමැතිවරයා ඒ තදබදය අඩුකරන්න ගත්ත එක ක්‍රියා මාර්ගයක්වත් කියන්න. අඩුම තරමේ බන්ධනාගාර නිලධාරීන් දාහකට වඩා පිරිසකගේ හිඟයක් තියෙනවා. ඒ නිලධාරීන් බඳවා ගන්න ක්‍රියා කරලා නෑ. ඒ වගේම ජනාධිපති සමාව යටතේ සිරකරුවෝ විශාල පිරිසක් අවුරුද්දකට නිදහස් වෙනවා. ඒකත් අවුරුදු දෙකක් තිස්සේ වුණේ නෑ. මේවා තමයි ඇතුළේ අසහනය ඇති වෙන්න හේතු.
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ඇති වුණාම මහර ඇතුළු අනෙකුත් බන්ධනාගාර දක්වා ව්‍යාප්ත වෙනකම් බලාගෙන හිටියේ ඇයි? කුමන්ත්‍රණයක් තිබුණා නම් ඒක මීගමුව බන්ධනාගාරයෙන්ම නතර කරගන්න තිබුණනේ. ඒක නොවුණේ ඇයි? ඒකෙන් පෙනෙන දේ තමයි ඇමැතිවරයාගේ නොහැකියාව හා අසාර්ථකත්වය. ඇමැතිවරයෙක් බව ඉතින් ඔහුගේ නොහැකියාව වහගන්න විවිධ කුමන්ත්‍රණ කතා කියනවා.
ප්‍රශ්නය:- සමහරු කියනවා බන්ධනාගාර රැඳවියන්ට දැන් මත්ද්‍රව්‍ය නොලැබෙන නිසා ඔවුන් වියරු වැටිලා කියලා බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය යන එක වළක්වන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනවා නේද?
පිළිතුර:- ආණ්ඩුව බන්ධනාගාර ඇතුළට මත්ද්‍රව්‍ය ගිය එක වළක්වා තියෙනවා නම් ඒ නිසා මෙහෙම ගැටුම් ඇතිවෙනවා නම් මේවා තේරුම් අරගෙන ආණ්ඩුව අවශ්‍ය පියවර ගන්න එපැයි. ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ප්‍රශ්නය ඇති කළේ අරයා, මෙයා කියලා වැඩක් නෑ. ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් බන්ධනාගාර ඇතුළේ බුද්ධි අංශ තියෙනවා. ඒ අය වාර්තා දෙනවා. එතකොට ඒ වාර්තාවලට අනුව තීන්දු තීරණ අරගෙන ප්‍රශ්නයක් ඇති නොවෙන්නනේ වැඩ කරන්න ඕනෑ. ඒක නොකළ හින්දයි ඇමැතිවරයාගේ අසාර්ථක බව පේන්නේ.
ප්‍රශ්නය:- එහෙමනම් ඔබලාට පුළුවන් දැන් බන්ධනාගාර ඇමැතිවරයාට විරුද්ධව නැවතත් විශ්වාසභංගයක් ගේන්න?
පිළිතුර:- විශ්වාසභංගයක් ගේන්න අවශ්‍ය නෑනේ. ඇතිවෙච්ච පළමු ප්‍රශ්නයේදීම අපි ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවනේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංගය පරාජය කළාට මුළු රටම අද පිළිගන්නවා අපි ඉදිරිපත් කරපු විශ්වාසභංගය සාධාරණයි කියලා. මොකද ඇමැතිවරයාගේ අසමත්කම දිගටම පේනවා.
ප්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසිරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දික් කිරීම සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිවෙලා තියෙනවා. මොකක් වෙයි ද?
පිළිතුර:- ඔව්. අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කළ යුතුයි. උසාවි ගණන වැඩි කරන්න ඕනෑ. විනිශ්චයකාරවරුන්ගේ ගණන වැඩි කරන්න ඕනෑ. නීතිඥ දෙපාර්තමේන්තුවට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි කරන්න ඕනෑ. ඒ ගැන කිසිම වාදයක් විවාදයක් නෑ. යහපාලන ආණ්ඩුව කාලයේත් ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගත්තා. විනිසුරුවරුන්ගේ පඩිය වැඩි කළා. අල්ලස් හෝ දූෂණ කොමිසමේ යටිතල පහසුකම් දියුණු කළා. උසාවි වැඩි කළා. ඒ වගේ විශාල වැඩ කොටසක් කළා.
ප්‍රශ්නය:- ආණ්ඩුව කියන්නේ නඩු විභාග කිරීම වේගවත් කිරීම මේකේ අරමුණ කියලයි. හැබැයි විපක්ෂය කියන්නේ එක පුද්ගලයෙක් වෙනුවෙනුයි මේක කරන්නේ කියලා. මොකක් ද මේ පරස්පරය.
පිළිතුර:- ආණ්ඩුව නඩු ප්‍රමාදය අවම කරගන්න යම් වැඩ කොටසක් කරනවානම් ඒකට කාගෙවත් විරුද්ධතාවක් නෑ. මොකද ආණ්ඩුව මුලින්ම යෝජනා කළේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අභියාචනාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරන්න. ඊට පස්සේ තමයි දැන් මහේස්ත්‍රාත් අධිකරණය දක්වා ඇවිත් තියෙන්නේ. ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය අනුව තමයි මේ සැකය මතුවෙලා තියෙන්නේ. ආණ්ඩුව උත්සාහ කරනවා, ‘‘අධිකරණය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන්න’’ කියන සැකය මතුවෙලා තියෙනවා. නඩු අහන එක ඉක්මන් කරන්න ආණ්ඩුව ඒකට අවශ්‍ය යටිතල පහසුකම් වැඩි කරන්න කටයුතු කරන්නේ නැතිව ශ්‍රේෂ්ඨාධිකරණයෙහි හා අභියාචනාධිකරණයෙහි විනිසුරුවන්ගේ වයස් සීමාව වැඩි කිරීම තුළ විශාල සැකයක් සියලු දෙනාටම ඇතිවෙලා තියෙනවා. ඇත්තටම ආණ්ඩුවට වයස් සීමාව වැඩි කරන්න අවශ්‍ය නම් අලුතෙන් ගන්න විනිසුරුවරුන්ගේ ඉඳන් ඒක කරන්න පුළුවන්. එහෙම නොකර මේ ක්‍රියාදාමය තුළ කාටත් සාධාරණ සැකයක් ඇති වෙලා තියෙනවා.
ප්‍රශ්නය:- මේ ක්‍රියාදාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පතත් ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක නවත්ත ගන්නේ කොහොම ද?
පිළිතුර:- මෙහෙමයි, මේක නවත්තගන්න කියන්නේ. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තියෙනවනේ. මේ රටේ ඉන්න උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, නීති ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන්, නීති සංගම්, වෘත්තීය සමිති, ආගමික නායකයන් සියලුම දෙනා ආණ්ඩුවට කියා තිබෙනවා ‘‘මේක කරන්න එපා, මේක අධිකරණ පද්ධතියට නොගැළපෙන වැඩක්’’ කියලා. ඉතින් අපි බලමු ආණ්ඩුව මේ හඬට ඇහුම්කන් දෙනව ද? නැද්ද? කියලා. ආණ්ඩුව මේ හඬට කන් නොදී බුල්ඩෝසර් කරගෙන ගියොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණ ක්ෂේත්‍රය තුළ ලොකු වියවුලක් ඇති වේවි.
ප්‍රශ්නය:- විපක්ෂය ඉල්ලනවා ජනමත
විචාරණයක් ?
පිළිතුර:- ඔව්.
ප්‍රශ්නය:- නමුත් ආණ්ඩුව කියනවා ජනමත විචාරණයකට යන්න අවශ්‍ය නෑ කියලා?
පිළිතුර:- ඒක අපි බලමු. දැන් ආණ්ඩුව මේක සභාගත කළාම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවනේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ මතයත් අපට ගන්න පුළුවන් වේවි. එතැනදී අපි කියන මතය හරිද වැරැදි ද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ජනමත විචාරණයකට යන්න ඕනැ ද? නැද්ද? කියන එක. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රධාන සංශෝධනයක් නිසා තමයි ජනමත විචාරණයකට යා යුත්තේ.
ප්‍රශ්නය:- තමන්ගේ වයස වැඩි කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක දී ශ්‍රේෂ්ඨාධිකරණය කොහොම
හැසිරේවි ද?
පිළිතුර:- ඒක තමයි දැන් තියෙන ගැටලුව. අපි මේකට විරුද්ධව ගොනු කරන නඩුව අහන්නෙම ඒකට සම්බන්ධ විනිශ්චයකාරවරුන් තමයි. ඒක තුළ තමයි තර්කයක් ගොඩ නැගෙන්නේ. මේක ජනතාව ඉස්සරහට ගිහින් අපි අහන්න ඕනෑ කියන එක. ඉතින් අපි බලමු ඉස්සරහට ශ්‍රේෂ්ඨාධිකරණය ගන්නා ක්‍රියා මාර්ගය මොකක් ද කියලා.
ප්‍රශ්නය:- පළාත් සභා ඡන්දය තියන්න කියලා ඉන්දියාවෙන් ඉල්ලීමක් තියෙනවා. මොකක් වෙයි ද?
පිළිතුර:- පළාත් සභා ඡන්දය තියන ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුව කමිටුවක් විජිත හේරත් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළා. ඒ කමිටුවේ කාලය දික් කරමින් ඔහේ ඇදගෙන යන බවක් තමයි පේන්න තියෙන්නේ. මේ ඡන්දය තියන්න ආණ්ඩුවට ඕනෑනම් කළ යුත්තේ සුළු සංශෝධනයක් කරලා මුලින් තිබුණු මනාප ක්‍රමයට ඡන්දය තියන්න පුළුවන්. ඒකට සුළු සංශෝධනයක් කිරීමයි අවශ්‍ය. අවශ්‍ය ඡන්ද ප්‍රමාණයත් ආණ්ඩුවට තියෙනවා. සියලු දේශපාලන පක්ෂත් එකඟයි. ආණ්ඩුවේ උවමනාව විතරයි දැන් නැත්තේ. මේ තියෙන තත්වය උඩ ඡන්දයකට යන එක පාඩුයි කියලා ආණ්ඩුව හිතනවා.
ප්‍රශ්නය:- විපක්ෂයේ ඉන්න දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමූහයක් ඉකුත්දා එකම වේදිකාවකට ගොඩ වුණා. ඔබ හිතන විදිහට ඒ ඇයි?
පිළිතුර:- ඒගොල්ලෝ එකතු වුණා කියලා එකක් නෑ. ඒගොල්ලො සමගි ජන බලවේගය එක්ක ඉන්න පක්ෂ. අපිත් එක්ක ඉන්නවා. ඒ ගොල්ලන්ට ආවේණික වූ උතුරු නැගෙනහිර හා මධ්‍යම කඳුකරයේ ප්‍රශ්න ගැන ආණ්ඩුවට කතා කරන්න තමයි ඒ ගොල්ලෝ එකතු වුණේ. ඒක අපේ වැඩපිළිවෙළට බාධාවක් නොවෙයි.
ප්‍රශ්නය:- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවුණ නිසා ද ඔවුන් වෙනම සංවිධානගත වුණේ?
පිළිතුර:- නෑ. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුළත් ඔවුන් සමගත් මේ ප්‍රශ්න ගැන කතා කරනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑමක් කරන්න.
ප්‍රශ්නය:- ඔබට යම්තමින් හෝ සැකයක් නැද්ද? ආණ්ඩුව සහ සජිත් ප්‍රේමදාස අතර ඩීල් එකක් තියෙනවා කියලා.
පිළිතුර:- එහෙම ඩීල් එකක් නම් මම දන්න තරමින් නෑ. එහෙම ඩීල් එකක් දාන්න අවශ්‍යතාවක් නෑ. මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි. නමුත් එහෙම හේතුවක් නෑ.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd