![]() |
| විදුහල්පති සමන් චන්දන |
අද අප රටේ බොහෝ පාසල් ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් හා දෛනික පැහැදම් රජයෙන් ලබාදෙන තෙක් බලා සිටියි. නොඑසේනම් ආදි ශිෂ්‍ය සංගමයෙන් ලබාදෙන තෙක් බලා සිටියි. ඒත් නැතිනම් පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගැනීමට උත්සුක වෙයි.
මෙය සාමාන්‍ය තත්ත්වයකි.
ප්‍රකාශිත ඒ ප්‍රකට ක්‍රමවේදයන්ගෙන් වියුක්තව අන් විශේෂිත ක්‍රමයකට පාසලට අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීමට අපූරු ව්‍යාපෘතියක් දියත් කළ පාසලක් පිළිබඳ පුවතකි මේ.
මේ ඇල්පිටිය අධ්‍යාපන කලාප කාර්යාල පරිපාලන සීමාවේ පිහිටා ඇති අම්පේගම ප්‍රාථමික විදයාලය යි. නැත්නම් “පොල්කටු විකුණන ඉස්කෝලය”යි .
මෙම විද්‍යාලය පොල්කටු විකිණීමේ ව්‍යාපෘතියෙන් මේ වෙනවිට උපයාගෙන ඇති මුදල සුළුපටු නොවේ. ඉපයූ මුදලෙන් සම්පාදනය කර ගැනුණු යටිතල පහසුකම් ප්‍රමාණය ද සුළුපටු නොවේ.
මේ පාසලේ සෑම පන්ති කාමරයක්ම සුහුරු පංති කාමරයක් කිරීමට අම්පේගම ප්‍රාථමික විදුහලේ විදුහල්පති සමන් චන්දන ඇතුළු පාසල් ප්‍රජාව සමත්ව සිටිති. මේ පොල්කටු ව්‍යාපෘතියේ නියමුවා විදුහල්පති සමන් චන්දනය. එහි සම්පත් දායකයන් සිසුන් සහ දෙමාපියන් ය.
මේ විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සෑම මසකම අවසන් සිකුරාදා අමුතුම දවසකි. එදාට දරුවෝ පොත් බෑගයට අමතරව දෙමාපියන් සමග පොල්කටු බෑගයක් ද රැගෙන එති. එදින පාසලට එන සෑම පාසල් දරුවකුම අත පොල්කටු ගෝනිය. සමහර සිසුහු මේ පොල්කටු ගෝනි කර තියාගෙන එති. සමහර දරුවන්ගේ දෙමාපියන්ගේ කරමත පොල්කටු උර ය.

සිසුන් සහ මාපියන් පාසලට රැගෙන එන පොල්කටු මිල දී ගැනීමට ෙපෟද්ගලික සමාගමක ලොරි රථයක් අම්පේගම පාසල් මිදුලටම එන්නේය. සිසුන් හා මාපියන් රැගෙන ආ පොල්කටු උර බර කිර කිරා ලොරියට පැටවේ. ඊට ගෙවීම ද එවෙලේම සිදුවේ.
මේ ආකාරයට මෙම විදුහලේ සිසුන් හා මාපියන් රැගෙන එන පොල් කටු තොගවලට ලැබෙන මුදල් එකතු වූ විට දහස් ගණනකි.
වැඩියෙන්ම පොල්කටු රැගෙන ආ සිසුවාට, සිසුවියට තෑගි ලබා දෙන්නේ ය. මාපියන්ට ද එය එසේම ය. වැඩිම පොල්කටු රැගෙන එන පංති භාර ගුරුවරයාට ද ත්‍යාග පිරිනැමේ.
මේ පරිසර හිතකාමී ව්‍යාපෘතිය නිසා අම්පේගම හා ඒ අවට ඉවතලන එක පොල් කට්ටක්වත් නැත. නිවෙස්වලින් ඉවත ලන පොල්කට්ට එනුයේ නිවසේ එල්ලා ඇති පෝර උරයට ය. අම්පේගම සෑම නිවසකම පාහේ අද දක්නට ඇත්තේ පොල්කටුවලින් පිරෙමින් පවතිනා පොලිතීන් උරය. මේ නිසාම අම්පේගම හා අවට ඩෙංගු මදුරු තර්ජනයෙන් බේරී ඇති බවද තතුදත් අය කියති.
මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ විදුහල්පති සමන් චන්දන මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීවේය.
“අප පාසලේ පංති කාමර ක්‍රමවත්ව පවත්වාගෙන යාමට මමයි, ආචාර්ය මණ්ඩලයයි අදහස් කළා. එහිදී අපිට බාධකය වූයේ මුදල්. මේ කාර්යය සඳහා මුදල් සොයාගැනීමට අපි දියත් කළ යුතු ව්‍යාපෘති කීපයක් ගැනම සාකච්ඡා කෙරුණා. අවසානයේ අපි ඒකමතිකව මෙම පොල්කටු එකතු කිරීමේ ව්‍යාපෘතිය තෝරා ගත්තා.”

“එම ව්‍යාපෘතිය තෝරාගැනීමට ප්‍රධාන හේතු දෙකක් තිබුණා. ඒ මුදල් ඉපයීමට අමතරව පරිසරය රැකගැනීමයි. භාවිතයෙන් පසු ඉවත ලන පොල් කටු ලංකාවේ අනෙක් ප්‍රදේශවලට මෙන්ම අම්පේගමට ද විශාල ප්‍රශ්නයක් වී තිබුණා. අපි මේ ව්‍යාපෘතිය දියත් කිරීමත් සමගම අම්පේගම සහ ඒ අවට ගම්මානවල ඉවත ලන පොල්කටු එකතු කෙරුණා. අපේ පාසල හා පාසල අවට ඇති නිවෙස්වල පරිසරය මේ සමගම ආරක්ෂා වුණා.”
“මේ වනවිට පොල්කටු අලෙවි කොට විශාල ආදායමක් අපි ලබා තියෙනවා. ලබාගත් මුදල් සියල්ලම වැය කරේ පාසලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට. මේ ව්‍යාපෘතිය නිසා අපිට තේරුම් ගියා අම්පේගම ප්‍රදේශයේ පමණක් මාසයකට පොල්කටු කොච්චර අහක දානවා ද කියලා. හිස් පොල්කට්ට ඩෙංගු වැනි භයානක මදුරුවන් බෝකරන ම්‍යස්ථාන බවට පත්වෙලා තිබුණු අවධියකයි අපි මේ වැඩසටහන දියත් කළේ. මේ ව්‍යාපෘතියෙන් පරිසරය ආරක්ෂා කරගැනීමට සිදුවූ මෙහෙවර අතිමහත් බව කියන්න ඕනෑ.”
“අපි සෑම මාසයකට සැරයක්ම මෙසේ පොල්කටු තොගපිටින් එකතු කරනවා. ඒ තොග මුදල් වෙන්නේ අපි බලාගෙන ඉන්දැද්දීමයි. එසේ මුදල් එනකොට අපි සියලුදෙනාටම දැනෙන්නේ ලොකු සතුටක්. ඒ මුදලින් පාසලේ අඩුපාඩු අඩුවෙන කොට ඒ සතුට දෙගුණ තෙගුණ වෙනවා. මේ සඳහා සහයෝගය දෙන මගේ පාසලේ සියලුම සිසුන්ට, දෙමාපියන්ට, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට හා මාගේ සහෝදර ආචාර්ය මණ්ඩලයට කෘතඥතාව පළකර සිටිනවා.”
කරන්දෙණිය – එම්. සුසිල් පි්‍රයන්ත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd